ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනයක් අවශ්‍යයි
Posted on August 20th, 2019

උපුටා ගැන්ම දිවයින

ජනාධිපතිවරණය සඳහා රට සූදානම් වෙමින් තිබේ. මේ වන විට ප‍්‍රධාන පක්ෂ ඒ සඳහා අපේක්ෂකයන් සූදානම් කරමින් තිබේ. කවර හෝ හේතුවක් මත ජනාධිපතිවරණය යම් ලෙසකින් කල් ගිය ද කෙසේ හෝ ඉදිරි මාස තුනත් අටත් අතර කාලය තුළ ව්‍යවස්ථානුකූලව එය පැවැත්විය යුතුමය.

 එදා මෙදා තුර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ පුද්ගලයන් බොහොමයක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ පසු ඔවුන් විසින් බොහෝ විට සිදු කළේ ඔවුන් ජනතාවට පොරොන්දු වූ දේ හෝ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල පවතින දේ නොවේ. 

 ජනතා ඡුන්දයෙන් පත්වන්නේ රටක තාවකාලික භාරකරුවන් වන නමුත් එදා මෙදා තුර පත්වූ පාලකයන් මෙන්ම රජයන් ද ක‍්‍රියා කරමින් සිටින්නේ රටේ තාවකාලික භාරකරුවන් ලෙස නොව රටේ අයිතිකරුවන් ලෙස බව පෙනේ. මෙම පිරිස් විසින් රටේ මහජන සම්පත් විකුණා දමන්නේත් රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්නෙත් එම නිසා ය.

 මේ නිසා මෙවර ජනාධිපතිවරණයට පෙර රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න, විවිධ ජාත්‍යන්තර ගිවිසුම් හා විවිධ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ඒ ඒ ජනාධිපති අපේක්ෂකයන් තම තමන්ගේ ප‍්‍රතිපත්තිය රටට හෙළිකරන ලෙස පුරවැසියන් ලෙස අප මොවුන්ගෙන් ඉල්ලා සිටිය යුතුව තිබේ.

 එසේම ඒ ඒ අපේක්ෂකයන් විසින් රටේ ආරක්ෂාව, බෞද්ධ ආගම, කෘෂිකර්මාන්තය, දේශීය නිෂ්පාදනය, විදේශ ප‍්‍රතිපත්තිය, ව්‍යාපාර ක්ෂේත‍්‍රය, කම්කරු නීති, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ආදී සියලූ ක්ෂේත‍්‍ර පිළිබඳ පැහැදිලි ප‍්‍රතිපත්තියක් රට හමුවේ තැබිය යුතුය.

 එසේම ජීවන වියදම, වැටුප් විෂමතා, ආදායම් විෂමතා ආදිය සම්බන්ධයෙන් තම තමන්ගේ ප‍්‍රතිපත්තිය මෙන්ම අදාළ ගැටලූ නිරාකරණය කිරීමේ පැහැදිලි ක‍්‍රමවේදයක් ඔවුන් රට හමුවේ තැබිය යුතුය. එසේ නොවුන හොත් සිදුවන්නේ ඔවුන් තම තමන්ට අවශ්‍ය දේ ජාත්‍යන්තර බලපෑම් හෝ වෙනත් පාර්ශවවල බලපෑම් මත සිදු කිරීමය.

 ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයෙක් ඉදිරිපත් වුණත් මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දෙන බවට ප‍්‍රතිඥාවක් ලබාදිය යුතු බව වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද පවසා තිබේ.

 අපගේ ද අදහස අද රටේ අපරාධ රැුල්ල වැඩිවී ඇති ආකාරය හා මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නය වැඩිවී ඇති ආකාරය නිසා සියලූ ජනාධිපති අපේක්ෂකයන් ඒ සම්බන්ධයෙන් ද රටට පොරොන්දුවක් ලබා දිය යුතු බවය.

 එසේම මේ වන විට ඇමරිකානු ගිවිසුම්, සිංගප්පූරු ගිවිසුම්, චීන ගිවිසුම් හා ඉන්දියානු ගිවිසුම් ගැන විවිධ සැකසංකා රටේ ජනතාව තුළ ඇතිවී තිබේ.

 ඇමරිකාව සමග අත්සන් තැබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම යටතේ ඉදිකෙරෙන ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක් ලබාදීම සඳහා නව නීති සාදන බවටත් ත‍්‍රිකුණාමලය සිට කොළඹ දක්වා කිලෝමීටර දෙසීයක් දිවෙන ඒ ඉඩම් අක්කර ලක්ෂ 12ට ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමයන්, පරිසර සංවේදී කලාප ඇතුළත් වන සේ මිනුම් කටයුතු සිදු කරන බවටත් මේ වන විට චෝදනා එල්ලවී තිබේ. එම නිසා මේ සියල්ල සම්බන්ධයෙන් තම තීරණය ගැන නිසි පිළිතුරක් සියලූම අපේක්ෂකයන් පැහැදිලිව රටට ලබාදිය යුතුය. එම පිළිතුර පැහැදිලිව ලබාදීම යනු එය ලබා දෙන්නේද නොදෙන්නේද යන්න මිස වෙනත් අටුවා ටීකා නොවේ.

 එසේම මැතිවරණ වලදී ජනතාවට ලබා දෙන පොරොන්දු ඉටු නොකිරීම හෝ එසේ ලබා දෙන පොරොන්දු වෙනුවට වෙනත් දේ සිදු කිරීම වැළැක්වීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන ගෙන ඒමද කළ යුතුව තිබේ.

 නිදහසින් පසු වසර හැත්තෑ එකක් විවිධ පක්ෂ විසින් අපේ රට පාලනය කර තිබේ. එම නිසා අද මේ රට පත්ව තිබෙන දුඃඛිත තත්ත්වයට ඒ සියලූ දෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුව තිබේ. එහෙත් මින් ඉදිරියටවත් රටේ අනාගත පරපුර ගැන සිතා මේ වැරදිවලට තවදුරටත් ඉඩදිය යුතු නොවේ.

 එම නිසා දේශපාලනඥයන් රට ගැන තීරණ ගන්නවා වෙනුවට රටේ මහජනතාව බහුතර කැමැත්තෙන් නිවැරදි තීරණ ගන්නා කාලයක් රටට උදාකර ගැනීම පුරවැසියන් ලෙස 

 සැමගේම යුතුකම හා වගකීම බව අවසාන වශයෙන් මෙසේ මතක් කර සිටින්නෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress