ලිඡ්ඡවි කෙසේ වෙතත් අජාසත් ක්‍රමයට නම් මේ ආණ්ඩුවේ වැඩ කෙරෙනවා
Posted on June 18th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (18) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා

අද ඉන්න මුස්ලිම් නායකයෝ අතර ජාතික නායකයෝ නැහැ.
මහ මැතිවරණයකට යෝජනාවක් ගේනවා නම් අපි පාර්ලිමේන්තුවේදි ඒ සදහා අත ඔසවනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා

අපි ක්‍රමානු කූලව එලඹෙමින් සිටින්නේ මැතිවරණ කාලයකටයි. ඊලඟ ජනාධිපතිවරයා පත්කරගැනීම පිලිඹඳ කාරනාව ඔක්තෝම්බර් වලින් පටන් ගෙන දෙසැම්බර් වලින් අවසන් විය යුතුයි. ඒ නිසා මේ කාලය තුල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිලිබඳ කතා බහ කෙරෙනවා. අපි සියල්ලටම සූදානම්. අපේ අපේක්ෂකයා කවුද කියලත් අපි වෙලාවට කියන්නම්. ඒ අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරගෙන යනවා. අපේ රටේ අද තියෙන ආර්ථික දේශපාලනික රටාව ඉතිමත්ම ශෝචනීයයි කියලා අපි විශ්වාස කරනවා. හැම පැත්තෙන්ම අපිට දකින්නට ලැබෙන්නේ සෘණ කාරනා. ධණ කාරනා කිසිවක් පෙනෙන්නේ නැහැ. එකක් තමයි දේශපාලනික වශයෙන් මේ ආණ්ඩුව ඇතුලෙ තිබෙන අර්බුද. ලිඡ්ඡවි ප්‍රතිපත්ති වලට එකතු වෙන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයෙත් කියනවා මම දැක්කා. ලිඡ්ඡවි කෙසේ වෙතත් අජාසත් ක්‍රමයට නම් වැඩ කෙරෙන බව අපිට පෙනෙනවා. මේ ආණ්ඩුවට දර්ශනයක් නැති නිසා හැම තැනම ආරවුල් නිර්මානය වෙලා තියෙනවා. ආන්ඩුවකට දර්ශනයක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම වැඩ පිලිවෙලක් නිර්මානය වෙනවා. ඒ හරහා ක්‍රමවේදයක් නිර්මානය වෙනවා. නමුත් මෙ ආන්ඩුවට දර්ශනයක් වැඩපිලිවෙලක් ක්‍රමවේදයක් නැහැ. මේ තේරීම්කාරක සභාවක් පත්කරන්නට අපි හුඟදෙනෙක් අත්සන් කලා. ඇත්තටම තේරීම් කාරක සභාවක් ඕන වුනේ පාස්කු ප්‍රහාරය පිලිඹඳ ඇත්ත හෙලිකර ගැනීමට සහ කොතනද අපිට වැරදුනේ කියන දේ හඳුනාගැනීමටයි. එහෙම නැතුව කිසිම කෙනෙක්ව ඉලක්ක කරගන්නට පොදුජන පෙරමුනට අවශ්‍ය වුනේ නැහැ. නමුත් රිෂාඞ් බදියුදීන් ගේ විශ්වාසභංගයත් එක්කම පාර්ලිමේන්තුව ඇතුලෙ ලොකු විකාරයක් කරන්නට එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව කටයුතු කලා. තේරීම් කාරක සභාවක් කියන්නේ බොහොම ගෞරවාන්විත සභාවක්. ඒ වගේ සභාවක් ඇතුලෙ පුද්ගලයින් හෝ වෙනත් කිසිවක් ඉලක්ක කරගන්න බැහැ. සැබෑ සිද්දියක් පාර්ලිමේන්තුව විසින් ජනතාවට දැන ගැනීම සඳහා වාර්තාවක් සකස් කරන ක්‍රමවේදයක් පමනයි තේරීම් කාරක සභාවකින් කරන්න පුලුවන්. අද සිදුවෙලා තියෙන්නේ මොකද්ද කියලා පැහැදිලියි. තමන් නිවැරදියි අහවල් අය වැරදියි කියන තැනට තල්ලු කරන වැඩපිලිවෙලක් තමයි දැන් තියෙන්නේ. උදාහරනයක් ගත්තොත් තෙරීම් කාරක සභාවට ආපු අයි.ජී.පි. ගෙන් ප්‍රශ්න කරපු විදිහත් අනෙක් අයගෙන් ප්‍රශ්න කල විදිහත් බලන කොට තේරීම් කාරක සභාවක මූලික හරයවත් මේ අයට තේරෙනවද කියලා සැකයක් ඇතිවෙනවා.
සහරාන් ඇතුලු පිරිස බෝම්බ පුපුරවා ගත්තෙ පාස්කු ඉරිදා වුනාට ආරක්ශක අංශ ඒක හොයන්න ගත්තෙ ඊට කලින්. එ වාගේම වනාතවිල්ලුවෙන් විශාල ආයුද තොගයක් එක්ක මේ කල්ලිය අහුවෙනකොට ඒ පිලිඹඳ තොරතුරැ හොයන්න පටන් අරන් තිබුනෙ ඊට කලින්. එක්සත් ජාතික පක්ෂය මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා දීර්ග  කාලයක් පොලීසිය පාලනය කලා. ජනාධිපතිවරයා පාලනය කලේ ටික කාලයයි. කලින් ඉඳලා මේ පරීක්ෂන පැවැත්වෙලා තියෙනවා.මේකෙ ඇත්ත දැන ගැනීම වෙනුවට අද තේරීම් කාරක සභාව හොයන්නෙ රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම මොකද්ද කියන එකයි. ඒ තරමටම පහත් තත්වයට වැටිලා තියෙනවා. එතනට ලඝු වුනාට පස්සෙ එ තේරීම් කාරක සභාවෙන් වැඩක් නැහැ. එ නිසා තමයි මේ තෙරීම් කාරක සභාවට අපි නොගියෙ. අපි දැනගෙන හිටියා මේ තේරීම් කාරක සභාව නිවැරදි ඉලක්කයක් කරා යන්නෙත් නැහැ ඇත්ත හොයන්න ඕනෙත් නැහැ ඇත්ත ගැන කතාකරන්නෙත් නැහැ කවුද වැරදි කියලා කාටහරි පටවලා වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා. ඉල්ලා අස්වුනු ඇමතිකම් බාරගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් මන්ත්‍රීවරු අද සාකච්ඡා කරනවා කියලා ආරංචියි. අපි දිගටම කිව්වා මේක නාටකයක් කියලා. නාටකය ඇතුලෙත් තියෙන්නෙ ලස්සන කතාවක්. ඇත්ත වශයෙන්ම මේ රටේ ආගමික ත්‍රස්තවාදයට සම්බන්ධවුනු පිරිස ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. ඒක පොලීසියට බාරදීලා දේශපාලඥයො තමන්ගෙ අනාගතය ගැන කතා කරනවා. අපිට එහෙම ඉන්න බැහැ. බෝම්බෙන් මැරුන මිනිස්සු ගැනත් ඊට මූලුක වු අන්තවාදී කල්ලි කවුද කියලත් ඔවුන්ට දඩුවම් කිරීම දක්වාත් දේශපාලඥයින් කටයුතු කල යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඊට හේතුව තමයි ඒ අය අතර ජාතික නායකයින් කියන අය නැති වීම. මේ රටේ නිදහස ලබා ගන්න වෙලාවෙ ජාතික ප්‍රශ්නවලදි මුස්ලිම් ප්‍රජාව ප්‍රභලව මැදිහත් වුනා. දේශපාලනයේදි හෝ පොදු වැඩවලිදී ඔවුන්ට ජාති ආගම් භේදයක් තිබුනේ නැහැ. අද ඉන්න නායකයෝ අතර ජාතික නායකයෝ නැහැ. ඔවුන්ට තිබෙන්නේ කුඩා උවමනාවන්. අන්තවාදය ගැන සාකච්චා කරලා විසදුමකට එනවා වෙනුවට ඔවුන්ගේ අය ආරක්ෂා කරන්නයි කියලා ඇමැතිධූරවලින් ඉවත් වුනා. මෙහි නිවැරදි තත්ත්වය හොයලා අපරාධකරුවන්ට දඩුවම් කිරිම ගැන මොවුන් කතා කරන්නේ නැහැ. මේ අය ඇමැති කම් ගත්තත් සිද්ධ වෙන්නේ මේකයි. අපිට අවශ්‍ය වෙන්නේ ජාති ආගම් බේදවලින් තොර එක වැඩපිළීවෙලක් විතරයි.
ව්‍යවස්ථාවට අනුව මහ මැතිවරණයක් තියන්න ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕනේ. ජනමත විචාරණයක් කියන්නේ අදහසක් විතරයි. ඒ නිසා වියදම් කරගන්නේ නැතිව කෙළින්ම මැතිවරණයක් තිබ්බා නම් හරි. මේ ආන්ඩුව යහපාලනය ප්‍රජාතනත්ත්‍රවාදය ගැන කතා කළාට මැතිවරණ නිවැරදිව තියන්නේ නැහැ. ඊළග මැතිවරණය ගැන කතා කරන්නවත් සමහරු කැමැති නැහැ. ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයක් තියනවා නම් අපි යෝජනාව සම්මත කර ගන්න අත් ඔසවනවා. ආර්ථික වශයෙන් කඩා වැටුනු හොද තොරතුරක් අහන්නවත් නැති තැනකයි අපි ඉන්නේ.ආරක්ෂාව ගැන බලාපොරොත්තු ඉඩවෙලා. ජිවත්විම අවිනිශ්චිත තැනකයි තියෙන්නේ. මෙවැනි තත්ත්වයක සිදුවිය යුත්තේ ජනතාවගේ කැමැත්ත අනුව පාලකයින් තෝරා ගැනීමේ අවස්ථාව සැලසීමයි.

19 රට අර්බුදයෙන් අර්බුදයට පත් කරමින් තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිධූර අපේක්ෂකයෙක් තෝරා ගැනීමේ ගැටලුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඒ මහතා
දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රට අර්බුදයෙන් අර්බුදයට පත් කරමින් තිබෙනවා. ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුම් 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් තව තවත් උත්සන්න කරමින් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය ඉවත් කර ඇති බව සඳහන් කර තිබෙනවා. නමුත් දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආනුශාංගික විධිවිධාන යටතේ වර්තමාන ජනාධිපතිවරයාට පමණක් ආරක්ෂක මහවැලි සංවර්ධන හා පරිසර විෂය හා ඊට අදාල කාර්යයන් හා කර්තව්‍ය කිරීම තම භාරයේ තබා ගත යුතු බව අමාත්‍යංශයට තීරණය කිරීමට බලය තිබෙනවා.
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වර්තමාන තත්ත්වය ගැන බලන විට රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අනවශ්‍ය බලයක්  යොදමින් ඔවුන් අපහසුතාවයට පත් කිරීමට සූදානම් වන බව පේනවා. මේ ආකාරයට බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය වීම ආරක්ෂක විධිවිධාන සමාජයට අනාවරණය වීම ආදිය තුළින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා තියෙනවා. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසින් තීරණයක් ගත යුතුයි .
මතට තිත වැඩසටහන යටතේ මත්පැන් සහ සිගරට් වලට රජය විසින් අලුතින් නීති පැනෙව්වා. සිගරට් පැකට්ටුවේ සියයට අසූවකම දුම්පානයේ ප්‍රතිවිපාක සඳහන් රූපරාමු ඇතුලත් කරා. එවැනි පියවර ගෙන තිබියදීත් මුදල් ඇමතිවරයා සූදානම් වෙන්නේ චීනයෙන් සිගරට් ගැන්වීමටයි. ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය හරහා ආණ්ඩුව ඇතුළේ අලුත් අර්බුදයක් මතු වෙමින් තිබෙන බව පේනවා. ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ මුදල් ඇමතිවරයා  චීනෙන් සිගරැට් ගෙන්වීම  සඳහා අනුමැතිය දුන්නොත් ආණ්ඩුවෙන් ඉවත් වන බවයි. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ද තමා මුදල් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ ආකාරයෙන් කටයුතු කළ නොහැකි නම් මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස මංගල සමරවීර ඇමතිවරයා ට දැනුම් දෙනවා. එකම ආණ්ඩුවක් තුළ ඇමතිවරු එකිනෙකා එකිනෙකාට විරුද්ධ ප්‍රකාශ කියමින් රට තව තවත් තවදුරටත් අර්බුදයට යවමින් තිබෙනවා. මේ ප්‍රශ්න විසදීම සඳහා විධායක බලතල පාවිච්චි කරන ලෙසත් ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ඇමතිවරයෙකුගේ විශාල මූල්‍ය වංචාවක් හෙළි කරන බව සඳහන් කරනවා.මෙයත් පක්ෂයේම අභ්‍යන්තර අර්බුදය ක් බව පෙනෙනවා. ඒ වගේම අස්ගිරි පාර්ශ්වයේ මහනායක පූජ්‍ය  වරකාගොඩ ඥානරතන හිමි එක්සත් ජාතික පක්ෂයේ රටට ආදරය කරන නායකයෝ නැති බව ප්‍රසිද්ධියේ සඳහන් කළා. මෙය භයානක ප්‍රකාශයක්. මෙවැනි ප්‍රකාශයක් පූජ්‍ය පක්ෂයේ නායකයෙක් විසින් කරපු පළමු අවස්ථාව මෙයයි. පූජ්‍ය පක්ෂයට ආණ්ඩු පක්ෂය කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති බව මෙයින් කියවෙනවා. පූජ්‍ය පක්ෂයේ වගේම සමාජයේ සෑම ස්ථාවරයක ම අදහස වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව තවදුරටත් බලය පැවතීම සුදුසු නැති බවයි. ආණ්ඩුව විහිලු සපයන්නේ නැතිව මොනම මැතිවරණයක් හෝ පැවැත්විය යුතු යි. ජනතාව කැමති ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ අවස්ථාව ජනතාවට ලබා දිය යුතුයි.
ජනාධිපතිවරණය ආසන්න වන විට ජනාධිපති අපේක්ෂකයා ගැන එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තව තවත් උත්සන්න වෙමින් තිබෙනවා .පසුපෙළ මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු අපේක්ෂකයා ලෙස නම් කරනවා. ඒ අතරේ සමීක්ෂණ වාර්තා මගින් කරු ජයසූරිය මහතාට සියයට පනහකට වැඩි ප්‍රතිශතයක් තිබෙන බව ප්‍රචාරය කරනවා. මේ සියල්ල පක්ෂ අභ්‍යන්තරයේ පවතින අර්බුදය හෙළිකරනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ අභ්‍යන්තර අර්බුද ඉහළ සිට පහළටම ඔඩුදුවලා යි තිබෙන්නේ. ඒ වගේම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති අර්බුදය  විසඳා ගත නොහැකි තත්වයකට පත්වෙලා. මේ ප්‍රශ්න නිසා රට අරාජික වෙලා. දැන් තිබෙන්නේ කඩිනමින් ජනතාවට මැතිවරණයක් ලබාදීමයි.

පොසොන් උත්සවයට අනුරාධපුරයේ සෙනග නැහැ.
■ රට මොන තරම් කඩා වැටුනත් ආණ්ඩුව අත අරින්නනම් එජාපය සූදානම් නැහැ
■ නැව ගිලෙන බව දැනෙන කොට ගෙම්බා පනිනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා.
යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් ජනතාවට කිසිම වැඩක් කළේ නැහැ. අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුණාම  තනි ආණ්ඩුවක් හැටියට වැඩ කරන්න හැකියාව ලැබුණු බව කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කකුලෙන් අදින නිසා වැඩ කරන්න බැරි වුණු බවයි කිව්වේ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ ජනතාව ජනතාව සිංහල අලුත් අවුරුද්ද සැමරුවා.නමුත් සිංහල අලුත් අවුරුද්ද සමරන්න තරම් ආර්ථික ශක්තියක් ජනතාවට තිබුණේ නැහැ.සිංහල අලුත් අවුරුද්ද ඈලියාවට ගියා .ඊට පස්සේ වෙසක් උත්සවය ආවත් ආර්ථික ප්‍රශ්න සහ සහරාන්ගේ බෝම්බ නිසා වෙසක් උත්සවයත් ඈලියාවට  ගියා. වෙසක් උත්සවයටත් හරියන්න එක්ක පොසොන් උත්සවය ඉහළින්ම සමරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මගේ නිවස පිහිටලා තිබෙන්නේ අනුරාධපුර නගරයේ. වෙන පොසොන් මාස වල දී දවස් හත අටක් යනකල් අනුරාධපුර නගරය ජනතාවගෙන් පිරී පවතිනවා. මෙවර අනුරාධපුර නගරය පාළුවට ගිහින් තිබුණේ. ආණ්ඩුව ජනතාවට ආරක්ෂාව සපයන බව කිව්වත් ජනතාවට ආණ්ඩුව විශ්වාස නෑ.ඒ වගේම ආර්ථික ප්‍රශ්න නිසා ජනතාවට ගමන් බිමන් යන්න විදියක් නැහැ .රටේ ආර්ථිකය ආරක්ෂාව සංස්කෘතිය රැකගන්න බැරිකම විතරක් නෙවේ. අඩුම තරමේ ජාතික උත්සව ටික වත් මේ ආණ්ඩුවට  හරියට පවත්වන්න බැහැ. මොන පැත්තෙන් රට කඩා වැටුණත් මේ අය ආණ්ඩුවත් අරින්න නම් සූදානම් නැහැ. ජනාධිපතිවරණය තියෙන්නේ මාස දෙකයි. අනෙක් දේශපාලන පක්ෂ ජනාධිපතිවරුන්ට සූදානම් වෙද්දී ආණ්ඩුව ජනමත විචාරණයක් ගැන කතා කරනවා.පහුගිය ඔක්තෝම්බර් මාසේ අගමැතිවරයාගෙන් ආණ්ඩු බලය ලබා ගත්ත වෙලාවේ ජනතාවගේ මතය විමසා බැලීමක් කරන්න තිබුණේ. ආණ්ඩුව සූදානම් වෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය නැති කරන්නයි. 1988 , 1989 භීෂණ කාලයේදී වත් ජනාධිපතිවරණය කල් දැම්මේ නැහැ. රට පුරාම බෝම්බ පුපුරද්දී මිනිස්සුන්ගේ බෙලි කපද්දිත් ජේ ආර් ජයවර්ධන මහත්තයට ඡන්දය තියන්න සිද්ධ වුණා.එ දා ඡන්දය කල් දාගන්න පුලුවන් උනානම් පුළුවන් වුණානම් රණසිංහ ප්‍රේමදාස මහත්තයට ජනාධිපති අපේක්ෂක ධූරය දෙන්නෙත් නැහැ. ජනතාවගේ මනස විකෘති නොකර ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු නොකර ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දෙන්න.
ලංකාවේ දුම්වැටි මත් ද්‍රව්‍ය භාවිතය අඩු කරා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සම්මාන පවා දුන්නා. ජනාධිපතිවරයාව අඹමල් රේණුවක තරම්වත් මායිම් නොකර මුදල් ඇමැතිවරයා චීන සිගරැට් ගේන්න හදනවා. මේ සිද්ධිය අල්ලගෙන රාජිත සේනාරත්න මහත්තයා පැනිල්ලක් පනින්නයි හදන්නේ. රාජිත සේනාරත්න සඳහන් කරනවා දුම්වැටි ගෙන්වීම නතර නොකලොත් ඇමති ධුරයෙන් අස් වන බව. නැව ගිලෙන බව දැනෙනකොට ගෙම්බ පනිනවා. මේවගේ ගෙම්බෝ අපි දන්නේ නැහැ.කරවිල කරලට වැටුණු පනුවා කරවිල යම කාගෙන කාගෙන ඉන්නවා වගේ ඉන්නයි තියෙන්නේ.
පහුගිය දවස් වල මේ අයට ලොකු ප්‍රශ්නයක් තිබුනා මොන රාජපක්ෂවරයා ජනාධිපතිවරයාට එයිද කියලා. ඒ අය කිව්වේ රාජපක්ෂ පවුල ඇතුලේ ජනාධිපති පොරයක් කියලයි. කිසිම හොරයක් නැතුව අපි එකම ගමනක යනවා. දැන් කරු ජයසූරිය මහත්තයා ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. ඒ අතරේ එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයො පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කරන්න සූදානම් වෙනවා. අජිත් පී පෙරේරා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව කියනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගන්න බැරුව ඉන්නේ.හරියටම ඒ අයගේ අපේක්ෂකයා තෝරා ගත්ත දවසට එක්සත් ජාතික පක්ෂය කෑලි දෙක තුනකට කැඩෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress