මහලූ ටිකිරිට වදවේදනා දී දළඳා පෙරහැරේ රැගෙන ගියාද?
Posted on August 19th, 2019

සමන්තී වීරසේකර උපුටා ගැන්ම දිවයින

සත්ත්ව හිංසනය පිළිබඳව දුක්අඳෝනා ඇතැමුන් ලොවට කියන්නේ සැබෑ සත්ත්වාදරයෙන් දැයි සැකයක් මතුවන සිදුවීම් පහුගිය දින කිහිපයේදීම සිදු වූයේ මහනුවර ඇසළ පෙරහැර ආරම්භය සමගය. ටිකිරි ඇතින්න පිළිබඳ වූ සිද්ධිය ඊට හොඳම නිදසුනය.

 වයෝවෘද්ධ ඇතින්නක මහනුවර ඇසළ පෙරහැරහි විෂ්ණු දේවාල පෙරහැරට දායක කරගනිමින් ඇතින්නගේ නිදහස නැති කිරීමටත් විවේකයෙන් සිටීමට ඇති අයිතිය නැති කරන්නටත් කටයුතු කොට ඇතැයි සමාජ වෙබ් ජාලා ඔස්සේ පුවත් මවා තිබිණි. පෙරහැරහි ගමන් ගන්නා අලි ඇතුනට විලංගු ලා දරුණු වධ හිංසා පමුණුවන බවත් පෙරහැරට සතුන් දායක කර ගැනීමෙන් සත්ව හිංසනයක් සිදුවන බවත් සමාජ ජාලා පුවත් හරහා ලොවට කියා තිබිණි. 

eli

මෙහි සත්‍යය වෙනකකි.

 ටිකිරි ඇතින්නට දැන් වයස අවුරුදු හැත්තෑ තුනකි. නවසිය පනහ දශකයේදී උතුරුමැද පළාතේ කැලයකින් බලපත‍්‍ර සහිතව අල්ලා ගන්නා ලද මේ ඇතින්න හීලෑ කරවා ගත්තේ රත්වත්තේ පරපුර විසිනි. මුල් අයිතිකරුවන් ලෙස රත්වත්තේ පරම්පරාවේ අනසකට යටත්ව සිටි ටිකිරි ඇතින්න හොඳින් හීලෑවීම මත දේවාල පෙරහැරට දායකත්වය දක්වා ඇත්තේ හැටේ දශකයේ සිටමය. 

 මිනිසුන් අතර ද පිරිමි වන් ගැහැනුන් සිටින්නා සේ ටිකිරි ඇතින්න ස්ත‍්‍රී ලිංගික සත්ත්වයකු වුවද, පිරිමි සතකු සේ හැඩිදැඩිව ශක්තිමත්ව වැඩෙන්නට විය. ඇය නාඹර ඇතින්නියක ලෙස පනස් වියට එලැඹෙන විට උස අඩි නවයද ඉක්මවා සිටියාය. නමුත් ඇය ඇයගේ වර්ගය බෝ නොකළාය. 

රත්වත්තේ පරපුර ටිකිරි ඇතින්නිය පිළිමතලාවේ සමන්ත ආරියසේන මහතාට භාර කළේ, දොඩම්වල දේවාල පෙරහැර අලූත්නුවර දළදා පෙරහැර ඇතුළු පෙරහැර සඳහා ඇයගේ දායකත්වය ලබා දීමටද හැකිවන පරිදිය. අනතුරුව ටිකිරි ඇතින්නගේ භාරකාරත්වය ලබා ගත්තේ මතුගම ජගත් විතාන මහතාය. එහිද කලක් සිට පසුව, පන්නිපිටියේ කොලොන්නාවේ සුමංගල හිමි සතුව ටිකිරි ඇතින්න කල් ගෙව්වාය. ඉන් අනතුරුව කෑගල්ල රනදෙණියේ තිලකරත්න මහතාට ටිකිරි හිමිවිය. ඇය නිවැසියන්ගේත් තිලකරත්න මහතාගේත් ආදරය කරුණාව දයාව විඳිමින් සැපසේ කල් ගත කළාය. ඇතින්න සම්බන්ධයෙන් තිලකරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

 ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහැරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍යය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍යයි. මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලියට පමණයි ටිකිරා ඇතින්න ගමන් කළේ. එයත් අපි විෂ්ණු දෙවියන් වෙනුවෙන් වූ භාරයක් ඔප්පු කරන්නයි. 

 පසුගිය වසරේ පෙරහැරෙන් පසුව ටිකිරි අසනීප වුණා. ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස හයක පමණ කාලයක් පීඩා වින්දා. ඇය අපහසුවෙන් ඉන්න විට අපටත් දරා ගන්න බැහැ. ලොකු මුදලක් වැය කරලා අපි ඇයව සුවපත් කළා. ප‍්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප‍්‍රාර්ථනය කරමින් භාරයක් වූ වුණා. ඇතින්න සුව වූ පසුව දළදා පෙරහැරේ ගමන් කරවන බවට විෂ්ණු දෙවියන්ට. රෝගය සුව වීමෙන් පසු රන්දෝලි පෙරහැර එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට විෂ්ණු දෙවියන්ට භාරයක් වූ බවත් අපි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාටත් කියා තිබුණා. පෙරහැර ළං වෙලා මා ඒ ගැන සිහිකරනන විට නිලමේතුමා කිව්වා දේවාලයේ පූජාවකුත් තියලා ඇතින්ටද නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කරමු ආරක්ෂාවකුත් කරමු කියා කිවුවා. එම භාරය ඔප්පු කිරන්න තමයි මෙලෙස සතා පෙරහැරට එක් කළේ. ඇතින්නට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරු සතා දිනකට කිලෝ මීටර දෙකක පමණ දුරක් ඇවිද්දවන ලෙස දැනුම්දී තිබුණා. යැයිද ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්. එල් තිලකරත්න මහතා කියා සිටියේය.

 සියලූ වෛද්‍ය පරීක්ෂණ සඳහා වන කාර්යභාරයන් පේරාදෙණිය විෂ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ මෙහෙයවීම මත සිදුවන්නේය. පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා මෙවර අලි ඇත් සායන සියල්ල සමග එක්ව සිටියේය. ටිකිරි ගේ රෝග තත්ත්වය පිළිබඳව මහාචාර්ය අශෝක දංගොල්ල මහතාද රෝග නිශ්චය සහ ප‍්‍රතිකාර ලබා දි තිබුණේය. 

 ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගි වෙන අලි ඇතුන් එම පෙරහැරට පෙර සහ පසු පරීක්ෂා කරන අතර අවසන් රන්දෝලි පෙරහැරට ප‍්‍රථමයෙන් ද අලි ඇතුන් පරීක්ෂා කොට ඔවුන්ගේ නිදන්ගත රෝග සඳහා ප‍්‍රතිකාර කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. වැඩිදුරටත් අදහස් දැක්වූ පශු වෛද්‍ය විජේකෝන් මහතා මෙසේද කියා සිටියේය.

 ”හීලෑ අලි ඇතුන්ගේ හිමියන් දේශීය ඖෂධ මෙන්ම බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම උපයෝගී කරගනිමින් අලි ඇතුන් නඩත්තු කරන නිසා සත්වයන් රෝගාබාධ වලට ලක්වන අවස්ථාවන් ඉතාමත්ම අල්පයි. ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී කරවාගන්නේ නිරෝගී අලි ඇතුන් පමණයි. ඉතාම සුළු හෝ රෝගී තත්ත්වයකින් පෙළෙන කිසිදු අලියකු ඇතකු හෝ ඇතින්නියක පෙරහැරේ ගමන් නොකරවන්නට කටයුතු කරනවා. 

 වනගත අලි ඇතුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු හැට පහත් හැත්තෑවත් අතර තත්ත්වයක පවතින නමුත් මිනිසුන්ගේ පාලනය යටතේ ජීවත්වන හීලෑ අලි ඇතුන් වයස අවුරුදු අසුව – අසූ පහ අතර කාලයක් ජීවත් වනවා.

 වනගත අලි ඇතුන්ට වඩා හීලෑ අලි ඇතුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පවතින්නේ රැක බලා ගැනීම සහ ආහාර සැපයීම මතයි. ටිකිරි ද එවන් හොඳ රැකවරණයක් ලැබූ ඇතින්නක්…” 

 ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න සුව වී ඒ සඳහා වූ භාරය ඔප්පු කිරීමට මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ විෂ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ කර 

 ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප‍්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා ද පවසා සිටියේය. හෙතම මහනුවර විෂ්ණු දේවාලයේ ඇත් අලි පන්තිය භාරව කටයුතු කරන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ප‍්‍රකාශ කළේ මෙවැන්නකි.

 විෂ්ණු දේවාලයේ පෙරහැර සඳහා අලි ඇතුන් දහඅටක් පමණ සහභාගි වනවා. ටිකිරි ඇතින්න විෂ්ණු දේවාලයට ආ විට අප ඉතා හොඳින් රැක බලා ගත්තා. විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා මට දැනුම් දී තිබුණා තුන්වැනි රන්දෝලි පෙරහැර සඳහා ටිකිරි ඇතින්න සහභාගි කරවීමට පෙරත් පසුත් වෛද්‍ය පරීක්ෂණයට බඳුන් කරන ලෙස. 

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට ඇතෙකු, අලියෙකු හෝ ඇතින්නක සම්බන්ධ කරන්නේ පශු වෛද්‍යවරුන් සතා පරීක්ෂාවට ලක්කර උගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්වුවහොත් පමණයි මෙම ඇතින්න පෙරහැරේ ගමන් කළේද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුවයි. 

 ඇතින්නට විශේෂ රෝගයක් වැලඳී තිබුණෙ නැහැ. ඇය දැන් වයෝවෘද්ධයි. වයසට යෑමේදි අලිඇත්තු කාට වුවත් වැලඳෙන පොදු රෝගයක් තමයි ආහාර ජීරණ පද්ධතියේ රෝග. මොකද මේ සත්තුන්ගේ දත් හකු ගෙවෙනවා. කෑම ගන්න අපහසු වීම සහ කෑම හොඳින් පොඩිකරන්නේ නැතුව ගිලිනවා. දිරවීමේ අපහසුතා සමග ඇතිවන රෝගි තත්ත්වයක් ඇයට වැලඳී තිබුණා.

 ඇය කෑගල්ලෙ ඉඳන් ලොරියේ තමයි නුවරට ආවේ. නුවරදි එකදවසක් පෙරහැරට සහභාගි වුණා. ඉතිරි දින දෙක අලි ඇතුන් සමග එකට තියලා වෛද්‍ය පරීක්ෂණවලට සහභාගි කළා. පාරම්පරික වෛද්‍යවරයකුටත් පෙන්නුවා. පශු වෛද්‍ය උපදෙස් අනුව ශක්තිය වැඩිවන විටමින් වර්ග එන්නත් කළා. තවදුරටත් විටමින් සහ බෙහෙත් හේත් සියල්ල ලබා දී තමයි දහහතර වෙනිදා කෑගල්ලේ නිවසට යැව්වේ. 

 මේ ඇතින්න වසර පනහක් පුරා ඇසළ පෙරහැරට සම්බන්ධ වෙලා තිබෙනවා. පෙරහැර දහය පනහ වැඩිකළොත් පන්සියයක්.. නුවර පෙරහැරම පන්සියයක් ගිහින්. ලංකාවේ සෙසු දේවාල පෙරහැරටත් ඇය සහභාගි වෙලා තිබෙනවා. අයිතිකාරයාගේ බලවත් ඉල්ලීම අනුව අපි ටිකිරිව පෙරහැරට යැව්වේ. අනික ටිකිරිට මේ විෂ්ණු දේවාලයේ අලි ඇත්තු සමග ඉන්න මොහොත බොහොම සුන්දර වෙන්න ඇති. මොකද මේ සත්තු දන්නවා කාලයකට කිහිප වතාවක් අලි ඇත්තු ගොඩක් එක්ක ඉන්න වන වග. හරියට මිනිස්සු සාදයකට සහභාගි වනවා වාගේ. කෑගහනවා. දඟලනවා. අනික් සත්තු ඉව කරනවා. මොකක් හෝ භාෂාවකින් ඒ අය කතා කරනවා. කන්පොට හොලවනවා. 

 දැන් බලන්න මේ පෙරහැරට වයෝවෘද්ධ බෙර කරුවෝ නර්තන ශිල්පීන් කොපමණ සහභාගි වනවාද. ඒ අය කියන්නේ මේ සැරේ පෙරහැරට ඉඳලා මැරුණත් කමක් නැහැ කියලා. මේ අලි ඇතුන්ට කතාකරන්න බැරි එක විතරයි. උන් මේ පෙරහැරවලට සහභාගි වෙලා හොඳ පලපුරුද්දක් තිබෙන අය. ඒ සත්තු හරි කැමතියි ගෞරවයට පාත‍්‍ර වෙන්න. 

 අපි මේ ටිකිරිව අපි විෂ්ණු දේවාල බිම දිගා කරවලා එන්නත් ලබා දුන් මොහොතේ පවා ඡුායාරූප අරගෙන ඇතින්න මිය ගියා කියලා සමාජ ජාලාවල දාලා තිබුණා. තාක්ෂණයේ දියුණුව හානියක් වන අවස්ථා තමයි මේ. නිවැරදි තොරතුරු දාන්නේ නැතිව බොරු ප‍්‍රචාර කරන්නේ ඇතැමුන්ට තිබෙන මානසික ප‍්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ටිකිරි දහහතර වැනිදා ඇගේ සුපුරුදු කෑගල්ලේ නිවසට යැව්වා. ලොරියෙන් බැහැලා ඇය සාමාන්‍යයෙන් ඉන්න තැනට හොඳ ශක්තිමත් ඇතින්නකගේ විලාසයෙන් වේගෙන් දුවගෙන ගියා. මොකද විෂ්ණු දේවාලයෙ ඉන්නා තුරුම අපි ඇයව විවිධ පරීක්ෂණවලට ලක්කරමින් බේත් හේත් ලබා දුන්නා.

 මෙම සතා තිලකරත්න මහතා විසින් පෙරහැරට සම්බන්ධ කරනු ලැබුවේ කිිසිදු මුදලක් අය නොකර යි. එතුමා තම ඇතින්නගේ ජීවිතය බේරා දෙන ලෙස දෙවියන් ගෙන් කළ ඉල්ලීම ඉෂ්ට සිද්ධ කර ගැනීමට අවස්ථාව විෂ්ණු දේවාලය මගින් එතුමාට ලබාදීල තිබෙන්නෙ. කාලාන්තරයක් දන්න සතකු අපි නොසලකා හරින්නේ නැහැ.

 මේ පෙරහැර කාලයට විතරක් මේ සත්ත්ව හිංසනය මතක් වෙන ජනතාව අනිත් දවස්වලට මොකක්ද කරන්නේ දන්නේ නැහැ. කුකුළෝ එළුවෝ ඌරෝ ඇතුළු රටේ ඉන්න මරන්න ඇතිකරන සත්තු ගැනත් මේ වේදනාව තිබෙන උදවිය හොයලා බලන්න එපායෑ. ඇයි එහෙම නොකරන්නේ. 

 දැන් මේ රටේ හීලෑ අලි ඇත්තු වඳ වේගෙන යන ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න කවුරුත් උනන්දු නැහැ. ඇත්තටම රටේ තිබෙන ප‍්‍රශ්න දිහා බලලා සුබවාදි විසඳුම් ගෙන එන්න මේ සත්ත්ව ලෝලීන් මැදිහත් වෙන්න අවශ්‍යයි. සත්තු අපි ළඟ සතුටින් සැපයෙන් ඉන්නවාද නැද්ද කියලා බලන්න විවෘතව එන්න. කැලේ හිටියා නම් ටිකිරි මේ වෙද්දි මිය ගිහින්. වයසට යන විට කැලේ කවුරුත් බෙහෙත් අරන් දෙන්නේ නැහැ. මේ කාරණා කවුරු වුණත් හොඳින් අවබෝධ කරගන්න වුවමනායි…” ධම්සිරි මහතා කියා සිටියේය.

 අලි ඇත්තු පිළිබඳව සමාජ ජාලා ඔස්සේ කතා කරන දෑ හි සත්‍ය අසත්‍ය දැක බලා ගැනීමට පෙරහැරට සහභාගිවන අලිඇත්තු භාර උදවිය සමග කතාකිරීමේ හැකියාව කොතැනත් ඇත්තේය. අද වන විට සෆාරි සඳහා සහභාගි කරවන අලි ඇත්තු හිංසනයට ලක්වන්නේද නැද්ද යන වග සොයා බැලීමට මේ සත්ත්ව අවිහිංසාවාදීන් යොමුවන්නේ නම් සත්‍යම දැකබලා ගැනීමට හැකියාව ඇත්තේය. අපිද මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ඒ පිළිබඳව කතා කළෙමු. 

 රටේ මේ සා විශාල ප‍්‍රශ්න තොගයක් ඇති මොහොතක ටිකිරි ඇතින්න පිළිබඳව අසත්‍ය ප‍්‍රචාර ප‍්‍රචාරය කරවා රටක් ලොවක් අවුලූවා වූ කවුරුන් හෝ වේද ඒ උදවිය අද ලැජ්ජාවට පත්විය යුතුමය.

One Response to “මහලූ ටිකිරිට වදවේදනා දී දළඳා පෙරහැරේ රැගෙන ගියාද?”

  1. Hiranthe Says:

    This must be an organised effort.

    Yahapalanaya is against our cultural values. They have once jailed Ven Uduwe Dhammaloka Thero.

    What a curse to Mother Lanka this Yahapalanaya team is!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress