මෙහෙමයි වුනේ – (පළමුවැනි කොටස)
Posted on July 29th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අපේ තාත්තා හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. 1977 අවුරුද්දේ ජූලි මාසේ 21 වැනි දා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් තිබ්බා. ඒ වෙද්දි මට අවුරුදු අටක් සම්පූර්ණ වෙලා නෑ. හැබැයි ඒ වෙලාවේ සිද්දවෙච්ච සමහර දේවල් මට තාමත් මතකයි.

අපි ඒ කාලේ හිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසනයට අයති හරස්බැද්ද ගමේ. අපි පදිංචිවෙලා හිටියේ ඉස්කෝලේ ගුරු නිවාසයේමයි. තාත්තා තමයි ඉස්කෝලේ විදුහල්පති. ඡන්දේ කිට්ටුව නිල්දණ්ඩාහින්නේ රැස්වීමක් තිබුණා. අපේ තාත්තා තව මිනිස්සු මහ ගොඩක් එක්ක නිල්දණ්ඩාහින්නට පෙළපාලියකින් ගියා. ඒ කාලේ හරස්බැද්දේ ඉඳලා නිල්දණ්ඩෙට බහින්න කැලෑ පාරක් තිබුණා. මහ පාරෙන් යනවා නම් බස් දෙකකින් යන්න ඕන. මුලින් හරස්බැද්දේ ඉඳලා වතුමුල්ලට ගිහිල්ලා ඊට පස්සේ එතැන ඉඳලා නිල්දණ්ඩෙට යන්න ඕන. ඒත් පයින් යද්දි එච්චර නටන්න ඕන නෑ. හරස්බැද්දේ ඉඳලා කන්ද පල්ලෙහාට බැස්සාම හරි. ඒ පාර හැතැප්ම පහක් හයක් විතර දුර ඇති කියලා මට හිතෙනවා. ඒ ගැන ටක්කෙට ම කියන්න මම අදටත් දන්නේ නෑ.

නිල්දණ්ඩේ තිබුණු රැස්වීමට සිරිමාවෝ මැතිනිය ඇවිල්ලා හිටියා. එතුමිය ඒ රැස්වීමට ඇවිල්ලා තිබුණේ හෙලිකොප්ටරයකින්. ඒ තමයි මම හෙලිකොප්ටරයක් දැකපු මුල් ම වතාව. ඒක රතු පාට ඉරි තිබුණු සුදු පාට හෙලිකොප්ටරයක් බවයි මට මතක.

ඊට පස්සේ දවසක ඡන්දේ තිබුණා. හරස්බැද්දේ ඡන්ද මධ්‍යස්ථානය තිබුණේ ඉස්කෝලෙමයි. ඒ ඡන්ද මධ්‍යස්ථානේ වැඩට ආපු පොලිස් රාළහාමි‍ කෙනකුගේ තුවක්කුවක් ඉස්කෝලේ ශාලාවක් ඇතුළේ බිත්තියකට හේත්තු කරලා තිබුණා. ඒ තමයි මම තුවක්කුවක් දැක්ක මුල් ම වතාව. ඉතින් මම සෑහෙන වෙලාවක් ඒ දිහා බල බලා එහාට මෙහාට ගියා.

දවසක් දෙකක් ගියා ම මහ කලබලයක් පටන්ගත්තා. දවල් කාලේ තාත්තා ගෙදර හිටියේ නෑ. රෑ ගොම්මන් වෙද්දි තාත්තා ගෙදර එනවා. ඊට පස්සේ අපිත් එක්ක හරස්බැද්ද පන්සලට පල්ලෙහාට වෙන්න පල්ලමේ තියෙන මහ මානා කැලේකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. එළිය වැටෙද්දි අපි අම්මා එක්ක ආපහු ගුරු නිවාසයට එනවා. තාත්තා එන්නේ නෑ. දවල්ට ඉස්කෝලේ පහු කරගෙන එහෙ මෙහෙ යන මිනිස්සු අම්මාට මොන මොනවා ද කියනවා. අම්මා ඒ මිනිස්සුන්ට බනිනවා.

මෙහෙම ටික දවසක් ගියාට පස්සේ අපි ගුරු නිවාසය අත හැරලා හරස්බැද්දෙන් උඩ කන්දේ තියෙන දර්පනාහෙළපතන කියන ගමේ පදිංචියට ගියා. ඒ ගමේ ගෙයක් හදාගන්න උදව් කළේ ගල්කඩපතන ගමේ හිටිය පියදාස මාමා. තාත්තාව කුරුණෑගලට මාරු කරලා යවලා. අපි දර්පනාහෙළපතනේ ඉඳලා තේ වතු මැද්දෙන් පල්ලම් බැහලා හරස්බැද්දේ ඉස්කෝලෙට යනවා.

ඒක අපිට නම් හරි ම සුන්දර කාලයක්. දර්පනාහෙළපතන කියලා කියන්නේ පුදුමාකාර විදිහට සීතල තැනක්. ඉතින් රෑ නිදාගන්න වෙලාවට අම්මා අපිට ගෝනිත් පොරවනවා. අපිට ඒකේ වගක් නෑ. උදේ පාන්දර නැගිටලා බැලුවා ම පේනවා පතන දිගේ උඩහට වල් ඌරෝ දුවනවා. මහ ගල් ගෙඩි වගයක් පහළ ඉඳලා ඉහළට පෙරලෙනවා වගේ තමයි. අපේ ගෙවල්වලට උඩින් මහ විශාල පර්වතයක් තිබුණා. ඒ පර්වතයෙන් එහා පැත්තේ තියෙන්නේ මතුරට කියලා මම අහලා තියෙනවා. ඒත් ඒ පර්වතය පැත්තට නඟින්න අවස්ථාවක් අපිට ලැබුණේ නෑ. අපේ ගෙදර ආවම බාප්පා නම් නිතර ම ඒ පැත්තට යනවා.

1978 අවුරුද්ද වෙන කල් මම ඉගෙනගත්තේ එක පංතියක. හැබැයි මගේ නම තිබුණේ පහළ පංතියේ. ඉතින් නම ලකුණු කරන වෙලාවට පහළ පංතියට ගිහිල්ලා ඒ වැඩේ කරලා මම ආයෙත් ඉහළ පංතියට එනවා. ඒ කාලේ මම තමයි පංතියේ පළවෙනියා. ඉතින් ඒ අවුරුද්දේ මට ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබුණා. ඒ කියන්නේ මගේ නමත් මම ඉගෙනගත්ත පංතියේ නාම ලේඛනයට ම වැටුණා.

ඒ වෙද්දි තාත්තා ඉගැන්නුවේ පඬුවස්නුවර ආසනයට අයිති මගුලාගම කනිෂ්ඨ විද්‍යාලයේ. 1978 අවුරුද්දේ මැද හරියේ තාත්තා අපිවත් මගුලාගමට එක් කරගෙන ආවා. මගුලාගම ඉඳලා පඬුවස්නුවරට යන පාරේ තිබුණු ගෙයක් තමයි තාත්තා කුලියට ඇරගෙන තිබුණේ. සීතල පළාතක ඉඳලා රස්නේ පළාතකට ආපු හින්දා ද කොහෙද නංගි නිතර නිතර ම ලෙඩ වුනා. ඒ වෙද්දි එයාගේ වයස අවුරුදු හතරක් විතර ඇති.

මගුලාගම ජීවිතය හරස්බැද්දේ පැත්තේ ජීවිතයට වඩා ගොඩක් වෙනස්. මිනිස්සු පාවිච්චි කරපු වචනවල වුනත් තරමක වෙනසක් තිබුණා. ගෙදර පාවිච්චි කරන ආයුධවල නම් ලියන්න කියලා කිව්වාම අනිත් ළමයි මන්නය” කියලා එකක් ගැන ලිව්වා. එහෙම එකක් නෑ කියලා මම ඒ ළමයි එක්ක වාද කළා. පස්සේ පස්සේ ඒ පැත්තේ දේවල්වලට අපිත් හුරුවුනා. ඒත් මම තාමත් කතාකරද්දි යන්ට, එන්ට” කියලා තමයි කියන්නේ. ඒවා හදන්න බෑ!

මම ශිෂ්‍යත්වයට ලිව්වේ 1979 අවුරුද්දේ. ඒ කාලේ ශිෂ්‍යත්ව විභාගය තියන්නේ වට දෙකකින්. මුල් විභාගයෙන් පාස්වෙන අයට තමයි දෙවැනි විභාගයට ලියන්න පුළුවන්. මුල් විභාගය තිබුණේ මගුලාගම මහ විද්‍යාලයේ. ඒ විභාගයෙන් අපි හත් දෙනෙක් පාස්වුනා. ඊට මාස කීපයකට පස්සේ දෙවැනි ශිෂ්‍යත්ව විභාගය තිබුණේ හෙට්ටිපොළ මහා විද්‍යාලයේ. ශාලාධිපතිතුමා පයිප්පයක් බිව්වා. ඒක පත්තු කරන්න එතුමා දිගින් දිගට ම ගිනිකූරු ගහනවා. ඉතින් මම ගෙදර ඇවිල්ලා කිව්වා පයිප්පය බොන්න ශාලාධිපති සර් ගිනිකූරු 28 ක් ගැහුවා කියලා. ඒක අහලා තාත්තාට යකා නැග්ගා. කොල්ලා විභාගේ ෆේල් වුනොත් මම ඔකාට හොඳ වැඩක් කරන්නේ” කියලා තාත්තා කෑ ගැහුවා.

කොහොම වුනත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන්නේ මාර්තු මාසයේ විතර. ඒ හින්දා අපිට (මටයි අයියාටයි) කුලියාපිටිය මහා විද්‍යාලයට යන්න සිද්දවුනා. ඒ වෙනුවෙන් ඇතුළත්වීමේ විභාගයක් තිබුණා. මාර්තු මාසය වෙද්දි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවා. මම විතරයි මගුලාගම ඉස්කෝලෙන් ම පාස්වෙලා හිටියේ. ඒ ගැන මට කියන්න තාත්තා කුලියාපිටිය මහා විද්‍යාලයේ ගේට්ටුව ළඟට ම ඇවිල්ලා හිටියා. ඒ ඇයි කියලා මට තේරුණේ වයස අවුරුදු තිහක් විතර වුනාට පස්සේ. තාත්තලා කරන දේවල් ළමයින්ට තේරෙන්නේ එහෙම තමයි!

ශිෂ්‍යත්වය පාස්වුනු හින්දා මට නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුවෙන්න පුළුවන් වුනා. තාත්තා මාව ඉස්කෝලේ හොස්ටල් එකේ නැවැත්තුවා. ඒ වෙද්දි හොස්ටල් එකේ හිටිය බාල ම ළමයා මම වෙච්ච හින්දා ඉස්කෝලේ වත්ත පල්ලෙහාට වෙන්න තිබුණු මහ ළි‍ඳෙන් නාද්දි ලොකු අයියලා තමයි වතුර ඇදලා මාව නෑව්වේ.

මම ඒ කාලේ මාසයකට වතාවක් ගෙදර යනවා. මුලින් ම නාරම්මල ඉඳලා බස් එකක කුලියාපිටියට යන්න ඕන. ඊට පස්සේ කුලියාපිටියේ ඉඳලා මූණමල්දෙණිය හරහා කටුපොත යන බස් එකකින් ගිහිල්ලා මගුලාගමින් බහින්න ඕන. ඒත් ඒ බස් එක නිතර ම නෑ. ඒ හින්දා මම හුඟක් වෙලාවට කළේ කුලියාපිටියේ ඉඳලා හෙට්ටිපොළ යන බස් එකක ගිහිල්ලා මූණමල්දෙණිය හන්දියෙන් බහින එක. ඊට පස්සේ එතැන ඉඳලා මගුලාගමට පයින් යනවා. ඒ කාලේ පොඩි ළමයෙක්ට බය නැතුව තනියෙන් බස් එකෙත් පාරෙත් යන්න පුළුවන්. ඉතින් මම වට පිට බල බලා හෙමින් හෙමින් ගෙදර යනවා.

1981 අවුරුද්දේ දී තාත්තා දඹදෙණිය ආසනයට අයිති මැටියගනේ ගමින් ඉඩමක් ගත්තා. තාත්තා දඹදෙණියට මාරුවක් හදාගෙන තිබුණා. අයියාවත් නංගීවත් දඹදෙණිය ඉස්කෝලයට ඇතුළු කරගෙන තිබුණා. අලුතින් ගත්ත ඉඩමේ කාමර දෙකක් තියෙන පොඩි ගෙයක් තාත්තා හදාගත්තා. ඊට පස්සේ මටත් පුළුවන් වුනා ගෙදර ඉඳලා ඉස්කෝලේ යන්න. මැටියගනේ ඉඳලා නාරම්මලට තියෙන්නේ හැතැප්ම හතරයි.

ගල්කඩපතනේ පියදාස මාමාගේ පුතා ජයන්තවත් දඹදෙණියේ ඉස්කෝලෙට ඇතුළත් කරපු හින්දා ජයන්ත නැවතුනේත් අපේ ගෙදර. ඒ කාලේ අයියාත් හතේ පංතියේ. ජයන්තත් හතේ පංතියේ. මමත් හතේ පංතියේ. ඒ දෙන්නා දඹදෙණියේ. මම නාරම්මල.

අපි ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ගෙදර වැඩ කරනවා. අම්මයි තාත්තායි ගෙදර එළවළු වැව්වා, බුලත් හැදුවා. අපි ඒවාට වතුර දැම්මා. බ්‍රහස්පතින්දා වෙද්දි බුලත් කඩන්න පටන්ගන්න ඕන. සිකුරාදා සෙනසුරා ඒවා තෝරලා අමුණනවා. ඉරිදා උදේ පාන්දර තාත්තා ඒවා නාරම්මල පොළට ගෙනියනවා.

අපේ අම්මා හොඳින් ඉගෙනගෙන තිබුණත් රස්සාවක් කළේ නෑ. ඒත් අම්මා නිකම් හිටියේ නෑ. අම්මා වත්තේ පිටියේ වැඩ කළා. හරක් හැදුවා. කුකුල්ලු හැදුවා. අපිත් ඒ වැඩවලට හරි හරියට උදව්වුනා. අම්මා ගෙදර හිටියාට අපිට කරන්නත් වැඩ තිබුණා. උදේට වැස්සිගෙන් කිරි ගන්න වැඩෙයි සම්බෝලය අඹරන වැඩෙයි කළේ මම. හැමෝට ම වැස්සිගෙන් කිරි ගන්න බෑ. ඌ පයින් ගහනවා. ඒ වැඩේ කරන්න පුළුවන් වෙලා හිටියේ අම්මටයි මටයි විතරයි. ඒත් අම්මාට උදේ පාන්දර කරන්න තියෙන වැඩ වැඩියි. ඒ හින්දා කිරි දෝන වැඩේ මට පැවරුනා. ඒ කාලේ ළූණු, මිරිස්, ගම්මිරිස්, ලුණු වගේ දේවල් මුලින් ගලේ අඹරලා පොලුත් දාලා තමයි පොල් සම්බෝල හදන්නේ. ඒ වැඩෙත් මට පැවරිලා තිබුණා.

ඊට පස්සේ උදේට කාලා ඉස්කෝලේ යනවා. ඒ යන ගමන් කිරි බෝතල් දෙකක් ගෙවල් දෙකකට දීලා යන්න ඕන. මේ හැම දෙයක් ම කරලා උදේ හයයි තිහේ බස් එකට මම නඟිනවා. උදේ හත වෙද්දි ඉස්කෝලෙට යනවා. ඉස්කෝලේ ඇරිලා එද්දි හිස් බෝතල් දෙක ඉල්ලගෙන එන්න ඕන. එක දවසක් මම ඒ බෝතල් දෙක එකට ගහ ගහා ඇවිල්ලා ඒ දෙක ම බිඳුණා. ඒවා ඉතින් එහෙම තමයි.

මුළු වත්තේ ම අලුතින් පොල් පැළ හිටවන්න තාත්තා තීරණය කළා. පොල් වළවල් කැපුවේ අයියයි ජයන්තයි මමයි. ඒ හැම වළක් ම අඩි තුනක් පළලට, අඩි තුනක් දිගට, අඩි තුනක් ගැඹුුරට කපන්න ඕන. මේක මොන විදිහකින්වත් හොරට කරන්න බෑ. මම කපන වළේ දිග පළල අයියයි ජයන්තයි මනිනවා. ඒ දෙන්නාගේ වැඩේ අපි දෙන්නෙක් සුපර්වයිස් කරනවා. ඉතින් අපි තුන්දෙනා එකතුවෙලා පොල් වළවල් හැත්තෑ ගානක් (මට මතක විදිහට හැත්තෑ දෙකක්) විතර කැපුවා.

ඉස්කෝලේ ඇරිලා මුලින් ම ගෙදර එන්නේ මම. එක දවසක් මම එන කල් අම්මා බලාගෙන ඉඳලා මට දවල් කෑම බෙදලා දීලා ළිඳට ගිහිල්ලා නාන්න පටන්ගත්තා. ඒක ටිකක් අමුතු වැඩක්. ඒත් මම ඒ ගැන වැඩිය හිතුවේ නෑ. මම සාමාන්‍යයෙන් වහළ දිහා බලාගෙන තමයි කන්නේ. ඉතින් මම ඒ දවස්වල සාමාන්‍යයෙන් නොකන දේවලුත් (උදාහරණයක් විදිහට කියනවා නම් තලන බටු) මට නොදැනීම කවන විදිහ අම්මා දැනගෙන හිටියා. බත් එක්ක අනලා තලන බටු ටිකක් පිඟානේ අඩියට බෙදනවා. ඊට පස්සේ බත්වලට උඩිනුත් තලන බඩු බෙදනවා. මම උඩ තියෙන තලන බටු ටික ඉතිරි කරලා අනිත් ඒවා ඔක්කොම කනවා. ඒකෙන් කමක් නෑ. ආයෙත් අර කතාව කියන්නම්.

අම්මා නාලා එද්දි මම කාලා ඉවරයි. ඊට පස්සේ තමයි අම්මා විස්තරේ කිව්වේ. ගෙදර අල්මාරිය ඇරිලා තිබිලා. ඉතින් කොහෙද යන ගමන් මීයක් (මී මැස්සෝ තොගයක්) අල්මාරියේ ඇතුළේ පදිංචිවෙලා. අම්මාට ඕන වුනේ ඒ මී මැස්සෝ ටික හෙමින් හෙමින් ඇරගෙන පරණ කළයකට දාලා අඹ ගහෙන් තියන්න. මම එන කල් අම්මා ඉඳලා තියෙන්නේ හදිස්සියක් වුනොත් දුවලා ගිහින් අල්ලපු ගෙදරකට හරි කියන්න කෙනෙක් ඕන හින්දා. ඒත් එහෙම කරදරයක් වුනේ නෑ. හිතපු විදිහට අම්මා ඒ වැඩේ කළා. මුලින් නාලා තියෙන්නේ දාඩිය ගඳ යන්න. දාඩිය ගඳට මී මැස්සෝ අනිනවා කියලා අම්මා අහලා තියෙනවා.

මැටියගනෙන් අපේ තාත්තා ඇරගෙන තිබුණේ අවුරුදු 17 ක් නඩු කියලා බෙදපු ඉඩමක්. ඒත් අපි ඒ ඉඩම ගත්ත ගමන් ම අල්ලපු වත්තේ මිනිස්සු අපේ ඉඩමට එන්න තිබුණු පාර වැහුවා. ඉතින් අපි වැටවල්වලින් රිංගලා වෙන වතු හරහා ගිහිල්ලා තමයි ඉස්කෝලේ ගියේ. අනිත් හැම ගමනක් ම ගියේ.

මේක කියවන සමහර අයට හිතෙන්න පුළුවන් අපි මහා දුක් විඳපු අය කියලා. ඒක බොරුවක්. අපි එහෙම දුක් වින්දේ නෑ. අපි බොහොම සතුටින් හිටියේ. ගෙදර ලයිට් තිබ්බේ නෑ කියලා අපිට වගේ වගක් තිබුණේ නෑ. අපේ ගෙදරට ලයිට් ගන්න කොට මම විශ්වවිද්‍යාලයේ තුන්වැනි අවුරුද්දේ ඉගෙනගන්නවා. ඔය දේවල් තිබුණේ නැතුවාට අපි බොහොම සතුටින් හිටියේ.

ඒ කාලේ දැන් වගේ නෙවෙයි. අපේ වතුවල කජු හරියට හැදෙනවා. අවුරුදු කාලෙට මම විතරක් කජු විසිදාහක් විතර එකතු කරලා විකුණනවා. අයියාත් එහෙමයි. අපේ ගම්වල හිටිය හැම කෙනෙක් ම ඒ දේවල් කළා. ඉතින් අපිට ඒවා කරන එක මහ ලොකු අමාරු වැඩක් කියලා තුන් හිතකින්වත් හිතුණේ නෑ. දැන් තමයි මේ මළ විකාර ඔක්කොම තියෙන්නේ.

අපි හතේ පංතියේ ඉන්න කාලේ වැස්සි ඇදගෙන ගිහිල්ලා අම්මාගේ අත කැඩුණා. ඒ දවස්වල තාත්තා ගමේ (වලපනේ) ගිහිල්ලා. ඒ කාලේ ටෙලිෆෝන් පාවිච්චියක් තිබුණු නැති බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් අම්මාට වෙච්ච කරදරේ ගැන තාත්තාට පණිවිඩයක් යවන්න විදිහක් තිබුණේ නෑ. අහළ පහළ මිනිස්සු උදව් කළා. ළඟපාත වෙද මහත්තයෙක් ළඟට අම්මාව එක් කරගෙන ගිහිල්ලා බෙහෙත් බැන්දෙව්වා. මුල් දවසේ අල්ලපු ගෙදර අය තමයි උයලා දුන්නේ. ඒත් ඒ වැඩේ හැමදාම කරනවාට අම්මා කැමැති වුනේ නෑ.

ඉතින් අම්මා කුස්සියේ ඉඳගෙන අපි තුන් දෙනාට (මටයි, අයියටයි, ජයන්තටයි) උපදෙස් දෙනවා. අපි තුන් දෙනා ඒ කියන කියන විදිහට උයනවා. සතියකට විතර පස්සේ තාත්තා එන කල් එහෙම තමයි සිද්දවුනේ. ඉතින් කොහොම කොහොම හරි අපිටත් උයන වැඩේ හුරුවුනා.

අපි අම්මාත් එක්ක හරි හරියට පොල් අතු විව්වා. ඒ විදිහට පොල් අතු විව්වේ ගෙදර වහළට හෙවිල්ලන්න විතරක් නෙවෙයි. වැඩියෙන් පොල් අතු වියලා විකුණන වැඩෙත් අම්මා කළා. මඩකලපුව පැත්තෙන් ආපු ලොරිවලින් තමයි පොල් අතු ගත්තේ.

වහළට පොල් අතු බඳින දවසට කලින් දවසේ තාත්තා හරි අම්මා හරි ඒ ගැන අමරේ අයියාට කියනවා. අමරේ අයියා කියලා කියන්නේ ළඟ පාත ගෙදරක හිටිය හොඳ ඉලන්දාරියෙක්. ඉතින් පහුවදා උදේට අමරේ අයියා ඇවිල්ලා හූවක් කියනවා. ඒ හූව ඇහුනා ම අහළ පහළ තරුණ අය මැදි වියේ අය හය හත් දෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා පරණ පොල් අතු කඩලා අලුතින් පොල් අතු බඳින්න පටන්ගන්නවා. මේ පොල් අතු බඳින දවසට කට්ටියට කන්න දෙන්න තාත්තා පාන් ගේනවා. අම්මා පොල් සම්බෝල හදනවා. ඉතින් ඒක අපිටත් අවුරුදු වගේ දවසක්. එහෙම දවසකට තමයි අපිට පාන් කන්න ලැබෙන්නේ!

නිතර ම වත්තේ කැලේ කපලා සුද්ද කරන්නත් අපිට සිද්දවෙනවා. ඒ දවස්වල වතුවල වැඩියෙන් හැදෙන්නේ පොඩිසිඤ්‍ඤෝ මරං එහෙම නැතිනම් ධනපති නට්ටන් කියන ගසුත් වල් ළූණුත් තමයි. මේවා මුලින් ම ගලවලා අයින් කරන්න ඕන. ඒ මොනවා කළත් ඒවා ආයෙත් වැවෙනවා. අපි කැලේ කොටන ගමන් ධනපති නට්ටන්වලට කිව්වේ ජනාධිපති නට්ටන්” කියලා. ඒ කාලේ ජනාධිපති ජේ. ආර්. මහත්තයානේ. තාත්තා ශ්‍රී ලංකාකාරයෙක් හින්දා ජේ. ආර්. මහත්තයා ගැන කිසිම කැමැත්තකින් නෙවෙයි හිටියේ. ඉතින් ඒ රස්නේ අපිටත් ගහලා තිබුණේ. ඒත් මේ ජනාධිපති නට්ටන් කතාව කියන වතාවක් පාසා අම්මා අපිට සත්තම දැම්මා. ඕවා කියලා ලෙඩ දාගන්න එපා කියලා අම්මා අපිට කිව්වා.

1982 අවුරුද්දේ ජනාධිපතිවරණයක් ආවා. තාත්තා වැඩ කළේ කොබ්බෑකඩුව මහත්තයාට. ඉතින් නාරම්මල නගර සභා පිට්ටනියේ තිබුණු ශ්‍රී ලංකා රැස්වීමකට තාත්තා මාවත් එක්කරගෙන ගියා. ඒ රැස්වීමේ විජය කුමාරතුුංග මහත්තයා කතා කළා. ඒ තමයි මහා සභාවක කෙනෙක් කුණුහරුප කියනවා මම අහපු මුල් ම වතාව. එ දා ඉඳලා අද වෙන කල් මම විජය කුමාරතුංග මහත්තයාට කැමැති නෑ.

තාත්තා ඡන්ද රාජකාරිවලට ගියා. ඡන්දේ ගණන් කරන්නත් ගිහිල්ලා. හැබැයි පහුවදා ඡන්ද ප්‍රතිඵල කියන්නත් කලින් තාත්තා කඩිමුඩියේ ගෙදර ආවා. වැඩක් නෑ. කොබ්බැකඩුව මහත්තයා පරාදයි” කියලා තාත්තා කිව්වා. විජේවීරට ඡන්දේ දීපු හැම කෙනෙක් ම දෙවැනි මනාපය දීලා තියෙන්නේ ජේ. ආර්ට” කියලාත් කිව්වා.

එදා රෑ අපි ගෙවල් වහලා අල්ලපු වත්තේ (ඇටැම්පොළ මහත්තයලාගේ වත්තේ) ගිහිල්ලා හැංගුණා. අපි හිටියේ ඒ වත්තේ තිබුණු සියඹලා ගහ යට. ඒ දවස්වල ඒ වත්තේ කවුරුවත් පදිංචිවෙලා හිටියේ නෑ. මෙහෙම රෑ කීපයක් ම අපි ඒ ගහ යටට ගියා. දවස් කීපයක් ගතවුනාට පස්සේ අපි ආයෙත් ගෙදර නිදාගන්න පටන්ගත්තා.

(කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

5 Responses to “මෙහෙමයි වුනේ – (පළමුවැනි කොටස)”

  1. DR M D P DISSANAYAKE Says:

    වරුණ, ඇත්ත ඇත්ත ලෙසම ලිව්වාම මොන තරම් ලස්සනද? සුංදර හදවත් ඇත්තන් තමන් ගෑන අතීත බොරු පුම්බා ලියන්නේ නැහැ. ඔයාගේ ඉතුරු කොටස් කියවීමට පුලු පුලා බලා සිටිමි.

    මගේ අතීත කතාව ලිව්වොත් හිනාවෙලා මැරෙයි. ඒත් මේ අලුත් කී බෝඩ් එක මට තවම හුරු නැහැනේ. මට හුරු “අචඩණ උන” මැද පේලියේ තිබුන කී බෝඩ් එකයි . ඒක ගන්න භොයනවා භොයනවා තවම ලැබුනේ නැහැනේ.

  2. Mario Perera Says:

    Indeed a very gracefully written article, full of simplicity and candour.

    Thank you Varuna.

    Mario Perera, Kadawata

  3. aloy Says:

    Dr. Varuna,
    I feel very sad when I read about your story and the background info you are giving about a backward village. From what I see in TVs these days things have not changed much since then. You have lived in the Sinhala heartland and thats where our people were/are deprived of basic needs including the self confidence. We lived in the Catholic belt and my parents were of farming community. So, once my father and me tried to cultivate a paddy field and I must have been around eight years then. I was wondering why he wanted to teach me cultivating paddy fields. He was intelligent and could write better than a wedamahattya in the same style but ended up being a trusted employee of Sir Baby Thissera. He was running and maintaining a huge Ruston Honsby diesel engine in a coconut coir mill whose shaft ran from one end of the mill to the other. Sometimes the engine would stall and he would take the bearings out saying that they are getting heated and scoop out some metal from inside for it to have a uniform contact. Your father was a school headmaster but mine was a just a technical man who had no fixed income. Some times the mill would close for long periods of time thats when we used to struggle. I am sure if he was born in Jaffna he would have ended up being a top civil servant. Once he led a team of workers from his area (close to Wennappuwa) to Trinco to work there in the British Naval Base. But one night they quietly left the base on foot through the elephant infested jungle as they did not like the treatment meted out to Sinhalese there.

    The reason I wrote all these is, I want you to compare, the life of Hermann Houser, the guy who gave the leadership to the team that built the first ARM processor that became the forerunner to the ARM chips that has captured 95% of smartphone market of the world, with ours. He talks of a similar mill but running on a steam engine at about the same period. So, the Brits had taken us one step ahead of Austrians. He talks of his Fortran programs running on punch cards, I too was doing my structural designs with punch cards running on a DCL mainframe imported fom UK in State Engineering Corporation. In fact it is my design that was used to build the spiral stair case at Kelaniya uni admin block. Where did we started to lag behind?. That was when JVP tried to take over the country, sponsored most probably by our usual enemy and todate we have not freed ourselves from the menace. There is no research work or collaboration with universities like Berkeley or Stanford where state of the art technology was being developed. He together with Steve Furber and Sophie Wilson were instrumental in building that architecture of microprocessor and the Instruction Set Architecture (the RISC ISA) respectively. Especially the role played by the lady is an inspiration to the women who would like to follow her. I give below the three videos of these three people, try and watch at least the first one. The first two had been done in late 2016 but these technologies are about to become obsolete as new once are taking over (by a thing called RISC V) and our people should join the band wagon somehow.

  4. aloy Says:

    Sorry, here the videos are:

    ‘https://www.youtube.com/watch?v=Y0sC3lT313Q&feature=youtu.be’
    ‘https://www.youtube.com/watch?v=y4WG549i3YY’
    ‘https://www.youtube.com/watch?v=wYNaFKmzpo4’

  5. aloy Says:

    Sophie in her video (the third one above) gives a clue as to how one could use an IDE (Integrated Development Environment) called Codea and use ones own iOS device (iphone or iPad) and do the coding and develop Apps using an interpreted language called Lua, without the use of a computer. Probably this is the Apple’s answer to google’s Android platform for developing mobile apps.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress