ජනපති අපේක්ෂක සටනේ අවසානය ගෝඨා ද මෛත‍්‍රී ද?
Posted on June 23rd, 2019

ටී. චන්ද්‍රසේකර උපුටා ගැන්ම දිවයින

ගල් වදින්නේ පල ඇති රුකට මිස පල නැති රුකට නොවේ. කවදත් දේශපාලනයේ තත්ත්වය එයයි. එය මෙවරට පමණක් සීමා වූවක් නොවේ. අද වැඩියෙන්ම දේශපාලන පොරපිටියේ කියැවෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගැනය. ඔහුට පහරදීමට දේශපාලන, පක්ෂ, ජාති ආගම් භේදයෙන් තොරව සතර දෙසින්ම පිරිස් එක්ව සිටියි. එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව අතර දැඩි පරස්පර විරෝධී මත ඇතත් මෛත‍්‍රීට පහරදීම යන විෂයයේදී එක්ව සිටින බවක් පැහැදිලිව දර්ශනය වෙයි.

gota

මේ වන විට ශ‍්‍රී ලංකාවේ දේශපාලනය අන්ත දූෂිත තත්ත්වයට පත්ව තිබෙන බව සැබෑය. ඉදිරි ජනාධිපතිවරණය ගත් කල කිසිදු දේශපාලන පක්ෂයක එක මතයක් පෙනෙන්නට නැත. සහෝදරකම්, ඥාතිකම්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය, අත්දැකීම් හා සුදුසුකම් යන මේ සියල්ල පසෙක ලා සියල්ලන්ම ජනාධිපති වීමට පොරකන එහෙත් ජනතා ප‍්‍රශ්න, අවශ්‍යතා, ඔවුන්ගේ සුබසිද්ධිය ගැන නොසිතන ඒ සියල්ල අමතක කළ දේශපාලකයන් අතරට මැදිව සිටින මෙවන් යුගයක් මෙරට ඉතිහාසයේ කිසි දිනෙක දකින්නට ලැබුණේ නැත.

අද ආණ්ඩුවක් ඇතත් ආණ්ඩුවක් නැති තරම්ය. ආණ්ඩුවේ අගමැති පටන් මැති ඇමැතිවරුන් අරමුණක් ඉලක්කයක් නැති ගමනක නිරතව ජනතා අවශ්‍යතා පසෙකලා සිටිති. අගමැති දකුණට යන විට ඇමැතිවරු වමට යති. මේ ආණ්ඩුව මිල සූත‍්‍රයක් හදාගෙන මාසෙන් මාසයට තෙල් මිල ඉහළ නංවමින් සිටින විට දින 51 කට අගමැති වූ මහින්ද රාජපක්ෂ එම ක‍්‍රියාදාමය කණපිට හරවමින් තෙල් මිල අඩු කරන්නට වූයේය. දින 51 න් පසු යළිත් බලයට පත් රනිල්ගේ ආණ්ඩුව තුළ ඇමැති මංගල සමරවීර සිදු කළ එකම ව්‍යාපෘතිය වූයේ මහින්ද රාජපක්ෂ විසින් අහෝසි කරන ලද තෙල් මිල සූත‍්‍රය යළි බලාත්මක කරමින් තෙල් මිල මාසෙන් මාසෙට ඉහළ දැමීමය. අද වනවිට පෙර තිබූ මිලට තෙල් මිල සමාන කරන්නට මංගල සමරවීර පියවර ගත්තේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ගෙන එන සියලූ යෝජනා කඩාකප්පල් කරමින් තමනුත් නොකරන තව කෙනෙකුටත් කරන්නට නොදෙන තැනට මේ ආණ්ඩුව පත්ව ඇත. මෙතරම් අසාර්ථක, අරාජික ආණ්ඩුවක් අපි ජීවිතේට දැක්කේ නෑ කියා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කවුරුත් කියති. එක්සත් ජාතික පක්ෂ ආණුඩුව ගත් කල ජනතාවට දැනෙන යම් සේවාවක් සිදු කරන්නේ නම් එය සිදුවන්නේ සජිත් පේ‍්‍රමදාස ඇමැතිත්වය දරන නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් පමණි. ඒ හැර සියලූ අමාත්‍යාංශ අභාවප‍්‍රාප්ත වූවා හා සමානය.

ආණ්ඩුව තුළ ඇත්තේ එකාට එකා නැති තත්ත්වයකි. ඒ තුළ එක් පාලනයක් නොව අප පාලනයන් කිහිපයක් දකින්නෙමු. කවුරුත් හිතන්න පුළුවන් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාලනය කරන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා. එහෙත් ප‍්‍රායෝගිකව එවැන්නක් පෙනෙන්නට නැත. අද රනිල් වික‍්‍රමසිංහට පාලනය කරන්නට ආණ්ඩුවක් නැත. ඔහුට ඇත්තේ එක අරමුණක් පමණි. එනම් මීළඟ ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වීම පමණි. අද ඔහු ඒ වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කරන බවක් පෙනෙයි. ඒ සටනින් අබ මල් රේණුවක තරම් හෝ දෙයක් ජනතාව වෙනුවෙන් කරන බවක් නම් පෙනෙන්නට නැත.

එපමණක් නොව රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට ප‍්‍රධාන වශයෙන් තවදුරටත් අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරය සතුටු කර එමඟින් වැජඹෙන්නටය. ජාත්‍යන්තරයේ ඉල්ලීම් සියල්ල ඔහු ඉටුකර දෙනුයේ ජාත්‍යන්තර ඡුන්දවලින් තමා අගමැති වූවා සේ සිතාගෙනය. පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූයේය. ඔහුගේ පරිවාර ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කැරුණේ ඇමැති සජිත් පේ‍්‍රමදාසය. නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ සජිත් පේ‍්‍රමදාසට ඒ රාජකාරිය ඉටුකරන්නට ඉඩ දුන්නේ නැත. රනිල් වික‍්‍රමසිංහ බලහත්කාරයෙන් ඒ මැද්දට පැන සජිත්ට යන්නට නොදී නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර ඇමැති බවට පත්විය. එය කවුරුත් දැක්කේ ලැජ්ජා සහගත ක‍්‍රියාවක් විදිහටය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව හා එහි ගමන්මඟ හාත්පසින්ම වෙනස්ය. සාමාන්‍යයෙන් එහි ක‍්‍රියාකාරීත්වය දෙස අවධානය යොමුකිරීමේ දී පෙනීයන්නේ ජනාධිපතිවරයාගේ නියෝග කිසිවක් නොසලකා හරිමින් කටයුතු කරන බවකි. රටේ අයහපතට හේතු වූ ප‍්‍රධාන සාධකයක් ලෙස එයද හැඳින්විය හැකිය. අද ඒ පාර්ලිමේන්තුවත් දේශපාලන ගුහාවක් බවට පත්ව තිබේ. දේශපාලන පක්ෂයක් තුළ, දේශපාලන වේදිකාවල කළ යුතු කතා වාද විවාද අද සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුළය. පාර්ලිමේන්තුව තුළ කළ යුතු නොකළයුතු සියල්ල සිදුවන්නේ ව්‍යවස්ථාවට අනුකූලව ද යන ගැටලූවක්ද මතුවෙයි. 

අද පාර්ලිමේන්තුව තුළ ජනතා අවශ්‍යතා ඉටුවන්නේද? එහෙත් එක දෙයක් පැහැදිලිව විකාශනය වෙයි. එනම් ජනාධිපතිවරයා පිළිබඳ නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරමින් විවේචනය කිරීමය. එහෙත් 2015 ජනවාරි මස 9 වැනිදායින් පසු මේ රටේ ජනතාව වෙනුවෙන් යම් සේවයක් සිදුවූයේ නම් එය සිදුවූයේ කොහෙන්ද? කාගේ මැදිහත්වීමෙන්ද යන්න පිළිබඳව කිසිවෙකුත් කතා නොකිරීම අභාග්‍ය සම්පන්නය.

ආණ්ඩුවේ දුර්වල ගමන් මාර්ගය හඳුනාගෙන ඒවා විවේචනයට ලක්කරමින් ජනතාවට දැඩි ලෙස බලපාන තීන්දු තීරණ හෙළා දකිමින් ආණ්ඩුව නිවැරදි මඟට යොමුකර ජනතාවට උපරිම සේවය සලසාදීම වෙනුවෙන් කැපවිය යුතු විපක්ෂය අද කැප වන්නේ කුමක් සඳහාද? මේ සියල්ලන්ම ඉදිරි ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගැනීමට දක්වන උනන්දුව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් නොදක්වන්නේ ඇයි? මේ අනුව විපක්ෂය ද ජනතාව වෙනුවෙන් දැරිය යුතු වගකීම් පැහැරහැර තිබෙන බව මනාව පැහැදිලි වෙයි.

ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා අගතියට පත්වන ජනතාව වෙනුවෙන් පාලක පක්ෂයට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ එම විශ්වාසභංගය පරාජය කරවීම සඳහා උපරිම වශයෙන් දායක වෙමින් එක්සත් ජාතික පක්ෂයත් ආණ්ඩුවත් බේරාගැනීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ අද විශ්වාසභංගයක් ගෙන ආවේ කුමක් සඳහාද? මේ ගැන අදහස් දක්වන බහුතරය කියා සිටින්නේ ආණ්ඩුව බේරාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙනෙන ලද යෝජනාවක් ලෙසය. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආයුතු වෙලාවේ එම යෝජනාව පරදා එක්සත් ජාතික පක්ෂයට විශේෂ ශක්තියක් ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ කිසිදු මොහොතක ගොඩනගාගත් විශ්වාසය බිඳගැනීමට නොවේ.

ජනතාව අද ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දෙමින් සිටිති. බඩුමිල ඉහවහා ගිහින්, ඉන්ධන මිල මාසෙන් මාසයට ඉහළ යයි, රටේ ආර්ථිකය දවසින් දවස කඩාවැටෙයි, මේ ප‍්‍රශ්න ගැන විමසන්න හෝ සහන ඉල්ලන්න කෙනෙකු නැතිගානට රට පත්ව තිබුණද සියලූ දේශපාලන පක්ෂ කතා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව පමණි. 

අද එක්සත් ජාතික පක්ෂය තුළ ඇත්තේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳ තුන්කොන් සටනකි. පක්ෂයේ බහුතරයක් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතික්ෂේප කරන අතර රනිල්ට පැමිණීමට නොහැකි නම් කරු ජයසූරියව ගෙන ආ යුතු යැයි වෙනම ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ගෙන යන අතර මේ දෙදෙනාම පසෙකලා සජිත් පේ‍්‍රමදාස ජනාධිපති ධුර අපේක්ෂක ලෙස පත්කරන්නට බහුතරයක් ඉදිරිපත්ව සිටිති. මේ නිසා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරය අළු යට ගිනි මෙන් පවතී. එම ගින්න පැතිරෙන මොහොත වැඩි ඈතක නොවේ.

මේ ආකාරයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට සැලසුම් කළත් එය අසාර්ථක වෑයමක් බව මේ වන විටත් අනාවරණය වෙමින් පවතී. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගත දේශපාලන අපේක්ෂාවන්ට එය අනුගත නොවන අතර ගෝඨාගේ ආගමනයට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් එල්ලවෙමින් පවතී. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් හුදෙක්ම සිංහල බෞද්ධ ඡුන්ද පමණක්ම පදනම් කරගෙන ඉදිරිපත් කරනු ඇත.

එසේ වුවද මේ වන විට රට තුළ සිංහල බෞද්ධ පදනමක් පිළිබඳ කතාබහ වැඩිවන්නට පටන් ගැනීමත් සමඟ ප‍්‍රසිද්ධ බෞද්ධ හිමිනමක් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ ඉඩකඩ වැඩිවී ඇත. එය සෘජුවම බලපාන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එවැනි අර්බුදයක් නැත. එහි අපේක්ෂකත්ව පිළිබඳ අර්බුදයක් නැත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන ජන හමුවක් පවත්වමින් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පළ කළේ මෙවන් අදහසකි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් මීළඟ ජනාධිපති අපේක්ෂක ධුරය මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ලබාදිය යුතු බවය. ඉන්පසුව මහමැතිවරණයෙන් බලය ලබාගෙන අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දිය හැකි බවත් එසේ නොමැතිව ජනාධිපති ධුරය, අගමැති ධුරය හා ඇමැති ධුරද සියල්ල එක් පක්ෂයකට ලබා දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය. කවුරු කුමක් කීවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන් වෙන්ව කිසිදු ගමනක් යා නොහැකි අතර ජයක් ලබන්නට නම් පක්ෂ දෙක එක්ව යායුතුය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මීළඟ ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවය. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන බවත් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ ආදී වශයෙන් රාජපක්ෂවරුන් අට දෙනකු තිස් දෙනකුගෙන් යුතු විය යුතු කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කමිටුවක් පත්කර විමර්ශන සිදුකරමින් සිටිය දී රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර විමර්ශන ආරම්භ කළේය. එය ජනමාධ්‍යට විවර කළේය. එහෙත් මේ රටේ සිදුවූ මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන කිසිම තේරීම් කමිටුවක් පත්කළේ නැත. එහි ප‍්‍රධාන වගඋත්තරකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රටින් පිටවී සිංගප්පූරුවේ සැඟවී සිටින්නේය. ඔහු රටින් පිටවුණේ අගමැතිවරයා ප‍්‍රමුඛ කිහිප දෙනකුගේ එකඟතාව මත නොවේද? එසේ නම් මේ සියලූ දේ වෙනුවෙන් තේරීම් කාරක සභා අවශ්‍ය නොවන්නේ කාගේ වුවමනාවක් මතද? කෙසේ වෙතත් මේ රටේ කුඩු, මත්ද්‍රව්‍ය ව්‍යාපාර බැඳුම්කර කොල්ලය ඇතුළු සිද්ධීන් සියල්ල අමතක කරවා ඇත්තේ පාස්කු ප‍්‍රහාරය මුලට දමාගෙනය. 

මේ සියල්ල අපට බාහිරව අසන්නට ලැබෙන ඒවාය. මේ ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත‍්‍රීවරියන් සමඟ කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති හමුවක දී විශේෂ ප‍්‍රකාශයක් කළේය. ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවට පත්නොවන ගෞරවනීය තීන්දුවකට එළඹෙන බවත් ඒ වගේම ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලූ දෙනාට සතුටු විය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවත් සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයට කුලල් කාගන්නා දේශපාලන පක්ෂ හා දේශපාලඥයන් තවත් කුතුහලයට ලක්කරමිනි.

5 Responses to “ජනපති අපේක්ෂක සටනේ අවසානය ගෝඨා ද මෛත‍්‍රී ද?”

  1. Dilrook Says:

    Both might contest. And the JVP too in some shape or form.

  2. Randeniyage Says:

    Both are the same. Therefore it is enough one to contest.

  3. Christie Says:

    Who will be backed by the Indian Empire?

  4. Christie Says:

    Premadasa was to chaperone Modi, I am sure decide with the approval of Indian interests. This is usually the case when foreign dignitaries arrive let alone the Emperor of the Colony.

    Is India going to back Premadasa as President?

  5. Randeniyage Says:

    Who will vote Sirisena ? Blind , Deaf and Dumb.
    Only Rakapaksas can give life to deaf and dumb even to dead.
    Therefore Sirisena=Rajapaksas. Sirisena will probably be given PM position ( similar to other PMs under Rajapaksas). No harm done ! ( except for the country – who cares ?)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress