යහපාලන පාර්ලිමේන්තුවට වසර 04 සම්පූර්ණ වෙයි.. මාස 06කින් විසිරුවා හැරීම ස්ථිරයි..
Posted on August 16th, 2019

ජයකාන්ත ලියනගේ  lanka C news

වත්මන් පාර්ලිමේන්තුවට අදාල මහ මැතිවරණය පවත්වා හෙටට (17) වසර 04 ක් සපිරේ. මෙරට අර්බුද රැසක් නිර්මාණය වූ පාර්ලිමේන්තුව ලෙසින් ඉතිහාසයට එක්වන මෙහි ජාතික ලැයිස්තුව පත් කිරීම සම්බන්ධයෙන් වූ සලකා බැලීමකි මේ.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ජාතික ලැයිස්තුව සැකසෙන්නේ මහජන ඡන්දයෙන් ජයග්‍රහණය කල නොහැකි, ජාතික වටිනානමක් ඇති පුරවැසියන්ගේ සේවය රටට ලබා ගැනීම සදහාය. ඔවුන් කිසි විටෙක මහජන සේවය සදහා තමන් තෝරා ගන්නැයි ඉල්ලමින් ජනතාව පසුපස යන්නන් නොව, ජනතාවට සේවය කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුත්තේ මහජනතාවය.

සුවිශේෂී ඝනයේ වෘත්තියවේදීන්, මහා විද්‍යාඥයින්, ආර්ථිකයේ මහා සැලසුම්කරුවන් වැනි ජාතියේ මහා බුද්ධිමතුන්ගේ සේවය රටට ලබාගැනීම ජාතික ලැයිස්තුව සැකසීමේ අරමුණ විය. මෙවැනි බුද්ධිමතුන් මහජන සේවය පිණිස ජාතිය ඉල්ලා සිටින්නේද රටක් වශයෙනි. ඒ සදහා වූ ජාතියේ කැමැත්තේ ප්‍රමාණය, ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් වෙත මහජනතාව ලබාදුන් කැමැත්තේ ප්‍රමාණය (ලබාගත් ඡන්ද ප්‍රමාණය) මත රදා පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති ප්‍රතිපාදන යටතේ ජාතියේ බුද්ධිමතුන් විසිනවයකගේ (29) සේවය ජාතියට ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා පසුගිය මැතිවරණයේදී දේශපාලන පක්ෂ හතරකට (04) හිමි විය. ඒ, යහපාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් (එජාපෙ) 13 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (එජනිස) 12 ක්, දෙමළ ජාතික සන්ධානයෙන් (ටීඑන්ඒ) 02 ක් හා ජනතා විමුක්ති පෙරමුණෙන් (ජවිපෙ) 02 ක් වශයෙනි. මෙම 29 දෙනා නම්කර වසර 04 ක් ඉක්ම යද්දී ඔවුන්ගෙන් ජාතික ලැයිස්තුව සැකසීමේ බලාපොරොත්තු වූ අරමුණු ඉටු වී තිබේ ද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ. ලිපියේ අන්තර්ගතය තර්කානුකූලව ගොඩනැගීමේදී ඇතැම් දේශපාලන පක්ෂ හෝ පාර්ශවයන් ඉලක්ක වී තිබෙන බව මතුපිටින් පෙනුනත් සමස්ථ විග්‍රහයේදී යථාර්තය පැහැදිලි වන බව ලියුම්කරුගේ අදහසයි.

2015 අගෝස්තු 17 දින පැවති ශ්‍රී ලංකාවේ 15 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ එජනිස ට හිමි මන්ත්‍රී ආසන 12 සදහා මැතිවරණයට තරග කර පරාජයට පත් වූ 07 දෙනෙක් සහ ජාතික ලැයිස්තුවට නම්කර තිබූ 05 දෙනෙක් තෝරාගෙන තිබුණි. එජාප යටතේ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් වූවන් කිසිවෙක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොකිරීමට එම පක්ෂය කටයුතු කර තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් (එවකට) කබීර් හෂීම් මහතා, පරාජිතයින් කිසිවෙක් සිය පක්ෂය යටතේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින්ද ප්‍රකාශ කළේය. එජාපයේ මෙම තීරණය පැසසිය යුතු මට්ටමේ ආදර්ශයක් වුවත් එජාපෙ යටතේ ආරම්භයේදී මුස්ලිම් මන්ත්‍රීවරයෙක් හා පසුව සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු වරම් හිමිවන්නේ ජාතික ලැයිස්තුව යටතේය. ඒ වන විට සරත් ෆොන්සේකා මහතා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යටතේ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් ව සිටියේය. එජාපෙ යටතේ ජාතික ලැයිස්තුවෙන් පත්කර තිබූ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සදහා සරත් ෆොන්සේකා මහතා පත් කර කර තිබුණි. එජාපෙ ජාතික ලැයිස්තුව, මේ වන අතුරලියේ රතන හිමියන් සහ කරු ජයසූරිය, මලික් සමරවික්‍රම, ඩී එම් ස්වාමිනාදන්, ජයම්පතී වික්‍රමරත්න, තිලක් මාරපන, ආශු මාරසිංහ, සරත් ෆොන්සේකා ඇතුළු 13 දෙනෙක් නියෝජනය කරයි. රතන හිමියන් මේ වන විට එක්සත් ජාතික පෙරමුණට හිතවාදී දේශපාලනයෙන් ඉවත්ව විපක්ෂය සමග කටයුතු කරමින් සිටී.

ජවිපෙ, පරාජිතයින් එක් අයෙක් සහ ජාතික ලැයිස්තුවට නම්කර සිටි එක් අයෙක් සිය පක්ෂයේ ජාතික ලැයිස්තු නියෝජනය ලෙස නම්කර තිබුණි. මාතර දිස්ත්‍රික්කයට ජවිපෙ යටතේ තරග කර පරාජයට පත් වූ සුනිල් හදුන්නෙත්ති මහතා සහ හිටපු විගනකාධිපතිවරයෙකු වූ සරත් චන්ද්‍ර මායාදුන්නේ මහතා එම දෙදෙනාය. සරත් මයාදුන්නේ මහතාගේ පත් කිරීම ජාතික ලැයිස්තුවේ අරමුණු සදහා වූ සාධනීය පිළියමක් වූ නමුත් කෙටි දිනකින් ඔහු ඉල්ලා අස්විය. එම පුරප්පාඩුවට පත් කරන ලද්දේ බිමල් රත්නායක මහතාය. දෙමළ ජාතික සන්ධානය, සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සදහා පත්කර ඇත්තේද පරාජිත අපේක්ෂකයින් දෙදෙනෙකි. ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කේ තුරෙයිරත්නසිංහම් මහතා සහ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්තී ශ්‍රී කාන්තරාජා මහතාය.

එජාපෙ ජාතික ලැයිස්තුව නම් කිරීමේදී ජාතික ලැයිස්තුවේ අරමුණු සම්පූර්ණයෙන්ම ඉටු වී නැතත් පරාජිතයන් නම් නොකිරීමෙන් (එක් අයෙක් හා සුළු පක්ෂ හැර) අවම වශයෙන් ජනතා කැමැත්තට විශාල වශයෙන් පිටු පා නැති බව හෝ පෙනී යයි. එජාපෙ, 13 දෙනෙක් අතරින් පරාජිතයින් නම්කර ඇත්තේ එක් අයෙක් පමණක් වීමද යම් සාදනීය ලක්ෂණයකි. එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාද සමග එජාපෙ ජාතික ලැයිස්තුවේ පරාජිතයින් කිසිවෙක් නොසිටි වකවානුවේ නිකුත් කල කබීර් හෂීම් මහතාගේ නිවේදනය මගින් පරාජිතයින් නම් නොකිරීම ඔහු පෙන්වා දී තිබුණේද යහපාලන අරමුණු ඉටුකිරීමක් ලෙසිනි.

යහපාලන කතිකාවත ඇතිකරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාව තුලිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්කල යුත්තේ රටේ යහපාලනය ඇති කිරීමට බවද එම වේදිකාවේ නිතර රැව් පිළිරැව් දුන්නේය. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්ව වසර වසර 4 1/2 ක් ගතව තිබේ. මේ වන විට රටේ යහපාලනය ගොඩනැගී තිබේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ නොවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද වන විට ශ්‍රිලනිපයේත් එජනිසංයේත් නායකයාය. එම සංවිධාන දෙකේම ලේකම්වරුන් ඉවත්කර ඔහු තමන්ට පක්ෂපාතී ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර ගෙන තිබේ. ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාව හා එජනිසං විධායක සභාව හිතවත් අයගෙන් බහුතරය සම්පූර්ණ කරගෙන තිබේ. එජනිසං යේ ජාතික ලැයිස්තුව නම් කිරීමේදී පූර්ණ බලය සියතට ගත්තේද මේ මගිනි. නමුත් ජාතික ලැයිස්තුව නම් කිරීමේදී යහපාලන අරමුණු ඉටුකළේ එජාපෙ බව කබීර් හෂීම් මහතා කියයි. යහපාලන රජයට වසර හතරක් (04) සපිරෙද්දී වුවද මෙය බැහැර කල නොහැකි සත්‍යයකි.

එජනිසං ජාතික ලැයිස්තුවට නම්කල 29 දෙනා අතරින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කර ඇත්තේ 05 දෙනෙකු පමණි. ඒ ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ එච් එම් ෆවුසි යන පස් දෙනාය. ඩිලාන් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළේ නම් ඔහු ජයග්‍රහණය කිරීම හෝ ජයග්‍රහණය කළ තිදෙනාගෙන් අයෙකු පරාජය වීමට තිබූ ඉඩ බොහෝ වැඩිය. එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එජනිසංයට මන්ත්‍රී ආසන 04 ක් ලැබේවී යැයි සිතිය නොහැකිය. මෙම මැතිවරණයේදී චාමර සම්පත් දසනායක මහතා ජයග්‍රහණය කරන අතර ඔහු ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය බාර ගැනීමත් සමග 04 වැනි ස්ථානයට මනාප ලබාගෙන සිටි ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි විය.

2010 අප්‍රේල් 08 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ලද්දේ එජනිස විසිනි. එයින් එජනිස යට මන්ත්‍රී ආසන 07 ක් ලැබුණ අතර අප්‍රේල් 20 දින පැවති නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද ප්‍රතිඵලය දිස්ත්‍රික් ප්‍රතිඵලයට එකතු වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ එජනිස යේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගියේය. මෙම මැතිවරණයේදී සරත් අමුණුගම මහතා මනාප ඡන්ද 44478 ක් ලබා මහනුවර දිස්ත්‍රික්කයේ 08 වැනියා ලෙස පාර්ලිමේන්තු වරම් ලැබීය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් එජනිසංය පරාජයට පත්වන අතර ඔවුන්ට හිමි වන්නේ මන්ත්‍රී ධූර 05 ක් පමණි. ඒ තුල හිටපු මන්ත්‍රීවරුන් වන එරික් වීරවර්ධන, එස් බී දිසානායක වැන්නන්ද පරාජයට පත් වේ. ෆයිසර් මුස්තාපා මහතාද මහනුවර හා කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දෙවරකදී ජයග්‍රහණය කර තිබුණි. ඒ එච් එම් ෆවුසි මහතාද මුල් යුගයේ ඉතා ජනප්‍රිය දේශපාලන චරිතයක් වුවත් 2010 මැතිවරණයෙන් පසු ඔහුට හිමි වූ ජේෂ්ඨ ඇමති ධූරයත් සමග යම් පසු බෑමකට ලක් විය. මේ අනුව ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, ෆයිසර් මුස්තාපා හා ඒ එච් එම් ෆවුසි යන දේශපාලනඥයන් ජාතික ලැයිස්තුව නියෝජනය කිරීම නිවැරදි තීන්දුවක් බව පෙනේ. නමුත් මෙහිදී ජාතික ලැයිස්තුව නිර්මාණයේ අරමුණු යම් පමණකට හෝ ඉටු වී ඇත්තේ සරත් අමුණුගම මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් පමණක් බව පෙනෙන්නට තිබේ. ඔහු අප රටේ සිටි පරිපාලන කේෂේත්‍රෙයේ දැවැන්තයෙක් බව අවිවාදිතය. ෆයිසර් මුස්තාපා මහතා ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට පැමිණි අයෙකු වීමද අමතක නොකල යුතුය.

මලිත් ජයතිලක මහතා ශ්‍රිලනිප දේශපාලනයේ තිරය පිටුපස සිටි දැවැන්ත චරිතයකි. මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපතිවරයා ලෙසත් ඔහු ඩලස් අලහප්පෙරුම මහතා යටතේ වසර 05 ක පමණ කාලයක් කටයුතු කළේය. පසුගිය ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා පරදින බවට සංඛ්‍යා දත්ත ලේඛණ අනුව තහවුරු කල ඒ මහතා ජනාධිපතිවරණයට නොයන ලෙස විවිධ පුද්ගලයින් හමු වී මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කළේය. මේ තත්ත්වය තුලම ඔහුට මහින්ද රාජපක්ෂ මහතා හැර යෑමට සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වඩාත් ලං වූයේ මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍යය ඇමතිවරයාටය. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය තරග කිරීම වෙනුවෙන් වූ මනස සකසා ගැනීමට මලිත් ජයතිලක මහතාගේ සංඛ්‍යා ලේඛණ ද හේතු වූවා විය හැකිය. ඔහු ජනාධිපතිවරණයේදී කල කාර්යය භාරයද සුළුපටු නොවේ. මලිත් ජයතිලක මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරිණමන ලද්දේ ඊට කෘතගුණ සැලකීමක් වශයෙන්ය යන්නද මුසාවක් නොවේ.

එජනිස යට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර 12 අතරින් ඉතිරි 07 දෙනා නම් කරන ලද්දේ පරාජිතයින්ගෙනි. එජනිස යට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමි නොවූ අතර සන්ධාන ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වූයේ මනාප ඡන්ද 16593 ක් ලබාගත් එල් ඒ එම් හිස්බුල්ලා මහතාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) මහතා ශ්‍රිලනිපය නියෝජනය කරමින් මඩකලපුවෙන් තරග කිරීමට අවස්ථාව ඉල්ලා සිටියත් ඔහුට ජාතික ලැයිස්තුව ලබාදෙන බව පවසා මඩකලපුවෙන් නාම යෝජනා ලබා නොදීමට ශ්‍රිලනිපය ක්‍රියා කළේය. අවසානයේදී ඔහු ජාතික ලැයිස්තුවෙන්ද ඉවත්කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් දමිළ ඡන්ද බෙදී නොයවා දෙමළ ජාතික සන්ධානයට ලබාදෙන ලෙස ඔහු දමිළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. විනයාගමූර්ති මුරලිදරන් මහතා මඩකලපුවෙන් තරග කළේ නම් හෝ සන්ධානයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ නම් එජනිස යට මඩකලපුවෙන් මන්ත්‍රී ආසනයක් ලැබෙන්නට ඉඩ තිබුණි. ඔහු තරග කළේ නම් ඔහු ලබාගන්නා මනාප ප්‍රමාණය දිස්ත්‍රික්කයේ මුස්ලිම් නියෝජනය අභිබවා යාවී යන සැකය නිසා ඇති වූ මත ගැටුමක් හේතුවෙන් මුරලිදරන් මහතාට එජනිස ය යටතේ තරග කිරීමට අවස්ථාව අහිමි වූ බවට වූ ආරංචියද ලෙහෙසියෙන් බැහැර කල නොහැකිය. මෙම තත්ත්වය මත මඩකලපුවේ සන්ධාන නියෝජනය වෙනුවෙන් හිස්බුල්ලා මහතා පත්කල බව කියති. නමුත් ඔහු පසුව පාර්ලිමේන්තුවෙන් ඉවත්ව නැගෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් පත්ව අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග ජනතා බල කිරීම මත ආණ්ඩුකාර ධූරයෙන්ද ඉවත්ව සිටී.

හිස්බුල්ලා මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා පත්කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එජනිසං යටතේ තරග කොට පරාජයට පත්ව සිටි ශාන්ත බණ්ඩාර මහතාය. 2015 මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයට එජනිසං යටතේ මන්‍ත්‍රී ආසන 08 ක් ලැබී තිබුණ අතර ශාන්ත බණ්ඩාර මහතා මනාප ඡන්ද 42829 ලබා ලැයිස්තුවේ 09 වැනි ස්ථානයට පත් විය. ලැයිස්තුවේ 08 වැනියා ලෙස මන්ත්‍රී ධූරය හිමිව තිබුණේ මනාප ඡන්ද 43020ක් ලැබූ තාරානාත් බස්නායක මහතාටය. මනාප ඡන්ද 54318 ක් සමග ලැයිස්තුවේ 06 වැනියා ලෙස ජයගෙන තිබූ සාලින්ද දිසානායක මහතාගේ හදිසි අභාවයත් සමග ලැයිස්තුවේ 09 වැනියා වන ශාන්ත බණ්ඩාර මහතාට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය හිමි වීමට ඇති නීත්‍යානුකූල ඉඩකඩත් සමග ශාන්ත බණ්ඩාර මහතා එය බලාපොරොත්තුවෙන් පසුගියදා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් විය.

මෙම ලිපිය ලියන මොහොත වන විට ශාන්ත බණ්ඩාර මහතාගේ ඉවත් වීමත් සමග නැවතත් එජනිසංයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී තිබේ. එජනිසංයේ ආරංචි මාර්ග අනුව පුරප්පාඩුවට පත් කිරිමට සැලසුම් කර ඇත්තේද 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වූ අයෙකි. ඒ මොනරාගල දිස්ත්‍රික්කයේ ජගත් පුෂ්ප කුමාර මහතාය. මැතිවරණයෙන් එජනිසංට මොණරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධූර 03 ක් හිමි වූ අතර ජගත් පුෂ්ප කුමාර මහතා මනාප ඡන්ද 46863 ක් ලබා 04 වැනි ස්ථානයට පත්ව සිටියේය. මනාප ඡන්ද 38998 ක් ලබා ලැයිස්තුවේ 05 වැනි ස්ථානය හිමිකර ගෙන තිබූ විජිත් විජයමුණි සොයිසා මහතාද මේ වන විට එජනිසංයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකි.

යාපනය දිස්ත්‍රික්කයෙන් එජනිස යට මන්ත්‍රී ධූර හිමි වූයේ නැත. නමුත් දිස්ත්‍රික් ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ මනාප ඡන්ද 11120 ක් ලබාගත් අංගජන් රාමනාදන් මහතාය. ඒ මහතා ජාතික ලැයිස්තුව යටතේ පත්කර තිබෙන අතර එසේ කළේ යාපනයේ දමිළ නියෝජනය සදහා බව එජනිසංය කියයි. එජනිස යේ ජාතික ලැයිස්තුවෙන් පත්කල අනෙක් පරාජිතයින් 05 දෙනා වන්නේ මහනුවර එස් බී දිසානායක, කළුතර මහින්ද සමරසිංහ, කොළඹ තිලංග සුමතිපාල, මාතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා මොණරාගල ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා යන මහත්වරුන්ය. මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතරින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මන්ත්‍රී ධූරයට වසර 03 ක් ඉක්මව යද්දී නැවත මහින්ද රාජපක්ෂ මහතා වෙත සමීපව ඇති අතර ඩිලාන් පෙරේරා, එස් බී දිසානායක, තිලංග සුමතිපාල යන මන්ත්‍රීවරුන් දෙපැත්තේ කකුල තබාගෙන සිටී. මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ වන විට ඉතිරි වී ඇත්තේ මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, මලිත් ජයතිලක යන මන්ත්‍රීවරුන් පමණක් වන අතර ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා, ෆයිසර් මුස්තාපා සහ ඒ එච් එම් ෆවුසි යන මහත්වරුන් එජාපයට එක් වී තිබේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල පසු බොහෝ විට මහින්ද සමරසිංහ මහතාද, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අහිමි වීමට ඉඩ ඇත.

එජනිසය නියෝජනය කළ ප්‍රබල දේශපාලනඥයින් රැසක්ම පසුගිය මැතිවරණයේදී පරාජයට පත්විය. ඔවුන් අතර අනුරාධපුරයේ තිස්ස කරලියද්ද (37253), පොලොන්නරුවේ චන්ද්‍රසිරි සූරියආරච්චි (18325), මොණරාගල ජගත් පුෂ්ප කුමාර (46863), මාතලේ රෝහණ දිසානායක (58585) සහ නන්දිමිත්‍ර ඒකනායක (14971), මහනුවර එරික් වීරවර්ධන (41634), මාතර විජය දහනායක (24866) සහ හේමාල් ගුණසේකර (14934), කුරුණෑගල ශාන්ත බණ්ඩාර (42829) සහ ජයරත්න හේරත් (34035), ගාල්ල පියසේන ගමගේ (47248), පුත්තලම නියෝමාල් පෙරේරා (37417) සහ දයාශ්‍රිත තිසේරා (29383), ගම්පහ ෆීලික්ස් පෙරේරා (43476) සහ පණ්ඩු බණ්ඩාරනායක (42692) යන මහත්වරුන් ප්‍රධානය. මොවුන් සියළු දෙනාම යහපාලන ආණ්ඩුවේ දින සියය යටතේ අමාත්‍යධූර ලබාගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයවෙති. මෙයින් ගාල්ලේ පියසේන ගමගේ මහතාට නැවත මන්ත්‍රී ධුරය හිමි වූ අතර එසේ වූයේ ගාල්ලේ ඡන්ද දායකයින් 05 දෙනෙක් ගීතා කුමාරසිංහ මහත්මිය දිත්ත්ව පුරවැසිභාවය හිමි අයෙක් බවට අධිකරණයට ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමක් තහවුරු වීම නිසාය. මෙම ඡන්ද දායකයින් 05 දෙනාම පියසේන ගමගේ මහතාගේ දේශපාලන ආධාරකරුවන් බවද කියති.

මේ සියළු පරාජිතයින් අතරින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ලැයිස්තුව හරහා පළමු වටයේ නැවත තෝරා ගන්නා ලද්දේ දකුණේ සිංහල සමාජයෙන් ඉහත කී 05 දෙනා පමණි. මෙම තෝරා ගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාධාරණීකරනය කළේ තමාට සහය දැක්වීම මොවුන්ගේ පරාජයට හේතු වූ බව කියමිනි. පරාජිත අනික් පිරිස සදහන් කරන්නේද ඔවුන්ගේ පරාජයටද හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම බවයි. තමාට සහය දැක්වූ සියල්ලන්ටම අත් වූ ඉරණම සම්බන්ධයෙන් එක හැන්දෙන් නොබෙදීම පිළිබදව ජාතික ලැයිස්තුව අහිමි වූ පරාජිතයෝ බොහොමයක් පසුගිය කාලය මුළුල්ලේම කණස්සල්ලට පත්ව සිටීම මත පලමුව ශාන්ත බණ්ඩාර මහතාටත් දෙවෙනුව ජගත් පුෂ්ප කුමාර මහතාටත් මන්ත්‍රී ධූර ලබා දෙන බවද කියති. නමුත් මෙම පරාජිතයින්ගෙන් සැලකිය යුතු පිරිසක් ඊලග ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇදී ගොස් ඇති බවද රහසක් නොවේ. ඉතිරි පිරිස පිළිබදවද මේ මොහොතේ නිශ්චිත තීරණයකට එලඹීම අපහසුය.

එස් බී දිසානායක මහතා, පසුගිය මැතිවරණයේදී ලබාගෙන ඇත්තේ මනාප ඡන්ද 40209 ක් පමණි. ඔහුට හිමි වූයේ 07 වන ස්ථානයයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් එජනිස යට මන්ත්‍රීධූර 05 ක් හිමි වූ අතර 05 වන ස්ථානයට පත්ව ඇත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාය. එස් බී දිසානායක මහතා සිටින්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට වඩා මනාප ඡන්ද 25478 ක් පිටුපසිනි. මහින්ද සමරසිංහ මහතාට හිමි වූයේ මනාප ඡන්ද 37480 ක් පමණි. කළුතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට මන්ත්‍රී ආසන 05 ක් හිමි වූ අතර 05 වන ස්ථානය ලබා ගත්තේ පියල් නිශාන්ත මහතාය. ඒ මහතා මනාප ඡන්ද 71428 ක් ලබාගත් අතර 08 වන ස්ථානය හිමි වූ මහින්ද සමරසිංහ මහතා ලබාගෙන තිබුණේ මනාප ඡන්ද 33948 ක් පමණි.  තිලංග සුමතිපාල මහතාට හිමි වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ 13 වන ස්ථානයයි. කොළඹින් සන්ධානයට මන්ත්‍රී ධූර 07 ක් හිමි වූ අතර හත් වන ස්ථානය ලබාගත් ගාමිණී ලොකුගේ මහතාට වඩා මනාප ඡන්ද 36717 ක් පිටුපසින් තිලංග සුමතිපාල මහතා සිටී. මාතරින් එජනිස යට මන්ත්‍රී ධුර 05 ක් හිමිවන විට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම ලැයිස්තුවේ 06 වන ස්ථානයට පත්විය. 05 වන ස්ථානයේ සිටින චන්ද්‍රසිරි ගජධීර මහතාට වඩා මනාප ඡන්ද 5661 ක් පිටුපසින් ලක්ෂ්මන් යාපා මහතා සිටී.

මෙම මැතිවරණයේදී දිවයින පුරා දැවැන්ත ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ මොනරාගල ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතාය. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි එක් කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා හදුන්වන්නේ අප්පච්චි මළෝ කල්ලිය වශයෙනි. මේ සදහා විජිතමුණි ද සොයිසා මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතු වී තිබේ. මොනරාගල දිස්ත්‍රික්කයෙන් එජනිස යට මන්ත්‍රී ආසන 03 ක් හිමිවන විට විජිතමුණි ද සොයිසා මහතාට හිමි වූයේ 05 වන ස්ථානයයි. 03 වන ස්ථානයේ සිටින පද්ම උදය ශාන්ත මහතාට වඩා මනාප ඡන්ද 18358 ක් පිටුපසින් විජිතමුණි ද සොයිසා මහතා සිටී.

ඡන්දය අර්ථ දක්වන්නේ කැමැත්ත යනුවෙනි. මෙය ජනතාවගේ කැමැත්ත යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථාද ඇත. මැතිවරණයක් පවත්වන්නේ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම සදහාය. මැතිවරණයක් සදහා රජයේ වියදම් ලෙස පමණක් රුපියල් කෝටි ගණනක් වැයවන බව මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවලින් සනාථ වේ. අපේක්ෂකයින්ද කරන වියදම් සැලකූ විට මැතිවරණ වියදම රජයේ වියදම මෙන් පස් හය ගුණයකි. මෙවන් දැවැන්ත වියදමක් දරා පවත්වන මැතිවරණයකින් පසුව එයින් ජනතා කැමැත්ත ප්‍රදර්ශණය නොවන්නේ නම් ඒ සදහා දැරූ සමස්ථ වියදමම නාස්තියකි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් තෝරාගනු ලබන්නේ තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු තමන්ගේ නියෝජිතයාය. ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නා ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙසේ තමන් තෝරා ගන්නා නියෝජිතයාය. තීන්දු තීරණ ගැනීමට සියළු මහජනතාවට පාර්ලිමේන්තුවට යා නොහැකි නිසා තමන් වෙනුවෙන් තීරණ ගැනීමට නියෝජිතයා තෝරා පාර්ලිමේන්තුවට යවනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනුවෙන් හදුන්වනු ලබන්නේ මෙසේ අප වෙනුවෙනු තීන්දු තීරණ ගැනීමට අප විසින් තෝරා යවන අපගේ නියෝජතයාය.

මැතිවරණයේ පරාජිතයින් යනු මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නොසුදුස්සන් ලෙස මහජනතාව විසින් තහවුරු කල පුද්ගලයින්ය. මෙසේ නුසුදුස්සන් ලෙස මහජනතාව විසින් තීන්දු කල පුද්ගලයින් නැවතත් ජාතික ලැයිස්තුව හරහා මහජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට යොමු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම උදා කිරීමකි. අප වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පුද්ගලයින් අපවගේ නොවුනහොත් ඔවුන් අපිව නියෝජනය නොකරන බව පොදු පිළිගැනීමයි. බොහෝ විට අපිව සැබෑ ලෙසම නියෝජනය කරන්නේ අපවගේ ජීවත්ව අයයි. අප බඩු ගන්නා කඩෙන් බඩු ගන්නා, අපගේ දරුවන් යවන පාසැලට තමන්ගේද දරුවන් යවන, අප ගමන් ගන්නා ප්‍රවාහන ක්‍රමය භාවිතා කරන පුද්ගලයින් සැබෑ ලෙසම අපිව නියෝජනය කරන්නේ යැයි සිතිය හැකිය. මහජනතාව එවැන්නන් පත් කිරීමට නොහැකි නම් අවම වශයෙන් ඊට ලගින් හෝ යන්නන් සිය නියෝජිතයින් ලෙස පත් කල යුතුය.

පරාජිතයින් ජාතික ලැයිස්තුවට නම් කිරීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පරාජයට හේතු වූයේ තමන්ට පක්ෂපාතී වීම බවයි. මහින්ද පාර්ශවයෙන් මොවුන් පරාජය කලයුතු යැයි කියූ බවක්ද කියති. පසුගිය මැතිවරණයට සාපේක්ෂව හොර ඡන්ද දැමීමක් හෝ මැතිවරණ අක්‍රමිකතා සිදුනොවූ බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත. මැතිවරණයකදී තමන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීම හෝ වෙනත් අයෙකුට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවිරෝධී හෝ නීතී විරෝධී ක්‍රියාවක් නොවේ. එජනිස ය මැතිවරණ වේදිකාවේ එජාපයට, ජවිපෙට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීම මෙන්ම එජාපය, එජනිස යට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීම සුලඹ දෙයකි. පසුගිය ජනාධිපතිවරණයේදී ජවිපෙ, ඡන්දය දෙන්න යැයි කිසිවෙක් නම් නොකලත් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවද අමතක නොකල යුතුය.

එකම කණ්ඩායම තුල වුවත් තමන්ගේ සුදුසුකම් ප්‍රකාශ කර ඡන්දය ඉල්ලා සිටීමත් තවත් අයෙකුගේ නුසුදුසුකම් ප්‍රකාශ කර ඡන්දය ලබානොදෙන ලෙස ඉල්ලා සිටීමත් ප්‍රජාතන්ත්‍ර විරෝධි නැත. නිවැරදිම මහජන නියෝජිතයා  තෝරා ගැනීමට හැකි වන්නේද එවිටය. සියළු අදහස් කිරාමැන තීන්දුව ගන්නේ මහජනතාව වීම නිසාත් දේශපාලනඥයින් සෑම විටම මහජනතාව බුද්ධිමත් බව ප්‍රකාශ කරන නිසාත් යමෙකුට ඡන්දය දෙන්නට එපායැයි කවරෙක් හෝ කරන ප්‍රකාශයකින් හානියක්වන්නේ යැයි සිතිය නොහැකිය.  ඒ නිසාම මෛත්‍රී පාර්ශවයේ අපේක්ෂකයින් පරාජයට පත් වූයේ ඔවුන්ට ඡන්දය ලබානොදෙන ලෙස මහින්ද පාර්ශවය විසින් කරන ලද ඉල්ලීම නිසා යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් කරන ලදැයි කියන ප්‍රකාශයද පිළිගත නොහැකිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ජනාධිපතිධූරයට පත්වන්නේ රටේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන බවට ප්‍රතිඥා දෙමිනි. එසේ නම් රටේ මහජනතාව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදීව ලබාදෙන ලද තීන්දුවක් නොඉවසා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීම යහපාලනයට කොතරම් ගැලපේද යන්න ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ට නොපෙනීම කණගාටුදායකය. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධි නොවන බවද ප්‍රකාශ කල හැකිය. ඒ මැතිවරණ පනත අනුව ජාතික ලැයිස්තුව නම් කිරීමේදී  ලැයිස්තුවේ සිටින අය හෝ පරාජිතයින් නම්කල හැකි නිසාය. මේ අනුව පනත ප්‍රජාතන්ත්‍රවාදී නැත යනුවෙන් තර්කයක් වුවද ඉදිරිපත් කල හැකිය.

නව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය, නව මැතිවරණ ක්‍රමයක් හදුන්වා දීම බව මැතිවරණයට පෙර කියවිණි. සමානුපාතික ඡන්ද ක්‍රමය ඉදිරියටත් පවතින්නේ නම් අවම වශයෙන් ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයින් ජාතික ලැයිස්තුව හරහා නැවත පත් නොකිරීමට අවශ්‍ය නීතිමය පසුබිම හෝ සැකසිය යුතුය. වැඩිම පරාජිතයින් සංඛ්‍යාවක් (11) ජාතික ලැයිස්තුව හරහා මෙවර නම් කිරීම මෙම නීතිමය පසුබිම සැකසීමට වඩාත් මහෝපකාරී වේ. මෙයට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙකු වන සෝමවීර චන්ද්‍රසිරි මහතාද 2015 අගෝස්තු 25 බදාදා දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මානව හිමිකම් නඩුවක් පැවරීමටද කටයුතු කළේය. පසුව සෝමවීර චන්ද්‍රසිරි මහතා මහජන එක්සත් පෙරමුණ අතහැර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීප වූ අතර මේ වන විට ඒ මහතා මිය ගොසිනි. වත්මන් දේශපාලන වාතාවරණය අනුව නව ව්‍යවස්ථාවක් හෝ මනාප ක්‍රමය වෙනස් කිරීමක් මේ ආණ්ඩුව තුලින් සිදු වෙතැයිද සිතිය නොහැකිය.

ජාතික ලැයිස්තුව සැකසෙන්නේ ජේ ආර් ජයවර්ධන මහතා විසින් 1978 දී සකස් කරන ලද දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමගය. 1978 පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කේවල ක්‍රමයට වන නිසාත් 1983 ජනාධිපතිවරණයෙන් පසුව ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම නිසාත් සැබෑ ලෙසම ජාතික ලැයිස්තුව ක්‍රියාවට නැගෙන්නේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය. 1989.02.15 දින පැවති මෙම මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 15 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 09 ක්, ද්‍රවිඩ පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් සමාජවාදී පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ හා යාපනය ස්වාධීන කණ්ඩායම යන පක්ෂ වලට ආසන 01 බැගිනුත් හිමි විය. මෙම මැතිවරණයෙදී ශ්‍රිලනිපය විසින් නම්කරන ලද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වූයේ මර්වින් සිල්වා මහතාය. ඔහු එවර මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරගකොට පරාජයට පත් වූ අයෙකි. ඒ අනුව බලන කල පරාජිතයින් නම් කිරීම පළමුවෙන්ම ආරම්භ කර ඇත්තේද ශ්‍රිලනිපය විසිනි.

2000.10.10 දින පැවති මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ පොදුජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ආසන 13 ක්, එක්සත් ජාතික පක්ෂයට 12 ක්, ජනතා විමුක්ති පෙරමුණට 02 ක් මෙන්ම ජාතික සමගි පෙරමුණට හා සිහළ උරුමයට එක බැගිනුත් හිමි විය. මෙයින් ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රී ආසනයක් සදහා නම්කරන ලද්දේ අන්ජාන් උම්මා මහත්මිය වන අතර ඇය එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරග කොට පරාජයට පත්ව තිබුණි. 2001.12.05 පැවති මැතිවරණයේදීද ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 02 ක් හිමි වූ අතර එවරද පරාජිත අපේක්ෂකයෙක් වූ එස් කේ සුබසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට ජවිපෙ ක්‍රියාකර තිබුණි.

ශ්‍රිලනිපය හා ජවිපෙ වෙනත් පක්ෂ රැසක්ද සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස පළමුව තරග කරන ලද්දේ 2004 අප්‍රේල් 02 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීය. එයින් එජනිස යට ජාතික ලැයිස්තුව යටතේ මන්ත්‍රී ආසන 13 ක් එජාප යට 11 ක් දෙමළ සන්ධානයට හා හෙළ උරුමයට 02 බැගින් හා මුස්ලිම් කොන්ග්‍රසයට 01 ක් වශයෙන් හිමි විය. මෙහි එජනිසයේ ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ආසනයක් ලැබුණේ මේරි ලුසිල්ඩා මහත්මියටයි. ඇය මර්වින් සිල්වා මහතාගේ බිරිද වූ අතර එම මැතිවරණයෙන් මර්වින් සිල්වා මහතා පරාජයට පත්ව සිටියාය. සතියකින් පමණ පසුව මේරි ලුසිල්ඩා මන්ත්‍රීතුමිය ඉල්ලා අස් වූ අතර හිස් වූ අසුනට පත් කෙරුණේ පරාජිත මර්වින් සිල්වා මහතාය. එම මැතිවරණයේදී මර්වින් සිල්වා මහතා ලබාගෙන තිබුණේ මනාප ඡන්ද 2236 ක් පමණි.

මෙම මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයන් දෙකක් හිමි වූයේ රත්නසිරි වික්‍රමනායක සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ටය. ඔවුන් එවර මැතිවරණයට තරග නොකල අතර ජාතික ලැයිස්තුවට හෝ නම්කර තිබුණේ නැත. රත්නසිරි වික්‍රමනායක මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ජනදාස පීරිස් මහතාට ඉල්ලා අස්වීමටද සිදුවිය. එයින් පසුව වැඩිම පරාජිතයින් පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස ජාතික ලැයිස්තුව හරහා පත් කෙරුණේ පසුගිය මැතිවරණයේදීය. එය සංඛ්‍යාත්මකව 11 කි. මෙම ක්‍රමයට තිත තැබීමට අවශ්‍ය සමාජ කතිකාවත නිරිමාණය කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

– ජයකාන්ත ලියනගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress