අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.
Posted on June 24th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
■ පාර්ලිමේන්තු පවිත්‍රා වන්නිආරච්චි මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා
අද සිට ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් දින 148.අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සමුළුව පැවැත්වෙනවා. සියලු ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන අපේ ජනාධිපතිවරණ  අපේක්ෂකයා එදින රටට දැනුම් දෙනවා. මහා සමුළුවෙන් පසුව එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා සිට දින සියයකින්  ආණ්ඩුව අවසන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙනවා. මේ ආණ්ඩුව ජනවාරි 9 වැනිදා බලයට ආවේ දින 100න් අලූත් රටක් තේමාවෙන්. අපිත් අගෝස්තු මස 12 වැනිදා සිට දින 100න් අලුත් රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අරඹනවා. අගෝස්තු 12 වෙනිදා ට  දින 100න් අලූත් රටක් කියලා කියලා මාධ්‍ය ඔස්සේ වැර්තා කරන්න පුළුවන්.
ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමට අලුතෙන් කෙනෙක් එකතු වුණා.ඒ ඌරුවරිගේ රාජිත සේනාරත්න. අපේ වන්නියලැත්තන්ගේ ඌරුවරිගේ ගැන නෙවෙයි මේ කියන්නේ. ජනාධිපති අපේක්ෂක නාමාවලියට නම් ඇතුළත් කර ගැනීමේ දේශපාලන රෝගයකින් සියලුම දෙනා පෙළෙනවා. දේශපාලකයින්ගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරිම වැනි දේ සමරමින් මීට කාලෙකට ඉහත සැමරුම් උත්සවය පැවතුණා. ඒ කාලේ දවස පත්තරයේ කර්තෘ ගුණදාස ලියනගේ මහතා මේ උපහාර උළෙල නවත්තන්න වැඩක් කලා. හොරණ නගරයේ මුට්ට කරගහන ජොනීගේ මුට්ට කර ගැසීමට වසර විසිපහක් පිරීම සමරමින් එතුමා උත්සවයක් සංවිධානය කරා. එතනින් පස්සේ දේශපාලඥයින්ගේ උපහාර උළෙලවල් නැවතුණා.

අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුත්තේ කවුද. ඔහු නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණ නොනමන නායකයෙක් විය යුතුයි. අන්තවාදයට ත්‍රස්තවාදයට  කොන්දේසියකින් තොරව කටයුතු කළ හැකි නායකයෙක් විය යුතුය. කාන්තාවට දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. විසිඑක්වැනි සියවසට ගැලපෙන නූතන දැක්මක් සහිත සිංහල දමිළ මුස්ලිම් බොදු කිතුනු හින්දු සියලු ජනවර්ගවලට මගෙ රට කිරි හැකි රටක් නිර්මාණය කරන නායකයෙක් විය යුතුයි.

එහෙම නැතුව ඇස් ගිලීම, මූනේ මහන්සි පාට, නින්ද නොයාම රාජ්‍ය නායකයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ වගේ අය ගැන පිටකොටුවේ නාට්ටාමි සංගමයට දැනු දෙන්න.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට මුවා වෙලා ,ඒ සිද්ධිය නිසා ඇතිවුණු යන කැළඹිල්ල ප්‍රයෝජනයට ගනිමින්  මුවාවෙලා බරපතල තීන්දු තීරණ ගත්තා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණුවා. සමෘද්ධි ව්‍යාපාරය මුළුමනින්ම දේශපාලනීකරණය කළා. පැලවත්ත සෙවණගල ආදී කර්මාන්ත

දේශපාලකයන්ගේ සාක්කුවට දෙන  විදිහට පනත් සම්මත කළා. රාජ්‍ය  ඔත්තු  සේවා හෙළිදරව් කළා. දැන් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළ සකසමින් සිටිනවා. ඒත් සමගම මාධ්‍යයත් මේ ලැයිස්තුවට එකතු වෙලා. මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන දඩයම් කිරීමේ පනතක් ගේන්න සූදානම් වෙනවා. යුධ වාතාවරණය යටතේවත් අපේ රටේ එවැනි පනත් ගෙනවේ නැහැ. මේ පනත යටතේ මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන ලක්ෂ පහකට නොඅඩු දඩයකට යටත් කරන්න හැකියාව ලැබෙන අතරම වසර දහයකට නොඅඩු සිරදඬුවමක් දෙන්නත් පුළුවන් .

මීට පෙර මාධ්‍යයට තර්ජන ආවම රාජ්‍ය නායකයා කවුරුවුනත් මාධ්‍ය සංවිධාන නැගිට්ටා. නමුත් මේ මොහොතේ සාහසික බරපතළ පනතක් කරළියට ඇවිත් තිබුණත් මාධ්‍ය සංවිධාන ඇතුලේ පේන්න තියෙන්නේ සුසානයක නියඬතාවයයි. පාස්කු ප්‍රහාරයෙන් පසු දින සිට මේ මාධ්‍ය දඩයම ගේන්න ආණ්ඩුව උත්සාහ කළා. ඒ ප්‍රතිත්‍රස්ත පනත හරහා. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඒ පනතට විරුද්ධ වුණා. ඒ පනත ගේන්න බැරි උන නිසා තමයි මේ පනත ගේන්න හදන්නේ. ඔබේ දොරට දඩයම්කරු ඇවිත් තට්ටු කරන විට ප්‍රමාද වැඩියි කියලා හිතෙන්න කලින් මාධ්‍ය මේ සම්බන්ධයෙන් පෙරට ආ යුතුයි .

මේ ආණ්ඩුවේ දුර්වල කම ගැන කාරණා එළියට එනවා. මහින්ද රාජපක්ෂ සමයේ නූතනත්වය ගැන කතා කරමින් ලංකාව පුරා නූතන අධිවේගී මාර්ග පද්ධතියක් සැකසීම ගැන අහන්න ලැබුණා. දැන් අහන්නට වෙන්නේ පැලෝපීය නාල ගැන. අපි අවුරුදු හතර හමාරකට පස්සේ ගෝත්‍රික තත්ත්වයට ඇවිත්. ජනාධිපතිවරයා කියනවා මේ හැමදේටම දහනම වැනි ව්‍යවස්ථා සංශෝධන වගකියන්න ඕන කියලා .ඊට කලින් දින සියය ගැන මුකුත් දන්නේ නැහැ කියලා කිව්වා.  අප රටේ ජනතාවට කැබිනට් මණ්ඩලය ගැන විශ්වාසයක් නැහැ. රටේ දේශපාලන අස්ථාවර භාවයක් තියෙන්නෙ. දේශපාලන අස්ථාවරභාවයට හේතුව රටේ පවතින මැතිවරණ ක්‍රමයයි. සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නේ 1988 මහ මැතිවරණයේදී. එතැන් සිට මහ මැතිවරණ හතක් පැවැත්වූවා.1988 මහ මැතිවරණය සහ 2010 මහ මැතිවරණයෙන් හැරෙන්න අනිත් මහ මහමැතිවරණ පහෙදිම පත්වුණේ සුළුතරයේ ආණ්ඩු.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ගැන විශාල බලාපොරොත්තුවක් තිබියදීත් තිබුනේ තිබියදීත් මන්ත්‍රීධූර 105ක්. ඊළඟ මැතිවරණයේදී බෝම්බ වැදිලා අනුකම්පාව යටතෙත් දිනා ගන්න හැකි වුණේ මන්ත්‍රිධුර 107යි. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එකසිය නමයක් පත්වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතිනත අරන් පවත්වපු මැතිවරණයෙන් පත් ඳාවුණේ 105යි.  2015 අගෝස්තු මාසේ එක්සත් ජාතික පෙරමුණ විදිහට පුළුල් පෙරමුණකින් ඇවිල්ල ගන්න ලැබුණේ 106යි. 1988 දී සහ 2010 විතරයි බහුතරයක් ලබා ගත්තේ. 1987 මහ මැතිවරණය පැවැත්වුණේ මහා භීෂණයක් මැද. හමුදා ආරක්ෂාව මැද එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් ඡන්දෙ ප්‍රකාශ කළා. සමස්ථ ඡන්දදායකයින්ගෙන් සියයට 46 ක් පමණයි ඡන්දය දුන්නේ. එදා බහුතරයක් ලැබීම අහඹු සිදුවීමක්. 2010 වර්ෂයේ දී බහුතරයක් සහිත ආණ්ඩුවක් පත් වුණේ යුද ජයග්‍රහණය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට තිබුණු ජනතා කැමැත්ත නිසයි. මේ විදියට සුළුතර ආණ්ඩු පත්වීම නිසා පාර්ලිමේන්තුව ඇතුළත් පාර්ලිමේන්තුව පිටතත් නාස්තිකවාදීන් පිනවන්න සිද්ධ වෙනවා.

පළාත් සභා පනත වෙනස් කරන වෙලාවේ ආණ්ඩුවට  තුනෙන් දෙකේ බලය අවශ්‍ය වුණා. එදා රවුෆ් හකීම් රිෂාඞ් බදුරුදීන් ඡන්දෙ දෙන්න කැමති උනේ නැහැ. මේ අය එක්ක සාකච්ඡා කරන්න ඕන නිසා කිසිදු දැනුම් දීමකින් තොරව  පාර්ලිමේන්තුව රෑ නවය වෙනකල් පැවැත්තුවා. අවසානයේ 50 ට 50 දෙන්න එකඟ වෙලා මේ අයගේ ඡන්දය ගත්තා .

දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් රටට උචිත මැතිවරණයක් සකස් කළා. අපිට ස්ථාවර ආණ්ඩුවක් පත්කළ හැකි ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි.
අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා.ඒ ගැන මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ද වෙනත් පක්ෂයක ආණ්ඩුවක් ද අදාළ නැහැ. අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් සකස් කිරීමේ මැතිවරණ ක්‍රමයක්. රටට සුදුසු මැතිවරණ ක්‍රමයක් සැකසීම ඊලග ජනාධිපතිවරයා ගේ පළමු වගකීම් කිහිපය අතර තිබෙනවා.

තිරසාර සංවර්ධනයක් කතා කරන මේ ආණ්ඩුවට මේ වසර හතරහමාර පුරාම තිරසාර තීන්දු ගන්න බැරි වුනා.

පාර්ලිමේන්තු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
මෛත්‍රීපාල ජනාධිපතිවරයා තිරසාර සංවර්ධනයක් පිළිබඳව මේ අවුරුදු හතරහමාර පුරාම කතාබහට ලක් කළා. එතුමා එහෙම කතා කළාට මේ ආණ්ඩුවට මේ අවුරුදු හතර හමාර පුරාම තිරසාර තීන්දු ගන්න බැරිවෙලා තියෙනවා. එක වෙලාවකට කියනවා වැලි ගොඩදාන එක නවත්තන්න ඕන කියලා, තව වෙලාවකට කියනවා ගස් කපන එක නවත්තන්න ඕනේ කියලා. තවත් වෙලාවකට කියනවා වඩු මඩුහදන එක නවත්තන්න ඕන කියලා. දැන් එතුමා කියනවා මේ අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ අතර තියෙන ප්‍රශ්නය ඇතිවුණේ ඇතිවුනේ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හින්ද කියල. දැන් මේ රටම අවුල් වෙලා තියෙන්නේ දහනවවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා කියලා එතුමා කිව්වා. මේ දහනවවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෙෘ්ධනය කර ගහගෙන ඇවිත්  එතුමා ජනාධිපති වෙච්චි වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය බලහත්කාරයෙන් අල්ලාගෙන, පක්ෂ සභාපති වෙලා, පක්ෂය තුළ තියෙන බලය පාවිච්චි කර විශාල පෙරලිය කට ලක් කලා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කර ගහගෙන ඇවිල්ලා ඒකට ඡන්දෙ දෙන්න කියලා මේ මන්ත්‍රීවරුන්ට බරපතළ විදියේ බලපෑමක් කලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවුන බව දැනගත්තේ පත්තරෙන් හරි ෆෙස්බුක් එකෙන් හරි කියලා එතුමා කිව්වේ නැති එක පිළිබඳව මට පුදුමයි. දැන් එතුමා කියනවා අගමැතිතුමාගේත්, ජනාධිපතිතුමාගේත් අවුලට හේතුව සහ රටේ තියෙන සියලුම ප්‍රශ්නවලට හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියලා. එතකොට මේ තිරසාර රාජ්‍යයක් ගැන කියලා මෛත්‍රිපාල ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අත්හදා බැලීමක්ද අවුරුදු හතර හමාරක් පුරා සිදු කළේ . ඔවුන් දැන් පාස්කු ප්‍රහාරයෙ වරද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පිට පටවනවා. ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයා පත් කලේ අපි නෙවෙයි. ජනාධිපතිවරයා යම්කිසි තනතුරක් දරන්න බැරි අය රටේ ආරක්ෂක ලේකම් ධුරයට පත් කරානම් ඒ පත් කරපු ජනාධිපතිවරයා, පත්කරපු අගමැතිවරයා මේකෙ වගකීම භාරගන්න ඕනේ. එහෙම නැතුව පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට පවරලා, පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට පවරලා අත හෝදගන්න බැහැ. ඇයි පූජිත ජයසුන්දර පත්කලේ අපි නෙවෙයි. පත්කිරීම් කරන වෙලාවේ ව්‍යවස්ථාදායක සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ එකදු මන්ත්‍රීවරයෙක් වත් හිටියේ නැහැ.

පූජිත් ජයසුන්දර මහත්තයා එතුමාගේ ධූරය දරන කාලේ තමන්ගෙ තනතුරට ගැලපෙන්නෑ කියන එක කීපසැරයක් මාධ්‍ය මගින් ඔප්පු කළා. මාධ්‍යවල ඒවා පෙන්නුවා. ඒ වෙලාවේ එතුමා අයින් කරන්න වැඩ කලාද. එතුමාගේ නම නිර්දේශ කරල ආපුවාම අගමැතිතුමා ජනාධිපතිතුමා නියෝජනය කරන ව්‍යවස්ථාදායක සභාව එතුමාව පත්කළා. දැන් රටට කියනවා ඒකෙ වගකීම අපට බාර ගන්න බැහැ කියලා. එතකොට ඒකෙ වගකීම භාර ගන්න ඕනේ අපි ද? රටේ මිනිස්සුද?. ඒ අය වගකීම් විරහිත නම් ඒ අය පත් කරපු අයයි වගකීම භාර ගන්න ඕනේ. අද මුළු රටම පිළිගන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට ගත්ත තීන්දුව ඉතාම නිවැරදි තීන්දුවක් බව. ඒකෙ සීයට එකකවත් අවදානමක් තිබුණේ නැහැ. හැබැයි මේ හැම එකටම අත්හදා බැලීම් කරන ජනාධිපති සහ අගමැති දැන් කියනවා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි නැති ප්‍රශ්නය ඇති උනේ කියලා.

අවුරුදු හතර හමාරකට පස්සේ ද ජනාධිපතිතුමාට මතක් උනේ වුණේ එතුමා කරගහගෙන ආපු දහනමවැනි සංශෝධනය රටට ගැලපෙන්නේ නැහැ කියන දේ. මේ රටේ මිලියන විසිදෙකක් ජනතාවගේ ආරක්ෂාව එක්ක එතුමන්ලා සෙල්ලම් කරනවා. මේ රටේ අහිංසක ජනතාවගේ ආර්ථිකයත් එක්ක එතුමන්ලා සෙල්ලම් කරනවා. ඒ නිසා රට ගැන අත්හදා බැලීම් කරන්න, රටේ ආරක්ෂාව ගැන අත්හදා බැලීම් කරන්න, රටේ ආර්ථිකය ගැන අත්හදා බැලීම් කරන්න, ජනාධිපතිවරු අගමැතිවරු පත් උනහම ඒ අය රටත් කාලා අපිවත් කාලා පක්ෂත් කාලා රටේ අනාගතයක් කාල ඔවුනුත් විනාශ වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙවැනි තීන්දු ගන්න බැරි අත්හදා බැලීම් කරන රාජ්‍ය පාලකයින් පත්නොකර මව්බිමේ ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට නායකත්වයක් දෙන්න පුළුවන්, වගකීමක් ගන්න පුළුවන් පුද්ගලයෙක්  මේ රටේ නායකත්වයට ගේන්න අපත් එක්ක එකතු වෙන්න කියලා. රූකඩ පාලකයන් දේශපාලනයෙන් අතුගා දාන්න අපිත් එක්ක එකතු වෙන්නයි කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.        

 20 ගැන මහා හීනෙකින් අපි 19 සංශෝධනයට අත එසවූවා.  

ප්‍රශ්නය – ඊයේ ලංකාවේ ජනාධිපති තුමාගේ කතාව ගැන මං විශේෂයෙන් ඔබගෙන් අහන්න කැමති. එදා ජනතා නියෝජිතයින් අනූ පස්දෙනෙක් පෞද්ගලිකව නියාමනය කරමින් ජනාධිපතිවරයා දහනමවැනි සංශෝධනය සිදු කලා. ඔබතුමන්ලා කරුමෙට 19 ට අත එසවූවා. දැන් කියනවා දහනවවැනි සංශෝධනය අහෝසි කරන්න ඕනේ කියලා. දැන් ඔබතුමා මොකද කියන්නේ?

පිළිතුර –  එතුමා කියන්නේ දහනමවැනි සංශෝධනය නිසා තමයි මේ සියලු ව්‍යාකූල තත්වයක් නිර්මාණය වුණේ කියලා. දහනවවැනි සංශෝධනයෙන් රට ව්‍යාකූල වුනු බව ඇත්ත. හැබැයි ඒක නෙමෙයි ප්‍රධාන කරුණ. දහනමවැනි සංශෝධනය ඉවත් කරන්න ඕන. ඒක ගැටළුවක් නැහැ. හැබැයි මේ මොහොතේ මේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි අන්තවාදය හා ත්‍රස්තවාදය. මේ රටේ තියෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ආණ්ඩුවේ විසංවාදය. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකට ඉඳියි කියලා. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් එකට එකතු වුන එක කාරණයක් ඔබට කියන්න පුළුවන්ද? ඔවුන් එකට එකතු වෙලා රටට කියපු එකම කාරණයක් හෝ තිබෙනවා ද? අපි අතින් වැරැද්දක් වුණා. නිහතමානීව අපි ඒවා පිළිගන්නවා. ඒ නිසා සංශෝධන නිවැරදි කරල අළුත්ම ආකාරයට හිතන නූතනත්වයට ඔබින තැනකට අපේ රට යන්න ඕන. මේ රටේ හොඳම ව්‍යවස්ථාව 1972 ජනරජ ව්‍යවස්ථාව. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙනාපු ජනරජ ව්‍යවස්ථාව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා, පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ගේ පියා අත ඔසවමින් සම්මත කරපු ජනරජ ව්‍යවස්ථාව. ඛේදවාචකය තමයි රටේ හොඳම ව්‍යවස්ථාව තිබුණේ අවුරුදු පහයි. 72 ව්‍යවස්ථාව 78 වෙනස් වුණා .හැබැයි හතලිස් අටේ ව්‍යවස්ථාව 72 වෙනකන් ගියා. මේ දෙකම අවුරුදු හතළිහකට වැඩිය ගිහිල්ලා තියෙනවා. හැබැයි රටට දීපු හොඳම ව්‍යවස්තාව තිබුණේ අවුරුදු පහයි. ඇයි ඒකට හොඳම ව්‍යවස්ථාව කියන්නේ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කොල්වින් ආර්. ද සිල්වා බුද්ධිමතුන් එකතු වෙලා ප්‍රායෝගිකව ජාතිකත්වය මත පදනම් වෙලා දේශීය අනන්‍යතාවය මත සෑදුනු අපේම ව්‍යවස්ථාවක්. මේක නිවැරදි කරන්නට ඕනේ හැබැයි ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කියන කාරණය නෙමේ. මේ අවුලට හේතුව. ආන්ඩුවේ විසංවාදය. දහනවවැනි සංශෝධනය ට අත් උස්සන්න අපිට වෙනම පොරොන්දුවක් හම්බුනා. ඒ විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කරනවා කියන පොරොන්දුව. විසිවෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ කොන්දේසිය උඩ තමයි අපි 19 වැනි සංශෝධනයට කැමැත්ත දුන්නේ. විසිවෙනි සංශෝධනයෙන් තමයි මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්නේ. (ජනතා විමුක්ති පෙරමුණ  ගෙන ආ විසිවෙනි සංශෝධනය නොවෙයි) මේක තමයි ඛේදවාචකය. එහෙම තමයි අපිව රැවැට්ටුවේ.  20 ගැන මහා හීනෙකින් අපි 19 සංශෝධනයට අත එසවූවා.            

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress