මෙහෙමයි වුනේ – (පස්වැනි කොටස)
Posted on August 18th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ගෙයක් හදනවා කියලා කියන්නේ හැම දෙයක් ම ලෑස්ති කරගෙන ඉවරවෙලා පටන් ගන්න කටයුත්තක් නෙවෙයි. ගෙදර හදන්න ඕන දේවල් ලෑස්ති කරගන්නවා කියලා කියන්නේ ම ගේ හදන්න පටන්ගත්තා කියන එකට. 1981 දී මැටියගනෙන් ඉඩමක් ඇරගෙන ඒකේ කාමර දෙකක පුංචි ගෙයක් හදාගෙන පදිංචියට ආපු එක තමයි අපේ ගේ හැදිල්ලේ ආරම්භය. කාලය ගත වෙද්දි මේ ගෙදරට පිටිපස්සෙන් තවත් කාමර දෙකක් එකතුවුනා. ඒ කාමර දෙක හැදුවේ හදලා තිබ්බ කාමර දෙකෙන් අඩි 12 ක් විතර ඈතට වෙන්න. ඒ වෙද්දි හදාගෙන යන ගෙදර ඉස්සරහ පස්සත් මාරුවෙලා තිබුණා. ඇත්තෙන් ම මේ ගැන මම කලින් කිව්වා.

1982 ජනාධිපතිවරණයෙන් පස්සේ මැටියගනේ ම පදිංචි වෙන්න ඕන කියලා අම්මයි තාත්තායි ගත්ත තීරණයත් එක්ක මේ ගෙදර හදන වැඩේ තරමක් පිළිවෙළක් වුනා. හරස්බැද්දේ නිපුනා මාමා අපේ ගෙදරට ආවා. නිපුනා මාමා තමයි විජේසේකර මහත්තයලාගේ වත්තේ තිබුණු ගල් තලාවේ ගල් කැඩුවේ. කටුවලින් විදලා බෝර දාලා ගල් කුට්ටි මතු කරන එකත් අපූරු හපන්කමක්. බෝරේ, බෝරේ” කියලා කෑ ගහලා නිපුනා මාමා වෙඩි නූල පත්තු කරනවා. අපි ඈතට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. නිපුනා මාමාත් තරමක් ඈතට ගිහිල්ලා ගහකට මුවා වෙනවා. විනාඩියක් දෙකක් යද්දි මහා සද්දෙන් වෙඩිල්ල පත්තු වෙලා බොස්” ගාලා මහ ගල් කුට්ටියක් එළියට එනවා. පොඩි පොඩි ගල් කෑලී තරමක් ඈතට විසිරිලා යනවා.

ඊට පස්සේ නිපුනා මාමා කරන්නේ කුළු ගෙඩියෙන් ගහලා ඒ ගල් කුට්ටිය කෑලි කෑලිවලට කඩන එක. ඒ එක්කම අපි අපේ වැඩ පටන්ගන්නවා. කඩන කඩන ගල් කරෙන් ගෙනැල්ලා ගේ කිට්ටුවට දාන එක තමයි අපි කරන්නේ. ගල් වලේ ඉඳලා අපේ මිදුල ළඟට මීටර් දෙසීයක් විතර දුරයි. ඒ වෙද්දි මේ මීටර් කතාව පටන් ඇරගෙන අවුරුද්දක් දෙකක් ගතවෙලා. ඊට කලින් අපි දුර මැන්නේ අඩි, යාර, බඹ, දම්වැල්, පරලොම්, හැතැප්මවලින්. හතරේ පහේ ඉන්න කාලේ අපි පාඩම් කළේ අඟල් 12 ක් අඩි එකයි, අඩි 3 ක් යාර එකයි, යාර 2 ක් බඹ එකයි, බඹ 11 ක් දම්වැල් එකයි., දම්වැල් 10 ක් පරලොම් එකයි, පරලොම් 8 ක් හැතැප්ම එකයි කියලා. ඒත් 1980 විතර වෙද්දි මෙට්‍රික් ක්‍රමේ පාවිච්චියට ආවා. අවුන්ස, රාත්තල්, කාර්තු, හොණ්ඩර කතාවත් නැතිවෙන්න පටන්ගත්තා. ඒ වුනත් තවමත් අපිට අඟල්, අඩි තියෙනවා. ළිඳක් කපද්දි අපි තවමත් ගැඹුර මනින්නේ බඹ ගානට.

ඒකට කමක් නෑ. අපි මීටර්වලින් අපේ කතාව කියාගෙන යමු. මීටරයකුයි යාරයකුයි අතර මහ ලොකු වෙනසකුත් නෑනේ. ගල් වලේ ඉඳලා මීටර් දෙසීයක් විතර දුරට ගල් අදින එක ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. කඩපු ගල්වල දාර මුවහත් හින්දා හිස් අතින් ඒවා උස්සන්නත් බෑ. ඉතින් අපි මේ වැඩේට පරණ තුවා ඔතලා ඇරගෙන ඒවායේ දවටලා ගල් ඉස්සුවා. හුඟක් වෙලාවට ගල් ඇද්දේ මගින් මගට. මීටර් පනහක් හැටක් දුරට ගලක් ගෙනැල්ලා ඒක එතන දානවා. ඊට පස්සේ ආපහු තව ගලක් ගෙනැල්ලා ඒකත් එතන දානවා. මේ විදිහට ගල් විසි පහක් විතර ගෙනාවට පස්සේ ඒවා ආයෙත් එතැන ඉඳලා අදිනවා.

ටික දවසක් යද්දි තාත්තා විල්බැරෝවක් ගෙනාවා. ඒකට ගල් ගෙඩි හත අටක් දාලා තනියෙන් ගේන්න බෑ. එහෙම වුනා ම කරන්නේ ඒක ඉස්සරහට ලණුවක් දාලා එක්කෙනෙක් ඒකෙන් අදින එක. අනිත් කෙනා විල්බැරෝව තල්ලු කරනවා. සමහර වෙලාවට සමබරතාව නැතිවෙලා විල්බැරෝව පෙරලෙනවා. ඉතින් අපි එකිනෙකාට දොස් කියාගන්නවා. ඒ කොහොම වුනත් ගල් අදින සෙල්ලම මහ ජොලි වැඩක්. දවස ගානේ ටික ටික ඇද්දාම මාසයක් හමාරක් යද්දි දන්නෙ ම නැතුව සෑහෙන ගල් ගොඩක් වත්තට ගෙනැල්ලා.

ගඩොල් කැපිල්ලත් මේ වගේ ම තමයි. ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවස් වරුවේ හතර පහ වෙද්දි මැටි ගොඩක් අනනවා. සමහර වෙලාවට කරන්නේ ඒකට ඕන කරන පස් කපලා තියන එක විතරයි. ඊට පස්සේ අයියයි, ජයන්තයි, මමයි එකතු වෙලා මැටි ගොඩ අනනවා. මැටි අනපු ගමන් ගඩොල් කපන්න බෑ. ඒ මැටි ගොඩට දවසක් දෙකක් හොඳට පදම් වෙන්න දෙන්න ඕන. තාත්තා ගඩොල් අච්චු දෙකකුත් හදාගෙන ඇවිල්ලා තිබුණා. දෙවැනි දවසෙත් මැටි ගොඩක් අනනවා. ඒකත් අර විදිහට ම පොල් අතුවලින් වහලා පදම්වෙන්න තියලා තියනවා. තුන්වැනි හතරවැනි දවස වෙද්දි ගඩොල් කපන්න පටන් ගන්නවා. මේ විදිහට දවසක් පාසා ගඩොල් කැපි කැපී එකතු වෙද්දි, ඒවා වේල වේලා ගොඩ ගහද්දි ඇතිවෙන්නේ පුදුමාකාර සතුටක්.

අපි කැපුවේ ලොකු ප්‍රමාණයේ මෝඩ ගඩොල්. දැන් කාලේ කපලා පුච්චලා හදන මෝඩ ගඩොල්වලට වඩා ඒවා සෑහෙන්න ලොකුයි. දිගින් අඟල් දහයක් විතර ඇති. උසයි පළලයි අඟල් අට – අට විතර ඇති. ගණන් හිලව් හරියට මතක නෑ. මේ විදිහට ලොකුවට කපන මෝඩ ගඩොල් පුච්චන්නේ නෑ. ඒ හින්දා පෝරණු හැදිල්ලක් හරි ඒවා පිච්චිල්ලක් හරි සිද්දවුනේ නෑ.

ඔය අස්සේ ම මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා වත්තේ තිබුණු පරණ පොල් ගස් කපලා ඒවා පලන්න පටන් ගත්තා. ඒකත් බලාගෙන ඉන්න පුළුවන් ලස්සන වැඩක්. බැටරි කෑලිවල මැද තියෙන කාබන් කූරු කුඩුකරලා ඒවා දිය කරපු වතුරෙන් තමයි පොල් කඳන්වල ඉරි ලකුණු කරන්නේ. ඒකට ගන්නේ ඒ කළු දියරේ පොඟවපු නූලක්. එක පැත්තකින් ඇණයක් ගහලා අනිත් පැත්තෙන් අදින නූල උස්සලා අත අරින්නේ අනිත් එක්කෙනා. එතකොට පොල් කඳ දිගේ ඉරි ඇ‍ඳෙනවා. ඊට පස්සේ පොරවෙන් තීරු තීරු හාරලා අයින් කරනවා. පස්සේ වෙන් කරගන්න පොල් පරාල වෑයෙන් සහිනවා. ඒ වෑයවල් හුඟක් මුවහත් හින්දා අපිට ඒවා අල්ලන්න දෙන්නේ නෑ.

කොහොම හරි මේ විදිහට පරාල, යට ලීත් ගොඩ ගැහෙන්න පටන්ගන්නවා. ඊට පස්සේ අපිට තවත් වැඩක් පැවරෙනවා. ඒ තමයි කපලා හදාගත්ත පරාල, යට ලීවල කළුතෙල් ගාන වැඩේ. තාත්තා බූලිවලට කළුතෙල් ගෙනැල්ලා තියනවා. අපි ඒවා භාජනවලට දාගෙන කපාගත්ත පොල් ලෙලිවලින් පරාල යට ලීවල ගානවා. මේ වැඩ ඉවරවෙද්දි හවසට ඇඟ පුරා ම කළුතෙල්. ඉතින් නාන්න කලින් ඒ කළු තෙල් පිහිදලා දාන්න ඕන. ඒ වැඩේට ගන්නේ පොල් කුඩු. ඒ විදිහට පොල් කුඩුවලින් අතුල්ලා ඇ‍ඟේ තියෙන කළු තෙල් පිහදාලා අපි නානවා.

ඔය මොන වැඩේ කළත් හවසට බුදුන් වඳින්න ඕන. මේක ඒ කාලේ හැම ගෙදර ම සිද්දවෙච්ච දෙයක්. මේ වෙද්දි නංගිටත් අවුරුදු අටක් නවයක් වෙලා. ඉතින් බුදුන් වඳින්න මල් කඩන්නේ නංගි. පස්සේ අපි හතර දෙනා ම – අයියායි, ජයන්තයි, මමයි, නංගියි; එකතුවෙලා මහ සද්දෙට ගාථා කියලා බුදුන් වඳිනවා. මුලින් ම පන්සිල් ඇරගෙන ඉතිපි සො, ස්වක්ඛාතො, සුපටිපන්නො ගාථා කියලා තෙරුවන් වඳිනවා. ඊට පස්සේ මල් පහන් පූජා කරනවා. ඊටත් පස්සේ දෙයියන්ට පිං දීලා නැගිටිනවා. අන්තිමට අම්මාටයි තාත්තාටයි වැන්දාම තමයි ඒ රාජකාරිය ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි අපි ලාම්පු පත්තු කරන්නේ. කෑම මේසයට තියන ලාම්පුව ලොකු ගෝලාකාර චිමිනියක් තිබ්බ තරමක ලොකු එකක්. මේ ලාම්පුවල චිමිනි පිහදාලා, තෙල් තියෙනවා ද කියලා බලලා, තිර ගැන බලලා ලක ලෑස්ති කරගන්න එකත් අපිට ම පැවරිච්ච රාජකාරි තමයි.

කෑම මේසේ වටේ ඉඳගෙන තමයි අපි පාඩම් කරන්නේ. තාත්තා මේසේ දිග පැත්තකින් වාඩි වෙලා පොත්වල, ෆයිල්වල වැඩ කරනවා. අයියයි මමයි වාඩි වෙන්නේ මේසේ කොට පැති දෙකේ. අයියා පාඩම් කරන්නේ මහ සද්දෙට. එයා පාඩම් කළාම මට ඇති. අර කාට ද කියපු බණ අහගෙන ඉඳලා තව කවුද රහත් වුනා කිව්වා වගේ අයියා පාඩම් කරන ඒවා අහගෙන ඉඳලා මම ඒවා මතක තියා ගන්නවා. අපි දෙන්නා ම හිටියේ එක ම පන්තියේ. මේ ගැන මම මුලිනුත් කියලා තියෙනවානේ. මේ විදිහට පාඩම් කර කර ඉන්න සමහර වෙලාවට මට ඕන වෙනවා වැඩේ ටිකකට නවත්තන්න කියලා අයියාට කියන්න. ඒත් එහෙම කරන්නේ කොහොම ද? මනුස්සයා අයියානේ! ඉතින් එක දවසක් මම නවත්තන්න කිව්වාම අයියා නැවැත්තුවේ නෑ. මම අතේ තියෙන පැන්සලෙන් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ අන්න ඒ වෙලාවේ. පැන්සල රවුමක් දෙකක් කැරකිලා පියඹලා ගිහිල්ලා අයියාගේ නළලේ පල්ලෙහාට වෙන්න වැදුණා. ඊට පස්සේ? ඒ ගැන කියන්න ඕන නෑ. සාක්‍ෂිකාරයාත්, නඩුකාරයාත් දෙන්නාම එක් කෙනෙක්. ඒ උත්තමයා වාඩිවෙලා හිටියේ මේසයේ දිග පැත්තේනේ!

ගේ හදන්න ඕන කරන හැම දෙයක් ම සූදානම් කරගත්තත් අත්තිවාරම් දාන්න, බිත්ති බඳින්න, වහළ ගහන්න පුළුවන්කමක් අපිට නෑ. අත්තිවාරම් දාන, බිත්ති බඳින වැඩේ භාරගත්තේ තාත්තාත් එක්ක වැඩ කරපු සාල්යාලේ වීරක්කොඩි සර්. අපි අත්වැඩ දුන්නා. අත්තිවාරම් කපන වැඩේ නම් අපි ම කළා. කොහොම කොහොම හරි දවසින් දවස ගෙදර බිත්ති ඉහළට නගිනවා දකිද්දි අපිට ඇතිවුනේ පුදුමාකාර මහා සතුටක්.

බිත්ති බැඳලා ඉවර වේගෙන එද්දි උළු ලොරිය ආවා. ඒත් ගෙදරට එන පාර වහලා තිබුණු හින්දා උළු බෑවේ සියාතු බණ්ඩා මහත්තයලාගේ වත්තේ. පැලවත්තේ පාරෙන් ඇවිල්ලා නාවැටිය හරහා ගියා ම තමයි සියාතු බණ්ඩා මහත්තයලාගේ ගෙදර හම්බවෙන්නේ. ඉතින් අපි එතැන ඉඳලා අපේ වත්තට කරෙන් උළු ඇද්දා. සාමාන්‍ය උළු කැට නම් තුන හතරක් එක වතාවකට ගේන්න පුළුවන්. ඒත් මුදුන් උළු කැට දෙක තුනකට වඩා එක සැරේ ගේන්න බෑ.

කොහොම කොහොම හරි ගෙදර බිත්ති බැඳලා ඉවරවුනා. ඊ ළඟට ඉතිරිවෙලා තිබුණේ වහල ගහන වැඩේ. ඒ වැඩේට තාත්තාත් එක්ක වැඩ කරපු ගුරුවරු හත් අට දෙනෙක් ම ආවා. වඩුවැඩ උගන්නපු නිමල් සර් තමයි ලොකු බාසුන්නැහේ. බිත්ති බැඳපු වීරක්කොඩි සර්ටත් ඒ වැඩ ගැන දැනුමක් තිබුණා. අපිට කරන්න නියම වුනේ ඕන කරන යට ලී, පරාල, රීප්ප, ඇණ ඉල්ලන ඉල්ලන වෙලාවට උඩට දෙන එක. මේ වැඩ කෙරෙද්දි අපිටත් රජ මගුල් වගේ තමයි. වැඩ කරන අයට දෙන්න ගේන හින්දා බනිස් වගේ දේවල් නිතර ම කන්න ලැබෙනවා. ඊට අමතරව අම්මා හැලප වගේ දේවලුත් හදනවා.

තාත්තාගේ යාළුවෝ ඉවරයක් නැතුව කියවනවා. ඊට පස්සේ හැම දෙනා ම මහ සද්දෙට හිනාවෙනවා. ඉවරයක් නෑ. ඒ අය කියන්නේ මොනවා ද කියන එක ගැන අපිට වගකුත් නෑ. ඒ කට්ටිය තමන් දන්න ඕපදූප තමයි කියන්න ඇත්තේ. ඒවා අපිට අදාළත් නෑ. ඒත් වහළ ගහපු ඒ දවස් දෙක තුන පුදුමාකාර ඉක්මනින් ගෙවිලා ගිය බව නම් මට හොඳට ම මතකයි. ඒත් අන්තිම දවසේ මට මහ අකරතැබ්බයක් වුනා. ඒ, මෙහෙම වැඩක්.

බිම තිබ්බ පොල් ලීයක් උස්සගෙන මම පස්සෙන් පස්සට ගියා. එහෙම ගිහිල්ලා මම අඩිය තියලා තියෙන්නේ ඇණයක් ගහලා උඩ බැලි අතට හැරිලා තිබුණු රීප්පයක් උඩට. පැත්තකට වෙන්න ඇනිච්ච ඒ ඇණේ කකුල පසාරු කරගෙන උඩට ආවා. ඉතින් කට්ටිය ම වටවෙලා මට සාත්තු කරන්න පටන්ගත්තා. ඒ කාරණේ ගැන වැඩි විස්තරයක් මට මතක නෑ. ඒත් ඊට පස්සේ හැම දා ම හවසට මහ ලොකු වෙනිවැල් ගැට කෝප්පයක් බොන්න සිද්දවුනු බව නම් මට හොඳට ම මතකයි. මේ විදිහට සති දෙකක් විතර වෙනිවැල් ගැට බීවාට පස්සේ මට ඒක වතුර බොන තරම් හුරු පුරුදු වැඩක් බවට පත්වුනා. වෙනිවැල්ගැටවල තිත්ත නැත්තට ම නැතිවෙලා ගියා!

වහළ ගැහුවාට පස්සේ පටන් ගත්තේ බිත්ති කපරාරු කිරිල්ල. මේ වැඩෙත් කරලා දුන්නේ වීරක්කොඩි සර්. පුංචියට කඩලා ගත්ත වළං කටු කෑලි තිය තියා ලඹ කරලා කරන කපරාරු කිරිල්ලේ ඒ තරම් බලන්න දෙයක් නෑ. සමහර වෙලාවට කපරාරු කරපු ඒවා පදාස පිටින් ගැලවිලා එද්දි නම් ඒක මළ වදයක් කියලා හිතෙනවා. ඒ කොහොම වුනත්, හුණු වතුරේ දැමිල්ල නම් බලන්න ම ඕන දෙයක්. හුණු වලක් හදලා ඒකට හුණු දාලා වතුර දාද්දි ඒක ගොජ ගොජ ගාලා නටනවා. ඒ දවස්වල මේක දිහා බලගෙන ඉන්න එක අපිට ලොකු විනෝදයක්.

මුළු ගෙදරට ම ඕන කරන ජනෙල් උළුවහු හැදුවේ හේරත් බාසුන්නැහේ. ඒ කාලේ වෙද්දි තාක්‍ෂණික විෂයය විදිහට මම ඉස්කෝලේ දී වඩුවැඩ ඉගෙන ගත්තත් ඒ දේවල්වල ඒ තරම් බලන්න දෙයක් නෑ කියලා තමයි මට හිතුනේ. ඉස්කෝලේ කියලා දුන්නේ මිටි, කියත් අල්ලන කෝණ මිසක් ඒවායින් වැඩ කරන විදිහ නෙවෙයි. වැඩ කරන්න කියලා දුන්නත් ඒවා කරන්න මම උනන්දු වෙන එකකුත් නෑ. හැබැයි පාඩම් කරලා ලියන්න තිබුණ හින්දා සාමාන්‍ය පෙළ විභාගයේ දී වඩුවැඩට විශිෂ්ට සාමාර්ථයක් ගන්නත් මට පුළුවන් වුනා. ඒක නම් වැඩිය කියන්න හොඳ කතාවක් නෙවෙයි.

කොහොම කොහොම හරි කාමර හතරක් තියෙන, විශාල සාලයක් තියෙන, කුස්සියක් – ගබඩා කාමරයක් තියෙන තරමක ලොකු ගෙයක් හදාගන්න අපිට පුළුවන් වුනා. ගේ හැදිල්ලට අපිත් අපිට පුළුවන් තරමින් දායක වුනා. ආපහු හැරිලා බලද්දි ඒ ගැන ඇති වෙන්නේ පුංචි ආඩම්බරයක්. පස්සේ කාලෙක මැටියගනේ ම පාරට කිට්ටුවෙන් ගෙයක් හදවද්දි ඒ වැඩේ අග මුල තේරුම් ගන්න තරම් දැනුමකුත් මම ලබාගෙන හිටියා. ඒ දැනුම ලැබුණේ අපේ මහ ගෙදර හදන්න දායකවෙච්ච එකෙන්. ඉතින් ආඩම්බර නො වී ඉන්නේ කොහොම ද?

මේ වෙද්දි ප්‍රේමදාස මහත්තයා උදාගම් ව්‍යාපාරය පටන් ඇරගෙන. ඒ වැඩේ ගැන මට නම් එච්චර පැහැදීමක් නෑ. ප්‍රේමදාස මහත්තයා ඒ වැඩේ කළේ පොඩි මිනිස්සු ගැන හිතලා කියන එක මම පිළිගන්නවා. නාගරික මිනිස්සුන්ට නම් මහල් නිවාස වගේ ඒවා හදලා ටිකෙන් ටික ගෙවන පදනමින් ඒවා ලබාදෙන එකේ වැරැද්දක් නෑ. ඒත් ගම්වල මිනිස්සුන්ට ඒ විදිහට ගෙවල් හදලා දෙන්න ඕන නෑ කියන එක තමයි මගේ අදහස. දැන් කාලේ සමහර මිනිස්සුත් එකතුවෙලා මේ විදිහට දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා. ඒත් මම හිතන විදිහට අපේ හුඟක් මිනිස්සුන්ට පුළුවන් මහන්සි වෙලා ගෙයක් හදාගන්න. අඩු තරමින් ඒකට ඕන කරන මූලික වැඩ ටික හරි ඒ අයට කරගන්න පුළුවන්. අවුරුදු දහතුනක් දාහතරක් වෙච්ච පොඩි කාලේ අපිට පුළුවන් වුනා නම් මුළු ගෙදරට ම ඕන කරපු ගඩොල් තොගය කපාගන්න දැන් ඉන්න මහ මිනිස්සුන්ට ඒක කර ගන්න බැරි ඇයි?

1983 අග භාගයේ දී අපේ ගෙවල් කිට්ටුව තිබ්බ ජනාවාස ඉඩමේත් උදාගමක් හැදුවා. ඒකට නම තිබ්බේ කසුන්ගම” කියලා. මැටියගනේ හන්දියේ ඉඳලා පැලවත්ත හරහා මහරච්චිමුල්ලට යන පාරේ තමයි ඒ ගම තියෙන්නේ. ඒ ගමට කසුන්ගම” කියලා නම දැම්මේ ඒ කාලේ දඹදෙණියේ හිටිය මන්ත්‍රී යූ. බී. විජේකෝන්ගේ පුතාගේ නම කසුන්” වෙච්ච හේතුව හින්දා කියලයි මිනිස්සු කිව්වේ. ඒත් විජේකෝන් මහත්තයාගේ පුතා නිරෝෂන් විජේකෝන් කියලයි මම දන්නේ. අර පස්සේ කාලෙක බැඩ්මින්ටන් ශූරයෙක් වුනේ ඒ නිරෝෂන් තමයි.

ඒ උදාගම හදන්න කලින් ජනාවාස ඉඩමේ තිබ්බ ළිඳට තමයි අපි නාන්න යන්නේ. මහා ඉඩෝරයක් ආවේ නැති නම් ඒ ළිඳ උතුරලා යන තරමට ම ඒකේ වතුර තිබුණා. මිනිස්සු සිය ගණනින් ඒ ළි‍ඳේ නාන්න ආවා. බාල්දියකට අඩි දෙකක් විතර ලණු කෑල්ලක් ගැට ගහගෙන තමයි අපි ඒ ළිඳට නාන්න යන්නේ.

මැටියගනේ ඉඳලා පැලවත්ත පැත්තට යද්දි වම් අත පැත්තේ තිබුණ මහ ඉඩමේ තමයි මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නේ. දකුණු පැත්තේ තිබුණු පොඩි ඉඩමේ පන්සලකුත් ප්‍රජා ශාලාවකුත් හැදුවා. මහ ඉඩමෙන් අක්කරේ අක්කරේ දීලා ගෙවල් හැත්තෑ දෙකක් හදලා දුන්නා. පාළුවට ඇරිලා ගිහිල්ලා තිබුණු ඉඩමක කොස්, පොල්, අඹ, කෙසෙල් වගේ ජාති වැවිලා සරුසාර වෙලා එනවා දකින්න කාලය ගත වෙද්දි අපිට පුළුවන් වුනා. ඒක වෙනම කතාවක්.

කසුන්ගම විවෘත කරන්න ප්‍රේමදාස මහත්තයා ආවා. ඒ වෙනුවෙන් මහ විශාල උත්සවයකුත් තිබ්බා. ඒත් ඒ ගැන වැඩි නිනව්වක් අපිට නෑ. හැබැයි ඊට පස්සේ පවත්වපු සංස්කෘතික සංදර්ශනය බලන්න නම් අපි හැමෝ ම ගියා. ඒ සංදර්ශනයේ දී එඩී ජූනියර් මහත්තයා ගෝවේ ගෑණු පරාදයි” කියන සිංදුව කිය කියා නටපු හැටි මට තාමත් මතකයි. අපේ වයසේ ළමයෙක් ගායනා කරපු මං පුංචි වෙළෙන්දා” කියන ගීතයත් ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ වෙලා තිබුණු එකක්. විනෝද සමයත් රඟ දැක්වුවා කියන එක තමයි මගේ මතකය.

උදාගම් ව්‍යාපාරය හින්දා ලංකාවේ ලොකු වෙනසක් වුනා කියලා මට හිතෙනවා. පරණ විදිහට ගෙවල් හදාගෙන හිටපු මිනිස්සුත් අලුත් විදිහට ගෙවල් හදන්න පටන් ගත්තා. ඉස්සර ගෙවල්වල වැසිකිළිය හැදුවේ ගෙදර ඉඳලා යාර දහයක් දොළහක් ඈතින්. අපේ ගම්වල හිටිය හොඳට යමක් කමක් තිබ්බ කෙනෙක්වත් ගේ ඇතුළේ වැසිකිළි හැදුවේ නෑ. දුප්පත් පොහොසත් භේදයක් නැතුව හැම කෙනෙක් ම බාල්දියකට වතුර පුරවාගෙන වැසිකිළියට යන්න පුරුදුවෙලා හිටියා. සෑහෙන කාලයක් ගුරු නිවාසවල ජීවත් වෙන්න ලැබිච්ච හින්දා පෝච්චි වැසිකිළි හදාගන්න පුරුද්දක් අපේ ගෙදර අයට තිබුණා. ඒත් ඒ කාලේ සමහර ගෙවල්වල ඇත්තට ම තිබ්බේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කක්කුස්සි! ඒවා ගැන හිතද්දිත් ඇ‍ඟේ හිරිගඩු පිපෙනවා. ඒ හින්දා ඒවා ගැන මොකුත් කියන්නේ නෑ.

අපේ පළාත්වල සමහර මිනිස්සු පරණ ගෙදරට ඉස්සරහින් අලුත් ගෙයක් හැදුවාට ඒකේ පදිංචියට ගියේ නෑ. පරණ පුරුදු විදිහට ම පරණ ගෙදරට වෙලා ඉන්න එක තමයි ඒ මිනිස්සු කළේ. ඇත්තට ම පරණ ගෙවල් ඇතුළේ එච්චර රස්නේ නෑ. ඒත් අලුත් විදිහට හදපු ගෙවල් එහෙම නෑ. ඒවා පෝරණු වගේ. ඒ පරණ ගෙවල්වල ජීවත්වෙච්ච වයසක පරම්පරාවල මිනිස්සු මිය පරලොව යන්න යන්න පරණ ගෙවලුත් මේ මහ පොළොවෙන් සමුගන්න පටන්ත්තා. දැන් අපි හැමෝට ම තියෙන්නේ අලුත් ගෙවල්. ඒත් මේ ගෙවල් දිහා බලද්දි මේක මහ අච්චාරුවක් කියලා මට හිතෙනවා. මේ මහ පොළොව උඩ තියෙන්න පුළුවන් හැම ස්ටයිල් එකක ම ගෙවල් අපේ මිනිස්සු හදලා. ඒත් ලංකාවේ ස්ටයිල් එකට හදපු එක ගෙයක්වත් දකින්න නෑ!

(කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress