මෙහෙමයි වුනේ – (තුන්වැනි කොටස)
Posted on August 5th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අම්මා තමයි අපේ ගෙදර බුදුන්. අපේ රටේ හැම ගෙදරක ම එහෙම තමයි කියලා අපි හැමෝ ම දන්නවා. ඉතින් අම්මා ගැන කියන්නේ නැතුව අපි ලොකු මහත් වෙච්ච විදිහ ගැන කියන්නේ කොහොම ද? අද මම කියන්නේ අපේ අම්මා ගැන.

අම්මායි මමයි ඉපැදිලා තියෙන්නේ එක ම දවසේ. හැබැයි අපේ අම්මා මට වඩා අවුරුදු තිස් තුනක් වයසින් වැඩියි. අපි දෙන්නා අතර තිබුණු කිට්ටු සම්බන්ධයට මේ එක දවසේ උපන් හේතුවට ඉක්මවා ගිය කරුණු කාරණා සෑහෙන ප්‍රමාණයක් බලපාන්න ඇති කියලා මට හිතෙනවා. ඒත් ඒ මොන මොනවා ද කියලා මම වෙන වෙන ම හිතලා නෑ. කොහොමත් අපි පුංචි කාලේ උපන් දිනය කියන්නේ ඒ තරම් වැදගත් කාරණයක් නෙවෙයි. ජීවිතේ මුල් ම වතාවට මගේ උපන් දිනය වෙනුවෙන් යාළුවෝ කට්ටියක් එකතුවෙලා සාදයක් පවත්වද්දි මට අවුරුදු තිස් තුනකුත් වෙලා!

මට වයස අවුරුදු තිස් දෙකක් වෙද්දි අපේ නංගිටත් පුතා හම්බවෙලා. ඒ පුතාට වයස අවුරුදු දෙකක් විතර වෙන කාලේ අම්මා නංගි එක්ක කතාවක් කිව්වා. ඒ කතාවට අදාළ අම්මයි මමයි දෙන්නා. අම්මා කිව්වේ වයස අවුරුදු එක හමාරක් දෙකක් විතර කාලේ මාව බලාගත්ත විදිහක් ගැන. මේක එක්තරා ආකාරයකින් අම්මා නංගිට ලබාදුන්න උපදේශයක්.

මට වයස අවුරුදු එක හමාරක් දෙකක් විතර කාලේ අම්මා කෑම උයද්දි මාවත් කුස්සියට එක් කරගෙන යනවලු. ඊට පස්සේ කෑම උයන වැඩේට සම්බන්ධ පොඩි පොඩි වැඩවලටත් මාවත් හවුල් කරගන්නවලු. මේ කාරණේ පැහැදිළිකරන්න ඒ හා සම්බන්ධ එක වැඩක් ගැන කියන්න පුළුවන්. අපි පොඩි කාලේ දැන් ලොකු ලූනු තිබුණේ නෑ. තිබුණේ රතු ලූනුයි සුදු ලූනුයි විතරයි. ඉතින් අම්මා උයන්න පටන්ගත්තා ම මට කියනවාලු මට ලූනු ගෙඩියක් ගෙනැල්ලා දෙන්න” කියලා. ඉතින් මම ලූනු ගෙඩියක් ‍අම්මාට ගිහින් දෙනවා. ඊට පස්සේ අම්මා කියනවාලු දැන් මට ලූනු ගෙඩි දෙකක් ගෙනැල්ලා දෙන්න” කියලා. ඉතින් මම ලූනු ගෙඩි දෙකක් ගිහිල්ලා දෙනවාලු. මෙන්න මේ විදිහට අම්මා මාත් එක්ක සංවාදයක යෙදිලා තියෙනවා.

මේ වැඩෙන් වැඩ ගොඩක් එකට කරන්න අම්මාට පුළුවන් වෙලා තියෙනවා. එක පැත්තකින් අම්මා මාව බලාගන්නවා. තව පැත්තකින් ගණන් කරන හැටි අම්මා මට කියලා දෙනවා. තවත් පැත්තකින් මට පුංචි පුංචි වැඩ කරන්නත් පුරුදු කරනවා. ඒත් දැන් කාලේ අම්මලා මේ ක්‍රම දන්නේ නෑ. ළමයා සාලේ මොනවා හරි පෙරලද්දි අම්මා කුස්සියේ! ළමයා ඌට ඕන ඕන විදිහට හැදෙනවා. අම්මායි ළමයයි අතර සම්බන්ධකම් වර්ධනය වෙන්නෙත් නෑ. අම්මා එක පැත්තක. ළමයා තව පැත්තක.

වයස අවුරුදු හතරක් පහක් විතර කාලේ ඉඳලා වෙච්ච දේවල් නම් මට හොඳට මතකයි. ඒ කාලේ නාද්දිත් මේ ගණන් සෙල්ලමට අපිව පටලවලා තිබුණේ. ඒ, මේ විදිහට. ඒ කාලේ අපි නෑවේ ඕවලාකාර විදිහට තහඩුවලින් හදලා තිබුණු පොඩි භාජනයකට වතුර පුරවලා. අපේ ගෙදර අය ඒකට කීවේ බාත් එක” කියලා. ඒකට වතුර බාල්දි හයක් හතක් අල්ලනවා. ඒ බාත් එකෙන් නාන්න අපිට තරමක් ලොකු කෝප්පයක් දෙනවා. මුලින් ම ඔළුවට නාන්න ඕන. හැබැයි ඒ වැඩේ කරන්න ඕනත් ගණන් මිනුම් ඇතුව. ඒ කියන්නේ, ඔළුවට සීයක් මුලින් ම නාන්න ඕන. ඊට පස්සේ ඉතිරි වතුර ටික ඇඟට නාලා ඉවරවෙලා තමයි සබන් ගාන්න ඕන. සබන් ගාලා ඉවරවුනා ම ආයෙත් පුරවලා දෙන බාත් එකෙන් හොඳට නාගන්න ඕන. ඒ වෙලාවට නම් ගණන් කිරිල්ලක් නෑ. කොහොම කොහොම හරි මේ වැඩෙන් හොඳට ගණන් කරන්න අපිට පුරුදුවුනා. මේක අදටවත් නවත්ත ගන්න බැරි පුරුද්දක්. දැන් වතුර මලෙන් නාද්දිත් මම සීයට ගණන් කරනවා!

දෙවැනි වතාවට අපි රූපහ ඉන්න කාලේ මගේ වයස අවුරුදු පහක් විතර ඇති. ඊට කලින් ගෝනබොක්ක කියලා ගමකත් හිටිය බව මට මතකයි. ගෝනබොක්කේ ගෙදරට යන්න ඕන ඇලක් හරහා දාලා තිබුණු ඒදණ්ඩකින් ගොඩවෙලා. මට කවදාවත් ඒ ඒදණ්ඩෙන් යන්න බෑ. පණ්ඩිතයාට ඒදණ්ඩේ යන්න බෑ කියන කතාව සහතික ඇත්ත. ඒ කතාව පැත්තකින් තියමු. රූපහ ඉන්න කාලේ අපේ අම්මා කරපු දෙයක් ගැන මම දැන් කියන්නම්.

මේකත් කුස්සියට සම්බන්ධ කතාවක්.

රොටී හදන වෙලාවට අම්මා අපි දෙන්නාවත් (අයියාවත් මාවත්) ඒ වැඩේට හවුල් කරගන්නවා. හොඳට පොල් දාලා අනපු පිටි ගුලි දෙකක් අම්මා අපි දෙන්නාට දෙනවා. අපි කරන්න ඕන තමන් කැමැති සතෙක්ගේ හැඩේට ඒ පිටි ගුලි දෙකෙන් රොටී දෙකක් වඩන එක. ඉතින් අලියෙක්ගේ හැඩේට, හාවෙක්ගේ හැඩේට වගේ එක එක හැඩවලට අපි රොටී වඩනවා. ඊට පස්සේ අම්මා ඒ රොටී පුච්චනවා. ඉතින් ඊට පස්සේ තම තමන් හදාගත්ත රොටිය ගැන පම්පෝරි කිය කියා ඒවා කන එක තමයි අපි දෙන්නා කරන්නේ.

මේ විදිහට දන්නේ ම නැතුව කුස්සියේ වැඩ අපිට පුරුදු කරවන්න අම්මාට පුළුවන් වුනා. පිරිමි ළමයි කියලා අපිව සාලෙන් තියලා සාත්තු සප්පායම් කරන වැඩේ අපේ අම්මා කවදාවත් කළේ නෑ. ඉතින් අම්මා උයන වෙලාවට කුස්සියට ගිහිල්ලා පොල් ගාලා දෙන එක, රතු ලූනු – සුදු ලූනු සුද්ද කරලා දෙන එක, තම්බපු අලවල පොතු අරින එක, කඳුළු පෙරාගෙන ලූනු – අමු මිරිස් කපන එක, මෑ – බෝංචි කඩලා දෙන එක, අම්මා කිව්වාම වළඳක් ඇතිලියක් හොදලා දෙන එක අපි කළා. මේ වැඩ කරද්දි කරන කතා බහත් එක්ක තමයි සම්බන්ධකම් මෝරන්නේ.

ගෙදර මොන තක්කඩි වැඩේ කළත් කුස්සියේ වැඩේ හරියට කරන්න මට පුළුවන් වෙලා තිබුණා. ඒ එක්කම කුස්සියට වෙලා අම්මාත් එක්ක කයිවාරු ගහන ලෙඩෙත් මට බෝ වෙලා තිබුණා. මේ වැඩේ සෑහෙන වාසි තියෙන කටයුත්තක්. ඔය කයිවාරු මැද්දේ මොනවා මොනවා හරි හදලා අම්මා මට කන්න දෙනවා! ඉතින් ඔය විදිහේ වරප්‍රසාදත් ලැබෙද්දි කුස්සියට නොයා ඉන්න මෝඩයෝ කොහෙද ඉන්නේ?

දන්න කියන කාලේ ඉඳලා ම තම තමන්ගේ රෙදි හෝදන්න කියලාත් අම්මා අපිට කිව්වා. අපි හෝදපු රෙදි අම්මා ආයෙත් හෝදනවා ඇති. ඒ ගැන නිනව්වක් අපිට නෑ. හැබැයි අදටත් මම හැම දා ම රෑ නාන්න කලින් එ දා දවසේ ඇඳපු කමිසයත් අනිත් පොඩි ඇඳුමුත් හෝදනවා. අතෙන් රෙදි හෝදනවා කියලා කියන්නේ භාවනාවක් වගේ වැඩක්. ඒක හරි ම සරල වැඩක් හින්දා ඔළුව එක්තැන් කරගෙන ඒ වැඩේ කරන එක හරි ම ලේසියි. දවස පුරා ම එක එක දේවල්වලට ඔළුව මහන්සි කරලා තෙහෙට්ටු වෙලා ඉන්න වෙලාවට ඒක ලොකු සහනයක්.

වයස අවුරුදු අටක් නවයක් වෙන කල් නුවරඑළියේ වලපනේ ජීවත්වුනාට තොප්පි දාලා, පාර්සල් කරලා බබ්බු වගේ අපිව හදන වැඩේට අම්මා යොමුවෙලා තිබුණේ නෑ. අම්මා නිතර ම කිව්වේ වැස්සට, පින්නට මිනිස්සු හුරුවෙන්න ඕන කියලා. ඉතින් අදටත් අව්වට, වැස්සට, පින්නට බනින්නේ නැතුව ජීවත්වෙන්න ඕන හැකියාව අම්මාට පින්සිද්ද වෙන්න අපිට ලැබිලා තියෙනවා.

ලොකු අම්මා (අම්මාගේ අක්කා) අපේ අම්මාට වඩා අවුරුදු විස්සකටත් වඩා වයසින් වැඩියි. ඒ හින්දා ලොකු අම්මාගේ ළමයි අපේ අම්මාගේ යාළුවෝ වගේ. අම්මාත් ඒ අය එක්ක ම තමයි ලොකු මහත් වෙලා තියෙන්නේ. ලොකු අම්මලාගේ ගෙදර තිබුණේ රිකිල්ලගස්කඩ කිට්ටුව තියෙන දෙණිකේ. ඉතින් අම්මා ඒ ගෙදර ඉඳලා හඟුරන්කෙතට ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට ඉස්කෝලේ ගිහිල්ලා උසස් පෙළත් පාස්වෙලා විශ්වවිද්‍යාලයට යන්නත් සුදුසුකම් ලබාගෙන තියෙනවා. පනස් ගණන්වල මුල් කාලේ ඒ හපන්කම කළාට අම්මා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නෑ.

ආච්චි (අම්මාගේ අම්මා) නැතිවෙද්දි මට වයස අවුරුදු හතක් විතර ඇති. ඒ කාලේ අපි හිටියේ හරස්බැද්දේ. ඉතින් ආච්චි ගැන වැඩි මතකයක් මට නෑ. ආච්චි නැති වුනාට පස්සේ පාර දිගේ මරණ දැන්වීම් අලවන්න ගිය එක නම් මට මතකයි. පොඩි පොඩි වෙදකම් කරන්න පුළුවන්කමක් අපේ ආච්චිට තිබිලා තියෙනවා. ඒ හැකියාව යම් පමණකට අපේ අම්මාටත් තිබුණා. ගෙදර කෙනෙක්ට බඩේ කැක්කුමක්, හිසේ කැක්කුමක් හැදුනා ම අම්මා කල්පනා කරලා පොඩි පොඩි දේවල් හදලා දෙනවා. ඒවා එක්තරා ආකාරයක ගොඩ වෙදකම් තමයි. ඒත් ඒ වෙදකම්වලින් අපේ ඒ අමාරු සනීපවෙනවා. ඒ මදෑ!

ඒ කාලේ අපේ කාගෙත් ගෙවල්වල බෙහෙත් කිරන පුංචි තරාදියක්, ඒකෙන් බෙහෙත් කිරන්න බරට දාන තඹ කාසි, ඔළිඳ ඇට වගේ දේවල් තිබුණා. බෙහෙත් ජාති හොයාගත්තේ අහළ පහළින්මයි. කඩෙන් ගෙනාවේ අඩුපාඩුවට ඕන දේවල් විතරයි. තඩි වෙනිවැල්ගැඩ කෑල්ලකුත් අපේ හැම ගෙදරක ම වගේ තිබුණා. පත අට එකට හිඳවලා කසාය තම්බන එක, ඒක දෙකට බෙදලා දෙවේලට බොන එක අපි කවුරුත් කළා. තිත්ත කසායක් බීවාම සීනි ටිකක් වැඩියෙන් කන්න පුළුවන්. තේ බොද්දි අල්ලට කන ප්‍රමාණෙටත් වඩා වැඩියෙන් සීනි හම්බවෙන හින්දා කසාය බොන වැඩේ ගැන අකැමැත්තකුත් අපිට තිබුණේ නෑ.

කල්පනා කරලා අලුත් අලුත් කෑම ජාති හදන්නත් අම්මාට පුළුවන්. මගුලාගමට ආවට පස්සේ ඒ පැත්තේ අයගෙන් අහලා ඒ විදිහටත් අම්මා එක එක කෑම හදනවා. ඒ කාලේ කැකිරි වෑංජනේට ලොකු තැනක් තිබුණා. පොල් බැදලා දාලා හදන ඒ කැකිරි වැංජනේ මස් කරියක් වගේ ඉහළින් පිළිගත්ත එකක්. පඬුවස්නුවර පැත්තේ මගුල් ගෙවල්වලත් ඒ කැකිරි වෑංජනේ හදනවා. අම්මාත් ඒ වැඩේ ඉගෙනගත්තා. කී රොටී හදන්නත් ඉගෙන ගත්තා. ඊට අමතරව වලපනේ ඉන්න කාලේ හදපු කෑමත් දිගට ම හැදුවා. ඉතින් හොඳ ආනමක් එක්ක තලප ගුලියක් කන්න ලැබෙන අවස්ථාත් ඕන තරම් අපේ ගෙදර තිබුණා.

2004 – 2007 කාලේ ලංකාවේ ඉගෙනගත්ත වියට්නාම් ස්වාමීන්වහන්සේ නමක් මාත් එක්ක හිතවත් වෙලා හිටියා. උන්වහන්සේ ශාස්ත්‍රපති උපාධියත් ආචාර්ය උපාධියත් කළේ කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තියෙන පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයේ. උන්වහන්සේ කාලයක් පෑලියගොඩ නැවතිලා හිටියා. පස්සේ කාලෙක නැවතිලා හිටියේ මීගමුවේ. ඒ දවස්වල උන්වහන්සේ මුණ ගැහෙන්න මම යනවා. එහෙම ගියාම උන්වහන්සේ ලියන පැවරුම්, නිබන්ධන බලන්න මට පවරනවා. ඉතින් මම ඒ වැඩේ කරද්දි උන්වහන්සේ උයනවා. ඒත් ඒ කෑම උයන්නේ කොහොම ද කියලා බලාගන්න මට වෙලාවක් ලැබෙන්නේ නෑ. හැබැයි ආපහු ගෙදර ආවම මම කාපු දේවල් ගැන අම්මාත් එක්ක කියනවා. අද මාළු උයලා තිබුණේ මේ විදිහට” මේ වගේ කතා තමයි මම අම්මාට කියන්නේ. දවසක් දෙකක් අම්මා මේ ගැන කල්පනා කරනවා. මෙන්න දවස් කීපයක් යද්දි අම්මා ඒ විදිහට මාළු උයලා!

අපි මගුලාගම ඉන්න කාලේ මෝලට ගිහිල්ලා වී කොටාගත්තාට කැවිලි හදන්න ඕන තෙත පිටි කෙටුවේ ගෙදර තිබුණු වංගෙඩියේ. දඹදෙණියේ මැටියගනේ පදිංචියට ආවට පස්සෙත් එහෙම තමයි. ඉතින් පිටි කොටන වැඩේටත් හවුල්වෙන්න අපිට සිද්දවෙනවා. දෙන්නෙක් එකට වංගෙඩියේ පිටි කොටන එක තරමක් අමාරු වැඩක්. පිටි කොටනවා, කැවුම් හදනවා වගේ වෙලාවට අහළ පහළ නැන්දලාත් ඒකට හවුල්වෙනවා. ඒ අයත් එක්ක හරි හරියට පිටි කොටන්න යකෙක්ටවත් බෑ. මීට අමතරව අපි කුරහන් ගලෙත් එක එක ඇට ජාති අඹරනවා. ඒ වැඩේට නම් පිට මිනිස්සු හවුල්වෙන්නේ නෑ. ඒවා අපි අපි ම කරගත්ත වැඩ.

අතිරහ හදන වෙලාවට ඒවා වඩන්නත් අපි හවුල්වෙනවා. මම ඒ කාලේ මේ අතිරහ වැඩිල්ලට විශේෂඥයෙක්. කොකිස් හදන්න දවුල් කුරුඳු කොල හොයන එක, හැලප හදන්න කැන්ද කොල හොයන එක අපිට පැවරිච්ච රාජකාරි. මේ වගේ වැඩ නම් ඒ කාලේ හිටපු හැම ළමයෙක් ම කරලා ඇති.

රස්සාවක් කරන්න නොගියාට අම්මා තාත්තාටත් වඩා හම්බ කළා කියලා තමයි මගේ කල්පනාව. ගෙදර වත්තේ එළවළු හදන එක, කුකුල්ලු හදන එක, හරක් හදන එක අම්මා කළා. කෝපි, ගම්මිරිස් වවන එකත් කළා. විකුණන්නත් එක්ක පොල් අතු විව්වා. තල කොළ පෙට්ටි හදලා දඹදෙණිය සංවර්ධන පදනමට වික්කා.

සල්ලි ඉතිරි කරන එකත් හම්බ කිරීමට ම අදාළ කාරණයක්. බත් මාළු පිණි ඉතිරි කරලා මුට්ටි පිටින් ඒවා කුණු ගොඩට හලන සිරිතක් ඒ කාලේ තිබුණේ නෑ. ඉතිරි වෙච්ච බත් අව්වෙත් දුමේත් වේලුවා. ඒවායින් අග්ගලා හදන එක, වෙන දෙයක් හදන්න වෙලාවක් නැති නම් මැටි කබලකට දාලා රත් කරලා සීනි ටිකක් දාලා හවස තේ බොද්දි කන එක අපේ ගෙවල්වල කළා. අටු කොස් ඇට, වැලි කොස් ඇට හදන එක, අටු කොස් හදන එක අපේ ගෙදරත් කළා. මඤ්‍ඤොක්කා අල පෙති කපලා වේලන එකත් කළා. බතල පිටි හදන එකත් කළා. මේ හැම දෙයක් ම අපේ අම්මා මුල්වෙලා කරපු දේවල්.

අපි සාමාන්‍ය පෙළ විභාගය ලියන කල් ම අපේ කමිස කලිසම් මැහුවේ අම්මා. අපි පොඩි කාලේ දැන් වගේ ඕන තරම් ඇඳුම් අපිට තිබුණේ නෑ. ඇඳුම්වලට අණ්ඩ දාලා අඳින එක අපේ ගම්වල හිටිය හැමෝ ම වගේ කළා. මේ දේවල් කරන විදිහ අපි අම්මාගෙන් ඉගෙන ගත්තා. කතිර මැස්ම, දම්වැල් මැස්ම, මාලු කටු මැස්ම වගේ දේවලුත් අපි ඉගෙන ගත්තා. ඇඳුමක බොත්තමක් කැඩුණා ම ඒක අල්ලගත්තේ අපිමයි. බොත්තම් කාස මහන වැඩෙත් අපි කළා.

ඉගෙනගන්නවා කියලා කියන්නේ පොත් පාඩම් කරන එක විතරක් නම් නෙවෙයි කියන එක අපේ අම්මා හොඳින් ම දැනගෙන හිටියා. ඉතින් මොන හදිසි තත්ත්වය ඇතිවුනත් පණ ගැට ගහගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් කාලේ ඉන්න අම්මලා තමන්ගේ ළමයින්ට ආදරේ නෑ. ඒ හින්දා තමයි උන්ට මේ ලෝකේ දෙයක් උගන්නන්නේ නැත්තේ. පොත් පාඩම් කළා ම, ටියුෂන් ගියා ම ඔක්කොම හරි යයි කියලා ඒ අම්මලා හිතාගෙන ඉන්නවා. මේක ළමයින්ට කරන මහ හතුරුකමක්.

විශ්‍රාම ගිහිල්ලා තාත්තා දඹදෙණියේ පොත් කඩයක් දාගත්තාට අම්මා තමයි ඒ කඩේ වැඩි වෙලාවක් හිටියේ. තාත්තාට හරියට සමාජ සේවා වැඩ තිබුණා. ඉතින් වෙළෙඳාම් වැඩවලටත් අම්මා පුරුදුවුනා. දවල් ඉස්කෝලේ ඇරුණට පස්සේ ඇතුළේ පාරවල්වල යන බස් එන කල් හුඟක් ළමයි හිටියේ අපේ කඩේට වෙලා. ඒ අය අම්මාගේ යාළුවෝ වගේ. කඩේ ආව ගිය වැඩිහිටි යාළුවෝ මහ ගොඩකුත් අම්මාට හිටියා. ඒ මිනිස්සුන්ට දෙන්න දේවල් අම්මා ගාවත් තිබුණා. ඒ අයත් අම්මා බලන්න ආවේ හිස් අතින් නෙවෙයි.

හැම වයස් මට්ටමක ම අයත් එක්ක විහිළු තහළු කරලා හොඳින් සම්බන්ධකම් පවත්වාගෙන යන්න අම්මා පුරුදුවෙලා හිටියා. වචනත් එක්ක සෙල්ලම් කරන හැකියාවකුත් අම්මාට තිබුණා. මේ හැකියාව අම්මාට ආච්චිගෙන් ලැබිච්ච එකක් කියලා මම අහලා තියෙනවා. දැන් ඒ හැකියාව එක්තරා විදිහකට මටත් උරුමවෙලා. හැබැයි මම වැඩියෙන් වචන හරඹ කරන්නේ ලියද්දි.

අපේ අම්මා යකෙක්ටවත් බය නැති කෙනෙක්. තරුණ කාලෙත් එහෙමයි කියලා මම අහලා තියෙනවා. 1977 ඡන්දේ ඉවරවුනාට පස්සේ හරස්බැද්දේ අපිට චණ්ඩි පාට් දාපු අයත් එක්ක අම්මා එකට එක කියනවා මට තාමත් මතකයි. ගෙදර අල්මාරියේ බැඳලා හිටපු මී මැසි පොදියක් අම්මා කළයකට දාපු හැටි ගැන මම කලින් කිව්වා. අම්මා බය නොවුනේ පිටස්තර දේවල්වලට විතරක් නෙවෙයි. ලෙඩට දුකටත් අම්මා බය වුනේ නෑ.

2002 අවුරුද්දේ මම මුල් වතාවට ලංකාවෙන් පිටට ගියා. ඒ මාස දහයක කාලයකට. ඒ මාස දහයෙන් වැඩි කාලයක් මම හිටියේ කොල්කතාවේ. මාස දෙකක් විතර නව දිල්ලියේත් තවත් මාස දෙකක් විතර බැංගලෝර්වලත් මම හිටියා. කොල්කතාවට ගිහිල්ලා මාස කීපයක් ගතවෙද්දි මට ගෙදරින් අහන්න ලැබුණේ දරාගන්න අමාරු ප්‍රවෘත්තියක්. අම්මාට පිළිකාවක් තියෙනවා කියලා හොයාගෙන. ඒ වෙද්දි අම්මාව මහරගමට එක් කරගෙන යනවා. ඉතින් මේ ගැන දැනගත්ත ගමන් ම මම ආපහු ගෙදර එන්න හැදුවා. ඒත් අම්මා ඒකට විරුද්ධ වුනා. මේක මට විතරක් හැදිච්ච ලෙඩක් ද? ගිය වැඩේ කරගෙන මිසක් ගෙදර එන්න එපා” කියලා අම්මා මට කිව්වා. 2003 අවුරුද්දේ සිංහල අවුරුද්දට කලින් මම ගෙදර එද්දි අම්මා ඒ මහා ලෙඩෙත් සනීප කරගෙන!

හිත ශක්තිමත් කරගෙන ඉන්න එක හැම දේකට ම වඩා ලොකුයි කියන කාරණය තමයි අම්මා නිතර ම අපිට කිව්වේ. තමන්ට හැදිච්ච පිළිකාවවත් අම්මා ගණන් ගත්තේ නෑ. ඉතින් මූලික ප්‍රතිකාර ගත්තාට පස්සේ ඒකෙන් ගොඩ යන විදිහ අම්මා දැනගෙන හිටියා. මේ වෙලාවේ මට මතක්වෙන්නේ අපේ රටේ හිටිය බොහොම ප්‍රසිද්ධ කිවිඳියක්. තමන්ගේ ළමයෙක්ගේ ප්‍රශ්නයක් හින්දා එතුමිය මහ දුකකින් කණගාටුවකින් ජීවත්වුනේ. ඉතින් පස්සේ කාලෙක එතුමියට පිළිකාවක් හැදුණා. ඒ ගැන දැනගත්තට පස්සේ එතුමිය ජීවත්වුනේ එක සතියයි. ලෙඩට බයවෙලා ඒවායින් ගොඩ එන්න බෑ. මේ කතාවට අපේ රටේ ඉන්න විද්‍යාඥයෝ” හිනාවෙන්න පුළුවන්. ඒත් මම හිතන්නේ එහෙම. ඒක අපේ අම්මා අපිට කියලා දීපු පාඩමක්.

අන්තිමට 2012 අවුරුද්දේ අම්මා තදින් ම අසනීප වුනා. මම චීනයේ හිටිය හින්දා අම්මාවයි තාත්තාවයි බලාගන්න කෙනෙක් හොයලා දුන්නා. නංගියි, නංගිලාගේ ගෙදර කට්ටියයි දවල් රෑ නැතුව අම්මාවයි තාත්තාවයි බලාගන්න වැඩේට කැපවුනා. කොහොමත් අම්මා ඇඳට වැටුණේ නෑ. ගේ ඇතුළේ එහෙ මෙහෙ යන්න – එන්න, ඇවිදින්න පුළුවන්කමක් අම්මාට තිබුණා. 2013 අවුරුද්දේ ගිම්හාන නිවාඩුවට මම ලංකාවට එද්දි අම්මා සෑහෙන්න වෙනස්වෙලා. අම්මා ජීවිත කාලේ ම වැඩ කරපු කෙනෙක්. එහෙම කෙනෙක්ට වැඩ නොකර ඉන්න බෑ. ඉතින් අම්මා ඒ ගැන හිත හිතා වගේ තමයි හිටියේ. අගෝස්තු අන්තිමේ මම ආයෙත් චීනයට ගියා. ඒත් හරියට ම මාසයකට පස්සේ ඔක්තෝබර් මාසේ දෙවැනි දා මම ආපහු ලංකාවට ආවා. ඒ ඇයි කියලා නම් අහන්න එපා!

(කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress