ත‍්‍රස්තවාදියා ගැන අවදියෙන් සිටින්න
Posted on August 19th, 2019

උපුටා ගැන්ම දිවයින

පාස්කුදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව කෙරෙන පරීක්‍ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි යැයි ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.

 මෙම ප‍්‍රහාරය පිළිබඳව යුක්ති සහගත, සාධාරණ සහ යුක්ති සහගත පරීක්‍ෂණයක් සිදුව නැතැයි එම සම්මේලනය කියා සිටී. මෙම ප‍්‍රහාරය සිදුවූයේ කාගේ වරදින්ද? මේ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ කවුරුන්ද යන්න ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප‍්‍රකාශ කර සිටී.

 පාස්කුදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් බරපතළම හානිය වූයේ කතෝලික ජනතාවට අමුතුවෙන් කිවයුතු නැත. එනිසා කතෝලික ජනතාවගේ සිත් වේදනා මේ රටේ පාලකයන් තේරුම් ගත යුතුව ඇත.

 පාස්කුදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට ඉදිරිපත් කළ විශේෂ කාරක සභාවේ කටයුතු තවමත් අවසන් වී නොමැත. කෙසේ වෙතත් පාස්කුදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ සහ යුක්ත සහගත පැහැදිලි කිරීමක් තේරීම් කාරක සභාවෙන් ඉදිරිපත් කරනු ඇතැයි විශේෂයෙන් කතෝලික ජනතාව අපේක්‍ෂාවෙන් සිටිති.

 පාස්කුදා ප‍්‍රහාරයත් සමඟ මේ රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳව යළි යළිත් දැඩි විවේචන එල්ල විය. මෙම විවේචන පිළිබඳව උරණ නොවී සත්‍ය හෙළිදරව් කිරීම අදාළ අංශවල සහ බලධාරීන්ගේ යුතුකමකි.

 හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කළේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලූ පවතින බවයි. තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තයන් සියයට පනහක් නිදැල්ලේ සිටින බව ඔහු ප‍්‍රකාශ කළේය. ෆොන්සේකාගේ මේ හෙළිදරව් පිළිබඳව සමහරු විවිධ මතවාද ඉදිරිපත් කළහ. ෆොන්සේකා කරන මෙම හෙළිදරව් පිළිබඳව සොයා නිසි පියවර ගැනීම ආරක්‍ෂක අංශවල වගකීමකි. ෆොන්සේකාගේ ප‍්‍රකාශය තඩිබාමින් ඔහු විවේචනය කළ පමණින් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැත.

 පසුගිය 15 වැනිදා කටුපොත කුකුණගොල්ලේදී තව්හිද් ජමාත් සංවිධානයේ දෙවැනියා ලෙස සැලකෙන නවුෆර් මවුලවි නැමැත්තාගේ 16 හැවිරිදි පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සැකකරු සහරාන් යටතේ නුවරඑළිය පුහුණු කඳවුරේදී අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුහුණුව ලැබූවකු බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. සහරාන් යටතේ බාල වයස්කාර දරුවන්ද අවි පුහුණුව ලබා ත‍්‍රස්ත කටයුතුවලට සූදානම් කළ බව මේ අනුව තහවුරුවී ඇත. කොටි සංවිධානයේ නායක ප‍්‍රභාකරන්ද මේ අයුරින් දෙමළ දරුවන්ට අවි පුහුණුව ලබාදී බෙල්ලේ සයනයිඞ් කරලක්ද එල්ලවූ එම අතීතය අපට මතකය. එනිසාම සහරාන්ලාගේ ප‍්‍රශ්නය අවසන් කියා අපට සැහැල්ලූවෙන් සිතිය නොහැක. මුළු රටම බුද්ධි අංශයක් ලෙස කි‍්‍රයාත්මක වෙමින් මෙම පවිටු ත‍්‍රස්තයන් කොටුකර දීමට පියවර ගත යුතුව ඇත.

 ලෝකයේ පරාජය කළ නොහැකි යැයි කියූ එල්ටීටීඊ සංවිධානය අපට පරාජය කළ හැකිවුණේ යුදමය මෙහෙයුම්වලට සමාන බුද්ධි මෙහෙයුම්ද කි‍්‍රයාත්මක වූ බැවිනි. යුද්ධයක් ඇතත්, නැතත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ රටක ආරක්‍ෂක අංශ මෙන්ම මුළු රටම අවදියෙන් සිටිය යුතුය. නිහඬතාවය තුළ සතුරන් බලවත්වීමට ඉඩ ඇති බව අප අමතක නොකළ යුතුය.

 විශේෂයෙන් තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සියලූ පාර්ශව ගැන සියුම් අධ්‍යනයක් කළ යුතුව ඇත. විශේෂයෙන් මෙම සංවිධානයට අරමුදල් ආ ආකාරය, ඊට යම් යම් දේශපාලනඥයන්ගේ උපකාර ලැබුණු ආකාරය පිළිබඳවද සොයා බැලිය යුතුමය.

 සහරාන්ලාගේ කි‍්‍රයා කලාපය නිසා මෙරට මුස්ලිම් ජනතාවද විශාල අපහසුතාවනට පත්වූ බව නොරහසකි.

 මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ආගම අදහමින්, ව්‍යාපාර කටයුතුවල යෙදෙමින් අනෙක් ජාතීන් සමග සුහදව කටයුතු කළහ. නමුත් අන්තවාදීන්ගේ කි‍්‍රයා කලාපය නිසා මුස්ලිම් ජනතාවගේ ජන ජීවිතය අවුල් විය. එනිසා මුස්ලිම්වරුන්ගේ යුතුකමද විය යුත්තේ අන්තවාදීන් කොටුකර දීමට සහයෝගය දක්වා මේ රටේ යළිත් ත‍්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොදීමයි. හෙට මේ රටේ සියලූ ජාතීන් සහජීවනයෙන්, සමගියෙන් ජීවත්වනු දැකීම අප කාගේත් අපේක්‍ෂාව විය යුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress