සියළුම අනියම්/ආදේශක සේවකයින් වහා ස්ථීර කරන්න නැතිනම් තවත් දුම්රිය වර්ජනයක් – කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන්න
Posted on July 11th, 2019

මාධ්‍ය නිවේදනයයිදුම්රිය වෘත්තීය සමිති සන්ධානය – Railway Trade Unions Alliance

ගරු ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය,
අර්ජුන රණතුංග මැතිතුමා,

සියළුම අනියම්/ආදේශක සේවකයින් වහා ස්ථීර කරන්න නැතිනම් තවත් දුම්රිය වර්ජනයක් – කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන්න

වසර 05 කට අධික කාලයක් දුමිරිය දෙපාර්තමේන්නතුවේ විවිධ අංශ වල සේවය කරන 1500 පමණ වන අනියම්/ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රාත් සේවකයින් සේවයේ ස්ථීර නොකර, අළුතින් තවත් සේවක පිරිසක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව අප සන්ධානයට දැනගැනීමට ලැබී ඇත.

2019.07.06 දින දිනමිණ පුවත්පතේ හා www.Railway.lk වෙබ් අඩවියේ දැන්වීම් පළකරමින් දැනටමත් ඒ සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, වසර 05 ක් තිස්සේ දුම්රිය සේවාව පවත්වාගෙන යාමට වෙර දරන අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රත් පදනමින් බඳවාගෙන ඇති සේවකයින්ට ඉන් බරපතල අසාධාරණයක් සිදු වන බව පෙන්වා දෙමු.

රජයේ ප‍්‍රතිපත්ති අනුව රාජ්‍ය සේවයට බඳවාගැනීමේ අවම අධ්‍යාපන සුදුසුකම සම්මාන සමාර්ථ දෙකක් සහිතව අ.පො.ස. (සා/පෙ) විෂයන් හයකින් සමත් වීම වුවත්, 2014 වර්ෂයේ මෙම සේවකයින් බඳවා ගැනීමේදී, අධ්‍යාපන සුදුසුකම් නොසලකා බඳවාගෙන ඇති බවද පෙන්වා දෙමු. වසර 05 කට පසු නියමිත අධ්‍යාපන සුදුසුකම් නොමැති බවත්, රාජ්‍ය සේවයට බඳවාගැනීමේ උපරිම වයස් සීමාව ඉක්මවා ගොස් ඇතැයි කියමින් දැනට සේවය කාරන අනියම්, ආදේශක සේවකයින් 750 කට අධික පිරිසක් සේවයේ ස්ථීර නොකර, ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද නාම ලේඛනයට අනුව, දේශපාලන හිතවත්කම් මත නවක සේවකයින් පිරිසක් බඳවාගැනීමට දරන උත්සාහය තරයේ හෙලා දකින බවද ප‍්‍රකාශකර සිටිමු. මෙම කි‍්‍රයාව සාධාරණීකරනය සඳහා නවක බඳවාගැනීම් වලදී 10% ක ප‍්‍රමාණයක් දුම්රිය සේවක දරුවන්ටද ලබාදෙන බවට ඔබතුමා කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බවත්, සේවයේ ස්ථීර නොමැති සේවකයින් 1500 ක් සිටියදී, මීට පෙර සිදුකළ ආකාරයට ම දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට කටයුතු කිරීම කිසිසේත්ම නොකළයුතු දෙයක් බවද පෙන්වා දෙමු.

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන ආදේශක, අනියම්, තාවකාලික හා කොන්ත‍්‍රාත් පදනමින් බඳවාගෙන ඇති සියළු සේවකයින් සේවයේ ස්ථීර කිිරීමෙන් පසු පවතින පුරප්පාඩු අනුව තවත් සේවකයින් බඳවාගන්නේ නම්, ඊට විරුද්ධ නොවන බව ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරන අතර, එසේ නොකර තවත් වතාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට දේශපාලන පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් එය තවත් දුම්රිය වැඩ වර්ජනයකට අත වැනීමක් බවද අවධාරණයෙන් පෙන්වා දෙමු. එබැවින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්.පී.විතානගේ
සම කැඳවුම්කරු


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress