ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලංගු ඒවාද? – විශ‍්‍රාමික විගණකාධිපති සරත් සී. මායාදුන්නේ
Posted on August 12th, 2019

උපුටා ගැන්ම දිවයින

පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදී ජනගත කළ විවිධ චින්තන හා ප‍්‍රකාශනවල මෙන් මෙවරද ඉදිරිපත් කෙරෙන ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු කරන බව පෙනෙන කරණු අනුව පැහැදිලිව පේන්නේ ජනාධිපති තනතුරට පත්වුණු, පත්වීමට පෙරුම්පුරන හා ඔවුන්ට ආවඩන බොහෝ දෙනාට ජනාධිපති තනතුරට අයිති හා අයිති නැති කටයුත්ත මොකක්ද කියා නොතේරෙන බවයි. නැතහොත් හිතාමතාම ජනතාව මුළා කරන බවයි. ඒ හැර අප රටේ මේ දක්වා ජනාධිපති තනතුරට පත් වූ බොහෝදෙනා කළ කියූ, එසේම අදත් කරන කියන දේවලින් පේන්නෙත් එම තනතුරට අයිති හා අයිති නැති කටයුත්ත මොකක්ද කියා කිසිම අවබෝධයක් නැති විත්තියයි. ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු කෙරෙන බොහොමයක් කරුණු සැබැවින්ම තිබිය යුත්තේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට අයිති කාර්යයන්, ජනාධිපති තනතුරට අයිති කාර්යයන් ලෙස සලකා ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු කළ හා අඩංගු කිරීම් ගැන බුද්ධිමත් පාඨකයා විමසිලිමත් වියයුතු වෙනවා.

 අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රටේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්මත කිරීම හෙවත් ව්‍යවස්ථාදායක කටයුත්ත ඉටුකරන්නේ හා කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිනුයි. පාර්ලිමේන්තු මහ මැතිවරණයක එක් ප‍්‍රධාන අරමුණක් වන්නේ රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ගැන එක් එක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ජනතා අනුමැතිය ඉල්ලන යෝජනාපත‍්‍ර ගැන ඡුන්දය මගින් ජනතා අනුමැතිය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීමයි. පාර්ලිමේන්තුව පනත් ලෙස සම්මත කර කි‍්‍රයාත්මක කළ යුතුවන්නේ එලෙස මහ මැතිවරණයකදී ජනතා අනුමැතිය ලබන ප‍්‍රතිපත්ති මාලාවයි. රාජ්‍යය සඳහා භාවිතා කිරීමට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන, ජාත්‍යන්තර සම්බන්ධතා කරුණු, ජාතික ආරක්ෂාවට හා සංහිඳියාවට අදාළ කරුණු, ආර්ථික සංවර්ධනයට, විරැකියාවට, උද්ධමනයට, විදේශ සංචිතවලට මෙන්ම අධ්‍යාපනයට, සෞඛ්‍යයට ආදී සියලූ ජාතික ප‍්‍රතිපත්තිවලට අදාළ කරුණු ගැන ජනතා අනුමැතිය ප‍්‍රකාශවන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයකදීයි. පොදු රාජ්‍ය මණ්ඩල ආකෘතිය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර ජනතා අනුමැතිය නියෝජනය කරන කණ්ඩායමෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්නේ මහ මැතිවරණයකදී ජනතා අනුමැතිය ලබන එම රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවයි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන්නත් රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්මත කිරීම හෙවත් ව්‍යවස්ථාදායක කටයුත්ත ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට එලෙසින්ම භාර දී තියෙනවා. ඒ බව 4(අ) ව්‍යවස්ථාවේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්තී‍්‍රවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද කි‍්‍රයාත්මක කළ යුත්තේය.’ යනුවෙන් දක්වා තියෙනවා. ව්‍යවස්ථාදායක බලය යන්නෙන් අදහස් කරන්නේ රට කරගෙන යාමට අවශ්‍ය ප‍්‍රතිපත්ති සමුදාය පනත් ලෙස සම්මත කර රටේ නීතිය බවට පත් කිරීමට ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරන ජනතාවගේ බල වරමයි. ඒ අනුව රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය පනත් ලෙස සම්මත කරනු ලබන්නේ හා කළ යුතුවන්නේ පාර්ලිමේන්තුව විසින් මිස ජනාධිපතිවරයා විසින් නොවේ.

 4(ආ) ව්‍යවස්ථාව අනුව දැක්වෙන ‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය.’ යන්න ජනාධිපතිවරයාට අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී ඇති ප‍්‍රධාන කාර්යභාරයයි. එහිදී ජනතාවගේ විධායක බලය යන්නෙන් කියැවෙනුයේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීමේ බලය නොව, පාර්ලිමේන්තුව අනුමත කරන නීතියට යටත්ව රට කරවීම හෙවත් ආණ්ඩුකරණයයි. එහි සඳහන් නීතිය වන්නේ ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන නොව, පාර්ලිමේන්තුව විසින් නීතිය ලෙස සම්මත කරන රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවයි. ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු කළයුතු වන්නේ ජනාධිපතිිවරයා තම කටයුතු ඉතාමත් උචිත ලෙස ඉටු කරන ආකාරය මිස තමන් පාර්ලිමේන්තුවේ කටයුතු ආක‍්‍රමණය කරන ආකාරය නොවේ.


 ඉහත කී විධිවිධානයේ ‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය…’ යන්නද අප නිවැරදිව තේරුම් ගතයුතු වෙනවා. එය ‘රටේ ආරක්ෂාව හා ජනතාවගේ විධායක බලය…’ යනුවෙන් දක්වා තිබුණේ නම් ජනතාවගේ විධායක බලය යන්නට රටේ ආරක්ෂාව ඇතුළත් නොවන බව සැලකීමට ඉඩ තිබුණා. එනමුත් ඉහත දැක්වෙන විධිවිධානය අනුව ජනතාවගේ විධායක බලය යන්නට රටේ ආරක්ෂාවද ඇතුළත්වන බව පැහැදිලියි. ඒ අනුව නිශ්චය වනුයේ රටේ ආරක්ෂාව පිළිබඳ නීති සම්පාදන බලය හෙවත් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටත්, එය ක‍්‍රියාත්මකකිරීමේ බලය ජනාධිපතිවරයාටත් පැවරී ඇති බවයි. එනම් රටේ ආරක්ෂාව පිළිබඳව ජනාධිපතිවරයාට අයිති වගවීම වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන නීතියට යටත්ව රටේ ආරක්ෂාව ක‍්‍රියාත්මක කළ යුතු බවයි. මෙය අපට වැදගත් වනුයේ සැකසෙමින් පවතින සමහර ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අදහස් දක්වනුයේ ඔවුන් පත් කරන ඊළඟ ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ බලධරයා ලෙස, එනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන ඉක්මවා බලය හිමිකර ගන්නා අයෙකු ලෙස හඳුන්වන නිසයි. එසේ කිරීමක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව සතු බලය, ජනාධිපතිවරයාගේ අතට දීමක් වෙනවා.

 විධායක බලය ක‍්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය නායකයා වශයෙන්ද ජනාධිපතිවරයාට කටයුතු ගණනාවක් පැවරී තියෙනවා. එලෙස ජනාධිපති කාර්යභාරය පිළිබඳව අනිකුත් විස්තරාත්මක විධිවිධාන 33 හා 34 ව්‍යවස්ථා වලත් 41 ව්‍යවස්ථාව ඇතුළු තවත් ව්‍යවස්ථා වල සඳහන් වෙතත් මේ කිසිදු ව්‍යවස්ථා විධිවිධානයක ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායක බලතල හෙවත් රාජ්‍ය ප‍්‍රතිපත්තිය තීරණය කිරීමට අදාළ රටේ නීති ව්‍යුහය සැකසීමට කවර හෝ බලයක් පවරා නැහැ. ඔහු නායකත්වය දෙන විධායකයට පවරා ඇත්තේ පාර්ලිමේන්තුව පනවන රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවට අනුව රටේ ආණ්ඩුකරණය හෙවත් රාජ්‍ය පාලනයේ විධායක කාර්යයයි. එනිසා ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩංගු විය යුත්තේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය කුමක් විය යුතුද යන්න නොව පාර්ලිමේන්තුව අනුමත කරන නීති රාමුව යටතේ ජනතාව වෙත රාජ්‍ය සේවය ලබාදීමේදී හා රාජ්‍ය නායකයා ලෙස කි‍්‍රයා කරද්දී අනුගමනය කරන ප‍්‍රතිපත්තිහා කි‍්‍රයාකාරකම් මොනවාද යන්නයි. එනම් රාජ්‍ය පාලනයේදී තම කාර්යය යහපත්ව ලබාදෙන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමයි.

 පාර්ලිමේන්තුව අනුමත කරන රාජ්‍ය ප‍්‍රතිපත්තියට අදාළ පනත් සඳහා වන කෙටුම්පත් වලින් අතිබහුතරය සැකසෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් බව ඇත්තය. එම පනත් කෙටුම්පත් කරන අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා බවත් ඇත්තය. එසේ වුවද එම කෙටුම්පත්වල අන්තර්ගතය විය යුත්තේ ජනාධිපති ප‍්‍රතිපත්ති නොව ජනතාව රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස පාර්ලිමේන්තු මැතිවරණයේදී කළ අනුමත කිරීම්ය. ඒ, ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කරනුයේ අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය කරුණු නීතිගත කිරීමට නොව මහ මැතිවරණයකදී ජනතා අනුමැතිය ලබන ප‍්‍රතිපත්ති මාලාව රටේ නීතිය බවට පත් කිරීමට වන නිසයි.

 ප‍්‍රජාතාන්ත‍්‍රික පාලන ව්‍යුහයකදී ජනතාව විසින්, ජනතාව උදෙසා, ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමේදී ජනතාවට තමාව පාලනය වියයුතු රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාව නිශ්චය කිරීමට දේශපාලන පක්ෂ ක‍්‍රමය අත්‍යවශ්‍ය වෙනවා. ඒත් රටක දේශපාලන පක්ෂ ක‍්‍රමය අවශ්‍යවන්නේ ව්‍යවස්ථාදායක කාර්යයට මිස නිර්දේශපාලනික වියයුතු විධායක කාර්යයට හෙවත් ආණ්ඩුකරණයට නොවෙයි.

 ජනාධිපතිවරණයකදී රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවක් ජනතා අනුමැතියට ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුවුවත් කරුණු කිහිපයක් නිසාම එය වැරදි කි‍්‍රයාවක් බව මේ අනුව පෙනී යනවා. එක අතකින් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අරමුණට පටහැනි වෙනවා. අනිත් අතින් ඉන් ඉතාම බරපතළ වැරදි පණිවිඩයක් ජනගත වෙනවා. එනම්, පාර්ලිමේන්තු මැතිවරණයක් 

 ජයගන්නා පක්ෂයක් ලබාගන්නා ඡුන්ද ප‍්‍රතිශතයට වඩා වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා ලැබීමකදී ජනතාව ඉහළ ප‍්‍රතිශතයකින් අනුමත කර ඇත්තේ ජනාධිපති රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාව බවටත්, එනිසා කි‍්‍රයාත්මක කළ යුත්තේ ජනාධිපති රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාව බවටත් සහ මුලින්ම වැරදි අර්බුදකාරී අර්ථකථනයකට එය ඉඩ සලසනවා. ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයට සැබෑ හේතුව ඔහුගේ ප‍්‍රතිපත්ති මාලාව නොව වෙනත් හේතූන් වුණත් ඉහළ ජනතා අනුමැතිය ලැබී ඇත්තේ ඒ ප‍්‍රතිපත්ති මාලාවට බවට තර්කයකටද එය ඉඩ සලසනවා. ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තු බලය ප‍්‍රතිවිරුදධ දේශපාලන පක්ෂවලට අයත් වුවහොත් හා එහිදී අසමාන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දෙකක් අනුමත වුවහොත් එය මුළු රටම මහා අර්බුදයකට ගෙන යනවා. අද ඇති අර්බුදය ඊට නිදසුනක්.

 ඉහත දැක්වෙන ජනාධිපති ප‍්‍රතිපත්ති මාලාවට අයත් වියයුතු ආණ්ඩුකරණයේ ප‍්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඉන් එකක් නම් ජනතාවට යහපත්ව රාජ්‍ය සේවය ලබාදීමේදී රාජ්‍ය නිලධාරීන් ඉතාම යහපත් අයුරින් සේවයේ යෙදවිය හැකි රාජ්‍ය සේවා නිලධාරී ව්‍යුහය සකස් කරන ආකාරයයි. වැදගත් වන අනිත් කරුණ නම් ඉතාම යහපත් අයුරින්, භීෂණයෙන් හා දූෂණයෙන් තොරව, තම දේශපාලන පාක්ෂික නෑදෑ හිතවතුන්ට ප‍්‍රමුඛතාව ලබාදෙන පක්ෂ, පාට, ජාති, භාෂා, ආගම්, කුලමල ආදී භේදයන්ගෙන් තොරව, සමාජ සාධාරණත්වය ඉටුවන පරිදි, ජනතාවට යහපත්ව රාජ්‍ය සේවය ලබා දෙන ආකාරයයි. ආණ්ඩුකරණයේදී ඉතාම වැදගත් මේ ප‍්‍රධාන කොටස් දෙකම පසුගිය කාලය පුරාම ජනාධිපති ප‍්‍රතිපත්තිවල නොතිබීම නිසා ගෙන දුන් විනාශය මනාව පැහැදිලි වුණා.

 ජනතාවට රාජ්‍ය සේවය ලබාදීමට අදාළ ඉහළම රාජ්‍ය නිලධාරී ව්‍යුහය පත්කර ගැනීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලයක් ඍජුවම ලබා දී තියෙනවා. ඒ, මුළු රාජ්‍ය සේවයටම නිකැළල්, පිරිසිදු, පලදායී, කාර්යක්ෂම හා සුපිළිපන්න ආදර්ශවත් නායකත්වයක් ලබා දිය හැකි ඉහළම රාජ්‍ය නිලධාරීන් තෝරා පත්කර ගැනීම සඳහායි. පසුගිය දශක කිහිපය පුරාම මෙම ඉහළම නිලධාරීන්ගෙන් බහුතරය තෝරාගෙන ඇත්තේ කිසිදු සාධාරණ පදනමක් නැතිව දූෂිත ආකාරයට බවත්, එම නිලධාරීන්ගෙන් බහුතරය කි‍්‍රයාකර ඇත්තේද ඉතාම දූෂිත ආකාරයට බවත්, අද සනාථ වී තියෙනවා. මුළු රාජ්‍ය සේවයටම නායකත්වයක් දෙන ජනාධිපති ලේකම් ඇතුළු සම්පූර්ණ ජනාධිපති කාර්ය මණ්ඩලය, අමාත්‍ය මණ්ඩල ලේකම්, අගමැති ලේකම් සහ සියලූම අමාත්‍යාංශ ලේකම්වරු තම අභිමතයම අනුව පත් කිරීමට ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට පූර්ණව බලය දී තියෙනවා. අග‍්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු සියළුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, සභාපතිතුමා ඇතුළු සියලූම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, ඔම්බුඞ්ස්මන්වරයා සහ පොලිස්පතිවරයා පත් කිරීමට ජනාධිපතිවරයාගේ නිර්දේශය අත්‍යාවශ්‍ය වෙනවා. ඒ තනතුරකට ජනාධිපතිවරයා නිර්දේශ නොකරන කිසිම නමක් අනුමත කරන්නට ව්‍යවස්ථා සභාවට බලයක් නැහැ. පසුගිය කාලයේදී සුදුස්සන් නොසලකා හැර නුසුදුස්සන් නිර්දේශ වූ අවස්ථා අනන්තවත් තිබුණා. එම කිසිම පත්කිරීමකදී ජනාධිපතිවරයා කිසිවෙකුගේ උපදේශයක් තබා නිර්දේශයක් ලබා ගැනීමකටවත් බැදීමක් ඇති කර නැහැ. තානාපතිවරුන්, ති‍්‍රවිධ හමුදාපතිවරුන්, ජනාධිපති නීතිඥවරුන් ආදී පත්කිරීම්වලදීද එලෙසින්ම විශාල අභිමතානුසාරී බලයක් ව්‍යවස්ථාව අනුවම ජනාධිපතිවරයාට ලැබී තියෙනවා. එනමුත් ඒ ජනාධිපතිවරු කිසිවෙක් එම විශ්වාසය හා වගවීම මෙතෙක් ආරක්ෂා කර ඒ කටයුතු බොහොමයක් සිදුකර ඇත්තේ ඉතාමත් දූෂිත හා ප‍්‍රශ්නකාරී ආකාරයකටයි. ජනාධිපතිවරණයකදී අපේක්ෂකයන් තම ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කළයුතු ප‍්‍රධාන ප‍්‍රතිපත්ති අතර තම අභිමතය අනුව සිදුකරන මෙබඳු සෑම පත්කිරීමක්ම ඉතාමත්ම උචිත ලෙස කිරීමට භාවිතා කරන සංවරණ හා සංතුලන ක‍්‍රම මොනවාද යන්න හා ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක කෙරෙන බව තහවුරු කෙරන පාලන ක‍්‍රම මොනවාද යන්න නිශ්චිතව දැක්වීම සුදුසු වෙනවා.

 පොදු ජනතාව වෙත රාජ්‍ය සේවය ඉතාම යහපත් අයුරින් ලබාදීම ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්නත්, ඒ කටයුතු සැලසුම් කරන්නේ, ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිපත්ති සාදන්නේ, තීරණ ගන්නේ, ක‍්‍රියාත්මක කිරීම්වල උචිතානුචිතභාවය 

 අගැයීමට ලක්කරන්නේ, අපේක්ෂිත ප‍්‍රතිඵල හා සැබෑ ප‍්‍රතිපල සසඳන්නේ, පසුවිපරම් කටයුතු කරන්නේ, විචලතාවයන් හඳුනාගන්නේ හා එම විචලතා පිළිබඳ කි‍්‍රයා කරන්නේ කෙසේද යන්නත් ජනතාවට අවබෝධවන අයුරින් ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කිරීම අවශ්‍ය වෙනවා. පසුගිය දශක 

 ගණනාව තුළම පොදු ජනතාව වෙත ඉතාමත් අශීලාචාර ලෙස රාජ්‍ය සේවය ලබාදුන්නේ මේ කටයුතු කිසිවක් ජනතාවට විවෘත නොකර පාර්ලිමේන්තුවට අයිති කටයුතුවලින් තම ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පුරවා ජනතාව මංමුළා කරමිනුයි.

 මේ සියලූම කාරණා සලකා බලා බැසිය හැකි සරලම නිගමනය නම් ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් විය යුත්තේ ජනාධිපතිවරයාගේ කාර්යභාරයට අදාළ කරුණු බවයි. ජනාධිපතිවරයා වශයෙන් කරන්නේ කුමක්ද යන්න පමණක් නොව කරන්නේ කෙසේද යන්න දැක්වීමද අත්‍යාවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම, තම බලතල ක‍්‍රියාත්මක කිරීමේදී ඒවා අත්තනෝමතිකව නොකොට සම්මුතිකභාවය, සහභාගිත්වය, නීතියේ පාලනය, වගවියයුතුභාවය, විනිවිදභාවය, ප‍්‍රතිචාරාත්මකභාවය, පිරිමැසුම්භාවය, කාර්යක්ෂමතාවය හා සඵලතාවය, සමානාත්මකතාවය ආදී ගුණාංගවලින් පරිපූර්ණව සදාචාරසම්පන්නව කරන්නේ කෙසේද යන්න පැහැදිලිව දැක්වීම අත්‍යාවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස එක් එක් වර්ගයේ පත්වීම් කිරීමේදී හෝ අධිකරණයෙන් වරදකරුවන් කළ අයට සමාව දීමේදී කොයි කොයි මණ්ඩල හෝ කණ්ඩායම් විමසන්නේද, නිර්දේශ හෝ උපදේශ ලබාගන්නේද ආදී කරුණු එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කිරීම උචිත බව පෙනෙනවා.

 ඒ සියල්ල එසේ නමුත් ජනාධිපතිවරණයකදී ඡුන්දදායකයා තම ඡුන්දය දීමේදී එකී එක් එක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල ඇතුළත් කුමක්ද යන්නෙන් ඔබ්බට ගොස් එම ජනාධිපතිධුරාපේක්ෂකයා හා ඔහුගේ ප‍්‍රකාශන කෙතරම් දුරට විශ්වාස කළ හැකිද යන්න තේරුම්ගෙන සිටිය යුතු වෙනවා. එසේ කියනුයේ ඔබ රැවටුනහොත් එහි හානිය ඔබට පමණක් සීමා නොවෙන නිසයි.

One Response to “ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වලංගු ඒවාද? – විශ‍්‍රාමික විගණකාධිපති සරත් සී. මායාදුන්නේ”

  1. Lionel Says:

    Absolute truth!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress