රැවුළ ගිණිගත් පසු සුරුට්ටු පත්තු කිරීම
Posted on August 22nd, 2019

වාගිස ප්‍රනාන්දු විසිනි.

පසුගියදා ජනාධිපතිවරයා විසින් මේවනවිටත් ඒජාපය ප්‍රමුඛ සංධානයෙන් මීළග ජනාධිපතිවරනය සදහා අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින සජිත් ප්‍රේමදාසට පොළොන්නරුවේදී චරිත සහතියක් ප්‍රසිද්ධියේ නිකුත් කෙරිනි. සජිත් ප්‍රේමදාස අවංක, දූෂණයෙන් තොර කාර්යශූර ඇමතිවරයෙක් ලෙස සහතික කරමින් නිකුත් කල ඒ චරිත සහතිකය සමගම, සජිත් ප්‍රේමදාස ලංකාවේ මීළග ජනාධිපතිවුවහොත් වත්මන් ජනාධිපති සිරිසේනට මීළග රජයේ අගමැතිධුරය හිමිවේද යන්න සම්බන්ධයෙන් දේශපාලන කතා බහක් රට පුරා පැතිරයන්නට විය.

ඊයේ විපක්ෂයේ එක්සත් ජනතා සංධානයේ පාර්ලිමෙන්තු මංත්‍රීවරයෙකුවන ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූයේ ඒජාපය ප්‍රමුඛ සංධානයේ මීළග ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ කතානායක කරූ ජයසූරිය බවයි. එයට සූදානම්වීම සදහා කරූ ජයසූරිය ඒජාපයේ ප්‍රමුඛත්වයෙන් බිහිවීමට නියමිත සංධානයේ මූළික කටයුතු අවසන්වීමත් සමගම කතානායකධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවත් අබේවර්ධන මංත්‍රීවරයා පැවසීය.

මේ අතර, මීට දින කීපයකට පෙර කරූ ජයසූරියගේ බෑනාවන ඒජාපයේ ඇමතිවරයෙකුවන නවීන් දිසානායක විසින් පළාත් සභාවලට ඉඩම් හා පොළිස් බලතලද ලබා දිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලේත් තම මාමන්ඩිය කෙරෙහි උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ වැඩි අවධානය ලබා ගැනීමටද විය හැක.

කෙසේවුවත් ඒජාපය ප්‍රමුඛ සංධානයෙන් තම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම දිනෙන් දින කල් යන බව පෙනෙන්නට ඇත. එම නිසාම රට පුරා විශාල වශයෙන් එක් එක් පුද්ගලයින්ගේ නම් ජනාධ්පතිවරණ අපේක්ෂකයා ලෙස සම්බන්ධකරමින් කටකතාද පැතිර යමින් පවතී. තවද, සජිත් ප්‍රේමදාසට පක්ෂ පිළ මෙන්ම සජිත් ප්‍රේමදාසට එරෙහි පිළද වෙන වෙනම සාකච්චා පවත්වමින් සිටී. දෙපිලේ ඇතැම් අය එකට එක්ව කෙරුනු සාකච්චා මේ දක්වා අවසන්වූයේ කිසිදු එකගතාවයකින් තොරව වීමද විශේෂයකි. මීට අමතරව, රටපුරා සජිත් ප්‍රේමදාසව ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාරද සංවිධාන වෙමින් පවතී.

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වීම සදහා තමන්ට පක්ෂයේ නායකත්වයද ලැබිය යුතු බවට සජිත් ප්‍රේමදාස විසින් ඉල්ලිමක් කර ඇති බවද ස්ථිර නොකළ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. මේ දක්වා අගමැති රනිල් වික්‍රමසිංහට හිතවත් පිළේ සිටි මළික් සමරවික්‍රම සහ මංගල සමරවීරද දැන් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනීසිටීමද පුදුමය දනවන සුළුය. එමනිසා ඒජාප කෘත්‍යාධිකාරී මංඩලය තුල කෙසේවෙතත් ඒජාප පාර්ලිමෙන්තු මංත්‍රී කංඩායම තුල සජිත් පිළ බලවත්ව ඇත.මේ සියල්ල මෙසේ සිදුවෙද්දී  පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කව්රුන්වුවත් පක්ෂයේ නායකත්වය තමන්වෙත තවදුරටත් තබා ගැනීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ දැඩි උත්සාහයක නිරතවන බවද පෙනෙන්නට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහගේ ඒකායන අරමුණ කව්රු මීලග ජනාධිපතිවුවත්, ඉන් අනතුරුව බිහිවන නව රජයේත් අගමැතිධුරය සහ ඒජාපයේ පක්ෂනායකත්වය දිගින් දිගටම තමන්වෙත තබා ගැනීමය. ඒවෙනුවෙන් තමන් වෙත ඇති සියළුම තුරුම්පු ඉදිරියේදී අගමැතිවරයා විසින් එකිනෙක පාවිච්චි කරනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එහි නායකයාවන අනුර කුමාර දිසානායකම ඉදිරිපත්වීම නිසා එම පක්ෂයේ ඡංද පදනම මෙවර තම පක්ෂයේ අපේක්ෂකයාගෙන් පිට යනු ඇතැයි සිතිය නොහැක. මන්ද? එසේවුවහොත් එය පක්ෂ නායකයාගේ  සහ පක්ෂයේ ප්‍රතිරූපයට බොහෝ සෙයින් ඍණාත්මකව බලපාන බැවිනි.

මෙවන් දේශපාලන වටපිටාවක, ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාසට චරිත සහතික නිකුත් කිරීමද ඒජාපයේ ඇවිළෙන ගින්නට පිදුරු දෑමීමක් සේය. එසේ කිරීමට හේතුව සජිත් ප්‍රේමදාසට එවන් දේශපාලන තල්ලුවක් ලබාදී ඉන් අනතුරුව ඔහු හරහා තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමටද නොඑසේනම් සජිත්ව පිම්බීම මගින් ඒජාපය දෙකඩ කර එහි වාසිය මීළග ජනාධිපතිවරණයේදී රාජපක්ෂලා වෙත ලබා දීමටද යන්න ගැන දැන්ම අනාවැකි පළ කල නොහැක.

මේ අතර ඒජාපයේ පාර්ලිමෙන්තු මංත්‍රී කංඩායම සහ කෘත්‍යාධිකාරී මංඩලය එකම අවස්ථාවක රැස්කර තම ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම කලයුතු බව පක්ෂයේ මංත්‍රීවරුන්ගේ වැඩි දෙනාගේ අදහසබව පක්ෂනායක රනිල් වික්‍රමසිංහට ලිඛිතවම දැනුම්දී ඇතත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැඩි නිහඩ පිළිවෙතකි. සුලි කුණාටුවකට පෙරද මෙවැනි නිහඩතාවයක් ඇතිවන බව අපි දනිමු.

මේ අතර, ඒජාපය ප්‍රමුඛ සංධානයට එක්වීමට සිටින අනෙකුත් පක්ෂ පවසන්නේ ඒජාපය තුල තිබෙන අර්බුදය මුලින්ම විසදාගතයුතු බවකි. මුස්ලිම් කොන්ග්‍රසය පවසන්නේ මීළග ජනාධිපතිවරණය සදහා සියළු අපේක්ෂකයින් නම් කල පසුව තමන්ගේ සහයෝගය හිමිවන්නේ කාටද යන්න තීරණය කරන බවකි.

කොටින්ම කියනවානම් ඒජාපයේ රැවුළට ගිණි ඇවිළී ඇත. ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සංධානය මේ උත්සාහ කරන්නේ එම ගින්නෙන් සුරුට්ටු පත්තු කරන්නද?

2 Responses to “රැවුළ ගිණිගත් පසු සුරුට්ටු පත්තු කිරීම”

  1. dhane Says:

    ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සංධානය මේ උත්සාහ කරන්නේ එම ගින්නෙන් සුරුට්ටු පත්තු කරන්නද? No they are the Terminators of Sri Lanka. Let throw all these 225+1 into dust bin and form new era under Nagananda & Rohan with the assistance of Sarvodaya.

  2. Randeniyage Says:

    රනිල් කෙතරම් දේශද්‍රෝහියෙක් වුවත්, සිරිසේන ඔහුගෙන් පලිගැනීමට ගොස් ( හෝ ප්ලෑන් කිරීමෙන්) විශාල ජනසංහාරයක් සිදුවීමට හැරියේය​. අවුරුදු 4ක් අන්ත දේශද්‍රෝහියෙක් ලෙස හැසිරුන ඔහුව පසු ගිය මාස කිහිපයේ හැසිරීමෙන් මැනිය නොහැක​.

    Rohan is also a “Pallewaate Gamarala” with bad DNA.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress