ජනාධිපති ධූර කාලය අවුරුදු හයයි?
Posted on July 20th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ මාතෘකාව දැක්ක ගමන් අපේ කට්ටිය කලබල වෙන්න පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කළා කියන එක නොදන්න කෙනෙක් නැති තරම්. මේ කාරණය තහවුරු කරගන්න හැම කෙනෙක් ම බලන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනරජයේ ජනාධිපතිවරයා” ගැන කියැවෙන 30 වැනි ව්‍යවස්ථාව. ඒකට අයිති දෙවැනි අනුව්‍යවස්ථාවේ (ඒ කියන්නේ 30. 2 අනුව්‍යවස්ථාවේ) මෙහෙම තියෙනවා.

ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ ය.

ඉතින් මේ කාරණය මෙච්චර පැහැදිළිව කියලා තියෙද්දිත් ජනාධිපතිතුමාගේ ධූර කාලය අවුරුදු හයයි කියලා කියන එකේ තේරුම මොකක්ද කියලා කාට හරි අහන්න පුළුවන්.

ඇත්තෙන් ම මේ කියන කාරණයට අදාළ තීරක විධිවිධාන තියෙන්නේ උඩින් කියපු 30. (2) අනුව්‍යවස්ථාවේ නෙවෙයි. මේ ගැන හරියට ම අදාළ කරුණු තියෙන්නේ 83 ව්‍යවස්ථාවේ. 83 ව්‍යවස්ථාව තරම් තීරක වෙනත් ව්‍යවස්ථාවක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා කියලා හිතන්න අමාරුයි. මේ 83 වැනි ව්‍යවස්ථාවෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ව්‍යවස්ථා දහයකුත් අනුව්‍යවස්ථා දෙකකුත් ඉතා හොඳින් ආවරණය කරලා, ආරක්‍ෂා කරලා තියෙනවා. ඒ, අදාළ ව්‍යවස්ථා දහයත් අනුව්‍යවස්ථා දෙකත් වෙනස් කරන්න ඕන නම් ජනමත විචාරණයක අනුමැතිය උවමනා බව සඳහන් කිරීමෙන්.

ව්‍යවස්ථාවක හරි අනුව්‍යවස්ථාවක හරි යම් වෙනස්කිරීමක් කියලා කියන්නේ අදාළ ව්‍යවස්ථාව එහෙම නැතිනම් අනුව්‍යවස්ථාව සංශෝධනය කිරීම, එහෙමත් නැතිනම් ඒක මුළුමනින් ම ඉවත්කිරීම (ඒ කියන්නේ පරිච්ඡින්න කිරීම), තිබුණු එක වෙනුවට අලුත් ම එකක් පැනැවීම (ඒ කියන්නේ, ප‍්‍රතියෝජනය). ඉතින්, උඩින් කියපු විදිහට 83 වැනි ව්‍යවස්ථාවෙන් ආවරණය කරලා තියෙන ව්‍යවස්ථා දහයෙන් සහ අනුව්‍යවස්ථා දෙකෙන් එකක් හරි වෙනස් කරන්න ඕනකමක් තියෙනවා නම් (ඒ කියන්නේ, සංශෝධනය කරන්න, පරිච්ඡින්න කරන්න, ප්‍රතියෝජනය කරන්න ඕනකමක් තියෙනවා නම්) ඒක පාර්ලිමේන්තුවට විතරක් කරන්න බෑ. ඒ වැඩේට ජනමත විචාරණයක් තියලා ජනතාවගේ අනුමැතියත් ගන්න ඕන.

ඒ විතරක් නෙවෙයි.

උඩින් කියපු විදිහට 83 වැනි ව්‍යවස්ථාවෙන් ආවරණය කරලා තියෙන ව්‍යවස්ථා දහයට සහ අනුව්‍යවස්ථා දෙකට අනනුකූල (ඒ කියන්නේ, අනුකූල නැති) පනත් කෙටුම්පතක්වත් පාර්ලිමේන්තුවට තනියෙන් සම්මත කරගන්න බෑ. ඒ වැඩේටත් ජනමත විචාරණයක් ති‍යලා ජනතාවගේ අනුමැතිය ලබාගන්න ඕන. ඉතින් 83 ව්‍යවස්ථාවේ තියෙන මේ විධිවිධාන ගැන අපේ අවධානය ඉතා හොඳින් යොමු වෙන්න ඕන.

දැන් අපි ඒ වැඩේ පටන්ගනිමු.

83 ව්‍යවස්ථාව හැදිලා තියෙන්නේ අනුව්‍යවස්ථා දෙකකින්. ඒ අනුව්‍යවස්ථා දෙක නම් කරලා තියෙන්නේ 83. (අ) සහ 83. (ආ) කියලා. යම් කිසි සංශෝධනයකට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය වන ව්‍යවස්ථා දහය සඳහන් කරලා තියෙන්නේ 83. (අ) අනුව්‍යවස්ථාවේ. සංශෝධනයකට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය අනුව්‍යවස්ථා දෙක සඳහන් කරලා තියෙන්නේ 83. (ආ) අනුව්‍යවස්ථාවේ.

සංශෝධනය කරන්න ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය ව්‍යවස්ථා දහය මොනවා ද කියන එක 83. (අ) අනුව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිළිව දක්වලා තියෙනවා. ඒ, මේ විදිහට.

1 වැනි, 2 වැනි, 3 වැනි, 6 වැනි, 7 වැනි, 8 වැනි, 9 වැනි, 10 වැනි සහ 11 වැනි ව්‍යවස්ථාවල හෝ මේ ව්‍යවස්ථාවෙහි හෝ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා වූ හෝ පරිච්ඡින්න කොට ප‍්‍රතියෝජනය කිරීම සඳහා වූ හෝ ඒ ව්‍යවස්ථාවල යම් විධිවිධානයකට අනනුකූල වන්නා වූ හෝ පනත් කෙටුම්පතකට …

1, 2, 3, 6, 7, 8, 9, 10, 11, සහ 83 කියන ව්‍යවස්ථා දහය ගැන තමයි මේ කියන්නේ. මෙතැන 83 ව්‍යවස්ථාව ගැන කියලා තියෙන්නේ මේ ව්‍යවස්ථාව” කියලා. ඒ හින්දා මේක එක සැරේ ම කෙනෙක්ගේ අවධානයට ලක් නොවෙන්න පුළුවන්. මේ සඳහන ඉතාමත් වැදගත් එකක්. 1, 2, 3, 6, 7, 8, 9, 10 සහ 11 කියන ව්‍යවස්ථා නවයට අවශ්‍ය ආවරණය සහතික වෙන්නේ 83 ව්‍යවස්ථාවටත් ඒ ආරක්‍ෂාව තියෙනවා නම් විතරයි. එහෙම නැතිනම් පාර්ලිමේන්තුවට පුළුවන් 83 ව්‍යවස්ථාව වෙනස්කරලා 1, 2, 3, 6, 7, 8, 9, 10, සහ 11 කියන ව්‍යවස්ථා නවයත් හිතෙන හිතෙන විදිහට වෙනස් කරන්න. ඉතින් ඒ මූලික ව්‍යවස්ථා නවයට තියෙන ජනතා ආරක්‍ෂාව 83 වැනි ව්‍යවස්ථාවටත් ලබාදීලා තියෙනවා.

මේ කාරණය හින්දා 1978 ඉඳලා මේ වන කල් ම 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, සහ 83 කියන ව්‍යවස්ථා කිසිම වෙනසකට භාජනය වෙලා නෑ. ඒවා 1978 හඳුන්වලා දීපු විදිහට ම තවම තියෙනවා. අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ” කියලා 83. (ආ) අනුව්‍යවස්ථාවේ තියෙන සඳහනින් ම මේ ආරක්‍ෂාවේ තරම තේරුම්ගන්න පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක් බවට 30. (2) අනුව්‍යවස්ථාවේත් පාර්ලිමේන්තුවේ කාලය අවුරුද පහක් බවට 62. (2) අනුව්‍යවස්ථාවේත් සඳහන් කරලා තිබුණාට ඒකට අදාළ කාරණය තවමත් 83. (ආ) අනුව්‍යවස්ථාවේ තියෙන්නේ සාවුරුද්දක්” කියලා.

30. (2) සහ 62. (2) අනුව්‍යවස්ථාවල අවුරුදු පහක් කියද්දි 83. (ආ) අනුව්‍යවස්ථාවේ සාවුරුද්දක් (අවුරුදු හයක්) කියලා තියෙන්නේ ඇයි? උත්තරය ඉතාමත් පැහැදිළියි. ඒකට හේතුව තමයි 83 ව්‍යවස්ථාවට ලබාදීලා තියෙන ආවරණය. ඒ ව්‍යවස්ථාවේ අකුරක් හරි වෙනස්කරනවා නම් ඒ වැඩේට ජනමත විචාරණයක අනුමැතිය ලබාගන්න ඕන. ඉතින් 19 වැනි සංශෝධනයෙන් මොන දේ කළත් 83 ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරිවුනා. 1978 හඳුන්වලා දීපු විදිහට ම 83 වැනි ව්‍යවස්ථාව තවමත් තියෙනවා.

මේ ආකාරයෙන් ම ජනමත විචාරණයක අනුමැතිය නැතිව වෙනස්කරන්න බැරි විදිහට අනුව්‍යවස්ථා දෙකක් 83 වැනි ව්‍යවස්ථාවේ (ආ) අනුව්‍යවස්ථාවෙන් ආවරණය කරලා තියෙනවා. ඒ තමයි 30. (2) සහ 62. (2) කියන අනුව්‍යවස්ථා දෙක.

30. (2) අනුව්‍යවස්ථාවෙන් කාරණා දෙකක් කියනවා. ඒ අතර තියෙන මූලික ම කාරණය තමයි ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු” බව. දෙවැනි කාරණය තමයි ඒ විදිහට ජනතාව විසින් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයාගේ ධූර කාලය. 62. (2) අනුව්‍යවස්ථාවෙන් කියන්නේ එක කාරණයයි. ඒකෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ කාලය.

83. (ආ) අනුව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා ගත් කරගත යුතු බවට වන විධිවිධානයත්, ජනාධිපතිවරයාගේ ධූර කාලයට සහ පාර්ලිමේන්තුවේ කාලයට අදාළ විධිවිධානත් ආවරණය කරනවා.

ඒ, මේ විදිහට.

30 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප‍්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද, අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට … (ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍යයි).

මේ කාරණය අපි පැහැදිළි කරගනිමු.

මෙතැන නැතහොත්” කියන වචනය තුන් වතාවක් යෙදිලා තියෙනවා. පළමු වතාවට ඒ වචනය යොදලා තියෙන්නේ මේ අනුව්‍යවස්ථාවෙන් පනවලා තියෙන විධිවිධාන 30. (2) අනුව්‍යවස්ථාවට වගේ ම 62. (2) අනුව්‍යවස්ථාවටත් අදාළයි කියන අදහස ප්‍රකාශ කරන්න. දෙවැනි වතාවට ඒ වචනය යොදලා තියෙන්නේ මේ අනුව්‍යවස්ථාවෙන් පනවලා තියෙන විධිවිධාන උක්ත අනුව්‍යවස්ථා දෙක (ඒ කියන්නේ 30. 2 සහ 62. 2) සංශෝධනය කරන්න, පරිච්ඡින්න කරන්න (ඒ කියන්නේ ඉවත්කරන්න), ප්‍රතියෝජනය කරන්න (තිබෙන විධිවිධාන වෙනුවට අලුත් ඒවා පනවන්න) වගේ ම ඒ තිබෙන විධිවිධානවලට අනුකූල නැති විධිවාධාන පනවන්නත් අදාළයි කියන අදහස ප්‍රකාශ කරන්න. තුන්වැනි වතාවට ඒ වචනය යොදලා තියෙන්නේ මේ අනුව්‍යවස්ථාවෙන් පනවලා තියෙන විධිවිධාන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු හයකට වඩා දීර්ඝ කරන්න වගේ ම පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හයකට වඩා දීර්ඝ කරන්නත් අදාළයි කියන අදහස ප්‍රකාශ කරන්න.

ඉතින් 30. (2) සහ 62. (2) කියන අනුව්‍යවස්ථා දෙක වෙනස්කරන වැඩේට අදාළ සෑම විධිවිධානයක් ම මේ 83. (ආ) අනුව්‍යවස්ථාවෙන් මුළුමනින් ම ආවරණය කරලා තියෙන බව පැහැදිළියි. ඒ අනුව්‍යවස්ථාවෙන් කියැවෙන විදිහට 30. (2) සහ 62. (2) වෙනස්කරන්න පුළුවන් වෙන්නේ ජනමත විචාරණයක අනුමැතිය ලබාගත්තොත් විතරයි.

දැන් කාට හරි කියන්න පුළුවන් නෑ, නෑ. මේ කියලා තියෙන්නේ අදාළ කාල සීමා දීර්ඝ කරන එක ගැන විතරයි. 30. (2) සහ 62. (2) වෙනස්කරන්න මේක අදාළ නෑ” කියලා.

ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගත යුත්තේ ය” කියන කාරණයත් තියෙන්නෙත් 30. (2) අනුව්‍යවස්ථාවේ බව අපි අමතක කරන්න හොඳ නෑ. ජනමත විචාරණයක අනුමැතිය නැතුව 30. (2) වෙනස්කරන්න පුළුවන් නම් ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගත යුත්තේ ය” කියන කාරණයත් වෙනස් කරන්න පාර්ලිමේන්තුවට පුළුවන්. මේක කරන්න පුළුවන් දෙයක් ද?

ඒ හින්දා 83. (ආ) අනුව්‍යවස්ථාවෙන් ආවරණය කරන්නේ 30. (2) සහ 62. (2) කියන අනුව්‍යවස්ථා දෙක වෙනස්කිරීමට අදාළ සම්පූර්ණ කාරණය ම කියන එක අපි අමතක කරන්න හොඳ නෑ.

හැබැයි 19 වැනි සංශෝධනයෙන් 30. (2) සහ 62. (2) වෙනස් කරලා. දැන් 83. (ආ) කියන අනුව්‍යවස්ථාවේ තියෙනවා අදාළ කාල සීමා හය අවුරුද්දකට වඩා වෙනස් කරන්න නම් ජනමත විචාරණයක අනුමැතිය ඕන කියලා. එතැන හය අවුරුද්ද වෙනස් කරලා නෑ. හැබැයි 30. (2) සහ 62. (2) තිබුණු හය අවුරුදු කාලය වෙනස් කරලා. දැන් ඒ අනුව්‍යවස්ථා දෙකේ ම තියෙන්නේ අවුරුදු පහක් කියලා. මෙහෙම වෙනසක් කරන්න ඕන අනුමැතිය ජනමත විචාරණයකින් ලබාගත්තේ නෑ.

2018 අවුරුද්දේ ජනවාරි 11 වැනි දා මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක්වුනා. ඒ අවස්ථාවේ  83 ව්‍යවස්ථාවේ තියෙන කරුණු පදනම් කරගෙන හිටපු නීතිපති ජයන්ත ජයසූරිය මහත්තයා අදහස් ඉදිරිපත් කළා. ජනාධිපතිවරයෙක් පත් වුනාම බලයේ ඉන්න ජනාධිපතිවරයාගේ කාල සීමාව අවුරුදු දෙකක් හරි අවුරුදු තුනක් හරි වෙන්න ඕන කියලා නීති ගෙනැල්ලා ඒ කාලය සීමා කරන්න පාර්ලිමේන්තුවට පුළුවන් වෙනවා. මේ වැඩේට ජනමත විචාරණයක් ඕන කියලා නියම කරලා තියෙන්නේ ඒ හින්දා” කියලා ඒ මහත්තයා කිව්වා.

මේකට විරුද්ධව කරුණු කියපු අය කිව්වේ තමන්ගේ කාලය අවුරුදු පහකට අඩු කරගන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කැමැති වෙලා හිටිය බවක්. ඒ කැමැත්ත අපි අගය කරන්න ඕන. හැබැයි කැමැත්තට විතරක් මේ වගේ වැඩ කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවලා තියෙන විධිවිධානවලට අනුව ඒ කැමැත්තට අදාළ වෙනස්කම් කරගන්න ඕන. හිටපු නීතිපති (වර්තමාන අගවිනිසුරු) ජයන්ත ජයසූරිය මහත්තයා මේ කාරණය ඉස්මතු කළා.

ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව මත පදනම් වෙලා මේ කාරණය ආයෙත් නිරවුල් කරගන්න හදන එකේ වැරැද්දක් නෑ. ඒ විදිහේ විමසීමක් කරන්න ඕන කරන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129. (1) අනුව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදීලා තියෙනවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

One Response to “ජනාධිපති ධූර කාලය අවුරුදු හයයි?”

  1. Randeniyage Says:

    Useless arguments. All the rules are applied to cheat public.

    1. No one voted this government to do what they are doing. They promised a “UNITY” government. Once SLFP left government, that contract ( with people) was broken. Therefore government should have been ended that day. Majority did not vote for a UNP government.

    2. No one voted Sirisena to be SLFP president. SLFP candidate was MR. Once he broke Away with UNP , his presidency is no more valid. He should have been kicked out on the 26th October.

    Sirisena, and Ranil jointly set up illegal 2015 100 day government. They jointly ruin this country thereafter – with the help of JO.
    Why make arguments how more this Andare president should stay in power, if you love this country ?
    People should chase out Andare first, followed by stray dogs ruining the land.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress