වලල්ලාවිට යෞවනයන් සඳහා රූණකන්ද රක්ෂිත වනාන්තරයේ ගවේශනාත්මක වනජීවී හා පාරිසරික සංරක්ෂණ වැඩමුළුවක්.
Posted on June 30th, 2019

පේශල පසන් කරුණාරත්න

කළුතර දිස්ත්‍රික්කය නිවර්තන සදාහරිත වනාන්තර කීපයකටම හිමිකම් කියන්නා වූ ජෛව හා පරිසර පද්ධති විවිධත්වයෙන් පොහොසත් දිස්ත්‍රිකකයක් වේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට විශාල වශයෙන් මානව ක්‍රියාකාරකම් නිසා තර්ජන එල්ල වෙමින් පවතින අතර කළුතර දිස්ත්‍රික්කයේ වනාන්නර පද්ධතිද විශාල වශයෙන් හායනයට ලක් වෙමින් පවතී. මේ නිසා මෙම සංවේදී පරිසර පද්ධති රැක ගැනීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවී ඇත.මෙම කාර්ය ඉටු කර ගැනීම සඳහා විවිධ වූ ආයතන හා සංවිධාන විශාල කැපකිරීමක් සිදු කරන අතර වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි යෞවන සමාජයන්  මේ සඳහා ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරයි.

එබැවින් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පවතින පරිසර පද්ධති රැක ගැනීම  සඳහා එම පරිසර පද්ධති ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ දායකත්වය ඒ සඳහා ලබා ගැනීමට හා ඒ පිළිබඳව උනන්දුව ඇති කරලීම අදිටන් කර ගනිමින් වනාන්තර පද්ධති වල ජෛව විවිධත්ව වැදගත්කම, ඒවා මුහුණ පා ඇති තර්ජන සහ එහි සංරක්ෂණය පිලිබඳව දැනුවත් කිරීම සඳහා දෙදින ගවේශණාත්මක වනජීවී හා පාරිසරක සංරක්ෂණ වැඩමුළුවක් ජුනි මස 26 සහ 27 දින රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානය හා රූණකන්ද රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි.

කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම රක්ෂිත වනාන්තරය වන රූණකන්ද යෝජිත රක්ෂිත වනාන්තරය දල වශයෙන් හෙක්ටයාර 6500 පමණ වපසරියකින් යුක්ත වේ. තවමත් යෝජිත තත්වයේ පවතින රක්ෂිත වනාන්තරයක් වන මෙම සුවිශේෂි වනාන්තරය ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි දිය ඇලි 6ක්, ශාක විශේෂ 66ක්, ක්ෂිරපායි විශේෂ 24ක්, ලංකාවට ආවේනික පක්ෂි විශේෂ 24ක්, සර්ප විශේෂ 26ක්, කටුසු විශේෂ 6ක්, මත්ස්‍ය විශේෂ 33ක්, සමනල විශේෂ 50කින් සමන්විත ජෛව විවිධත්වයෙන් ඉතාමත් ඉහල ස්ථානයක පවතින මෙම පරිසර පද්ධතිය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වූ වැඩමුළුව සඳහා වලල්ලාවිට යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයේ තරුණ තරුණියන් 50ස්  දෙනෙකු සහභාගී විය. වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා උඩවෙල ජෛව විවිධත්ව මිතුරෝ සංවිධානයේ සහයෝගයද ලැබුණී.

මෙම වැඩසටහන මෙහෙය වූ පරිසරවේදී උදය චානක මහතා විසින් ශ්‍රීලංකාවේ ජෛව විවිධත්වය, එහි ඇති වැදගත් කම, එයට එල්ලවී ඇති තර්ජන, එය රැක ගැනීමට තරුණයන් වශයෙන් දායක විය හැකි ආකාරය පිළිබඳව සහභාගී වූ තරුණ පිරිස දැනුවත් කල අතර  ඔහුගේ  මග පෙන්වීම යටතේ  රූණකන්ද රක්ෂිතය තුල සිදුකල ගවේෂණ වැඩ සටහන මගින් වනාන්තරයක් තුල ක්ෂේත්‍ර අධ්‍යන චාරිකාවක යෙදෙන අන්දම, වන සතුන් සහ ශාක පිළිබඳ විස්තර සටහන් කරගන්නා ආකාරය තරුණයන්ට පැහැදිලි  කරන ලද අතර රූණකන්ද රක්ෂිතයෙන් හමුවන වනජීවීන් පිළිබඳවද තරුණ තරුණියන් දැනුවත් කරන ලදි. මෙහිදී දඹාන ආදීවාසී කෞතුකාගාරයෙහි නිර්මාතෘ නලින් මුණසිංහ මහතා විසින් ශ්‍රීලංකාවේ ආදීවාසීන් පිළිබඳව හා ඔවුන් පරිසරය සමඟ කටයුතු කරන්නා වූ ආකාරය, දැනට ශ්‍රීලංකාවේ ආදීවාසීන්ගේ ව්‍යාප්තිය පිළිබඳව සාරවත් දේශනයක් මගින් දැනුවත් කරන ලදී. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රංග අබේවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති විනාශකාරී කටයුතු සඳහා තරුණ තරුණියන් වංචනිකව යොදා ගන්නා ආකාරය සහ එවැනි දේ වලින් තරුණයන්ට වැලකිය හැකි ආකාරය හා ඒ පිළිබඳව වගකීමෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවද දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ සියළුම වනාන්තර හා ජල මූලාශ්‍ර මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින විනාශ වී යමින් පවතින අතර වසරක් පාසා ඇතිවන දරුණු නි‍යං, ගංවතුර හා නාය‍යෑම් වැනි ස්වභාවික විපත් වලට ඒවා මග පාදයි. මේවා සොබා දහමේ අකාරුණික භාවය නොව මිනිසා විසින්ම ඇති කරගන්නා  ලද උවදුරු බව පැහැදිලි කරුණකි. නොදැනුවත්කම හා තාවකාලික වාසි තකා සිදුකරන මෙවන් විනාශකාරී ක්‍රියා දිගින් දිගටම සිදුවීම වැලැක්වීමට පරිසරය පිළිබඳව දරුවන්ට ඉගැන්වීමත්, ජල පෝෂක වනාන්තර හා ජල මූලාශ්‍ර රැක ගැනීමට මතු පරම්පරාව යොමු කිරීමත් අප සියලු දෙනාගේ යුතුකමය. මෙම පුහුණු කඳවුර සාර්ථකව අවසන් කල තරුණ තරුණියන් වෙනුවෙන්  සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා, අතිරේක ප්‍රාදේශීය ලේකම් එරංගි ප්‍රනාන්දු, තරුණ සේවා නිලධාරී අරුණ ජයතිලක, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී රංග අබේවීර යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

ස්තූතියි.

පේශල පසන් කරුණාරත්න

සභාපති

සමනල යෞවන සමාජය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress