මෙහෙමයි වුනේ – (දෙවැනි කොටස)
Posted on July 31st, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මේ කතාව කියන්න වෙන්නේ අ, ආ, ඇ, ඈ, ඉ, ඊ කියන පිළිවෙළට නම් නෙවෙයි. අපේ ජීවිත අද තියෙන මේ විදිහට හැදෙන්න බලපාපු දේවල් මේච්චරයි කියලා කියන්න බෑ. සිද්දවෙච්ච පිළිවෙළට මේ දේවල් කියන්න ගියොත් ඒ දේවල්වලින් සෑහෙන ප්‍රමාණයක් මග ඇරෙන්න පුළුවන්. අන්තිමට ජීවිතේ එක මානයක් දිගේ විතරක් මේ කතාව කියලා ඉවරවෙයි. එහෙම කරන්න ඕනකමක් මට නෑ. මේ කතාව කියවන්නේ යමක් කමක් තේරුම්ගන්න පුළුවන් පිරිසක්. ඒ හින්දා පිළිවෙළ ගැන නොතකා මේ කතාව කිව්වා කියලා ඒ අයට මේක තේරුම්ගන්න බැරිවෙන එකක් නෑ.

හැබැයි කාල වෙනසත් එක්ක සමහර පරණ දේවල් වෙනස්වෙලා. ඒ දේවල් ගැන අපේ අලුත් අයට නිච්චියක් නැතිවෙන්න පුළුවන්. එහෙම වෙලාවට ඒ ගැන හිතලා යමක් පැහැදිළි කරලා දෙන එකත් මගේ යුතුකමක්.

1977 අවුරුද්දේ පවත්වපු මහ මැතිවරණයෙන් පස්සෙයි 1982 අවුරුද්දේ පවත්වපු ජනාධිපතිවරණයෙන් පස්සෙයි තාත්තා අපිත් එක්ක හංගිලා හිටියේ ඇයි කියන කාරණය ගැන අපේ අලුත් පරම්පරාවල අයට තේරුමක් නැතිව ඇති. පරණ අය නම් ඒ ගැන හොඳින් ම දන්නවා. ඒ කාලේ මැතිවරණයකට පස්සේ කලබල ඇතිවෙනවා. දිනපු පක්‍ෂයේ අය පැරදිච්ච පක්‍ෂයේ අයට ගහනවා. ඒ අයගේ ගෙවල් දොරවල් ගිනිබත් කරනවා. මිනීමැරුම් පවා සිද්දවෙනවා. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා” කියන ගරුගාම්භීර වචන හතරෙන් තමයි ඒ හපන්කම් නම් කරලා තිබුණේ.

ධර්මිෂ්ඨ සමාජයක් හදනවා කියලා බලයට ආපු ජේ. ආර්. මහත්තයා රට පාලනය කරන්න පටන්ගන්නත් කලින් ම මැතිවරණ වේදිකාවේ දීපු එක පොරොන්දුවක් ඒ විදිහට ම ඉෂ්ට කළා කියලා කියනවා. ඒ තමයි තමන් බලයට ආවම පොලීසියට සතියක් නිවාඩු දෙනවා කියලා කියපු එක. ඉතින් ඊට පස්සේ සිද්දවෙච්ච දේවල් ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕන නෑ.

ඡන්දේ ඉවරවෙච්ච ගමන් ම රූපහ ඉස්කෝලේ උගන්නපු ධර්මදාස මහත්තයාගේ ගෙට ගිනි තියලා තියෙනවා. ඒත් අපේ අම්මා තාත්තා සන්තක කරගෙන හිටිය දේවල්වලට නම් හානියක් සිද්දවුනේ නෑ. අපි හරස්බැද්ද ඉස්කෝලේ ගුරු නිවාසයේ ජීවත්වෙච්ච එක තමයි ඒකට හේතුව. අපිට ගෙයක් කියලා තිබුණේ ගුරු නිවාසය. ඒක තිබුණේ ඉස්කෝලේ ශාලාවක කොණේ ඒකට ම අල්ලලා. ඉතින් එහෙම එකකට ගිනි තියන්න විදිහක් නෑ. ඒ හින්දා අපේ තාත්තාට කරන්න සිද්දවෙලා තිබුණේ ජීවිත බේරගන්න හැංගිමුත්තන් සෙල්ලම විතරයි. ඒ වෙද්දි වයස අවුරුදු අටක්වත් සම්පූර්ණ වෙලා නොතිබුණු හින්දා මට ඕවා ගැන තේරුමක් තිබුණේ නෑ. ඒ හැංගිමුත්තන් සෙල්ලම ගැන අකැමැත්තක් මට ඇතිවුනෙත් නෑ. පොඩි කාලේ අපිට රෑ වෙද්දි කොහොමත් ඉක්මනින් නිදිමත එනවානේ. ඉතින් ගෙදර ඇඳක නිදාගත්තත් පන්සලට පල්ලෙහා කැලේට වෙන්න තිබුණු මාන පඳුරක් ළඟ නිදාගත්තත් දෙක ම එකයි. දුක කියලා කියන්නේ මිනිස්සු ලොකු මහත් වෙන්න වෙන්න ඒ එක්කම හැදී වැඩෙන දෙයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වැඩ කරපු වලපනේ ආසනයේ ගුරුවරු දාහත් දෙනෙක් ඈත පළාත්වලට මාරු කරලා යැව්වා කියලා තමයි මම අහලා තියෙන්නේ. ගේ දොරත් දේපොළත් අහිමිවෙච්ච ධර්මදාස මහත්තයාව මාරු කරලා තිබුණේ අම්පාරට. අපේ තාත්තා, විජයසුන්දර මහත්තයා වගේ අය මාරු කරලා තිබුණේ කුරුණෑගලට. තමන්ගේ ආසනේ හිටිය දක්‍ෂ ගුරුවරු දාහත් දෙනෙක් රේණුකා හේරත් නෝනා විහින් ම නැති කරගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රිකම ලබාගන්න කලින් රේණුකා නෝනාත් ගුරුවරියක්. ඒත් තමන්ගේ ආසනේ අධ්‍යාපනය වෙනුවෙන් කරන්න ඕන දේවල් ගැන අවබෝධයක් ඒ නෝනාට තියෙන්න නැතුව ඇති.

හැබැයි පඬුවස්නුවර ආසනයෙන් දිනපු කළුබණ්ඩා රත්නායක මහත්තයා එහෙම නෙවෙයි. ගුරුවරු කණ්ඩායමක් ඈත පළාත්වලින් කුරුණෑගලට මාරු කරලා එවලා කියලා දැනගත්ත ගමන් ම ඒ මහත්තයා එක මොහොතක්වත් පමාවුනේ නෑ. එක හුස්මට කුරුණෑගලට ගිහිල්ලා මාරු කරලා එවපු ගුරුවරු ටික තමන්ට දෙන්න කියලා ඉල්ලගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපේ තාත්තාට මගුලාගම ඉස්කෝලේ උගන්නන්න අවස්ථාව ලැබුණේ.

මීට කලින් ලියපු ලිපියෙන් කිව්වේ ඒ විදිහට 1977 අවුරුද්දේ මැතිවරණය පවත්වපු දවස්වල ඉඳලා 1982 අවුරුද්දේ ජනාධිපතිවරණය පවත්වන කල් අපේ පවුලේ සාමාජිකයෙක් විදිහට මම මුහුණ දීපු අත්දැකීම්වලින් ටිකක්. මේ අත්දැකීම්වලට මුල්වෙච්ච ප්‍රධාන ම කාරණයක් තමයි තාත්තාගේ දේශපාලන කටයුතු. 1956 අවුරුද්දේ දේශපාලන පෙරළිය වෙද්දි ගජ ඉලංදාරියෙක් වෙලා හිටිය තාත්තාට ඒ උෂ්ණය ගහලා තිබ්බාට සැකයක් නෑ. 1961 අවුරුද්දේ දී ගුරු රස්සාවකුත් ලැබුණු හින්දා තමනුත් පංච මහා බලවේගයට අයත් කෙනෙක් කියලා තාත්තා හිතන්න ඇති. කොහොම හරි ඉතාමත් හොඳ ශ්‍රී ලංකාකාරයෙක් වෙන්න තාත්තාට පුළුවන් වුනා. තමන් පිළි ඇරගෙන හිටිය මතවාදය – ඒ කියන්නේ, ජාතිකත්වයට මුල් තැන දීපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්; ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළින් ප්‍රකාශ වෙන බව තාත්තා තේරුම් ඇරගෙන ඉන්න ඇති.

තාත්තා ඉස්සෙල්ලා ම උගන්නලා තියෙන්නේ සීගිරිය මහා විද්‍යාලයේ. ඒ කාලයේ ඉස්කෝලේ ඇරුණාමත් නිතර නිතර සීගිරිය පර්වතය පැත්තේ කරක් ගහන බව තාත්තා මට කියලා තියෙනවා. අපි මගුලාගමට ආපු දවස්වල තාත්තා මේ කතා නිතර ම මාත් එක්ක කියනවා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු නවයක් විතර ඇති. සීගිරිය පර්වතයට නගින පාරේ තියෙන මහ ගලක් දෙකට මැදින් පළලා ඒක පෙරලලා ඒ මත්තේ ආසන පනවපු රාජ සභාවක් වගේ එකක් හදලා තිබුණු බවකුත් තාත්තා කියලා තියෙනවා. සීගිරිය සම්බන්ධයෙන් තාත්තා කියපු කතා අතරින් මගේ හිත වැඩියෙන් ම ඇදුණේ මේ කාරණයට.

මගුලාගම අපි හිටිය ගෙදර මිදුල අයිනේ ලොකු කොට්ට පුළුන් ගහක් තිබුණා. මමයි අයියයි සෙල්ලම් කළේ ඒ කොට්ට පුළුන් ගහ යට. අපි වැලිවලින් ඒ ගහ යට එක එක දේවල් හදනවා. අයියා මොනවා හැදුවා ද කියන එක ගැන කල්පනාවක් මට නෑ. හැබැයි මම නම් සෑහෙන්න උත්සාහ කළේ අර කියපු මහ ගල වගේ එකක් වැලිවලින් හදලා ඒක දෙකට පළලා පෙරලන්න. ඒත් ඒ වැඩේ එච්චර සාර්ථක වුනේ නැති බව තමයි මගේ කල්පනාව. ඒ හින්දා මම වැලිවලින් රුවන්වැලි මහා සෑය, අභයගිරි සෑය, ජේතවනාරාම මහා සෑය වගේ ඒවා හැදුවා. අභයගිරියේ උඩත්, ජේතවනය උඩත් පොඩි පොඩි වල් පැළ හැදුවා. ඒ කාලේ ඒවා උඩ කැලෑ වෙලානේ තිබුණේ. ඒ කාලේ ටියුෂන් පංති සෙල්ලමක් නොතිබුණු හින්දා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මේ වගේ වැඩ කරන්න අපිට වෙලාව තිබුණා.

ඔය කාලය වෙද්දි දවල් කෑමෙන් පස්සේ මට කැමැති දෙයක් කරන්න කියලා තාත්තා ඉඩදීලා තිබුණා. ඒත් ඊට අවුරුදු දෙක තුනකට කලින් හරස්බැද්දේ ඉන්න කාලේ එහෙම නෙවෙයි. ඒ කාලේ තාත්තා දවල් කාලා නිදාගන්නේ අයියයි මාවයි ඇ‍ඳේ බිත්තිය පැත්තට වෙන්න නිදි කරවලා. මාව තමයි බිත්තිය අයිනෙන් ම නිදි කරවන්නේ. අයියා මැද්දේ. ඒත් මට දවල්ට නින්ද යන්නේ නෑ. මම ටිකක් වෙලා බොරුවට ඇස් පියාගෙන ඉන්නවා. ටිකක් වෙලා යද්දි ඒ දෙන්නාට ම නින්ද යනවා. ඉතින් තව බලාගෙන ඉන්නේ මොකට ද? මම ඒ දෙන්නාගේ ඇඟට උඩින් පැනලා එළියට ගිහිල්ලා ඉස්කෝලේ වත්ත පල්ලෙහාට යනවා.

ඒ කාලේ අපේ ඔළුවල උකුණෝ ඉන්නවා. අම්මලාගෙයි දරුවන්ගෙයි ඔළුවල තමයි උකුණෝ ඉන්නේ. අපේ ගෙවල්වල උකුණු පනා කියලා පනා ජාතියකුත් තිබුණා. ඒවායින් පීරුවාම තමයි උකුණෝ වැටෙන්නේ. තාත්තාගේ ඔළුවේ උකුණෝ හිටියේ නෑ. ඒත් දවල්ට නිදාගෙන නැගිට්ටාට පස්සේ ඔළුව බලන්න කියලා තාත්තා අපිට කියනවා. ඒක මහ කරදර වැඩක් කියලායි මට හැම වෙලාවේ ම හිතුණේ. ඉතින් දවසක් මම මගේ ඔළුවෙන් උකුණෙක් හූරලා ඇරගෙන ඒකාව තාත්තාගේ ඔළුවට දාලා ආපහු අමාරුවෙන් වගේ ඌව අල්ලලා තාත්තාට දුන්නා. එදායින් පස්සේ කවදාවත් ඔළුව බලන්න කියලා තාත්තා මට කිව්වේ නෑ!

ඒත් ඒ විදිහට අපිට කියලා තාත්තා ඔළුව බලාගත්ත එකේ රහස දැන් මම දන්නවා. තමන්ගේ දරුවකුට කියලා ඔළුව අත ගා ගන්නවා කියලා කියන්නේ තාත්තා කෙනෙක්ට ලබන්න පුළුවන් පුදුමාකාර සතුටක්. ඒත් ළමයින්ට මේවා තේරෙන්නේ සෑහෙන්න කල් ගියා ම. එතකොට අපි තාත්තලාගෙන් හුඟක් ඈතට ගිහිල්ලා. කරදඬු උස ගිහිල්ලා ඒ විදිහට ඈත්වුනාට පස්සේ ආයෙත් තාත්තාගේ ඔළුව අත ගාන්න අපිට බෑ. ඒ වෙද්දි අපි ඒ වැඩේට නුසුදුස්සෝ බවට පත්වෙලා. ලෝකේ හැටි එහෙම තමයි. තාත්තා කෙනෙක්ගේ ඔළුව අතගාන්න ඕන පොඩි ළපටි අත්වලින්!

අපේ අයියා මට වඩා මාස දොළහයි දවස් දොළහක් වැඩිමහළුයි. ඉතින් අයියාට අකුරු කියවලා ටික දවසක් යද්දි දන්නේ ම නැතුව මමත් අකුරු කියවලා තියෙනවා. ඉතින් අද වෙන කල්වත් මට නැකතක් බලලා අකුරු කියවලා නෑ. කොහොම කොහොම හරි මම අයියා එක්කමයි හැදුණේ. අයියා ඉස්කෝලේට ඇතුළු කරද්දි මමත් ඒ එක්කම ඉස්කෝලේ ගියා. ඒ කාලේ අපි හිටියේ රූපහ. වතුමුල්ලේ (දැන් වතුමුල්ල නගරයට වලපනේ කියලා කියන්නේ) ඉඳලා නිල්දණ්ඩාහින්න හරහා ඇමෙස්ට් හන්දියට යන පාරේ තමයි රූපහ තියෙන්නේ.

දෙවතාවක දී අපි රූපහ ගමේ ගෙවල් දෙකක හිටිය බවක් තමයි මට මතක. ඒ දවස්වල අපි නාන්න යන්නේ රුපස්ඔයට. රූපහ පන්සල තියෙන්නේ ඉස්කෝලෙට පල්ලෙහාට වෙන්න පාරේ අනිත් පැත්තේ රුපස්ඔයට තරමක් කිට්ටුවෙන්. ඒ පන්සලට ගිය වගක් නම් මට මතක නෑ. හැබැයි මරපු වල් ඌරෙක් රුපස්ඔය ළඟ තියාගෙන විකුණන සිද්දියක් මට මතක්වෙනවා. ඒ ඌරාගේ රෝම පුච්චලා තමයි විකුණුවේ. ඒ රෝම පිච්චෙන ගඳ තාමත් දැනෙන තරමට ම මට ඒ සිද්දිය මතකයි.

එකේ පන්තියේ ඉඳලා පහේ පන්තිය වෙනකල් ම අයියයි මමයි එක ම පන්තියේ ඉගෙනගත්තේ. ඉතින් මම අදටවත් අයියාට අයියා” කියලා කියන්නේ නෑ. එක පන්තියේ ඉගෙනගත්ත කොල්ලෙක්ට අයියා” කියලා කියන සිරිතක් කොහෙද තියෙන්නේ? ඒ මදිවට අපි එකට සෙල්ලම් කරලා ඒවා ආරවුලකින් කෙළවර වුනා ම මම අයියාට ගහනවා. හැබැයි අයියා මට කවදාවත් ගහලා නෑ. ඉතින් ඒකට අදාළ ප්‍රතිප්‍රහාරය මට එල්ලවෙන්නේ තාත්තාගෙන්.

ඒ කාලේ අපේ තාත්තාලා අපි කාටත් ගහනවා. ඒක මහ අමුතු දෙයක් කියලා අපේ කාලේ කවුරුවත් තුන් හිතකින්වත් හිතලා නෑ. හැබැයි ඒ කාලේ අපේ තාත්තාලා අපිට ගහන්නේ කෝටුවලින්. ඒ වෙනුවට අඩි කෝදු වගේ ඒවාත් පාවිච්චි කරන අවස්ථා ඕන තරම් තිබුණා. එහෙම ගැහුවා ම හරියට රිදෙනවා. අපි ගුටිකාලා අඬනවා. හැබැයි අපි කවදාවත් ඒ ගැන අමනාපයක් ඇති කරගන්නේ නෑ. ගුටි කෑවේ නිස්කාරණේ නොවන බවත් අපි දන්නවා.

අයියා නම් මම තරම් තාත්තාගෙන් ගුටි කාලා නෑ. අයියා මට ගැහුවේ නැතුවට මම අදාළ හපන්කම සතියට දවස් හතරක්වත් කරලා තියෙනවා. ඉතින් ඒකට අදාළ ප්‍රති ප්‍රහාරවලටත් ඒ හා සමානව ම මම මුණදීලා තියෙනවා. ගහන්න ඉඩදීලා ටිකක් වෙලා ගියා ම අම්මා මැදිහත් වෙලා ඒක නවත්තනවා. ඒ කොහොම වුනත් ඒකට අදාළ න්‍යායක් හදාගන්නත් ඒ කාලේ ම මට පුළුවන් වුනා. ඒක එක්තරා ආකාරයක න්‍යායක් කියලා මට තේරෙන්නේ දැන්. ඒ න්‍යාය මෙහෙම එකක්. තාත්තා මට වැඩියෙන් ගහන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි. ඒ, තාත්තා මට වැඩියෙන් ආදරේ හින්දා!”.

ඉහේ කෙස් ගානට තාත්තාගෙන් ගුටි කාලා තියෙන හින්දා ඒවා ගැන වැඩි විස්තරයක් මට මතක නෑ. මම අයියාට ගැහුවා – තාත්තා මට ගැහුවා”. ඔන්න ඔච්චරයි මට ඒ ගැන මතක. හැබැයි ගුටි කාපු අවස්ථා දෙකක් ගැන නම් මට හොඳට ම මතකයි. ඒ දෙක ම හරි රසවත් ගුටිකෑම්. ඒ හින්දා ඒ ගැනත් යමක් කෙටියෙන් කියන එක වටිනවා කියලා මට හිතෙනවා.

මේ ගුටිකෑම් දෙකෙන් පළමුවැන්න රස විඳිද්දි අපි හිටියේ මගුලාගම. මමයි අයියයි දෙන්න ම ඉගෙනගත්තේ පහේ පංතියේ. ඒ දවස්වල අපි කුලී ගෙදරක නැවතිලා හිටියට අපේ ගෙදර කුකුල්ලු හදනවා. ඉතින් කුකුල්ලුන්ව දාලා හිටිය කොටුවට දහයියා දාන්න ඕන. උන්ට හාල් කුඩු අනලා කන්න දෙන්න ඕන. දහයියා ගන්නත් හාල් කුඩු ගන්නත් වී මෝලට යන්න ඕන. වී මෝලේ වැඩ කරපු අයියාගේ නම සෝමතිලක කියලා තමයි මගේ මතකය. ඉතින් සෝමතිලක අයියා වැඩ කරපු මෝලට ගිහිල්ලා කුඩු ගේන එකයි දහයියා ගේන එකයි අයියයි මමයි සැරෙන් සැරේට කළා. හුඟක් වෙලාවට අපිට ඕන දහයියයි කුඩුයි පොහොර උරයට දාලා ක‍ට ගැට ගහලා දෙන්නේ සෝමතිලක අයියම තමයි.

මේ කියපු දවසේ කුඩු ගේන්න ගියේ මම. ඒත් මම යන වෙලාවේ මෝල එක දිගට ම වැඩ. දහයියා නම් වැටෙන්නේ ටිකක් ඈතට වෙන්න. ඒත් කුඩු වැටෙන්නේ මෝල අයිනට ම. ඉතින් ඒ විදිහට මෝල අයිනේ ම වැටෙන කුඩු ගන්න නම් ඒක නවත්තන කල් බලාගෙන ඉන්න ඕන. ඒත් එදා එක දිගට ම වී කොටනවා. ඉතින් මම මෝලේ බැම්මට වෙලා ඒ වැඩේ ඉවර වෙන කල් බලාගෙන හිටියා. මේ විදිහට සෑහෙන වෙලාවක් ගතවුනා. හවස හය විතර වෙද්දි මම කුඩු උරයකුත් කරේ තියාගෙන ගෙදර ගියා.

එ දා මොකක් හරි වැඩකට තාත්තා කොළඹ ගිහිල්ලා ආපහු ඇවිල්ලා තිබුණා. කුඩු ගෝනියත් කරේ තියාගෙන මම වත්තට ඇතුළුවුනා. මෙච්චර රෑ වෙන කල් කළේ මොකක්ද? එන්න කියලා කිව්වාම එන්න දන්නේ නැද්ද?” කියාගෙන තාත්තා ඉස්සරහට එනවා. ඒ මදිවට අතේ කෝටුව. ගෙදර වැඩ කරලාත් ගුටි කන්න ඕන ද?” මම මට ම කියාගත්තා. ඒ එක්කම මම කුඩු ගෝනිය බිම දැම්මා. ඊට පස්සේ ආපහු පාරට ගියා. දැන් මට ඕන ගෙදරින් යන්න. ඉතින් මම කල්පනා කර කර පාර දිගේ ඉස්සරහට ම යනවා. තාත්තා ආපහු ගේ ඇතුළට ගිහින්. වත්ත පේන මානේ තියෙන බෝක්කු බැම්ම උඩින් වාඩිවුනු මම යන්න හිතපු ගමන සැලසුම් කරන්න පටන්ගත්තා.

කරුවල වැටෙන්න ළඟ හින්දා දුර යන්න බෑ. ඒ හින්දා රෑට ජයසේන අයියලා ගෙදරට හැරෙන තැන තියෙන කජු ගහ යට ඉන්නවා. හෙට උදේ ම යන්න යනවා”. මේ සැලැස්ම ගැන මම හිත හිතා බෝක්කු කැටේ උඩම ඉන්නවා. හවස හය හමාරත් පහුවෙලා. ගොම්මන් ගතිය එන්න එන්න ම වැඩිවෙනවා. ඒත් මම එතනමයි. මෙන්න මේ වෙලාවේ අම්මා ඇවිල්ලා කතා කළා. දැන් රෑ වෙලා. යං යං ගෙදර” අම්මා කිව්වා. ඉතින් ටිකක් අදිමදි කරලා කොහොම කොහොම හරි මම ආපහු ගෙදරට ගියා.

ගෙදර හරි ම සාමකාමීයි. ගෙදර තියෙන වැඩ කර කර තාත්තා ඉන්නවා. වගේ වගක් නෑ. මම ළිඳ ළඟට ගිහිල්ලා නාලා ආවා. තාත්තා කොළඹින් පොත් ගෙනැල්ලා තිබුණා. ගුණසේන එකෙන් ගෙනැල්ලා තිබුණු ඒ පොත් අතර බේකන්ගේ ප්‍රබන්ධ” වගේ ඒවා තිබුණු බවයි මගේ මතකය. ඒ පොත් බලලා රෑට කෑමත් කෑවා. පිඟාන හෝදලා තියලා නිදාගන්න සූදානම් වුනා.

ඒත් … අන්න ඒ වෙලාවේ තමයි තාත්තා මාව අල්ලගත්තේ. කොහෙද යන්න ගියේ?” මෙන්න මේක තමයි අලුත් ම චෝදනාව. යන්න! ගෙදර දාලා යන්න!! කොහෙ යන්න ද?” තාත්තා දිගට ම කියවනවා. මට ගැලවීමක් නැති බව ස්ථීරයි. ඉතින් එ දා රෑ අම්මා මැදිහත් වෙලා බේරගන්න කල් කාපු ඒ ගුටි මුරය මට තවමත් මතකයි. ඒක නම් කවදාවත් අමතක වෙන එකක් නෑ!

වාර්තාගත කරන්න පුළුවන් දෙවැනි ගුටිකෑම අදාළ ඊට පස්සේ අවුරුද්දට. ඒ වෙද්දි මම හයේ පන්තියේ. පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිල්ලා නැති හින්දා මමයි අයියයි ගියේ කුලියාපිටිය මහා විද්‍යාලයට. දැන් ඒකට කියන්නේ සාරානාත් විද්‍යාලය කියලා තමයි මම අහලා තියෙන්නේ. ඉතින් එක දවසක් ඉස්කෝලේ ඇරිලා වෙන දා වගේ ම මූණමල්දෙණිය හරහා කටුපොතට යන බස් එකේ නැගලා අපි ගෙදර ආවා. බස් එකෙන් බහින්න ඕන මගුලාගම කණිෂ්ඨ විද්‍යාලය ළඟ. බස් එක නවත්තන්න කලින් පා පුවරුවට බැස්ස බස් එක නවත්තද්දි ම මම බිමට පැන්නා. ඒත් එක්ක ම කකුළ පැටලිලා වැටිලා මගේ දණිහ තුවාල වුනා. මහ තුවාලයක් නෙවෙයි. කුඩුහම හීරුනා විතරයි. ඒත් දැන් බස් එක යන්නේ නෑ. ගෙදර කෙනෙක් එන කල් බස් එක යන්නේ නෑ” කියලා බස් එක නවත්තගෙන ඉන්නවා. ඉතින් පණිවිඩයක් යවලා විනාඩි දහයක් විතර ගතවෙද්දි තාත්තා ආවා.

ඊට පස්සේ තාත්තා ඩ්‍රයිවර් මාමා එක්කත් කොන්දොස්තර මාමා එක්කත් කතා කළා. බස් එක යන්න ගියා. තාත්තා මාව බයිසිකලේ තියාගෙන ගෙදර එක් කරගෙන ගියා. ඊට පස්සේ …? ඊට පස්සේ වෙච්ච දේ අහන්න ඕන නෑ. ඒ වගේ ප්‍රහාරයක් අමතක කරන්නේ කොහොම ද? ඉතින් ඒ මතකයත් එ දා ඉඳලා අද වෙන කල් ම මාත් එක්ක එකට රැඳිලා ඉඳලා තියෙනවා.

මේ අත්දැකීම්වලට අමතර ව තාත්තාගේ දේශපාලනේ ගැන, සමාජ සේවා ගැන, ඔය හැම දෙයක් මැද්දේ අපේ ජීවිත ලොකු මහත් වෙච්ච විදිහ ගැන තව ගොඩක් විස්තර කියන්න තියෙනවා. ගතවෙලා තියෙන අවුරුදු හතළිහක් හතළිස් පහක් විතර කාලය තුළ සිදුවෙච්ච සමාජ – ආර්ථික විපර්යාසවලට යම් යම් ආකාරවලින් ඒ හැම දෙයක් ම බැඳිලා තියෙනවා. ඉඩ ලැබෙන විදිහට පස්සේ ඒවා ගැනත් පුළුවන් තරමින් කියන්නම්.

ඒත් මේ කතාව කියවන්න පුළුවන්කමක් තාත්තාට නෑ. මම ආචාර්ය උපාධියට ඉගෙනගන්න චීනයට යද්දිත් තාත්තා අසනීපයෙන් හිටියේ. කලින් උපාධි ගන්න කිසිම වෙලාවක මම එක ඡායාරූපයක්වත් ඇරගෙන නෑ. ඒත් ආචාර්ය උපාධිය ගත්ත වෙලාවේ මම ඡායාරූප කීපයක් ගත්තා. ඒවායින් එක ෆොටෝ එකක් තෝරගෙන ඒක ටිකක් ලොකු කරවලා රාමු කෙරෙව්වා. උපාධිය ඇරගෙන ආපහු ගෙදරට එද්දි තාත්තාට ගෙනැල්ලා දෙන්න ඕන හින්දා තමයි මම එහෙම කළේ. ඒක බලන්න තාත්තාට පුළුවන් වුනා. ඒත් මම ආපහු ගෙදර ඇවිල්ලා හරියට ම සතියක් ගතවෙන දවසේ තාත්තා මේ ලෝකයෙන් සමුගත්තා!

(අද ආයෙත් වචනයක්වත් ලියන්න බෑ. කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

One Response to “මෙහෙමයි වුනේ – (දෙවැනි කොටස)”

  1. Randeniyage Says:

    පොඩි පොඩි ආස්වාද එකතුවක හරය නම් දුක් පොදියකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress