ජනපති සමග සිටගැනීමේ වාසි – අවාසි
Posted on June 28th, 2019

උපුටාගැණීම ලංකාදීප

මහින්ද රාජපක්ෂ විපක්ෂයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා දේශපාලන පක්ෂ නායකයන් කණ්ඩායමක් හමුවූ අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අනුගමනය කරමින් සිටින විරෝධී ආකල්පය එහිදී සාකච්ඡාවට බදුන් විය. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වන සී.බී.රත්නායක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් මෙහි දී දැඩි විවේචනාත්මකව අදහස් දැක්වූහ. බහුතරයක්ගේ අදහස් ද එවැනි විය. 

දයාසිරි නැවතත් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට ඉඩ ඇතැයි ඇතැමෙක් කීහ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් අවසානයේ තීරණය කළේ එළැඹෙන ජනපතිවරණයේ ජයග‍්‍රහණය තහවුරු කරගැනීම සදහා සහාය ලබාගත යුත්තේ කවුරුන්ගෙන් ද යන්න තීරණය කිරීමේ බලය මහින්ද රාජපක්ෂට මහතාටම පැවරීමටය. ඒ අනුව සුදුසු තීරණ ගැනීමේ බලය දැන් හිමිව තිබෙන්නේ ඔහුටය. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් පිහිටුවා ගැනීම යථාර්ථයක් බවට පත්වුවහොත්, ඒ හරහා ප‍්‍රබල සාමාජිකයෙක් ලෙස ජනපති සිරිසේනව දිනාගත හැකිවීම අරබයා යහපත් මෙන්ම අයහපත් ප‍්‍රවණතාවයන් දෙවර්ගයම පවතී. 

යහපත් වන්නේ, එවැනි අවස්ථාවක, සුදුසු යැයි තීරණය කරගැනෙන කුමන හෝ ව්‍යුහයක් යටතේ තවදුරටත් දේශපාලන ක්ෂේත‍්‍රයේ කටයුතු කිරීමට සහ විපක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය ඉලක්ක කරගත් සැළකිය යුතු වැඩකොටසක් ඉටුකරදීමට ජනපති සිරිසේන මහතාට අවස්ථාව හිමිවීමය. ඒ හරහා නිතැතින්ම ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව ද සහතික වේ. 

අයහපත් ප‍්‍රවණතාවය වන්නේ, ජනපතිවරයා අනුගමනය කරන එවැනි පියවරක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එල්ල කෙරෙන ප‍්‍රබල මරු පහරක් වීමය. ඔහු හැරෙන්නට ජනපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළ හැකි තවත් අයෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොමැති වීම තවත් එකකි. දියාරුවී ගොස් තිබෙන පක්ෂයේ තවදුරත් රැදී සිටින සාමාජිකයන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී පක්ෂ සාමාජිකත්වය ලබාගත හැකිදැයි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග දැනටමත් තිරය පසුපස සාකච්ඡා පවත්වමින් සිටී. 

පළමුවෙන්ම මෙම පක්ෂවල දොරට තට්ටු කළෝ දැනට ධූර කාලය අවසන්ව තිබෙන පළාත් සභාවලට පත්ව සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ සහ දැනට කි‍්‍රයාත්මක පළාත් සභාවලට පත්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝය. එවැනි වාතාවරණයක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය නැවත වරක් සකී‍්‍රය දේශපාලනයට කැදවනු ඇතිදැයි පැනයන් නැගෙමින් පවතී. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරියක ලෙස අද වන විට කටයුතු කරමින් සිටින ඇය, පක්ෂය මිය යන්නට නොදී ආරක්ෂා කරගත යුතුව ඇතැයි සිය පෞද්ගලික හිතවතුන් හමුවේ පවසා තිබෙන බව දැනගන්නට ඇත. නමුත් දැනට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කී දෙනෙක් නම් ඇය පසුපස සිටිනු ඇති ද?, සිය ධූරයන් සමඟ අහිමිවන වරදාන සහ වරප‍්‍රසාදයන් ඔවුන්ව අධෛර්යමත් කරනු නොමැති ද?

ජනපති සිරිසේන මහතාගේ අපේක්ෂා ලැයිස්තුවේ වූ, යතාර්ථයක් බවට පත්කරගත නුහුණු පළමු කාරණා 4 සමානව, පස්වැනි කාරණාව ද අසාර්ථක වීමට ඉඩ ඇත. නමුත් එයට යම් ජීවයක් සපයා තිබෙන්නේ පොදු සන්ධානයක් ඇතිකරගැනීම අරබයා දිගින් දිගටම සාකච්ඡා  පැවැත්වීමට දෙපාර්ශවයටම තිබෙන වුවමනාවයි. කෙසේනමුත් මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන්නේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කෙරේ දනවාගෙන සිටින ඉතාම දැඩි සැක සංකා මධ්‍යයේ බව කිව යුතුය. 

මෙම තත්ත්වයට ඌණ පූර්ණයක් සපයා තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ප‍්‍රසිද්ධියේ දක්වන අදහස් වේ. ගෝඨාභය රාජපක්ෂ ජනපති වුවහොත්, කැබිනට් මණ්ඩලය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවට ඔහු පසුගිය අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවක දී කළ ප‍්‍රකාශය එවැන්නකි. 

සන්ධානයේ ජනපති අපේක්ෂකයා ලෙස ජනපති සිරිසේන මහතාව පිළිගන්නා ලෙසට කරන ඉල්ලීමක් ලෙස අගවමින් දෝ හෝ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තනිවම තරග වැදීම පිළිබදව මේ දක්වාම අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ දිනාගත් ලක්ෂ 50ක ඡන්ද, එක්සත් ජාතික පක්ෂය දිනාගත් ලක්ෂ 65ක ඡන්ද, සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගත් ලක්ෂ 14ක පමණ ඡන්ද, ගෙනහැර දැක්වූ ජයසේකර මහතා එම සංඛ්‍යා මත පිහිටා තර්කානුකූල අදහස් දැක්වීමක යෙදුනේ ය.

”ජයග‍්‍රහණය කරන්නට නම් ජනපති අපේක්ෂකයාට ඡුන්ද ලක්ෂ 60ත්- 65ත් අතර ප‍්‍රමාණයක් ලැබෙන්නට  ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ දෙපාර්ශවය එක්විය යුතු බව. ඔහු පෙන්වා දුන්නේ ය.

මේ යටතේ ජනපති සිරිසේන මහතා වෙනුවෙන් ජයසේකර මහතා තර්කානුකූල පදනමක් සකස් කිරීමේ යෙදෙන බවක් පෙනෙන්නට ඇත. ගෝඨාභයට එරෙහිව ගොනු කර තිබෙන චෝදනාවලට අදාළ නඩු කටයුතු කඩිනම් කරන ලෙස ජනපතිවරයා දැනටමත් නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන අතර, එහි පීඩනය යොදවා යෝජිත පොදු සන්ධානයේ අපේක්ෂකයා ලෙස තමාව තෝරා ගැනීම සදහා ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ නම්මා ගැනීම ඔහුගේ අපේක්ෂාවයි. කෙසේවුවත් මෙය එම පක්ෂයේ අතීත කටයුතු කිසිසේත්ම වෙනස් කරන්නක් නොවනු ඇත. 

ගෝඨාභයට නැගී තිබෙන චෝදනා සහ ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන ආකාරය මත පිහිටා ජනපති සිරිසේනට දේශපාලනමය වශයෙන් සුදුසු පදනමක් ගොඩනගාදීම කෙරේ දෙපාර්ශවය ඇතැම් විට එකගවීමට ඉඩ තිබේ.පසුගිය සදුදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ – ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණු සාකච්ඡd, නිදහස් පක්ෂයේ සාමාජික තිලංග සුමතිපාල මහතා, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සාමාජික ඩලස් අලහප්පෙරුම මහතාගෙන් කළ ඉල්ලීමක් ප‍්‍රකාරව කල් දැමිණ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පොදු සන්ධානයක් ඇතිකර ගැනීම අරබයා ඉදිරිපත් කළ ව්‍යවස්ථා කෙටුම්පත ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ මේ වන විට සම්පූර්ණයෙන්ම අධ්‍යනය කර අවසන්ව තිබේ.  ඊළග පියවර වන්නේ කෙටුම්පත අධ්‍යනය කිරීම සදහා පත්කෙරෙන ඒකාබද්ධ කමිටුවකට දෙපාර්ශවයෙන් එක් සාමාජිකයෙක් බැගින් නම් කර ඔවුන් හරහා එක් එක් පාර්ශවයේ යෝජනා ඉදිරිපත් කිරීමයි. 

ව්‍යවස්ථාව අරබයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකගතාවයක් ඇතිකර ගැනීමෙන් පසුව තමන් නියෝජනය කරන අනෙක් දේශපාලන පක්ෂවල සහාය එය කෙරේ දිනාගැනීමට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරනු ඇත. ඒ සම්බන්ධයෙන් දැනටමත් පොදු අවබෝධයක් ගොඩනැගී තිබේ. ක්ෂණිකව වෙනස් වන වර්තමාන දේශපාලන පරිසරයේ, විශේෂයෙන්ම පශ්චාත් පාස්කු ඉරිදා සංහාරය සමයේ, අවිනිශ්චිතතාව යනු ප‍්‍රධාන ලක්ෂණයකි. කෙසේවුවත්, ජනපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට ජනපති සිරිසේන මහතා තීරණය කර තිබෙන බවක් පෙනෙන්නට ඇත. එවැනි තීරණයක් ඔහු ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 24 දෙනෙකුගේ සහ තවත් සුළු පිරිසකගේ සහායෙනි.  පරාජය තමා පිළිගන්නට බලා සිටින බව ඔහු හොදින්ම දනී.

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින අපගේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම හා සමානවම ඔහු තරග රැසක් කී‍්‍රඩා කර ඇතත්, ඒ සෑම අවස්ථාවකදීම ජනපතිවරයා පරාජයේ ඉම දක්වා කොටු කිරීමට සමර්ථකම් දක්වා තිබෙන්නේ විපක්ෂය නොව ඔහුගේම ආණ්ඩු සගයා වන එක්සත් ජාතික පක්ෂයයි. කොතරම් පන්දු යැව්ව ද, සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයම දවා ගැනීමට ඔහුට මේ දක්වාම හැකියාවක් ලැබී නොමැත. කෙසේවුවත්, නොයෙක් බාධා මැද කඩුල්ලේ රැදී සිටියේ ඔහුම බැවින් තරගයේ වීරයා ලෙස තමන්ව හදුන්වාගැනීමට ද ජනපතිවරයාට සාධාරණ හැකියාවක් තිබේ.

අනෙක් පසින්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පිටියට පිවිස සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, දේශපාලන පිටියේ දක්ෂ පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසට ඔහුට අත්ව තිබෙන කීර්තිය එළෙසම රදවා ගනිමින් ජනපතිවරයා යොමු කරන සෑම අභියෝගයකටම සාර්ථකව මුහුණ දුන්නේය. දැන් ඔහුගේ කණ්ඩායමේ බොහෝ දෙනෙකුට අවශ්‍යව තිබෙන්නේ නායක පුටුව දිනාගැනීමටය. ඒ අරබයා දැනටමත් ප‍්‍රචාරණ ව්‍යාපාර කි‍්‍රයාත්මකය.  ශී‍්‍ර ලංකාවේ මේ දිනවල කි‍්‍රයාත්මක දේශපාලනය ලෝක කුසලාන තරගාවලියේ ස්වභාවය වැනිය. පේ‍්‍රක්ෂකයෝ, හෙවත් ඡන්ද දායකයෝ බලා සිටින්නේ ජයග‍්‍රාහකයා කවුරුන් වනු ඇතිදැයි දැනගැනීමට මැතිවරණයක් පැමිණෙන තෙක්ය. එසේ එන මැතිවරණය, දෙපාර්ශවයේ කිසිවෙකුටත් ලෙහෙසි පහසු අභියෝගයක් නම් නොවනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress