සෙවණගලෙන් එහා, පැල්වත්තෙනුත් එහා, දුප්පත් ලෝකය ගැන…..
Posted on June 23rd, 2019

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

ආණ්ඩුව වංගුවක් ගහන්නට යන්නේද? රජයේ පාලනය යටතේ පවතින සෙවණගල සහ පැල්වත්ත යන සීනි නිෂ්පාදන සමාගම් දෙක මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඒ දෙකම හෝ එකක් දයා ගමගේට පවරා දීමට ආණ්ඩුව උත්සාහ කරත් ද? ‘සෙවණගල’ කොහොමටත් දයා ගමගේගේ දේපළකි. ඔහු විසින් රුපියල් දශලක්‍ෂ 2800 ක් ආයෝජනය කර වැඩිදියුණු කෙරුණු සෙවණගල, රාජපක්‍ෂ ආණ්ඩුව පැවැති කාලයේදී ආණ්ඩුවට පවරා ගත් අවස්ථාව දයා ගමගේ විසින් ගත කරන ලද්දේ කඳුළු පිරි දෙනෙතිනි. මේ පවරා ගැනීම ගැන සෙවණගල කට්ටිය රාජපක්‍ෂලාට හෙන ඉල්ලූව ද එය පිටුපස වෙනම කතාවක් අති අතර ඒ කතාව හෙළි කළොත් දයා ගමගේ හොඳටම අඬනවා ඇත. කෙසේ වුවද රජය සතු දේපළක් භාණ්ඩාගාරයට පවරාගෙන එය පුද්ගලික අංශයට දීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය ගඳම ගඳ වැඩකි. රටේ දේපළ පුද්ගලික අංශයට විකුණනවාය කියා මේ රටේ ජනයා ජේ. ආර්. ජයවර්ධනට බැණ වැදුණාට එතුමාගේ කාලයේදී එම විකිණිල්ල එසේම සිදුවිය. ඒ ක‍්‍රියාවලිය තවත් ටික කලක් ඉදිරියට ගියා නම් ආණ්ඩුවේ වැසිකිළි කිහිපයකුත්, කැබිනට් මණ්ඩලයත් හැරුණු කොට සෙසු සියල්ලම ප‍්‍රයිවටයිස් වීමට ඉඩ තිබිණ. පිළිවෙළින් මහින්ද රාජපක්‍ෂත් මෛත‍්‍රිපාල සිරිසේනත් මෙකී ප‍්‍රයිවටයිස් කෙළිය නැවැත්වූ බව කියමු. ආණ්ඩුව ඒ ප‍්‍රතිපත්තියට පිටින් යමින් කන්කසන්තුරේ වරායෙන් කැබැල්ලක් පුද්ගලික අංශයට දීමට කැබිනට් පත‍්‍රිකාවක් පසුගිය දිනෙක ගෙනාවේය. එය කෙළවර වන්නේ සාගල රත්නායක සහ මලික් සමරවික‍්‍රම ගුටි කෙළියකට යෑමට ඔන්න මෙන්න කියා තිබියදීය. කෙසේ වුවද මෙකී දේශපාලන මළ ඉලව් ගැන කතා කිරීමෙන් එතරම් සුගතියක් හට ගනු ඇතැයි නොපෙනේ. වඩාත් මානුෂීය මාතෘකාවක් වෙත අවධානය යොමු කිරීම වැදගත්ය :

 තිස්සමහාරාමයේ මලිත් මිහිරංග දේශප‍්‍රිය රාජපක්‍ෂ ඉකුත් මැයි 14 වැනිදා, මාස එකොළහක් ආයු වළඳා මිය ගියේය. ඔහු මියගියේ මන්දපෝෂණයෙනි. ශ‍්‍රී ලංකාව තුන්වන ලෝකයෙන් මිදී මධ්‍යම පාන්තික රාජ්‍යයක් බවට පත්ව ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 ක් වී ඇති මේ අවස්ථාවේදී රටේ දරුවකු මන්දපෝෂණයෙන් මිය ගියේය යන කාරණය අතිශය බරපතළය. මේ දරුවාගේ මෘත දේහය වළෙන් ගොඩගත් ඒකාබද්ධ විපක්‍ෂය එම දේහය ආණ්ඩුවේ එළිපත්තේ ගෙනවුත් තැබීම නිසා බරපතළ අර්බුදයක් හටගෙන ඇත. මේ දරුවා මියගියේ ආණ්ඩුවේ වරද නිසා නොව පවතින ක‍්‍රමයේ වරද නිසා බවය අපගේ වැටහීම. මන්දපෝෂණය යනු දුප්පත්කමේ දරුණුම අවස්ථාවලින් එකකි. දුප්පත්කම එදා සිට අද දක්වා ම මේ රට තුළ පවතී. දුප්පත්කම නිසා දරුවන් තුරුලූ කරගත් මව්වරු ළිංවලට, ගංගාවලට සහ ජලාශවලට පැන සියදිවි නසා ගත් අවස්ථා ඕනෑ තරම් ලංකා ඉතිහාසයේ ඇත. මරණය තමන් ළඟට එනතුරු සිට වැළඳ ගන්නා දෙයක් මිස ඒ වෙත ගොස් වැළඳගත හැකි දෙයක් නොවන බවට මේ රටේ ජනයා තුළ වූ සිතුවිල්ල 1950 වන විට වියැකී ගිය අතර දුකට පත් ජනයා සිය කැමැත්තෙන් දිවිනසා ගැනීම ඒ කාලයේ ද ඉතා පුළුල් ලෙස පැතිර ගියේය. පසු කාලයේදී වගා ණය ගෙවා ගැනීමට බැරිවීම, අධික ණය බර, පේ‍්‍රම සම්බන්ධතා කඩවීම, සමාජ අපවාදවලට මුහුණ දීමට බැරිවීම යන කරුණු නිසා මිනිස්සු සියදිවා හානි කර ගත්හ. දුප්පත්කම ඉගෙනීමට බාධාවක් වූ විට සියදිවි නසාගත් ළමයිද අතරින් පතර වූහ. ඒ අනුව මරණයට අදාළ පොදු සාධකය බවට දුප්පත්කම පත්විය. තිස්සමහාරාමයේ මාස 11 ක් වයසැති දරුවා මිය යන්නේ ද මේ කියන මහා පොදු සාධකය ක‍්‍රියාත්මක වීමෙනි. කොළඹ ඇතුළු නාගරික තරුපහේ හෝටල්වල උතුරා යන්නට හෝ අපතේ යන්නට තරම් කෑම තිබුණත් ශ‍්‍රී ලංකාව යනු ගෙවල් තුළ හරියාකාරව කන්නට කෑම නැති රටකි. හරියාකාර කෑම යනු මොනවාද? සමබර ආහාර වේලකි. ආහාර ගැනීම යනු බත් ගුලි ගිලීම හෝ පාන් ගුලි ගිල දැමීම නොව ඉන් ඔබ්බට ගිය ක‍්‍රියාවලියකි. වසර 2016 දී කෙරුණ සමීක්‍ෂණයකට අනුව ලංකාවේ දරුවන්ගෙන් 17.3% ක් නිසි උසට අඩුය. 15.1% ක් කෙට්ටුය. 20.5% ක් නිසි බරට අඩුය.

 මේ රට රාජ්‍ය උත්සවවලට, පළාත් සභා මන්ත‍්‍රීන්ගේ පුටුවලට, දේශපාලන ගල් ගඞ්ඩන්ගේ වාහනවලට සුවිශාල මුදලක් වැය කරන්නේ රටේ දරුවන්ගේ තත්ත්වය මේ තරම් පහළට වැටී තිබියදී ය. රුපියල් ලක්‍ෂ 500 ක් වටිනා බෙන්ස් කාර් පාවිච්චි කිරිමට තරම් වත්කම් ඇති ගිහියන් මෙන්ම පැවිද්දන් ද සිටින රටක මෙවැනි දේ සිදුවිය හැකිද?

 මෙය තමයි සැබෑ තත්ත්වය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress