අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය බලතල හා මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නවා…………..
Posted on June 26th, 2019

පොදුජන මාධ්‍ය මධ්‍යස්ථානය

දිවයිනේ පාසල් රැසක වැසිකිලි කැසිකිළි පහසුකම් හෝ සපුරාලීමට ආණ්ඩුව අසමත්ව තිබියදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රතිරූපය නංවාලීම සඳහා පාසල් පෙළ පොත් වලට ඔහුගේ ඡායාරූපය ඇතුලත්  කිරීමට  රුපියල් කෝටි දහසයක මුදලක් වැය කිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද පෙරවරුවේ කොළඹ නෙළුම්  මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ ද අවධානය යොමුකොට ඇතැයිද, ටකරන් මඩු වෙනුවට පහසුකම් සහිත ගොඩනැගිලි ලබාදෙන ලෙසත්, වැසිකිලි කැසිකිලි පහසුකම් සපුරා දෙන ලෙසත් දිවයිනේ පාසල් රැසකින් අධ්‍යාපන අමාත්‍යංශයට ඉල්ලීම් ලැබී තිබියදී ඒ පිළිබඳව අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එවැනි තත්වයක් යටතේ එම ඉල්ලිම් ලබාදීම වෙනුවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රතිරූපය නංවාලීමට රුපියල් කෝටි 16ක මුදලක් වැය කිරීම බරපතල අක්‍රමිකතාවක් බවත් පෙන්වාදුන්, මෙම මාධ්‍ය හමුවට එක්වු සී බී රත්නායක මන්ත්‍රීවරයා   ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී පාර්ලිමේන්තුවේ දී  ප්‍රශ්න කිරීමට තමන් අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.    
අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ ඡායාරූපය සහ විස්තරය පෙළ පොත්වලට ඇතුළත් කළ බව හිටපු අධ්‍යාපන කොමසාරිස් ඒ. බි ඉලංගසිංහ මහතා පසුගිය සතියේ බරපතල වංචා දූෂණ සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කලේය.

නලින් කුමාර නිශ්ශංක
සම්බන්ධීකරණ ප්‍රධානී,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress