මහ බැංකුවේ කබ්රාල් යුගය
Posted on August 22nd, 2019

ශ්‍යාම් නුවන් ගනේවත්ත  උපුටා ගැන්ම දිවයින

fea8 2

මහ බැංකුව වූ කලී රටේ මුල්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන මුළු මහත් ආර්ථිකයටම දැවැන්ත බලපෑමක් කළ හැකි ආයතනයකි. එය ශ‍්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. 1950 වර්ෂයේ දී 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකුව පිහිටුවා ඇති අතර සාමාජිකයන් පස් දෙනෙක්ගෙන් යුත් මුදල් මණ්ඩලයක් මගින් මහ බැංකුව පාලනය කරනු ලබයි. හිතකර හා ස්ථාවර ආර්ථික සහ මූල්‍ය පද්ධතියක් අත්පත් කරගැනීමටත්, පවත්වාගැනීමටත් ඒ සඳහා කාර්යක්ෂම ලෙස සම්පත් යොදවා ගැනීමටත් ශ‍්‍රී ලංකා මහ බැංකුව ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑම සහ මුල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යෑම යන ප‍්‍රධාන අරමුණු දෙක පෙරදැරිව කටයුතු කරයි. එසේම මුදල් නීති පනතේ බලතලවලට අනුව, කාසි හා නෝට්ටු මහජනයා වෙත නිකුත් කිරීමේ අධිකාරීමය බලය හිමිවන්නේ ද මහ බැංකුවටයි. මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ හා කළමනාකරණය කිරීමේ වගකීම ද දරනු ලබයි. එසේම රජයේ ආර්ථික කටයුතු උපදේශක මෙන්ම රජයේ බැංකුකරු ලෙස කටයුතු කරන්නේ ද මහ බැංකුවයි. රජය වෙනුවෙන් තවත් නියෝජිත සේවා කිහිපයක්ද මහ බැංකුව විසින් ඉටු කරනු ලබයි. එනම් ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම, විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම, ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ප‍්‍රාදේශීය සංවර්ධනය උදෙසා මූල්‍ය ප‍්‍රවේශය වර්ධනය තුළින් විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන ණය යෝජනා ක‍්‍රම පරිපාලනය කිරීම යන නියෝජිත කාර්යයන්ය. මෙලෙස රටේ ප‍්‍රධානතම මූල්‍ය ආයතනය වන මහ බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ මහ බැංකු අධිපතිවරයායි. වර්තමානයේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරසිංහ මහතායි. ඊට පෙර අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල මහතා විසින් පත් කළේ ඊට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අජිත් නිවාඞ් කබ්රාල් මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසු ඉල්ලා අස්වීම නිසා ඔහුගේ ධුර කාලයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමටය. අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 12 වන අධිපතිවරයාය. ඔහු අධිපතිවරයා ලෙස කටයුතු කළ වර්ෂ 2006 සිට 2015 දක්වා කාලය මේ රටේ සුවිශේෂී කාලපරිච්ජේදයකි. එම කාලයේදී කබ්රාල් මහතා ශ‍්‍රී ලංකා ආර්ථිකය සහ රට දැය සමය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් හෙට (23) දින ශ‍්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකාය විසින් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑරදුන් අභියසදී ”දේශ කීර්ති ලංකා පුත‍්‍ර” ගෞරව සම්මානය ප‍්‍රදානය කිරීමට නියමිතය. මේ අනුව මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වන්නේ ඒ නිමිත්තෙන් මහ බැංකුවේ කබ්රාල් යුගය (2006-2015) ගැන විමසීමක් කිරීමටය.

 අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දොළොස්වන අධිපතිවරයා වූ අතර ඔහු විසින් 2006 ජුලි මස සිට 2015 ජනවාරි මස දක්වා එම තනතුර හොබවන ලදී. ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට පෙර, කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද කටයුතු කළේ ය. රජයේ ප‍්‍රතිපත්ති රාමුව හා සංවර්ධන සැලැස්ම සැකසීම සම්බන්ධයෙන් කටයුතු කළ පුද්ගලයින් අතරින් කෙනෙකු වූ ඔහු උපායමාර්ගික ව්‍යවසායක කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. රජයට සම්බන්ධ වීමට පෙර කළමනාකරණ උපදේශකයකු ලෙස ව්‍යාපාර පුනර්ජීවනය හා නැවත සැකසීම, සැලසුම් කිරීම හා ආයතනික පාලනයට අදාළ ව කටයුතු කළ අතර එම අවධියේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නො කළ සමාගම් ගණනාවක සහාපතිත්වය සහ/හෝ අධ්‍යක්ෂ තනතුරු ඔහු විසින් හොබවන ලදී. තව ද ඔහු සුරැුකුම්පත් හා විනිමය කොමිසම, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්වවිද්‍යාලය යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළේ ය. කබ්රාල් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ ”2000 වසරේ – බහු ජාතීන්ගේ වැඩසටහනෙහි අධි ශිෂ්‍යත්වලාභියෙකි. බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කබ්රාල් මහතා වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයකු වන අතර ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වෙයි. ආයතනික පාලනය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශකවරයකු ද වන ඒ මහතා ශ‍්‍රී ලංකාවේ ඒකාබද්ධ පාලනයේ යහපුරුදු පිළිබඳ ව්‍යවස්ථා මාලාව වැඩිදියුණු කළ ඒකාබද්ධ පාලන කමිටුවේ හිටපු සභාපතිවරයා ද විය. 

fea8 256

 තිස් වසරක කොටි ත‍්‍රස්තවාදයෙන් අප ජයග‍්‍රහණය ලැබුවේ ද කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සිටි මේ කාලයේදීය. යුද්ධය සඳහා රජයට අති විශාල මුදල් සම්භාරයක් ද වැය කිරීමට සිදු වූ බව රහසක් නොවේ. එසේම මේ කාලය ලෝක ආර්ථික අර්බුදවලට ද මුහුණ දෙමින් රටේ අවශ්‍යතා සඳහා අවම පිරිවැයට අරමුදල් සම්පාදනය කර ගනිමින් කටයුතු කිරීමට සිදු වූ ඉතා අභියෝගාත්මක කාලපරිච්ජේදයකි. මේ සියල්ලෙහිදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස ඉතා කැපවීමෙන් මහ බැංකුවෙන් දිය හැකි දායකත්වය උපරිම අයුරින් ලබාදෙමින් කටයුතු කළ බව අපගේ නිරීක්ෂණයයි. මේ ලියුම්කරු ඒ.එස්. ජයවර්ධන මහතාගේ සිට වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරසිංහ මහතා දක්වා වූ සෑම මහ බැංකු අධිපතිවරයකු සමගම කටයුතු කර ඇති අතර මේ අතරින් කබ්රාල් මහතා වෙනස්ම මහ බැංකු අධිපතිවරයෙක් විය. ඔහු මහ බැංකු අධිපති නිල කාමරයට වී සුවපහසුව ඉන්නවාට වඩා හැම විටම සමාජයට ගියේය. මහජනයා අතරට ද ගියේය. මේ නිසා මීට පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් මෙන් නොව ඔහු සාමාන්‍ය ජනයාට ද සමීප පුද්ගලයකු විය. ලොකු පොඩි කා සමගත් ඉතා සුහදව සහ මිත‍්‍රශීලීව කටයුතු කළේය. එසේම ඔහු අන් අයගේ මතවලට ද නිතරම සවන් දුන්නේය. හොඳ අදහසක් නම් එය පිළිගෙන ක‍්‍රියාත්මක කිරීමට පවා පියවර ගත්තේය. ඔහු මාධ්‍යවේදීන් සමගද ඉතා සුහදව සහ මිත‍්‍රශීලීව කටයුතු කළේය. ඔහු මාධ්‍යවේදීන් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අසන සෑම ප‍්‍රශ්නයකටම පිළිතුරු ලබා දුන්නේය. හදිසි යමක් දැන ගැනීමට අවශ්‍ය වූ විට දුරකතනයෙන් ඔහු සමග කතා කිරීම ද අපහසුවක් වූයේ නැත. ඕනෑම ප‍්‍රශ්නයකට ඔහු ඉතා සුහදව පිළිතුරු දුන්නේය. තරමක් විවේචනාත්මක ප‍්‍රශ්නයක් ඇසුවත් කේන්ති නොගෙන ඊට සරිලන හොඳ පිළිතුරක් ලබා දීමට ඔහු සමත් විය. මේ නිසා ආර්ථිකය සම්බන්ධ බොහෝ කරුණු මහජනයාට ඉතා ඉක්මනින් සන්නිවේදනය කිරීමට එය මාධ්‍යවේදීන් ලෙස අපට ද ඉතා පහසුවක් විය. එය හැම විටම ආර්ථිකය පිළිබඳ මහජන විශ්වාසය ඉහළින් රඳවා ගැනීමට ඉවහල් විය. ආර්ථික කරුණු කාරණා තේරුම් ගැනීමේදී මහජනයාගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා වැදගත් කරුණකි. මේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට මූල්‍ය සහ ආර්ථික කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන්ට සුවිශේෂී මෙහෙයක් කළ හැකිය. එහෙත් ඒ සඳහා ඔවුන්ට ද හොඳ දැනුමක් තිබීම ඉතා වැදගත්ය. මේ නිසා මාධ්‍යවේදීන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය. මේ නිසා වරක් මේ ලියුම්කරු මහ බැංකු අධිපතිවරයා වශයෙන් කබ්රාල් මහතාට කළ යෝජනාවක් වූයේ මූල්‍ය සහ ආර්ථික කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන්ට මහ බැංකුවෙන් නොමිලේ පාඨමාලාවක් පවත්වන ලෙසයි. එය රටේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවට කළ හැකි ඉතා හොඳ ආයෝජනයක් බව මේ ලියුම්කරු පෙන්වා දුන් විට එය නිහතමානීව පිළිගෙන ඒ ගැන අනෙකුත් මහ බැංකු උසස් නිලධාරීන්ට උපදෙස් දී මහ බැංකුවේ රාජගිරියේ පිහිටි එවකට බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රය (වර්තමානයේ බැංකු විදු පියස) මගින් සහතිකපත‍්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීමට කබ්රාල් මහතා පියවර ගත් අතර එයට ලංකාවේ බොහෝ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වී දැනුම ලබා ගත්හ.

 වඩාත්ම වැදගත් වන්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු කටයුතු කළ කාලයයි. ලංකාව නිදහස ලැබීමෙන් පසු එනම් වර්ෂ 1948 සිට 2005 දක්වා වසර 57 ක කාලයේදී රටේ සියලූ නායකයින් සහ ආර්ථික විශේෂඥයින් යටතේ ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24 ක් දක්වා පමණි. කබ්රාල් මහතා අධිපති ලෙස කටයුතු කළ වර්ෂ 2006 සිට 2014 දක්වා වසර 9 ක කෙටි කාලය තුළ ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට ඇමරිකානු ඩොලර් බිලියන 79 දක්වා වර්ධනය විය. තවද එම කාලය තුළදී රටේ ආර්ථිකමය වශයෙන් තවත් සිදු වූ යහපත් වෙනස්කම් කිහිපයක් කබ්රාල් මහතා මෙසේ සඳහන් කරයි. 

 * රටේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 සිට ඇ.ඩො බිලියන 8.2 දක්වා වර්ධනය විය.

 * ලංකා ඉතිහාසයේ වැඩිම කලක් තිස්සේ දිගින් දිගටම උද්ධමනය මැදි-තනි ඉලක්කම් ප‍්‍රතිශතයක පවත්වා ගත හැකි විය.

 * දැවැන්තම ලෝක ආර්ථික අර්බුදයද දැවැන්තම ලෝක බැංකු අර්බුදයද දැවැන්තම ලෝක ඛනිජ තෙල් අර්බුදය ද විශාල ලෝක ආහාර අර්බුදයක්ද ඒ වකවානුව තුළ උද්ගත වුවද, ජනජීවිතයට එමගින් බලපෑමක් නොවන ආකාරයට ආර්ථිකය හැසිරවීමට සමත් විය. 

 *ශ‍්‍රී ලංකාවේ පැවති එල්. ටී. ටී. ඊ. එරෙහි යුද්ධය සාර්ථකව මෙහෙයවීම සඳහා දැවැන්ත මුදලක් අවශ්‍ය වූ අතර එම සියලූම සම්පත් ඒකරාශී කර ගනිමින් එම කටයුත්ත සාර්ථකව නිම කිරීමට අවශ්‍ය සියලූම සම්පත් වෙන් කර දෙමින් ආර්ථිකය හැසිරවීම. 

 * ශ‍්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදු වුවද රටේ ණයබරතාවය 2006 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 91 ප‍්‍රතිශතයක පිහිටි සමස්ත ණය තොගය සියයට 71 දක්වා අඩු කර ගන්නා ලදී.

 * මුළු ලෝකයේම බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටෙද්දී ශ‍්‍රී ලංකාවේ කිසිදු බැංකුවක් හෝ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් කඩා නොවැටී රැුක ගැනීමට හැකි විය.

 * වසරකට සියයට 10 ක පමණ ඉතා ශීඝ‍්‍ර සාමාන්‍ය අවප‍්‍රමාණයකට ගොදුරු වී තිබූ ශ‍්‍රී ලංකා රුපියල කළමනාකරණය කරමින් වර්ෂ 2006 සිට 2014 දක්වා වසරකට රුපියලේ සාමාන්‍ය අවප‍්‍රමාණය සියයට 2.8 ක පමණ ඉතා අඩු අගයකට සීමා කරගත හැකි විය. 

 * 2006 දී ඉතා ඉහළ මට්ටමක පැවති පොලී අනුපාත සියල්ලම මනා පාලනයක් තුළින් තනි ඉලක්කමක පවතින පොලී අනුපාත බවට පරිවර්තනය කරගත හැකි විය.

 * විදේශ සංචිත ආයෝජන කටයුතු හරහා ඉතිහාසයේ වැඩිම ලාභයක් සහ ලාභ ප‍්‍රතිශතයක්ද වාර්තා කරන ලදී. එමගින් රටේ විදේශ සංචිත තුන් ගුණයකින් වැඩිකර ගැනීමට හැකිවිණි.

 * ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් රජයට ලබා දෙන ලාභාංශ මගින් රජයට මූල්‍ය ශක්තියක් ලබා දෙමින් රජයේ අය-වැය පරතරය අඩු කර ගැනීමට දායකත්වයක් ලබා දෙනු ලැබිණි. 

 * ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතේ පැවැති සේවක අර්ථ සාධක අරමුදල ඉතා කාර්යක්ෂමව සහ දක්ෂ ලෙස පාලනය කරමින් උද්ධමනයට සාපේක්ෂව ඉතිහාසයේ වැඩිම ලාභාංශ ප‍්‍රතිශත අගයන් සාමාජිකයන්ට ලබාදීමට කටයුතු කරන ලදී. 

 * ඉතා අභියෝගාත්මක වකවානුවක ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආර්ථිකයේ පැවැත්මට අවශ්‍ය මුල්‍ය සම්පත් කලට වේලාවට සහ අවම පිරිවැයකට ලබා ගැනීම පිණිස ලොවපුරා ඉහළම පෙළේ ආයෝජකයන් අමතමින්, ශ‍්‍රී ලංකාවට විරුද්ධව ද්‍රවිඩ ඩයස්පෝරාව සහ විපක්ෂය විසින් දියත් කොට තිබූ ප‍්‍රචාරක වැඩපිළිවෙළ හමුවේ රටේ ආර්ථික වර්ධනයට අවශ්‍ය වන මූල්‍ය සම්පත් කලට වෙලාවට අඩු පිරිවැයකට, තම ජාත්‍යන්තර දේශන සහ ඉදිරිපත් කිරීම් මගින් ඒකරාශී කරගත හැකි විය. 

 කබ්රාල් මහතා වසර නමයක් පමණ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දැරුව ද ඔහුට විරුද්ධව විවිධ අය නොයෙකුත් ප‍්‍රචාරයන් ගෙන ගියද ඒ කිසිදු චෝදනාවක් ගොනු කර ගැනීමට ඔවුන් මේ දක්වා සමත් වී නැත. ශ‍්‍රී ලංකා මහ බැංකුව ශ‍්‍රී ලංකාවේ මුළු ආර්ථිකයටම විශාලතම බලපෑමක් කළ හැකි ආයතනයකි. අභ්‍යන්තර දෙපාර්තමේන්තු රැුසක් ඇති එම ආයතනයේ අධිපතිවරයා ලෙස වර්ෂ 2006 සිට 2014 දක්වා කාලයේදී කටයුතු කළත් එම කාලයේදී කබ්රාල්ට මහතාට එරෙහිව පෞද්ගලිකව කිසිදු විගණන වාර්තාවක් හෝ කෝප් කමිටු නිරීක්ෂණයක් හෝ මහ බැංකුවේ අභ්‍යන්තර විගණන වාර්තාවක් හෝ මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ චෝදනාවක් හෝ අල්ලස් හෝ ¥ෂණ කොමිසමේ චෝදනාවක් හෝ ගොනු කිරීමට එම චෝදනා කළ අයට හැකියාවක් ලැබී නැතැයි ඔහු මේ ලියුම්කරුට කියා සිටි කරුණකි. ඔහුගේ වරදක්, අතපසු වීමක් හෝ අඩුපාඩුවක් හෝ අක‍්‍රමිකතාවයක් මතුකර ගැනීමට මේ අය බොහෝ උත්සාහ ගන්නට ඇත. එහෙත් ඒ කිසිවක් සාර්ථක වී නැති අතර මේ නිසා ඔහුට එරෙහිව කිසිම නඩුවක් ගොනු කර ගැනීමට ද හැකිව නැත. එහෙත් කබ්රාල් මහතාට සාපේක්ෂව බලන විට ඔහුගෙන් පසු ඔහුගේ අධිපති ධුර කාලයේ ඉතිරි කාලය සඳහා පත් වූ මහ බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලයේ සිදු වූ බැඳුම්කර මගඩිය ඇතුළු සියලූ දේ රටම දනී. මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ පළමු විත්තිකරුය. එහෙත් ඔහු නීතියට ඉදිරිපත් නොවී විදේශගතව සිටියි. එහෙත් කබ්රාල් මහතාට යහපාලන රජයෙන් කොපමණ චෝදනා එල්ල කළත් ඇතැම් විට විමර්ෂණ කටයුතු සඳහා ප‍්‍රකාශ සටහන් කර ගැනීමට කැඳවනු ලැබුවත් ඔහු කිසි විටෙකත් රටින් පැන ගියේ නැත. අජිත් නිවාඞ් කබ්රාල් මහතා දැන් මහ බැංකු අධිපති නොවුණත් ඔහු තවමත් ඉතාම කාර්යබහුලය. දෙස් විදෙස් දෙසුම් සඳහා ඔහුට තවමත් ඇරයුම් ලැබෙයි. ඔහු උදේ සිට රාත‍්‍රිය දක්වාම සෑම දිනකම පාහේ බොහෝ වැඩ කටයුතුවල නිරත වී සිටියි. ශ‍්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පහත සඳහන් ඔහුගේ අදහසකින්ම මේ ලිපිය නිමා කිරීම වඩාත් මැනවයි සිතමි. 

 ‘සාගර ආර්ථිකය කියල නිකම් කියල වැඩක් නැහැ. අපේ ගොඩබිමේ භුමි ප‍්‍රමාණයට වඩා හත් ගුණයක සාගර කලාපයක් අපට හිමියි. ඉන් අපි නිසි ප‍්‍රයෝජනය තාම අරන් නැහැ. මම එය දකින්නේ ගෙයයි වත්තයි හැටියටයි. වත්ත තමයි අපේ සාගරය. අපේ භුමිය අපේ ගේ වගේ. ඒ නිසා අපි ඒ වගේ මනසකින් හිතන්න ඕන කොහොමද මේ වත්තෙන් ප‍්‍රයෝජනයක් ගන්නේ කියලා. ඒකට විශේෂයෙන්ම අපි යොමු වෙන්න ඕන. 

 ඒ වගේ සාගර සම්පත් ගැන හිතලා සාගර ආර්ථිකයට අපි විශේෂ සැලකිල්ලක් යොමු කරලා එය වර්ධනය කරන්න කටයුතු කරන්න ඕන.,

 එසේම ගෝලීයව ශ‍්‍රී ලංකාව ඉහළ පිළිගැනීමක් ඇති තත්ත්වයට පත් කරන්න ඕන. දැන් අපේ රට බ‍්‍රෑන්ඞ් වෙලා තියෙන්නේ යුද්ධයක් තිබිල ඒකෙන් අමාරුවෙන් ගොඩ ඇවිත් ඒ වුණාට තාමත් ගෘහ සේවිකාවන් යවන රටක් හැටියටයි. එසේම තාමත් අපිව බ‍්‍රෑන්ඞ් වෙලා තියෙන්නේ අමාරු තත්ත්වයකින් පෙළෙන ආධාර හිඟා කන්න යන රටක් විදිහටයි. ඒකනේ දැන් ඔය එක එක්කෙනා ඇවිත් කියන්නේ අපි අරක දෙන්නම් මේක දෙන්නම් උඹල මෙහෙම කරපන් කියල. ඒ මානසිකත්වය හරි යන්නේ නැහැ දැන්. අපි ප්‍රෞඪ ජාතියක්, මේ අපි ඉන්නේ 21 වන ශත වර්ෂයේ, අපිට පුළුවන් වෙන්න ඕන අපේ ශක්තියෙන් අපේ සම්පත් භාවිතා කරලා රට ඉදිරියට ගෙනියන්න. ඒ සඳහා විශ්වාසය ගොඩනගල ශ‍්‍රී ලංකාව අපි නැවත වරක් බ‍්‍රෑන්ඞ් කරන්න ඕන. එනම් රුඉර්බා කරන්න ඕන. ශ‍්‍රී ලංකාව නැවත වරක් ඉදිරියට එන රටක් හැටියට නම් වෙන විදිහට අපි කටයුතු කරන්න ඕන. අපි මේවා ගැන කතා කරන්න ඕන. ශ‍්‍රී ලංකාවට පුළුවන් වෙන්න ඕන ලෝකයත් එක්ක තරග කරන්න, අපි එක දිනයකවත් යම් කිසි දෙයක් ඉල්ලන්න නරකයි. අපිත් එක්ක වෙළෙඳාම් කරන්න අපිත් එක්ක ගනුදෙනු කරන්න අපේ රටේ ඇවිත් ආයෝජනය කරන්න කියන එක තමයි අපේ පණිවිඩය විය යුත්තේ. අපි එහෙම කළොත් අනිත් රටවල් අපට ගරු කරන්න පටන් ගන්නවා. අපිට යම් කිසි ගෞරවයක් ඇති වෙනවා. ඒ තත්ත්වය අපිම ඇති කර ගන්න ඕන. ඒක කව්රුත් අපට නිකන් දෙන්නේ නැහැ. අපේ රටේ ගෞරවනීය තත්ත්වය නැවත වරක් ස්ථාපනය කර ගන්න නම් හොඳ තත්වයකින් ලෝකයත් සමග ගනුදෙනු කරන්න අපට පුළුවන් වෙන්න ඕන.’

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

2 Responses to “මහ බැංකුවේ කබ්රාල් යුගය”

  1. Randeniyage Says:

    Suddenly a suspicious character is being praised using media ! Why ? Most of the fabricated stories presented are twisted stories to promote him.
    Cabrral has connections to famous company which robbed the central bank together with Ranil and Mahendran and Karunanayake. He also involved with misusing public money in the name of Hambantota commonwealth games.

    “මේ ලියුම්කරු ඒ.එස්. ජයවර්ධන මහතාගේ සිට වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරසිංහ මහතා දක්වා වූ සෑම මහ බැංකු අධිපතිවරයකු සමගම කටයුතු කර ඇති අතර මේ අතරින් කබ්රාල් මහතා වෙනස්ම මහ බැංකු අධිපතිවරයෙක් විය”

    මේ ලියුම්කරු has converted ඉන්ද්‍රජිත් Cumarswamy to ඉන්ද්‍රජිත් කුමාරසිංහ. This proves his fake claim.

    Attacks on Ravi Karunanayaka who is involved in huge scams also stopped. So are the attacks on Rishard Badudin, Assad Sally and King of Madakalapuwa Muslim region.

    What is happening ?

  2. Dilrook Says:

    Cabraal was never a central banker. He was an accountant and a businessman. Total debt disclosed by the Central Bank since 2011 does not reconcile with debt service cost. However, people felt it in their stomachs. They were not buying cooked up figures. That’s why they defeated Rajapaksas in 2015.

    However, the new regime is worse!

    We need a totally independent Central Bank. No politician should be able to appoint anyone at any government entity.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress