අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්.
Posted on August 20th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා.

ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විරුද්ධව ගොනු කර ඇති නඩු දෙකක් ඊයේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

ඉන් එක් නඩුවක් ගොණුකර ඇත්තේ පතාල නායක මාකදුරේ මදුෂ්ගේ නීතිඥ ජගත් ජාලිය සමරසිංහ මහතායි.

2018 අංක 5 දරණ පනතින් බලාත්මක කෙරුණු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජත්‍යාන්තර සම්මුතියට අනුව තමන්ට සේවාලාභියා හමුවීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා අධිකරණය සඳහන් කළේ ඒ සඳහා තමා කළ ලිඛිත ඉල්ලීම ශානි අබේසේකර මහතා විසින් ලිඛිතව ප්‍රතික්ෂේප කළ බවයි.

එසේම 2019 ජුලි මස 13 වන දින සැකකාර රුදවියා හමුවීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදි කුමන හේතුවක් මත හෝ සැකකරු මුණගැසීමට අවස්ථාවක් නොදෙන බවත්, ඔවුනට කරදර නොකර ඉවත්ව යන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැවසු බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම්දුන්නා.

මෙසේ සිය සේවාලාභියා හමුවීමට ඉඩ ලබා නොදීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 332 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

එසේම ඉන් අනතුරුව කැඳවනු ලැබු දෙවන නඩුවට අදාළව කරුණු දක්වමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා සඳහන් කළේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලක්වීමේ පණත යටතේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැය 48ක් තුළ දැන්විය යුතු වුවද, මධුෂ් ලක්ෂිත අත්අඩංගුවට ගැනීමෙදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නියෝගය පිළිපැද නොමැති බවයි.

එසේ නොදැන්වීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවටද නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙහිදි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ කුමන හේතුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරු රඳවාගෙන සිටින්නේද යන්නයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ ප්‍රභු ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරු රඳවුම් භාරයට ගෙන තිබුණද, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරුවෙකු වු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පවා ඇප මත මුදා හැර සිටින පසුබිමක මධුෂ් ලක්ෂිත මේ දක්වා රුඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ කුමන කරුණක් මතද යන්න තමාද නොදන්නා බවයි.

මෙම නඩු විභාගයන්ට සහභාගි නොවි විත්තිකාර ශානි අබේසේකර මහතා විදෙස් ගතවීමට උත්සහ දරන බවට තොරතුරු ලැබී ඇති බැවින් විත්තිකරු විදෙස් ගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් වූ නියෝගය ප්‍රකාශයට පත් කිරීම සහ නඩුව යළි කැඳවීම මේ මස 29 වැනි දින සිදුකරන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දැනුම්දුන්නා.

මේ අතර නීතිඥ ජාලිය සමරසිංහ, අසංක පෙරේරා සහ උද්දික මල්වාන යන මහත්වරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනු කර ඇති තවත් නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදි කැඳවනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ලෙස නම් කරන ලද සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඕනෑකමින් මගහරින බවට චෝදනා එම නඩුවෙන් චෝදනා එල්ල කර තිබුනා.

විත්තිකාර ශානි අබේසේකර මහතා මේ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා සහභාගී නොවී නුදුරු අනාගතයේදීම විදෙස් ගතවීමට කටයුතු සූදානම් කර සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බැවින් විත්තිකරු විදෙස් ගතවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අදාළ තීරණය එළඹෙණ 23 වන දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්දුන්නා.

මේ අතර ප්‍රවෘත්ති සාකච්චාවකදි නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් තමන්ට තර්ජනය කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කර තිබු පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ මනෝජ් ගමගේ මහතා අද කොටුව පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress