ඉතා කැත ඉතා රළු දේශපාලන චිත‍්‍රය
Posted on June 23rd, 2019

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

අර්බුදය මෙතරමට උග‍්‍ර වෙතැයි අපි සිහිනෙන් වත් නොසිතුවෙමු. උග‍්‍රවූ අර්බුදය පසුගියදා අපේ ගෙදර ඉදිරියට විත් දොරට තට්ටු කළේය. අපි දොර හැර බැලූවෙමු. දොර ඉදිරිපිට පෝලිමට සිටගත් කිහිප දෙනෙක් වූහ. මුලටම සිටියේ මොහොමඞ් සහරාන් ය. ඔහු පිටුපසින් රිෂාඞ් බදියුදීන් සහ හිස්බුල්ලා වූහ. කවදාවත් දැක නැති බැවින් එකවරම හඳුනා ගැනීමට බැරි වුවද ඊළඟට සිටියේ දොස්තර ෂාෆි බව අප දැන ගත්තේ පත්තරවලින් හා රූපවාහිනි චැනල්වලින් ඔහුගේ පින්තූරය දැක තිබූ බැවිනි. ෂාෆිට පිටිපස්සෙන් ජනාධිපති මෛති‍්‍ර ද, ඔහුට පසුව අගමැති රනිල් ද සිටියහ. හිටි ගමන් රනිල්ගේ කකුලෙන් මෛති‍්‍ර ද, මෛති‍්‍රගේ කකුලෙන් රනිල් ඇද්ද නමුත් දෙදෙනාම බැලන්ස් කිරීමෙහි ශූරයන් නිසා නොවැටී බේරී ගත්හ.

katu333

ඉහත සඳහන් ෙඡ්දයෙන් සම්පින්ඩනය වන්නේ මේ මොහොතේදී මේ රටේ පවතින දේශපාලන චිත‍්‍රයයි. 2015 ජනාධිපතිවරණය නිමාවට පත්වී යහපාලන ආණ්ඩුව දිවුරුම් දී දින කිහිපයකට පසු පින්තාරු කරන්නට පටන් ගත් මේ චිත‍්‍රයේ රාමුව ගසන ලද්දේ මොහොමඞ් සහරාන් ය. ඊළඟට, රිෂාඞ් බදියුදීන් සහ හිස්බුල්ලා විසින් ශී‍්‍ර ලංකාව නමැති දේශපාලන බිත්තිය මත මේ චිත‍්‍රය එල්ලන ලදී, ඒ සඳහා ඇණ සහ මිටිය සපයන ලද්දේ අසාද් සාලි ය. මේ චිත‍්‍රයෙහි ඉතා නරක ලක්‍ෂණ කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් මෙහි ඇති සමහර පින්සල් පහරවල් ය. මේවා Brush Stroke යනුවෙන් හඳුන්වනු ලැබේ. එම Brush Stroke සඳහා සායම් වෙනුවට රුධිරය යොදාගෙන ඇත. රුධිරය යනු කල් පහුවන විට කලූ පැහැ ගැන්වෙන දෙයකි. ඒ අනුව මේ චිත‍්‍රයේ වැඩි කොටස් කළු පැහැතිය. එනම් මෙහි වැඩි කොටස ඇඳ ඇත්තේ ලෙයින්ය.
 
 මෙයට අවුරුදු දහයකට කලින් ද මෙවැනි චිත‍්‍රයක් මේ රටේ තිබුණි. එය මීට වඩා භයානක වුවද අශෝභන වූද චිත‍්‍රයකි. එහි වැඩි කොටස ඇඳ තිබුණේ 1977 න් පසුය. එහි ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ප‍්‍රභාකරන් ය. චිත‍්‍රය ඇඳීමට අවශ්‍ය කැන්වස්, තීන්ත සහ පින්සල් ද රාමුවද සැපයීම සිදු කළෝ මේ රටේ දේශපාලනඥයෝය. උදාහරණයක් ලෙස මේ චිත‍්‍රයේ මුල් කොටස ඇඳීමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා බොහෝ සෙයින් දායක විය. ඉතිරි කොටසින් භාගයක්ම ආර්. පේ‍්‍රමදාස මහතා විසින් අඳින ලදී. ජනාධිපති චන්ද්‍රිකා පින්සල් පහරවල් කිහිපයක් ගසන ලදී. මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණ මේ චිත‍්‍රයේ රාමුව කඩා දැමුවේය. එවිට චිත‍්‍රය බිම ඇදවැටුණු අතර එය ආපසු ඔසවා බැලීමේදී එය යට තිබී ප‍්‍රභාකරන්ගේ මළ මිනිය හමු විය. මහින්ද මේ චිත‍්‍රය කඩා දැමුවේ ගෝඨාභය රාජපක්‍ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාගේ අත්වලින් බව මෙහිලා සඳහන් කරන්නේ ඒ දෙදෙනාට ගෞරව පිණිසය. සරත් ෆොන්සේකා විසින් යුද්ධයේදී කරන ලද මෙහෙවර අද අමතක වී ඇත. එයට හේතුව ඔහු වටා ඇති දේශපාලන චිත‍්‍රය ය. මේ චිත‍්‍රය විනාශ කිරීමට ඔහුට හැකි නම් යුද ජයග‍්‍රහණයට උපස්ථම්භක වූ රණවිරුවාගේ ප‍්‍රතිමාව නැවතත් දර්ශනය වනවා ඇත.
 
 ශී‍්‍ර ලංකාව ඉතා නරක ආර්ථික ප‍්‍රපාතයකට ගමන් කරමින් පවතී. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර ඇති විරසකය රටටත් එහි වැසියාටත් ආර්ථිකයටත්, ඉතා නරක ලෙස බලපා ඇත. රනිල්, මෛතී‍්‍රට පහරක් එල්ල කළ වහාම එයට ප‍්‍රතිප‍්‍රහාර හැරෙන තැපෑලෙන් රනිල් වෙත ලබාදීමට මෛතී‍්‍ර සමත්ය. ආණ්ඩුව පාස්කු බෝම්බය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළේ ජනාධිපතිට Shot එකක් දීම සඳහාය. යුද හමුදාවේ තබා ගැලවීමේ හමුදාවේවත් (Salvation Army) වැඩ කර නැති සමහර කාරක සභිකයන් ආරක්‍ෂක ලේකම්ලාගෙන් සහ බුද්ධි අංශ ප‍්‍රධානියාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් ඉතා විකට ස්වරූපයක් ඇති විය. මේ කාරක සභාවේ සිටින එකම සුදුස්සා සරත් ෆොන්සේකා පමණි.
 
 ආණ්ඩුවේ සැබෑ ස්වරූපය මෙය නම් ජනතාවගේ ඉදිරිය ඉතාම නරක බව පෙනේ. දේශපාලනඥයෝ බලය උදෙසා මිස අන් කිසිදු කාරණයක් උදෙසා එකමුතු නොවෙති. ලංකාවට ඒ හෙණය එලෙසම ගසා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress