දෙවෙනි පානදුරා වාදය හා සිංහල බෞද්ද්ධ අන්තවාදය
Posted on July 20th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම

    මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
    නිදොස් කෙනෙකු මෙදියත උපදනේ   නැත

    කුරිරු ගොර සපුන්ගේ දළ ගෙහි  විසය
    මදුරු මැසිකැලන්ගේ තුඩ ගෙහි  විසය
    රුදුරු නුහුසුවන්ගේ වල ගෙහි  විසය
    නපුරු දුදනන්ගෙ සිය ලඟෙහිම   විසය
                            සුභාෂිතය 

බුද්ද්ධාගම කියන්නේ බොරුවක්

ක්‍රිස්තුවර්‍ෂ 1873 දී සිදුවුන පානදුරා මහා වාදය සුද්දන්ගේ ආශිර්‍වාදය ඇතිව ඒ කාලයේ සිටි සිංහල ක්‍රිස්තියානීන් විසින් බුද්ද්ධාගමට හා හාමුදුරුවරුන්ට (බුද්ද්ධ ශාසනයට) දිගින් දිගටම අපහාස කරමින් හා අභියෝගකරමින් කරගෙන ගිය ඉල්ලාගෙන කෑමක ඓතිහාසික අවසානයක් විය. 1818 හා 1848 උඩරට සිංහල සමූල ඝාතනවල පසුබිම යටතේ, එවකට පැවති වාතාවරණය සුද්දන්ට කත් ඇද්ද, ඔබේසේකර-ද සේරම්-බණ්ඩාරණායක කළු සුද්දන්ගේ පවුල් වල නියෝජිතයෙකුවූ ජේම්ස් ද අල්විස් (පසුව සිංහල පඬ්වරයෙකුවූ) විසින් තක්සේරුකලේ, තව දශකයක් දෙකක් යන විට බුද්ද්ධාගම ලංකාවෙන් තුරන් වී යනවා යයි යන අනාවැකියකින් ය.

තමන් ගලවා ගැනීමට අද හෝ හෙට හෝ ලඟදීම දියසේන කුමාරයෙක් පහළවේයයි සිතමින් තුවක්කුව ඉදිරියේ අසරණව සිටි දුගී ජනයාට මානසික සැනසීම ලබාදුන් ඔවුන්ගේ ගමේ පන්සලද අහිමිවීයාමේ අවදානම, එසේ නැත්නම් බුද්ද්ධාගම කියන්නේ බොරුවක් ය යන මතවාදය පරාදය කිරීමේ අභියෝගය කරට ගත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් විසින් ය. පානදුරේ සිට රත්මලානට ආගමනයවී, 1841 දී පරම ධම්ම් චේතිය පිරිවෙණ ආරම්භකර මෙම ක්‍රිස්තියානි පාලක මතවාදය පැරදවීමට අවශ්‍ය පිරිවෙන් අධ්‍යාපන පසුබිම සකස් කලේ වලානේ ශ්‍රී සිද්ද්ධාර්‍ථ මහනාහිමියන් විසින් ය. උන්වහන්සේගේ මේ පිරිවෙනේ ගෝලයින් දෙනමක් විසින් පසුව විද්‍යෝදය (1873, හික්කඩුවේ ශ්‍රී සුමංගල) හා විද්‍යාලංකාර (1875, රත්මලානේ ශ්‍රී ධර්‍මාලෝක) පිරිවෙන් දෙක ආරම්භ කලේය. මෙය යටත් විජිතවල දුඹුරු පාට බ්‍රිතාන්‍යයින් (කළු සුද්දන්) බෝකිරීම සඳහා අධ්‍යාපන ක්‍රමයක් සැදීමට 1935 දී මැකෝලි සාමි විසින් ඉන්දියාවේදී ඉදිරිපත් කල සැලැස්මට ලංකාවේ පන්සලක හාමුදුරුනමක් දුන් ප්‍රතික්‍රියාවක් වැනි විය.

සුද්දන්ගේ ආණ්ඩුව කුමණ හතුරුකම් කුමන්ත්‍රණ කලත්, නීති පණත් ගෙනාවත් බුද්ද්ධාගමේ පදනම සෙළවීමට කිසිවෙකුටත් නොහැකිවූයේ පානදුරා වාදය මඟින් මිථ්‍යාදෘෂ්ටික මතවාදයක් මතවාදයෙන්ම පරාජය කල නිසාය. අශොක අධිරාජයාට පසු සෙසු ලෝකය බුද්ද්ධාගම ගැන දැනගත්තේ මේ වාදයෙන් පසුවය. අද වනවිට රෝසි සේනානායක, මිසිස් චන්ද්‍රිකා, මංගල සමරවීරලා වැනි කළු සුද්දන් හා එන්ජිිෝ කාරයින් විසින් කරන්නේ මානව හිමිකම් නමැති මතවාදයකට සැඟවී නිර්‍වස්ත්‍රම් පරමං සුඛම් යන හෙළුව පෙන්වීමක් පමණය. එහෙත් රට තුල ක්‍රිස්තියානී මූලධර්‍මවාදයට වඩා බරපතල වහාබ් ශාරියා වසංගතයක් පැතිරෙමින් තිබෙනා බව මුළු රටටම එලිවූයේ අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය නිසාය. මේ දිවයින ආරක්‍ෂාකරණා යම් අදෘෂ්‍යමාන බලවේගයක් ඇතිබව ශාක්සාත් වන්නේ මෙම ප්‍රහාරය නොවන්නට නුදුරු අනාගතයේදී මුළු රටේම සිංහල හා දෙමළ ජනයාව ඔවුන්ට පමණක් දැමූ පරමාණු බෝම්බයක්සේ විනාශවන්නට තිබූ ඉඩ ප්‍රස්ථාව ගැන සිතන විටය.

මුස්ලිම් චන්ද පෙරේතයින්

කොල, නිල්, රතු දේශපාලන පක්‍ෂවල රැකවරණය යටතේ 1980 ගණන්වල සිටම ක්‍රමයෙන්, සෙමින් හා වංචාවෙන් ගොඩනැඟුණ වහාබි-ශාරියා අන්තවාදය පිටුපසින් සිටියේ මුස්ලිම් දේශපාලකයින් අතලොස්සකි. සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාගේ චන්දය ලබාගන්නා ගමන්, අරාබි ඩොලර් ගෙන එන උල්පත් වූ තවුහිද් ජමාද් කල්ලිවලට දේශපාලන රැකවරණය නිලනොලත් අන්දමින් ලබාදීමට මුස්ලිම් දේශපාලන පක්‍ෂ නායක වංකයින්ට හැකිවූයේ පක්‍ෂ දේශපාලකයින්ගේ මුස්ලිම් චන්දවලට ඇති කෑදරකම ඔවුන් දැන සිටි නිසාය. නිල් හා කොල සිංහල පක්‍ෂ තට්ටුමාරු ක්‍රමයට බලයෙන් මාරු වුනත් මුස්ලිම් නායකයින් හැමදාම බලවත් ඇමතිවරු වුනේ මේ නිසාය. දි මු ජයරත්න අගමැති වරක් පාර්ලිමේන්තුවේදී උදන් ඇණුවේ ගම්පොල මුස්ලිම් පක්‍ෂය සඳහා අපේක්‍ෂකයින් නැතිව සිටි විට ඔහු ඊට මැදිහත්ව ඔවුන්ට සිංහල අපේක්‍ෂකයින් ලබාදී මුස්ලිම් පක්‍ෂය සදාදුන් බවය!

පාස්කු ප්‍රහාරය නිසා සිංහල දේශපාලකයින් ගලේ පැහැරූ බළලුන් සේ අන්ද මන්දව සිටී. සිදුවූ ව්‍යසනයෙන් ඊලම් හොද්ද බොරකර ගන්නට හදන සුමන්තිරන්, විග්නේශ්වරන් හා පාක්‍යසෝති වැන්නන් පමණක් නොව ඉංග්‍රීසි පත්තරවලට ලියන සිංහල එන්ජිිෝ ඩොලර් කාක්කන්ද කතාකරන්නේ පාස්කු ප්‍රහාරය ගැන හේතුඵල විමර්‍ශනයක් පිළිඹදව නොව මුස්ලිම් ජනයාගේ මානව හිමිකම්වලට හිරිහැර වෙනවා යන මාතෘකාව පිළිඹදවය. කෙසේ වෙතත් 1948 දී ලැබුණා යයි කියන නිදහසේ සිට අවුරුදු 71 ක් තුල ලංකාවට මෙම කොල, නිල්, රතු පක්‍ෂ දේශපාලක රැළවල් විසින් උරුම කරදී ඇති අවාසනාවන්ත දේශපාලන, ආර්ථික, සමාජීය හා අධ්‍යාත්මක ඉරණමෙන් රට ගොඩ ගැනීම සඳහා මොවුන් ඉවත්කරදැමිය යුතුය යන මහජන මැසිවිල්ලක් දැන් කරලියට මැතුවී ඇත.

ඩොනමෝර්-පිරිත්නූල් බෞද්ද්ධයින්

1921-24 කාලයේ සිටම දේශපාලනයේ සිටි සිංහල කළු සුද්දන් ගියේ යුරෝපීය ක්‍රිස්තියානි චින්තනය මත පදනම්වූ රටට විනාශය ගෙනා පාරකය. මොවුන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට ධර්‍මපාලතුමා ගත් උත්සාහයට ඉඩක් නොලැබුනේ ඒ නිසාය. අවසානයේ සිදුවූයේ ඩී එස් සේනානායක, ඩී බී ජයතිලක වැන්නන්ද එකතුව (මාක්ස්වාදීන් ගැන කියනුම කවරේද?) ධර්‍මපාලතුමාව රටින් එලවා ගැනීමය. අඩුතරමින් 1948 න් පසුව වත් සිදුවිය යුතුව තිබුණේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්වය මත ගොඩනැඟුණ, 1815 ට පෙර පැවති බෞද්ද්ධ මධ්‍යම ප්‍රතිපදාවෙන් පණ ගැන් වුන රාජ්‍යපාලන ක්‍රමයකට යෑමය. ඒ වෙනුවට සිදුවූයේ අගමැති ඩී එස් විසින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ට දුන්, ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්‍ෂා පදයක් නැතැයි යන අවඥා සහගත උත්තරයය. 1948 න් පසු රටේ නියම සිංහල බෞද්ධ පාලකයෙක් සිටියාද යන ප්‍රශ්ණය අසනවිට මට මතක් වන්නේ අගමැති සිරිමා බණ්ඩාරණායක විසින් සංචාරක වීසාවක් මත පැය ගානකටවත් දළදා මාළිගාව වැඳයාමට දලයි ලාමාට ඉඩ නොදුන්නේ චීනයට බයේද යන කතාවය. දැන් අස්ගිරි මහනාහිමියන්ට දලයි ලාමා කරන චෝදනාව ඉතිහාසයේ සරදමක් නොවේද කියා මට සිතේ. මේ හැම දෙනාම කෙළෙස් පිරි පංචස්කන්ධය! 1931 න් පසු සිංහල චන්ද ගන්නට බෞද්ද්ධාගමට මාරුවූ දේශපාලක ඩොනමෝර් බෞද්ද්ධයින් සෝම හාමුදුරුවන්ගේ සැකකටයුතු අපවත්වීමත් (2003) සමඟ එතැන් සිට කඹ වැනි පිරිත්නූල් අතේ බැඳගත් නාමික බෞද්ද්ධයින්ව ඇත.

ඕල්කොට්තුමාගේ ප්‍රාතිහාර්යය

පාස්කු ප්‍රහාරය යනු මැතිවරණ කල් දැමීමට යම් දේශීය-විදේශීය හස්ත ගත් කූඨ සැලැස්මක් පාරා වළල්ල වීමක්ද යන සැකයක් ඇතත් (උදාහරණයක් වශයෙන් ටාජ් සමුද්‍රා බෝම්බ කරුගේ හැසිරීම), 2020 මැතිවරණ රටේ ඉරණම තීරණය කරන බව නම් නිසැකය. පාස්කු ප්‍රහාරයට පෙර ලංකාව දැන් නැත. හිත හොඳ ගෑණුන් සේ පාපිස්සක්ව සිටි හා බුද්ද්ධ සාසන ඇමති යන බොරු අමාත්‍යාංශ හරහා බුද්ද්ධාගම පෝෂණය කරනවා යයි ඔවුන් රවටමින් යටින් වහාබ් වාදීන්ට වාසි ලබාදුන්, විල්පත්තු දේශපාලකයින්ට විරුද්ද්ධව සිංහල බෞද්ද්ධ ජනයාගේ අවදිවීම, ගංගොඩවිල සෝම හිමියන්ගේ උත්සාහය පල දැරීමකි. ඇමෙරිකන් තානාපතිනියට හා රනිල්-චන්ද්‍රිකා ඇතුළු එන්ජිිෝ නඩයට රැවටී, මහත් සිත් වේදනාවෙන් මිය පරලොව ගිය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවතාරය ජාතීද්‍රෝහී යහපාලන හොරුන්ට සාප කිරීමකි. හාමුදුරුවරුන් විශාල වශයෙන් සංවිධානගත නොවීම 1880 ඕල්කොට් ලංකාගමනයෙන් පසු සිදුවී විෂ්මිත දෙයකි. ඊට පෙර බෞද්ද්ධ අධ්‍යාත්මික-සමාජීය සටනට නායකත්වය දුන් පන්සල් පිළිකන්නට ගොස් ගිහි (හා පැවිදි) ඕල්කොට් බෞද්ද්ධයින් පිරිසක් සුක්කානම අතට ගෙන වැඩේ කුරුවල් කලේය. 1956 දී වුනේ ඒ නැස්පත්තියය. 2004 දී ආසන නවයක් දිනාගත් ජාතික හෙළ උරුමය මඟින් සිදුවූයේද සිංහලයින්ට බෞද්ද්ධ දේශපාලනය අරහං කරවීමය. ආනන්ද විද්‍යාලය ආරම්භ කිරීමට ඕල්කොට් විසින් ගෙන ආ ලෙඩ්බෙටර් කලේ ඉන් විශ්‍රාමගත් පසු කලේ ලන්ඩන් ගොස් තමන්ට කලින් පුරුදු පල්ලියේ පූජක වෘත්තියට බැසීමය! ලංකාවේ හාමුදුරුවරුන්ට සිදුවූයේ ඕල්කොට් පක්‍ෂ දේශපාලකයින් අතර බෙදී යාමටය. ඕල්කොට්තුමා බෝධිසත්වයෙක් විය. කළු සුද්දන් ඩොනමෝර් බෞද්ද්ධයින් විය.

වැද්දාගේ දැල හා වටු කුරුල්ලන්ගේ සමඟිය

මෙම අතීත අත්දැකීම් ඉදිරියේ දැනට පෙනෙන ආකාරයට හොඳම උපාය මාර්‍ගය ඉදිරිපත් කරන්නේ බොදු බල සේනාවේ ඥානසාර හිමියන් විසිනි. උන්වහන්සේම කියන ආකාරයට හිරේට ගිය ඥානසාර හා හිරෙන් එලියට ආ ඥානසාර කියන්නේ දෙන්නෙකි. වහාබ්-ශාරියා මතවාදය, මතවාදී සටනකින්ම පරාජය කලයුතුය යන තර්‍කය පිළිගත නොහැකි යම් භික්‍ෂූ සංවිධානයක් මේ අවස්ථාවේ රටේ සිටිය නොහැකිය. දැනට පවතින අසාර්‍ථක, බංකොලොත් දේශපාලන ක්‍රමයට විරුද්ද්ධව හඬනගන නාගානන්ද කොඩිතුවක්කු, රොහාන් පල්ලෙවත්ත හා සර්වෝදයේ වින්‍යා ආරියරත්න යන අයද මෙම මූලික තර්‍කයට එකඟ නොවන්නේ නම් එය ඔවුන් විසින් පැහැදිළි කලයුතු ප්‍රශ්ණයක් වන්නේය.

ශාරියා-වහාබි මතවාදයට විරුද්ද්ධ සටන 1873 පානදුරාවාදයට වඩා කෙතරම් වෙනස්ද යන්න හිස්බුල්ලාගේ අරාබි ශරියා විශ්ව විද්‍යාල මගඩිය, රිෂාඩ්ගේ විල්පත්තු මගඩිය නොව පානදුර අසල බණ්ඩාරගම අටළුගම සිංහල බෞද්ද්ධ පුරුෂයෙකු හා විවාහවූ මුස්ලිම් ස්ත්‍රියට පොලිස් නිලධාරීන් ඉදිරියේම මහපාරේ ගල් ගසා ගෙනයාමේ සිද්ද්ධියෙන් පැහැදිලිවේ. මෙය මීට පෙර අළුත්ගම පන්සලක හාමුදුරුනමකට පොසොන් පෝයදා හිංසා කිරීම හා පන්සල ඉදිරිපිට හරක් ඔළු දැමීමට වඩා වෙනස් භයානක කරුණක් වන්නේ බලයේ ඉන්නා සිංහල දේශපාලකයින්ගේ හා පොලිසියේ අනුදැණුම ඇතුව එය සිදුවීමය. අරාබියේ ක්‍රියාත්මකවන නීතියක්, සිංහල බෞද්ද්ධ ගම් වලින් වටවී තිබෙන මුස්ලිම් පල්ලි හතක්ම ඇති මුස්ලිම් ගම්මානයක මෙසේ එළිපිට ක්‍රියාවේ යොදවන්නට තරම් වහාබි බලය ව්‍යාප්තව ඇතිබව මින් පෙනී යයි.

මෙම මතවාදී යුද්ද්ධය දැන් ඉන්නා පක්‍ෂ දේශපාලකයින්ට විසඳිය නොහැකි බව අටළුගම සිදුවීමෙන් හා පාස්කු ප්‍රහාරයට අදාලව දේශපාලකයින් පාර්ලිමේන්තුවේ හා ඉන්පිටතදී කරණ (හා නොකරණ) ප්‍රකාශ වලින් පැහැදිලිවේ. අවුරුදු 71 ක් තුල දේශපාලකයින් රටට කල විනාශයේ අළුත්ම අර්බුදය මෙම ශාරියා මර උඟුලය. මේ සඳහා රටේ සියළුම පන්සල් හා භික්‍ෂූන් එකමුතුව පෙරමුණ ගතයුතු බව ඥානසාර හිමියන් විසින් පෙන්වා දී තිබේ. මෙහිදී බෞද්ද්ධයින් අතර ආන්දෝලනාත්මක චරිතයක්ව සිටින සිරි සධ්ධම්ම හිමියන්ගේ අදහස් පවා සළකා බැලිය යුතු බව ඥානසාර හිමියෝ පවසති. සංඝ සමාජය එක් ධජයක් යටතේ එකමුතු නොවුනොත්, ඉදිරි මැතිවරණයකදී සිංහල බෞද්ද්ධ රාජ්‍ය පාලන ක්‍රමයක් බිහිකර ගැනීමට ඇති ඓතිහාසික අවස්ථාව රටෙන් ගිලිහී යනු නිසැකය. ලංකාව කැබලිවී විනාශය කරා යනු ඇත. රට මුදාගත් රණවිරුවන්ට ඇප නොදී හිරේ දමාගෙන ඉන්නා අසාධාරණ සුද්දගෙ නීතියට විරුද්ද්ධව තම වේදනාව හා ආතතිය සඟවා ගත නොහැකිවීම දඩමීමා කරගෙන මිසිස් චන්ද්‍රිකා ප්‍රධාන ජාති භ්‍රෂ්ටයින් විසින් ඥානසාර හිමියන්ව සිරගත කලේය. මේ නිසා මෑතකදී නව පණක් ගත් විවිධ සංඝ සංවිධානවලට වඩා මෙම ශාරියා උවඳුර සම්බන්ධයෙන් බොදු බල සේනාවට අවස්ථාවාදී නොවන කැක්කුමක් ඇතිබව අප විසින් පිළිගත යුතුය.

නව දස පණතක් ඉදිරිපත් කරමින් කරුණු රැස්කරණ මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ ජාතික විද්-වත් භික්‍ෂූ සංසදය, ඊලම් යුද්ද්ධයේදී සතුරන්ගේ වෙඩි පහර වලින් හා වසදී ඝාතනය කිරීමේ උත්සාහවලින් බේරුණු ඇල්ලේ ගුණවංශ හිමි, අතුරැලියේ රතන හිමි, මාවරලේ භද්දිය හිමි, පාහියන්ගල ආනන්ද හිමි, කොටුවේ පොඩි හාමුදුරුවෝ, කාගම සිරිනන්ද හිමි, මඩකලපුව ශ්‍රී මංගලාරාමයේ සිට ජීවිතය හා මරණය අතර සටනක් කරණ අම්පිටියේ සුමනරතන හිමි (තව අවුරුදු පනහකදී බෞද්ද්ධයින්ට අත් වන ඉරණම දැන් මඩකලපු දිස්ත්‍රික්කය තුල සිදුවන ආකාරය උන්වහන්සේ සංඛ්‍යා සහිතව සමස්ත ලංකා බෞද්ද්ධ මහා සම්මේලනයේ බෞද්ද්ධ හිමිකම් පිළිඹද පරීක්‍ෂණ සභාවට නොබෝදා පෙන්වා දුන්නේය) යන හාමුදුරුවරු සියළු දෙනාම එක ධජයක් යටතේ එක වේදිකාවකට ඒමෙන් පමණක් පෘතග්ජනයින් වශයෙන් අප සැමට ඇති ලෝභ, ද්වේෂ, මෝහය ජයගත හැකිවන්නේය. කෙස් පැලෙන තර්‍ක විතර්‍ක නොව ප්‍රඥාව හා ත්‍රිපිටකයේ සූත්‍රම විග්‍රහ කරගත යුතුය. ගුණදාස අමරසේකර, නලින් සිල්වා යන ගිහි නායකයින් මේ බව වටහා ගෙන ඇති බව පෙනේ. ඥානසාර හිමියන් මූලිකව ජූලි 7 දා මහනුවර පැවැත්වීමට යන ජාතික සමුළුවට නිහතමානීලෙස ජාත්‍යාලයෙන් සහභාගීවීමෙන් රටේ සිංහල, දෙමළ හා සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට ආදර්‍ශයක් හා පණිවුඩයක් දිමට මෙම භික්‍ෂූ සංවිධාන ක්‍රියාකරණු ඇත යන්න රටේ බලාපොරොත්තුවය.

මේ සිංහල අපගෙ රටයි

රැජිණ මමයි-රැජිණ මමයි සිංදුව ගනයටම නන්දා මාලිනි ගයන, මේ සිංහල අපගෙ රටයි යන සිංදුවද වැටුනේ කෙසේද? සිංහල බෞද්ද්ධයාට, සිංහලයාට ලෝකයේ ඇති එකම බිංකඩ
සිංහල බෞද්ද්ධයාගේ රටයැයි කීමේ ඓතිහාසික වගකීම 1505 පෘතුගීසි විනාශ වලට පසුව ඉෂ්ට කලේ පිය පාර්‍ශවයෙන් බෞද්ද්ධ පසුබිමක්ද ඇති මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් 2018 වර්‍ෂයේදී වීම පිරිත්නූල් බෞද්ධයින් විසින් ලැජ්ජා වියයුතු කරුණකි. 1815 න් පසු සිංහල බෞද්ද්ධයාට සිදුවූ අයුක්තිය 1931 හෝ 1948 හෝ 1956 න් පසුව හෝ නිසි පරිදි නිවැරදි නොකිරීම සෙසු සුළු ජනවර්‍ග වලට හානිකිරීමක් යන මතය මෑතකදී (1970 දශක මුල) ප්‍රචලිතකලේ ඉංග්‍රිසී මවක් සමඟ ලන්ඩන් සිට ආ මාක්ස්වාදී විශාඛා කුමාරි ජයවර්‍ධන (සොයිසා) නම් නෝනාය. බුද්ද්ධාගමට ද්‍රෝහිවීම යන ස්ටැන්ලි තම්බයියා විසින් ලියූ පොතේ පිටකවරයට (1990 දශක මුල) මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ රෞද්‍ර මුහුණක් සැපයූවේද ඇය ය.

කතෝලිකයින්ට හා මුස්ලිම්වරුන්ට රැකවරණය දීම අතීත සිදුවීම්සේ අමතක කලත්, යාපනයේ අර්‍ධ වහල් භාවයේ සිටින දෙමළ කුලීනයින් හෝ ඉන්දියාවේ ඩලිත් ජනයා හෝ අතර බුද්ද්ධාගම පැතිරවීමටවත් හාමුදුරුවරු ක්‍රියා නොකලේය. 1798 නෝත් හා පසුව බ්‍රවුන්‍රිග් ආණ්ඩුකාරවරු කියා සිටියේ ගම හා පන්සල අතර ඇති බැඳීම කඩා දැමීමේ අවශ්‍යතාවයමය. මේ සඳහා ඇති ඍජු ඉඩකඩ 1948 න් පසු අවහිර වුවත්, සිංහල බෞද්ද්ධ අන්තවාදයක් ලංකාවේ ඇතිබවට ප්‍රචාරයක් ලොව පුරා පැතිරීයාම කෙතරම්ද යන්න දළයි ලාමා පවා පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනයාගේ මානව අයිතිවාසිකම් කඩවීම ගැන ඇමෙරිකාවේ සිට කඩේයාමෙන් මොනවට පැහැදිලිවේ. සුමන්තිරන්ලා, පාක්‍යශොතිලා, ජෙහාන් පෙරේරලා ලෝකයම නොමඟ යවන්නේ ඩොලර් බලය නිසාය.

සිංහල බෞද්ද්ධයන්ට වූ අසාධාරණකම් ගැන කොමිෂන් සභා කීයක් 1956 සිට නිර්දේශ ඉදිරිපත් කලාද? චන්ද්‍රිකා නෝනා පත්කල 2002 කොමිෂම් වාර්තාවේ ඉස්ලාම් අන්තවාදය ගැනද පෙන්වාදී තිබුණේය. 2003 දී සෝම හිමිඳුන් ජීවිතය දුන්නේද මේ ගැන රට අවධිකරමින් සිටියදීය. සෝම හිමියන්ගේ දායාදයෙන් වාසි ලබාගත්තේ අවස්ථාවාදී පිරිත්නූල් බෞද්ද්ධයින් අතලොස්සකි. 2012 මැයි සිට ඥානසාර හිමියන් ශාක්‍ෂි සහිතව පෙන්වා දුන්නේද මෙයමය. උන්වහන්සේටද මරණය වෙනුවට හිරගෙය උරුමවීම එක අතකින් ජාතියේ වාසනාවකි. අස්ගිරි ප්‍රකාශණය (2017 ජූනි 20) හා අස්ගිරි නිවේදනය (2017 ජූලි 4) නිකුත් වන තෙක් ගිහි-පැවිදි ලංකාවේ ඕල්කොට් බෞද්ද්ධයින් ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගෙන ගියේ පණිවුඩකරුට වෙඩිතැබීමේ න්‍යායයය. ඒ කාලයේ 1940 ස් ගණන්වල ධර්‍මපාලතුමාට වුණේද මේ දෙයමය.

බුද්ද්ධාගම, බෞද්ද්ධ දර්‍ශනය කියා දෙකක් පෙන්වා බෞද්ද්ධයින් දෙකට බෙදීමේ ව්‍යාපාරය සිංහල ගෝලයින් දෙතුන් දෙනෙක් සමඟ ගෙන ගියේ ස්ටැන්ලි තම්බයියා විසිනි. ඔහු ඇසූ ප්‍රශ්ණය නම්, අහිංසාව වෙනුවට බෞද්ද්ධයින් විසින් මිනී මරණ්නේ ඇයි යන්නය. ඔහු ජීවත්ව සිටියදී මේ ගැන ඊමේල් හරහා ඔහුට දුන් ශාස්ත්‍රීය උත්තරයට ප්‍රතිචාරයක් ලැබුණේ නැත. මේ ගැන ලංකාවේ සිංහලයින්ට නන්දා මාලිනීගේ නවගුනවැල ගණන් කිරීම හා කඩුවක් අතට ගැනීමේ වෙනස පෙන්වන සිංදුව වැදගත් වේ. ඇෆ්ඝනිස්ථානය, ඉරානය, පකිස්තානය, බංගලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව, මාලදිවයින හා පිලිපීන දූපත් මෑතක් වනතුරුම බෞද්ද්ධ රටවල් විය. ඉන්දියාවේ අයෝධ්‍යාවේ හින්දු රාමා දේවාලය-ඉස්ලාම් මෝගල් පල්ලිය ගැටුමේදී අන්තිමේදී එලිවූයේ ඒවාට යටින් බෞද්ද්ධ විහාරයක් නටඹුන් ඇතිබවය. පොලොන්නරුවේ ශිව දේවාලය ගොඩනඟා ඇත්තේ විහාරයක් උඩය. අරාබියේ මක්කම ගල යටින් ඇත්තේද බෞද්ද්ධ නටබුන් නොවේදැයි සිතෙන්නේ තපස්සු භල්ලික වෙළදුන් නිසා පමණක් නොව සූත්‍ර පිටකයේ සඳහන් වන පරිදි පුන්න තෙරුන් සුනාපරන්තයේ මකුලකගාමයේ පන්සලක් සදාගැනීම නිසාය (මේ පිළිඹදව පර්යේෂණාත්මක කෘතියක් ඒ ඩී ඩී පෙරේරා විසින් ලියා ඇත). මෙය කනිෂ්ක රජු සමයට අයත් මිලින්ද ප්‍රශ්නයේද සඳහන් වන අතර, බැමියන්-අව්කන බුදු පිලිම අතර ඇත්තේද මෙම යෝනක සම්බන්ධයමය.

ඉංග්‍රීසීන් විසින් සිංහලේ සූරාකෑමේදී සිංහල ජනතාවට කල හානියේ එක් අංගයක් වූයේ සුළු ජනවර්‍ග වලට වාසිදී මහජාතිය දුර්‍වල කිරීමය. වතුකරයට ඉන්දියානු ජනයා ගෙන ඒම වෙනමම ක්‍රියාදාමයකි. කුමණ වෙනස්කම්, ජනසංහාර ඉදිරියේ සිංහල ජනයා නොනැසී සිටියේ පන්සල් හා ගම අතර තිබූ ගහට පොත්ත වැනි බැඳීම නිසාය. වැලිවිට ශ්‍රී සරණාංකර සංඝරාජ හිමියන්ට කොළඹ සිට ගොස් වසදීමට තැත්කිරීමේ සිට එන්ජිිෝ ඩොලර් කාක්කෙක් වන පාක්‍යාසෝති විසින් දැන් අස්ගිරි මහනාහිමියන්ට නඩුදැමීම දක්වා දුවන්නේ මෙම සම්බන්ධයට විරුද්ද්ධ ප්‍රතික්‍රියාවය. සිංහල බෞද්ද්ධයාට ජාතියක් වශයෙන් තම ආගම ධර්‍මය අනුව වෙන ජනවර්‍ගයකට හානි කල නොහැකිය. 1994 දී මාස තුනහමාරක් තුල ලක්‍ෂ 5-10 අතර ටුට්සි ජනයා රුවන්ඩාවේ හුතු ජනයා විසින් සමූලඝාතනය කරන ලදී. සුදු පාලකයින් විසින් ටුට්සි සුළු ජන වර්‍ගයට වාසි සලසාදී හුතු මහ ජනවර්‍ගයට බලවත් වෙනස්කම් කරනලදී. මෙය ලංකාවේ සිංහල ජනයාට ඉංග්‍රීසීන් සලකූ ආකාරයට සමානය. එහෙත් ලංකාවේ එවැනි ජන සංහාරයක් සිදු නොවූයේ පන්සලේ ආභාෂය නිසාය. යාපනේ පුස්තකාලය ගිනිතැබීම හා 1983 ජුලි දෙමළ ඝාතන බලයේ සිටි යූ එන් පී රජයේ දාමරික පිරිස් කල ක්‍රියාවක් මිස සිංහල බෞද්ද්ධයින් කල දෙයක් නොවීය.

දුටුගැමුණු-තිස්ස සහෝදරයින් සමඟි කල කාලයේ සිටම ජාතියේ මුරදේවතාවුන් ලෙස පෙනීසිටි සංඝයා වහන්සේ ඕල්කොට් යුගයේ සිට පසු බැස්සේය. ජාතික සේවය ගැන ධර්‍මපාලතුමා පන්සල් වලට නිතරම පෙන්වා දුන්නේය. පක්‍ෂ දේශපාලනයට ගොදුරුවීම නිසා මුරදේවතා කාර්යය පලුදුවූයේය. මෙම නරක ආදර්‍ශය නිසා ගම්වල ගිහියන්ද පක්‍ෂ අනුව බෙදී ගියේය. මේ සමඟ භික්‍ෂූ විනය පිරිහීමද සිදුවිය. වෙනත් ආගම්වල මෙන් නොව ගමේ පන්සලේ නායක හිමියන් ස්වෛරී ආයතනයක ප්‍රධානියා විය. මධ්‍යම සංවිධානයක් මඟින් පාලනයක් තබා නිරන්තර මඟ පෙන්වීමක් වත් නොවීය. මේ නිසා දේශපාලකයින් කතෝලික කාදිනල්තුමාට, මහානායක හිමිවරුන්ට වඩා ඉහලින් සැළකුවේය. මේ වනවිට කාදිනල්තුමා විසින් යම් ආකාරයක මුරදේවතාවෙක් වී සිටී. මානව අයිතිවාසිකම්, නිරාගමික සමාජය, සමලිංගික අයිතිය යනුවෙන් අළුතෙන් එන යටත් විජිත වාදයට එරෙහිව එතුමා ප්‍රසිද්ධියේ කතා කරන්නේ පක්‍ෂ දේශපාලකයින්වද මුසපත් කරවමිනි. යුරෝපීය රටවල් හා එන්ජිිෝ මුදලාලි විසින් ලංකාවට මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය කියාදීමට සැදීම හාස්‍යජනකයයි එතුමා කියයි.

එක රටක්, එක නීතියක්, එක අධ්‍යාපන ක්‍රමයක් යනාදී මාතෘකා යටතේ අතරමංවී සිටින දේශපාලකයින් දැනට කරණ යෝජනා මහජනයා රැවටීමට කරණ කතා මිස, මේ පවතින දූෂිත ක්‍රමය යටතේ කල නොහැකි දේවල් ය. ස්ත්‍රීන් හතරක් විවාහ කර ගැනීමේ අයිතිය, බාල වයස් විවාහ, මද්‍රසා වසා දැමීම මේ 225 දෙනාට කල හැකිද? රටට අවශ්‍යව ඇත්තේ මෙම දූෂිත පිරිස් ඉවත්කර දමා හැම දේශපාලකයාම බොරුවට කතා කරණ බෞද්ද්ධ රාජ්‍ය පාලන ක්‍රමයක් නියම වශයෙන්ම රටේ ඇතිකිරීමට පදනම දැමීමය. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට සමඟියෙන් හා සාමයෙන් ජීවත් විය හැක්කේ එවිටය. නොයෙක් ආකාරයේ විද්-වත් සභා නොයෙක් දේ කතා කරයි. නාගානන්ද හා රොහාන් නොයෙක් විශේෂඥ කොමිටු ගැන කියයි. එහෙත් ඉතාමත්ම සරල හා ඉතාමත්ම වැදගත් දෙයක් වන ග්‍රාම සේවා නිලධාරී වසම් පරිසර භූගෝලීය නිර්‍ණායක (ජලය) අනුව නැවත බෙදීම කතාකරණ කිසිවෙක් නැත. 4000 ක් වූ මෙම ඒකක 14,000 දක්වා වැඩිකලේ ජනාධිපති ප්‍රේමදාසය. චන්දයට දින දෙකකට පෙර අශ්‍රාෆ්ගේ ඉල්ලීමට අල්ලසක් වශයෙන් දිස්ත්‍රික් මන්ත්‍රී කඩ ඉම සියේට දොලහමාරේ සිට පහ දක්වා අඩුකලේද ඔහුය. මෙම ග්‍රාම සේවා වසමක දැනට රජයේ නිලධාරීන් හය දෙනෙක්ම සිටී.

මූලික වශයෙන් ගත් විට ඥානසාර, රතන හා අභයතිස්ස යන හාමුදුරුවරුන් තුන් නම කෙරෙහි පැවරී ඇති යුග මෙහෙවර නම් සාකච්චාකර පොදු එකඟතාවයකට පැමිණ මහජනයාගේ විශ්වාසය දිනාගෙන බෞද්ද්ධ බලය පෙන්වා සුදුසු ජනාධිපති කෙනෙක් තෝරාගැනීමය. ඉන් පසු ඇත්තේ දුෂ්කර ගමනක් නොවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress