අයිසිස්‌ තර්ජනය මැද සිදුවන නාඩගම්
Posted on June 23rd, 2019

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

isis

පාස්‌කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ සිරියාවට සහ ඉරාකයට ගොස්‌ පැමිණි ශ්‍රී ලාංකික අයිසිස්‌ ක්‍රියාකාරීන් බව හෙළි කළ රුසියාවේ නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම් යුරී කෝකෝව්
සහරාන් හෂීම් ප්‍රමුඛ අයිසිස්‌ ත්‍රස්‌ත ක්‍රියාකාරී කල්ලිය සිදු කළ බිහිසුණු ප්‍රහාරයේ දොaංකාරය තවමත් පහව ගොස්‌ නැත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද? හිටපු කාත්තන්කුඩි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සහරාන් ගැන නොදන්නා අයකු මෙන් තේරීම් කමිටුව හමුවේ සාක්‍ෂි දුන්නේය. මවුලවිවරයෙක්‌ පැවසුවේ 2018 දී සහරාන් ගැන අනතුරු ඇඟ වූ බවයි. එහෙත් සහරාන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා කළේ නැත. මේ අද රටේ පැවැති අවාසනාවන්ත තත්ත්වයයි.

මේ පසුබිම මැද රජයේ බලධාරීහු ගැටුම් කළමනාකරණය ගැන පාඩම් කියා දීමට ඉදිරිපත් වී ඇත. 300 කගේ දිවි අහිමි වූ පාස්‌කු ප්‍රහාරය මැද මේ ගැටුම් කළමනාකරණය විදේශීය රටවල් සැනසීම උදෙසා පැවැත්වුණේ ද? තොරතුරු ලැබී තිබුණත් සහරාන්ට එරෙහිව ක්‍රියා කිරීම හෝ පාස්‌කු ඉරිදා ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට රජය අපොහොසත් විය. මේ තත්ත්වය මත පාස්‌කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස දෙකක්‌ ගත වන අවස්‌ථාවේ තවදුරටත් අයිසිස්‌ ක්‍රියාකාරීන් මෙරට සිටින්නේද හා ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග කුමක්‌ද යන්න නිරීක්‍ෂණය වී නැත.

එහෙත් රජයේ බලධාරීන් පාස්‌කු ප්‍රහාරය අමතක කර ගැටුම් කළමනාකරණ සන්නිවේදන ගැන ඉගැන්වීමට ඉදිරිපත්වීම විහිළුවක්‌ බවට පත්වී ඇත. 2002 ඊනියා සටන්විරාම ගිවිසුම සමයේ කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දුන් ජාතික සාම මණ්‌ඩලය ද ගැටුම් කළමනාකරණ වැඩමුළු පවත්වමින් නැති සාමයක්‌ ඇති කිරීමට ක්‍රියා කළේය. එහෙත් එම මෙහෙයුම් මුළුමනින්ම අසාර්ථක විය. ගැටුම් කළමනාකරණ වැඩමුළුව මැද ප්‍රභාකරන් තම ඝාතන පිළිවෙත දිගටම ගෙන ගියේය.

දැන් යළිත් වරක්‌ මේ ගැටුම් කළමනාකරණ එන්ජීඕ ව්‍යාපෘතිය රජය මැදිහත්වී දියත් කර ඇත. ඊට දායක වී ඇත්තේ ගැටුම් කළමනාකරණ විද්වතුන් ද ? පාස්‌කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ සමයේ මොවුන් සිටියේ කොහේද? රජයේ බලධාරීහු මහජන මුදල් වැය කරමින් ගැටුම් කළමනාකරණ වැඩමුළු පැවැත්වීමේ අරමුණ කුමක්‌ද? 

සියල්ලටම පෙර ජාතික ආරක්‍ෂාවේ හිඩැස පිරවිය යුතුය. එහෙත් ඒ ගැන අවධානය යොමු වී නැත. කොළඹ ඇති මෙතෝදිස්‌ත දෙව්මැඳුරු සංඛ්‍යාව කොපමණ දැයි හිටපු ආරක්‍ෂක ලේකම්ගෙන් විමසූ රාජ්‍ය බුද්ධි ප්‍රධානියකු මෙරට සිටිනතාක්‌ ජාතික ආරක්‍ෂාවේ අරාජික තත්ත්වය ගැන කිව යුතු නැත. අද අවශ්‍ය වී ඇත්තේ ගැටුම් කළමනාකරණයක්‌ නොව රටේ ආරක්‍ෂාවට එල්ලවී ඇති බරපතළ තර්ජනයට නිසි පියවර ගැනීමයි. ඉන්දියාවේ මුම්බායි නුවර ටාඡ් හෝටලයට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වීමෙන් පසු රජය ගැටුම් කළමනාකරණ වැඩමුළු පැවැත්වූයේ නැත. ඩකාහි යුදෙව් මධ්‍යස්‌ථානයකට ත්‍රස්‌ත ප්‍රහාර එල්ලවූ විට අගමැතිනි ෂික්‌ හෂීනා ගැටුම් කළමනාකරණ සන්නිවේදන වැඩමුළු පැවැත්වූයේද?

මේ පසුබිම මැද මාධ්‍ය ක්‍ෂේත්‍රයට ගැටුම් කළමනාකරණ සන්නිවේදන වැඩමුළු පැවැත්විය යුතු යෑයි තීන්දු කිරීම කාගේ ව්‍යාපෘතියක්‌ද?

2008 වසරේ ඔක්‌තෝබර් මස ඉස්‌ලාමීය අන්තවාදීන් ගැන අප දිවයින පුවත්පතින් අනතුරු අඟවද්දී මේ ගැටුම් කළමනාකරුවන් සිටියේ කොහේද? මොවුන්ගේ අතීතය කිවයුතු නැත.

රටෙක ප්‍රධානතම කාර්ය ජාතික ආරක්‍ෂාවයි. එසේ නැතිව ගැටුම් කළමනාකරණ ව්‍යාපෘති නොවේ. 2002 සටන්විරාම ගිවිසුමින් පසු නෝර්වේ සංවිධානය මෙරට ගැටුම් කළමනාකරණ වැඩමුළුවලට ක්‍රොන් මිලියන ගණනක අරමුදල් ලබාදී ඇත. එම අරමුදල් ඇතැම් එන්ජීඕ ප්‍රධානීන්ගේ ගිණුම්වලට බැර වී ඇත.

මේ නිසා රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ එදා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දියත් කළ ව්‍යාපෘති රජය විසින් නැවතත් දියත් කිරීම නොවේ.

පසුගිය කාලයේ රජය සංහිඳියා මෙහෙයුම දියත් කළ අතර සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙම මෙහෙයුම මුළුමනින්ම කුඩු කළේය. මේ නිසා අද කිසිවෙක්‌ සංහිඳියාව ගැන හඬ නඟන්නේ නැත. එසේම රජයේ බලධාරීන් අවධානය යොමු කළ යුත්තේ අතීතයේ සිදුවීම් ගැන දන්නා මාධ්‍ය තවමත් ජීවතුන් අතර සිටින බවයි.

කොටින්ට යුද වදිද්දී එම නව රජය ගැටුම් කළමනාකරණ වැඩමුළු පැවැත්වූයේ නැති බවද එම බලධාරීහු තේරුම් ගත යුතුව ඇත. එසේම මේ ගැටුම් කළමනාකරණ උපදේශකයන් යෑයි හඳුන්වා ගන්නා පාර්ශ්ව වන්නි මෙහෙයුම යටතේ සහ ප්‍රභාකරන් ඝාතන සිදුකරද්දී සිටියේ කොහේද?

1200 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ඇතත් සැඟවුණු අයිසිස්‌ ක්‍රියාකාරීන් කීදෙනෙක්‌ සිටින්නේද යන්න රජය සහ ආරක්‍ෂක අංශ නොදනී.

එසේම අන්තවාදීන්ගේ ආධාරකරුවෝ වෙස්‌ මුහුණු දමාගෙන ජීවත් වෙති. ඔවුන් අවස්‌ථාව එනතුරු බලා සිටින බව පැහැදිලිය. මේ අතර ශ්‍රී ලංකාවට යළිත් වරක්‌ අයිසිස්‌ තර්ජනය එල්ලවී ඇති බව ඉන්දීය එන් සීටීවී රූපවාහිනිය අනතුරු අඟවා ඇත. 

ඉන්දීය බුද්ධි සේවාව මේ බව ඉන්දියාවටද අනතුරු අඟවා තිබේ. ඉරාකයේ සහ සිරියාවේ පරාජයත් සමග තම ක්‍රමවේදයන් අග්නිදිග ආසියාවට යොමුවී ඇති බව දක්‌වන ඉන්දීය බුද්ධි සේවාව අයිසිස්‌ තර්ජනය ගැන කේරළ බලධාරීන් වෙත ලිපි තුනක්‌ යවා ඇති බවද සඳහන් කර ඇත.

අයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනය ගැන ඉන්දියාව අනතුරු ඇඟ වූ දෙවැනි වතාව මෙයයි. 

මෙයට පෙර පසුගිය සතියේදී කොචි ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයකට අයිසිස්‌ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි සේවාව අනතුරු අඟවා තිබුණි. 

අයිසිස්‌ ක්‍රියාකාරීන් මෙතෙක්‌ භාවිතා කළ පණිවුඩ හුවමාරු කිරීමේ ඇප් අඩවිය වෙනුවට වෙනත් අඩවි තුනක්‌ භාවිතා කරන බවට ද මෙහිදී තොරතුරු හෙළි වී ඇත. 

ඉන්දීය එන් ඩී ටී වී රූපවාහිනිය වැඩිදුරටත් පැවසුවේ අයිසිස්‌ ක්‍රමවේදය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇති බවයි.

මේ නිසා අයිසිස්‌ ක්‍රියාකාරීන් ගැන නිරීක්‍ෂණය කරන බවද ඉන්දීය බුද්ධි සේවාව දන්වා ඇත. 

එහෙත් මෙරට ගැටුම් කළමනාකරණය ගැන වැඩමුළුවක්‌ පත්වන්නේ එල්ල වී ඇති අයිසිස්‌ තර්ජනය නතර කිරීමටද?

මෙය පුදුමයක්‌ නොවේ. සක්‌විති නමැත්තා සමඟ කටයුතු කළ අයකුට ද ජනාධිපති ජනමාධ්‍ය සම්මානයක්‌ හිමිවිය. මෙරට ජාතික ආරක්‍ෂාවට වින කළ සාධාරණ සමාජය නමින් අටවාගත් සංවිධානයේ ක්‍රියාකාරියකුට ද එවන් සම්මානයක්‌ද හිමි විය. මේ පසුබිම මැද රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයකු වූ වික්‌ටර් කුකෝව් එරට පැවැති සමුළුවකදී පවසා ඇත්තේ සිරියාවේ හා ඉරාකයේ අයිසිස්‌ ක්‍රියාකාරීන් සමග එක්‌ව සටන් කළ මෙරට අයිසිස්‌ හිතවාදීන් පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ බවයි.

රුසියානු නිලධාරීන් මේ තොරතුරු හෙළි කරන තෙක්‌ මෙරට බුද්ධි සේවාවට ඒ බව වාර්තා වූයේ නැත.

මේ අතර පාස්‌කු ප්‍රහාරය සිදුවී ඊයේට (21 දිනට) මාස දෙකක්‌ ගත වී ඇත. පාස්‌කු ප්‍රහාරයට ගොදුරු වූවන්ට යුක්‌තිය ඉටු කිරීමට යෑයි දන්වමින් එක්‌තරා පිරිසක්‌ ඉටිපන්දම් දල්වා ඇත. 

එහෙත් මේ අමානුෂික ක්‍රියාව පිළිබඳ වගකිවයුතු පිරිස්‌ තවදුරටත් මෙරට නිදැල්ලේ සිටිති. පාස්‌කු ප්‍රහාරයට වගකිව යුත්තන් එකිනෙකා චෝදනා එල්ල කර ගනිද්දී සහරාන් ප්‍රමුඛව අයිසිස්‌ කල්ලිය මෙම ප්‍රහාර එල්ල කළේ විධායක ජනපති ක්‍රමය වෙනස්‌ නොකිරීම නිසා බවට ප්‍රකාශ කරති. 

එහෙත් අයිසිස්‌ තර්ජනය අවසන්වී නැත. ඉන්දීය බුද්ධි සේවා තවදුරටත් දක්‌වා ඇත්තේ 3000 කට අධික අයිසිස්‌ ක්‍රියාකාරීන් කේරළයේ සිටින බවත් ඔවුන් ගැන නිරීක්‍ෂණය කරන බවත්ය. මේ අතර මාලදිවයින කථානායක මොහමද් හෂිද් පැවසුවේ අයිසිස්‌ සංවිධානයට සම්බන්ධ මාලදිවයින ක්‍රියාකාරීන් 160 ක්‌ ගැන තොරතුරු ලැබී ඇති බවයි.

මෙරට මාලදිවයින ජාතිකයන් 5000 කට අධික පිරිසක්‌ සිටින බව හමුදාපතිවරයා හෙළි කර ඇත.

එසේම ඉන්දියානුවන් 12000 ක්‌ ද සිටී. මේ පාර්ශ්ව ගැන නිසි විමර්ශනයක්‌ හෝ ඔවුන්ගේ ඡායාරූප බුද්ධි අංශ සතුව තිබේද?

මෙවන් වාතාවරණයක්‌ මත අවසාන අයිසිස්‌ ක්‍රියාකාරිකයකු ද අසුවී ඇතැයි ප්‍රකාශ වී තිබේ.

අසුවී ඇත්තේ අවසාන අයිසිස්‌ ක්‍රියාකාරියා බව කියන්නේ කෙසේද?

එසේම පාස්‌කු ප්‍රහාරයෙන් මියගිය පිරිස කවුදැයි අද වනතුරු අනාවරණය කිරීමට හෝ නාමලේඛනයක්‌ ප්‍රකාශ කිරීමටද රජය ක්‍රියාකර නැත.

එහෙත් පාස්‌කු ප්‍රහාරයට මුල්වී රාජ්‍ය නොවන සංවිධානවලට ඉල්ලමක්‌ පෑදී ඇත. ඒ විදේශ රටවලින් ආගමික සහජීවනය නැංවීම සඳහා යෑයි කියමින් අති විශාල මුදල් සම්භාරයක්‌ රාජ්‍ය නොවන සංවිධානවලට ලැබීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress