19 හෙවත් රට විනාශ කළ යහපාලන පිළිකාව
Posted on July 6th, 2019

චතුර පමුණුව උපුටා ගැන්ම දිවයින

yahapa

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය ඉරිදා පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළ කරුණු ගැන සැමදෙනාගේ අවධානය යොමු වී තිබේ. ඊනියා යහපාලනය නිසා රටට අත්වූ ඉරණම ගැන කියැවෙන පාපොච්චාරණයක් බඳු ඒ කතාවෙන් කොටසක් මෙලෙස දක්වමි. ‘පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වේලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණේ ප‍්‍රධානම හේතුව තමයි 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්. එනිසා 19 වන සංශෝධනය නිසා දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වන සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් හැදුණා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. 18 වන සංශෝධනයත්, 19 වන සංශෝධනයත් දෙකම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇති වෙච්ච තත්ත්වය.’
 
 මහා පුරසාරම් මැද 2015 අපේ‍්‍රල් 28 වැනිදා 19 වන සංශෝධනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 215 දෙනෙකුගේ ඡුන්දයෙන් සම්මත විය. එයට විරුද්ධ වූයේ සරත් වීරසේකර මන්ත‍්‍රීවරයා පමණි. මේ විපත දැක්කේ ඔහු පමණකි. සැබවින්ම 19 වන සංශෝධනය යනු රටත් යහපාලනයත් විනාශ කළ පිළිකාව යැයි කිවහොත් නිවැරදිය. එය පමාවී හෝ ජනපතිවරයාට අවබෝධව ඇති සෙයකි. සාධාරණ සමාජයට අවශ්‍ය ලෙස විධායක බලතල කප්පාදු කිරීමටත් රාජපක්ෂවරුන්ගේ තටු සිඳීමටත් ගෙන එනු ලැබූ මේ ඊනියා ව්‍යවස්ථා මර උගුල නිසා රටම අරාජිකත්වයට ඇද දැමූ අතර අවසානයේ සහරාන්ලාට මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා සිය ගණනක් මරා දැමීම හැකි වන අන්දමට රටද අනාරක්ෂිත විය. මේ නම් කවර විපතක් ද? යහපාලනය වෙනුවෙන් කෑ ගැසූ මහාචාර්යවරුන්ගේ කේවට්ට උපදෙස් මත විධායක ජනපති ක‍්‍රමයද අහෝසි කර දැමුවා නම් කවරක් වන්නේද? ශ‍්‍රී ලංකා රාජ්‍යයත් විනාශවී යනු සිකුරුය. මේ ඊනියා සමාජ ක‍්‍රියාකාරිකයින් අද හැංගී සිටිති. මාදුළුවාවේ සෝභිත හිමියන් මේ අවුල දකින්නට අද නැත. එහෙත් උන්වහන්සේද මේවාට වගකිව යුතුය. මේ අරාජිකත්වයට පාර කැපුවේ උන්වහන්සේගේ නායකත්වය යටතේය. ඒ සිවුර පිටුපස බෞද්ධ විරෝධියෝ සැඟවී සිටියහ. එහෙත් මේ විපත වටහා ගන්නට උන්වහන්සේට නොහැකි වූයේ කොළ පාට අන්ධකාරය නිසාද ?
 
 ජනපතිවරයාගේ අදහසට එකහෙළා විරුද්ධ වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පවසන්නේ කුමක් ද ? සෝභිත හාමුදුරුවන්ගේ සිහිනයක් තිබුණා, මේ අත්තනෝමතික බලතල ඉවත් කරන්න. ඒ වගේ ම, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනාගතය ඇස් දෙකෙන් දැකල වගේ කිව්වා විධායක ජනාධිපති ක‍්‍රමයේ ප‍්‍රතිවිපාක. පහුගිය ඔක්තෝබර් 26 වෙනි දා අපි ඒක හොඳට ම තේරුම් ගත්තා. සෝභිත හාමුදුරුවන්ගේ අවමංගල උත්සවය දවසේ ජනාධිපති තුමා පොරොන්දුවක් දුන්නා උන් වහන්සේගේ සිහිනය සැබෑ කරනවා කියලා. අපි ඒක ඉටු කළ යුතුයි. 
 
 එහෙත් අප කිසි විටක සෝභිත සිහින වලට ඉඩ දිය යුතු නැත. ඒ සිහිනය බියකරුය. රට අනාරක්ෂිත කරන අතරම ජාතියේ අනාගතයද නැතිකර දමයි. ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පමණක් ඒ සිහිනය දැක්කාට අපට කම් නැත. සෝභිත හිමියන් අද ජීවත්ව සිටියානම් මේ කළ වැරදි ගැන කම්පාවනු ඇත.
 
 ජනපතිවරයාත් කලින් කලට තමාගේ ප‍්‍රකාශයද ප‍්‍රතිපත්තිද වෙනස් කර ගනී. එනිසාම ඔහුගේ කතාවලට ලැබෙන පිළිගැනීමද බෙහෙවින් හීනවී ගොස් ඇති බව පැහැදිලිවම පැවසිය යුතුය. මීට වසර තුනකට පෙර ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පතේ මීරා සිරිනිවාසන් සමග සාකච්ඡුාවකට එක්වෙමින් ජනපතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ 19 වන සංශෝධනය හරහා ජනාධිපති බලතල අඩු කිරීමට තමන් යෝජනා කළ බවය. එදා අන්ධව 19 වන සංශෝධනය පසුපස ගොස් ජනපතිවරයාම විශාල උගුලකට හසු විය. හේන මුවන් කා ගියා පසු ගෙදර ඇති මුව හමට තලා වැඩක් නැති බවද ජනපතිවරයා අවබෝධ කරගත යුතුය.
 
 රටට අවශ්‍ය වන්නේ කෙළින් වැඩ කළ හැකි නායකයෙකි. තද තීරණ ගත යුතුය. එසේම නායකයන් දෙදෙනකු සිටින රටකට ඉදිරියට යා නොහැකිය. එනිසා ජනපතිවරයාගේ බලතල කප්පාදුව රටේ ඉදිරි ගමනට කරන බාධාවකි. එනිසාම ජනපති බලතල කප්පාදු කරන සියලූම සංශෝධන අහෝසි කර දැමීම වැදගත්ය. විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම කිසිලෙසකින්වත් සිදු කළ යුතු නැත. ඒකීය රාජ්‍යය සුරැකෙන්නේ විධායක ජනපති ධුරය නිසාය. පළාත් සභාවලට උපරිම බලය බෙදා විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළහොත් සිදුවන්නේ කුමක්ද? සිදුවන්නේ ස්ථාවර රට අස්ථාවර වීම පමණි. 1977 ජුලි මාසයේදී හයෙන් පහක බලයක් ලබාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 පෙබරවාරි 04 වැනිදා මෙරට ප‍්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දුන්නේය. එදා බොහෝ දෙනකුට විධායක ජනපති ක‍්‍රමය වහකදුරු මෙන් විය. නමුත් අද අප විධායක ජනපති ක‍්‍රමය සුරැකීම වෙනුවෙන් පෙනී සිටි ජේ. ආර්. ගේ විධායකය සුරැකිය යුත්තේ මවුබිම වෙනුවෙනි.

මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක් වෙමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප‍්‍රකාශ කර සිටියේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව නව දිසාවකින් ඉදිරියට යනු ඇති බවයි. රට ඉදිරියට ගිය හැටි අපි දනිමු. එය පාස්කු ඉරිදා ලේ වලින් ලියැවී ඇත. වාසනාවකට මේ ඊනියා ව්‍යවස්ථාව සම්මත වූයේ නැත. සකස්වූයේ මූලික ලියවිල්ලක් පමණි. සුමන්දිරන්ගේ ඊළාම් උගුලෙන් රට බේරිණි. නව ව්‍යවස්ථාව වෙනුවෙන් පණ දීගෙන සිටි පුරවැසි බලයේ ඊනියා නියෝජිතයන් කිසිම විටක ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටි අය නොවෙති. ඔවුහු සැමවිටම ෆෙඩරල් මෙන්ම සහසන්ධීය රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටි අය වෙති. ඒ අනුව අලූත් ආණ්ඩුක‍්‍රමය අවශ්‍ය වූයේ බෙදුම්වාදීන්ට මිස දේශපේ‍්‍රමීන්ට නම් නොවේ. අස්ථාවර රට ස්ථාවර කළ හැකි එකම තැනැත්තා විධායක ජනපතිවරයාය. එනිසාම යහපාලන ව්‍යවස්ථාව සංශෝධන සැබවින්ම පිළිකා බව සඳහන් කරමි.

One Response to “19 හෙවත් රට විනාශ කළ යහපාලන පිළිකාව”

  1. Randeniyage Says:

    QUOTE රටට අවශ්‍ය වන්නේ කෙළින් වැඩ කළ හැකි නායකයෙකි. තද තීරණ ගත යුතුය. එසේම නායකයන් දෙදෙනකු සිටින රටකට ඉදිරියට යා නොහැකිය. එනිසාම ජනපති බලතල කප්පාදු කරන සියලූම සංශෝධන අහෝසි කර දැමීම වැදගත්ය. විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම කිසිලෙසකින්වත් සිදු කළ යුතු නැත.UNQUOTE

    එසේනම් සිරිසේනට පමණක් ඒකාධිපති බල තිබුනානම් රට මෙලහටත් සුර පුරයක් ද ?

    මහජනයා නායකයින් පත් කරන්නේ උන්ට ඕනෑ දේවෙල් කිරීමට නොවේ. යකා නැටීමට නොවේ. රට වෙනුවෙන් අවංකව වැඩ කිරීමටය​. මැතිවරණයේදී දුන් පොරොන් දු ඉටුකිරීමටය​. එසේ වැඩ කලයුතු “නායකයින්” ( ඇත්තටම මුන් සේවකයින්‍ය​) සියයක් සිටියත් නරකක් නොවේ හොඳක්ම සිදුවන බැවිනි. ජපනුන් වැඩ කරන්නේ එසේය​.
    මෙතන සිදුවී ඇත්තේ ඉතාම පහත් ගනයේ දුෂ්ටයින් දෙදෙනෙක් ඉහලම සේවකයින් ලෙස පත්කර ගැනීම් මිස වෙන දෙයක් නොවේ. මේ ඉහල සේවකයින් හොඳ නම් ඕනෑම නීතියක් අනුමත කොට රටක් ඉදිරියට ගෙන යා හැකි බැවිනි.බොරුකාරයින් ගේ හඬ පමනක්ම ඇසෙන අපේ රටට ඒකාධිපතියෙක් පත් කරගත්තොත් වෙන විනාශය මීට වඩා දරුණු වනු ඇත​.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress