මිහිඳු හිමියන්ගෙන් පැවත එන සහ 1815 උඩරට ගිවිසුමෙන්ද පිළිගත් “සිංහල බෞද්ධ රාජ්‍යය” 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි ස්ථාපිත වූ බව (මිෂනාරී) උගතුන්ට සන්නිවේදනය නොවීම
Posted on July 3rd, 2019

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීති ලියවිල්ලයි. 1815ට පෙර මේ රට පාලනය වූයේ සිරිත් මත පදනම් වූ අලිඛිත නීති ක්‍රමයකින් ය. වර්තමානයේ පවා එංගලන්තය පාලනය වන මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින්නේ ලිඛිතව නොවේ.

දේවනාම්පියතිස්ස රජු සමයේ මිහිඳු මාහිමියෝ ඇතුළු පිරිස ලංකාද්වීපයට බුදුදහම හඳුන්වා දුන්හ. එසේ හඳුන්වාදුන් බුදුදහම රාජ්‍ය අනුග්‍රහය මත රාජ්‍ය ආගම බවට පත් විය. එකම රජවරයෙක්ගේ පාලන තන්ත්‍රයක් යටතේ බුදුදහම හඳුන්වා දීමත් සමග බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් වීම දේශීය සංස්කෘතියේ නව යුගයක් උදාකිරීමට සමත් විය. රජතුමා හා ප්‍රභූ පිරිස බෞද්ධ ශ්‍රාවකයන් වීම හේතුකොට ගෙන මහජනතාවද ඒ මග අනුගමනය කිරීමට කටයුතු කළහ. බුදුදහම රාජ්‍ය ආගම බවට පත් වූ හෙයින්, බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු විය. ඒ සමගම අරිට්‌ඨ ඇමැති සිය දෙටු කණිටු සොයුරන් පනස්‌ පස්‌ දෙනකු සමග මිහිඳු හිමියන් වෙත පැවිදිව බුද්ධ ශාසනය මෙරට පූර්ණ ලෙස ස්ථාපනය කරනු ලැබීය. බුද්ධ ශාසනය යන්න පිළිබද විමසීමේදී රාජ්‍ය අනුග්‍රහය හිමිවීම, රජු බෞද්ධයෙකුවීම, වෙහෙර විහාර මෙන්ම රටවැසියන් බෞද්ධයින් වීමද යන තත්ත්වයන් මත වටහාගත යුතු අතර දේවානම්පියතිස්ස රජගේ පවුලට සම්බන්ධ අරිට්‌ඨ සහ පිරිස භික්ෂූන් ලෙස සසුන දැරීමද සැළකිල්ලට ගත යුතුය. ඒ අනුව ආරම්භ වූ බුද්ධ ශාසනය සමග මේ දිවයින සිංහල බෞද්ධ රාජ්‍යය බවට පත් විය.  

දීර්ඝ ඉතිහාසයකට සහ පෙරදිග ශිෂ්ටාචාරයනට හිමිකම් කියන මේ රටට 1505 දී පෘතුගීසින්ගේ ආගමනය සිදුවිය. 1580 දී පෘතුගීසින් විසින් කෝට්ටේ රාජධානිය යටත් කර ගන්නා ලදී. ඉන්පසු ඔව්හු තම පාලනය දිවයිනෙහි මුහුදුබඩ පළාත් කරා ව්‍යාප්ත කළහ. මෙරටින් පෘතුගීසින් පළවා හැරීමේ අරමුණ ඇතුව ශ්‍රී ලංකාවේ පාලකයින් විසින් 1638 -1663 කාල වකවානුව තුළදී ලන්දේසීන් සමග සමගි සන්ධානයන් ඇතිකර ගත් අතර වර්ෂ 1640 වර්ෂයේදී ලන්දේසි පාලනය මෙරට තුළ ස්ථාපනය කරගන්නා ලදී. වර්ෂ 1802 දී ඒමියන්ස් ගිවිසුම යටතේ, තම පාලනය යටතේ පැවති ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන තෙක්ම ලන්දේසීහු තම පාලනය සිදු කරගෙන ගියහ.

අපරදිග පරිපාලන ක්‍රමයක් ලන්දේසින් විසින් තම පාලන කාලය තුළදී ස්ථාපනය කරන ලද අතර මෙම කාලය තුළදී මූලික උසාවි හා අධිකරණ ක්‍රමයක් සහිතව රෝම ලන්දේසි නීති ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. මුලු දිවයිනම ලංදේසි පාලනයට යටත් නොවුණද 1815 වර්ෂයේදී උඩරට ගිවිසුම අත්සන් කොට මුළු මහත් දිවයිනම තම පාලනය යටතට ගෙන ඒමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය.

1815 උඩරට ගිවිසුම සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම කෙටුම්පත් කරන ලද්දේත් එහි 5වන වගන්තිය බුද්ධ ශාසනය සම්බන්ධ විධිවිධාන ඇතුළත් කිරීමෙන් සහ එය ආරක්ෂා කිරීමට කිරීටය වෙනුවෙන් රොබර්ට් බ්‍රවුන්රිග් කටයුතු කිරීමෙන් මේ රට නැවත සිංහල බෞද්ධ රාජ්‍යය බවට පිළිගැනීම ලබා ඇත.

උඩරට ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස අත්සන කෙරිනි. අත්සන්කරුවෝ වූයේ මහා බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් රජු සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන් ලංකා ආණ්ඩුකාරයා වූ රොබර්ට්‌ බ්‍රවුන්රිග්, ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තකවූ ජෝන් ඩොයිලි,ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් ඡේම්ස්‌ සදර්ලන්ඩ් සහ සිංහලේ පලාත් බාර ලේකම් සහ සිංහලෙ වැසියන් වෙනුවටඇහැලේපොල මහ නිලමේ, මිල්ලෑව – වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව, රත්වත්තේ –මාතලේ දිසාව, ගලගොඩ – නුවර කලාවියේ දිසාව, මොල්ලිගොඩ – මහ අදිකාරම් හාසත් කෝරළේ දිසාව, මොල්ලිගොඩ (කනිෂ්ඨ) –තුන් කෝරළේ දිසාව, පිළිමතලව්වේ (කපුවත්තේ)– දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව, පිළිමතලව්වේ (කනිෂ්ඨ) –සතර කෝරළේ දිසාව, මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ –ඌවේ දිසාව සහ ගලගම –තමන්කඩුවේ දිසාව අත්සන් කළ බව පැවසේ. උඩරට ගිවිසුම අත්සන් කළ දිනය සහ එහි ඇති අත්සන් සම්බන්ධව විවිධ විද්වත් මත තිබුණද එය නිල ලියවිල්ලක් බවට පිළිගැනීම ලබා ඇත.

උඩරට ගිවිසුම අත්සන්කර 3 වසරක්‌ ගිය තැන ඉංග්‍රීසින්ට එරෙහිව ඇති වූ 1818 කැරැල්ලේ නායකත්වය ගත්තේ මෙම ගිවිසුමට අත්සන් කළ මොනරවිල කැප්පෙටිපොලය. පිළිමතලව්වේ, මිල්ලව ඇතුළු තවත් නායකයන් ගණනාවක්‌ මෙම කැරැල්ලට නායකත්වය දුන් නිසා ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව සමහරක්‌ මැරුම් කෑහ. සමහරු රටින් පිටිවහල් කරන ලදී. සමහරු සිරකරුවන් බවට පත්වූහ.

උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය වැදගත්ම වගන්තිය ලෙස සැළකේ. උඩරට පළාත්වල ප්‍රධානීන් සහ වැසියන් අදහන්නා වූ බුද්ධ ශාසනයද, දේවාගමද කඩ කළ නොහැකි බවෙ, එයට සම්බන්ධ පුද පූජා, පූජ්‍ය පක්ෂය, සංඝයා සහ පූජනීය ස්ථාන-විහාරස්ථාන නඩත්තු කරන බවට සහ ආරක්ෂා කරන බවට පොරොන්දු වීම ලෙස දැක්වේ.

 බ්‍රිතාන්‍යයන් විසින් මෙරට පාලනය කිරීමේදී එකී උඩරට ගිවිසුමට අනුව රාජ්‍ය පාලනය කළ යුතු වුවත් එසේ වූයේ නැත. ඔවුන් විසින් පසුව මෙරට ආණ්ඩුක්‍රමය සම්බන්ධව හදුන්වා දුන් කිසිදු ලේඛනයක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට හෝ බුද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය දක්වන බව දක්වා නොතිබූ අතර අවම වශයෙන් සිංහල භාෂාවෙන් කෙටුම්පත් කිරීමටත් ක්‍රියා නොකරන ලදී.

මෙරටට නිදහස ලබා දෙන අවස්ථාවේ පවා රටට සිංහල බෞද්ධ රාජ්‍යයතත්ත්වයෙන් නිදහස ලබා දීම සිදු නොකළ අතර බුද්ධ ශාසනය සම්බන්ධ ප්‍රතිපාදන ඇතුල් නොකරන ලදී. මෙරටට නිදහස ලබාදීමේ දී තැනූ 1947 සොල්බරි ව්‍යවස්‌ථාවේ 29 (2) වගන්තියෙන් අතීතයේ සිට ලක්‌ රජය හා බුද්ධාගම අතර පැවැති බැඳීම සිඳ දැමීය. කිසියම් ආගමකට නොමැති වරප්‍රසාදයක්‌ තවත් ආගමකට ලබාදීම එයින් වළක්‌වා ඇත. එම නියමය බලපෑවේ බුද්ධාගමට යි. එයින් සිදු කෙරුණේ 1815 ගිවිසුමේ 5 වන වගන්තියේ බලය හීන කොට බුද්ධාගම වෙනත් ආගම් සමග තැබීමයි.

1970 සමගි පෙරමුණු රජය විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේ දී I වැනි ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබු අවස්ථාවේ එවකටත් ලංකාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අතර ඩොමීනියන් තත්ත්වයේ පැවති රටක් ලෙස පැවතීය. එමෙන්ම මෙරට සියලූ නීති සහ අධිකරණවල අවසන් තීරකයා වූයේ බ්‍රිතාන්‍යයේ රාජාධිකරණයයි. 1947 පනවන ලද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම තත්ත්වයන් නීත්‍යානුකූල කර තිබිණ.

සිරිමා බණ්ඩාරනායක මහත්මිය 1970 මැයි 27 පැවති මහ මැතිවරණයෙන් ආසන90 ක් දිනා ගැනීමෙන් පසු සමසමාජ පක්ෂය දිනාගත් ආසන 19 සහ කොමියුනිස්ට් පක්ෂය දිනාගත් ආසන 6 සමග එක් වී ආණ්ඩුව පිහිටුවීමෙන් පසු සොල්බරි ව්‍යවස්ථාව පසෙකලා මෙ රටට අනන්‍ය වූ නව ජනරජ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර වර්ෂ 1972 මැයි 22 සම්මත කර ගනු ලැබීය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ii වැනි පරිච්ඡේදය බුද්ධාගම සම්බන්ධව නීති කෙටුම්පත් කර තිබුණි. එනම් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි ව්‍යවස්ථාව දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමනු ලබන්නේ ය. එහෙයින් 18 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ (ඈ) ජේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂාකර දෙන අතර රජය විසින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුත්තේ ය.

නමුත් එකී ව්‍යවස්ථාවේ පවා මිහිදු හිමියන් සහ දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කර තිබූ බුද්ධ ශාසනය යළි රාජ්‍යයේ පිහිටුවා සිංහල බෞද්ධ රාජ්‍ය ස්ථාපිත කිරීමට ක්‍රියා කරන ලද්දේ නැත.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1977 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් 5/6ක බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා එහි 171 ව්‍යවස්ථාව මගින් පරිච්චින්න කරනු ලැබීය.

ඒ අනුව දැනට වලංගුව ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව අධ්‍යයනය කිරීමේදී ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළ දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාරශ්‍රී  ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතියලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොටපනවම් හ” ලෙස දැක්වේ. එකී පූර්විකාව සම්පූර්ණයෙන් මෙසේ ය.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් පන්සිය විසි එක් වැන්නෙහි අධි නිකිණි මස පුර සටවක් නම් තිථීය ලත් දවස හෙවත් වර්ෂ එක්දහස් නවසිය සැත්තෑ හතක් වූ ජූලි මස විසි එක් වන ගුරු දින ශ්‍රී ලංකාවාසී ජනතාව විසින් නිදහසේ ප්‍රකාශ කොට දෙන ලද වරමෙන්, ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයක අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් කෙටුම්පත් කිරීමටත්, සම්මත කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් එදින තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ට භාර කොට බලය පවරා දෙනු ලැබූ හෙයින් ද නියෝජන ප්‍රජාතන්තවාදය පිළිබඳ ස්ථීරසාර ජනරජ මූලධර්ම තහවුරු කරන්නාවූත් ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහිකිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දී සහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා, ඒ වරම අනුව සහ ඉමහත් බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබූ එකී නියෝජිතයන් කෙරෙහි තැබූ විශ්වාසය අනුව ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද හෙයින් ද,

නිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැදීම් නිහතමානයෙන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන ආකාරයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදිවන ආකාරයෙන් ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සමග සුහදතාව වර්ධනය වන ආකාරයෙන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොටපනවම් හ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව අධ්‍යයනය කිරීමේදී වර්ෂ 1815 උඩරට ගිවිසුම මගින් පිළිගෙන තිබූ එමෙන්ම මිහිදු හිමියන් සහ දේවානම්පියතිස්ස රජු විසින් ස්ථාපිත කර තිබූ බුද්ධ ශාසනයයළි රාජ්‍යයේ පිහිටුවා සිංහල බෞද්ධ රාජ්‍යයස්ථාපිත කිරීමට ක්‍රියා කර ඇති බව මැනවින් පැහැදිලි වේ. එය තවදුරටත් සනාථ වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාවයි. 1815 උඩරට ගිවිසුමේ 5වන වගන්තියට වඩා ශක්තිමත් ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වන ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යය යන්න ස්ථාපිත කර ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වන ව්‍යවස්ථාව මෙසේ ය.

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්යෙඅවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේද යෙන් සියලු ම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.

(ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින්නේ Buddha Sasana  යන වචන වේ. ඒ අනුව එංගලන්ත නීති වාර්තා (All England Law Report)  ඇසුරෙන් බුද්ධ ශාසනය අර්ථනිරූපණ කිරිමට අවස්ථාවක් නොලැබෙන අතර  පෙරදිග චින්තනය, අටුවා සහ ටීකා, ත්‍රිපිටකය ආදී බෞද්ධ මූලාශ්‍ර වල ඇති දැනුම අනුව බුද්ධ ශාසනය අර්ථනිරූපණ කිරීමට සිදුවේ. )

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන ව්‍යවස්ථාව සහ එහි පූර්විකාව අධ්‍යයනය කිරීමේදීත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති  SC/SD/2003/19* තීන්දුව අධ්‍යයනය කිරීමේදීත් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේ.

1815 උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන්ද තිබූ අතර දෙමළ භාෂාවෙන් තිබුණේ නැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව, ජාතික භාෂාව, නීති පැනවීමේ භාෂාව, පරිපාලන භාෂාව සහ අධිකරණ භාෂාව බවට දක්වා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට වන පැහැදිලි විධිවිධාන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවති.

සිංහල භාෂාව නීතියේ භාෂාව වීමත් බුද්ධාගම සහ බුද්ධ ශාසනය රාජ්‍යයේ ආරක්ෂාවට යටත් කර තිබූමත් සිංහල බෞද්ධ රාජ්‍යයේ පැවතිය යුතු ලක්ෂණ පිළිබිඹු කිරීමයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය මගින් පිහිටුවා ඇති සිංහල බෞද්ධ රාජ්‍යය මිෂනාරී උගතුන්ට සන්නිවේදනය නොවන්නේ ඇයි?

රටක පාලන ආයතන 3කි. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ඒ ආයතන 3 වේ. විධායකය විසින් ගනු ලබන තීරණත්, ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණත් රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන් ගනු ලබන හෙයින් ඒවා ජනතාවට සන්නිවේදනය වේ. ඒසේ වුවත් බහුතර ජනතාවට සන්නිවේදනය නොවන්නේ අධිකරණය ගන්නා තීරණ වේ. අධිකරණය යනු පහළ අධිකරණ පමණක් නොවේ. පහළ අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් කටයුතු කළද එම අධිකරණවල තීරණ මුළු රටටම බලධාරී නොවන අතර නඩුවේ පාර්ශවයන්ට පමණක් බලධාරී වේ. ඉහළ අධිකරණ තීරණ එසේ නොවේ. ඒවා මුළු රටටම බලපානු ලබයි.

ඉහළ අධිකරණ ලෙස සැළකෙන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණ දුප්පත්-පොහොසත්, බලවත් – දුබල සියලු පුරවැසියන්ට සමානව බලපානු ලබයි. ඒවා බලධාරී තීන්දු ලබා දෙන අධිකරණ වෙයි. නමුත් අවාසනාව වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අදහසක් වනජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින් රටේ බහුතර ජනතාවට කියවිය හැකි ආකාරයට එකී තීන්දු ලබා නොදීමය. එනම් සියලු ජනතාවට බලපාන බලධාරී තීරණ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නද ඒවා රටේ බහුතර ජනතාවගේ භාෂාව වන එමෙන්ම රාජ්‍ය භාෂාව, ජාතික භාෂාව, නීති පැනවීමේ භාෂාව, පරිපාලන භාෂාව සහ අධිකරණ භාෂාව වන සිංහල භාෂාවෙන් ලබා දෙන්නේ නැත. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු කටයුතු පොදු ජනතාවට වැටහෙන්නේ නැත. ඒ අනුව (මිෂනාරී) උගතුන් ඒ පිළිබද කිසි තැකීමකද නොකරයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වන ව්‍යවස්ථාව අර්ථනිරූපණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලාබා දී ඇති  SC/SD/2003/19* තීන්දුව මගින් බුද්ධාගම හැර වෙනත් ආගම් පැතිරවීම වළක්වා තිබුණද එකී තීන්දුව පවා ශ්‍රී ලංකාවේ ජනතාවට හෝ භික්ෂූන් වහන්සේලා ට සන්නිවේදනය වන්නේ නැත. (මිෂනාරී) උගතුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නිර්මාණාත්මකව අධ්‍යයනය නොකරන අතර සමාජයේ ඒ පිළිබද සංවාදයක් ඇති කරන්නේ ද නැත. දියුණු රටවල මෙම තත්ත්වය ලංකාවේදී මෙන් නොවන අතර සමාජයේ ජනතාවට ඉහළ අධිකරණ තීරණ නිරන්තර විවෘතව පවතී.  

මිහිඳු හිමියන්ගෙන් පැවත 1815 උඩරට ගිවිසුමෙන්ද පිළිගත් සිංහල බෞද්ධ රාජ්‍යය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි ස්ථාපිත වූ ආකාරය පිළිබද ජනතාවට එය සන්නිවේදනය වීම වැළැක්වීම විධායකයෙන් හෝ ව්‍යවස්ථාදාකයෙන් සිදු වන්නේ නැත. එය සන්නිවේදනය වීම වැළැක්වීම සිදු වී ඇත්තේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු තීන්දු ලබා දීමේදී අනුගමනය කරන භාෂා ක්‍රියාවලිය හේතුවෙන් ය. (මිෂනාරී) උගතුන් විසින් කළ යුත්තේ එකී අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දු පිළිබදව ජනතාව දැනුවත් කිරීම වුවත් එය සිදුවන බවක් පෙනෙන්නට නැත. උපරිමාධිකරණ නඩු කටයුතු සම්බන්ධව පුවත් පත් සහ විද්‍යුත් මාධ්‍යයේ පලවන පුවත් හැරුණු විට විධිමත් සංවදයක් අති නොවේ. රටේ ජනතාවට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් සහ දැනුම ගලා යන්නේ නැත. ජනතාව නීතිය පිළිබද දැනුමෙන් ඈත් වී සිටීමට ප්‍රධාන හේතුව මෙයයි.

නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් නීති සිද්ධාන්තයක් වුවත් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නීතිය පිළිබද අර්ථනිරූපණ (ඒවාද නීති වේ) රටේ බහුතර ජනතාවට සන්නිවේදනය නොවීම නීතියේ පාලනය පැවතිය යුතු රටකට සුදුසු නොවේ. ඒ නිසාම අති බහුතරය වූ සිංහල ජනතාව මිහිඳු හිමියන්ගෙන් පැවත 1815 උඩරට ගිවිසුමෙන්ද පිළිගත් සිංහල බෞද්ධ රාජ්‍යය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි ස්ථාපිත වූ ආකාරය පිළිබද මූලික අවබෝධයක් තිබුණද එහි ක්‍රියාකාරීත්වය සහ අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණෙයේ නීති භාවිතය පිළිබද දැනුමක් නොමැතිව සිටිති. මෙහි ප්‍රතිඵලය රට පරිහාණියට පත් වෙමින් තිපෙන ආකාරයෙන් පෙන්නුම් කරයි.

අප වහා ජනතාවගේ නිදහස සම්බන්ධවෙන් වන මේ සන්නිවේදන බාධාව නිවරදි කළ යුතුය. (මිෂනාරී) උගතුන් විසින් ජනතාවට මාර්ගය පෙන්වන්නේය කියන සාම්ප්‍රදායික දෘෂිටියෙන් ඈත් වී තම නැණ පමණින් කාරණා අවබෝධ කර ගැනීමට පෙළඹිය යුතුය. නීතියේ පාලනය මගින් සංවර්ධිත රටක තත්ත්වයට අප ළගා වන්නේ එසේ ක්‍රියා කිරීමෙන් ය. මන්ද දියුණු සෑම රටකම ඉහළම අධිකරණ ලබා දෙන නඩු තීන්දු ඒවායේ ජනතාවට පහසුවෙන් සන්නිවේදනය වීම ආරක්ෂා කර තිබීමයි.

මිහිඳු හිමියන්ගෙන් පැවත එන සහ 1815 උඩරට ගිවිසුමෙන්ද පිළිගත් සිංහල බෞද්ධ රාජ්‍යය  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යළි ස්ථාපිත වූ බව (මිෂනාරී) උගතුන්ට සන්නිවේදනය නොවීම නිදහස පිළිබද ගැටළුවකි. මිහිඳු හිමියන්ගෙන් පැවත එන බුද්ධ ශාසනයහා බැදි සිංහල බෞද්ධ රාජ්‍යය  ජනතාවගේ නිදහස් සිතුවිලිවලින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයන්ටද නොහැකි වූ අතර (මිෂනාරී) උගතුන්ට එය කෙසේවත් කළ නොහැකි වේ.

ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඉතිහාසගත ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර  එහි 9වන ව්‍යවස්ථාව මගින්  බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීමත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව ප්‍රකාශ කිරීමත් ශ්‍රී ලංකාවට අනන්‍ය මිහිඳු හිමියන්ගෙන් හා දේවානම්පියතිස්ස රජුගේ සිට පැවත එන්නාව වූ භාවිතයකි.

(* මෙම ලිපිය ලියන ලේඛකයා විසින් SC/SD/2003/19 නඩු තීන්දුව සිංහල භාෂාවට පරිවර්තනය කර ලබා දෙනු ඇත.)

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 

B.Sc(Col),PGDC(Col

2019.07.03

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress