කුවේට්‌ ගිය කාන්තාවෝ හිස්‌ අතින්ම ගෙදර එති…. මාස හයක්‌ එක දිගට ගුටි කකා වැඩ කළා…. ගෙවල් හයක වැඩ කළා කනවට බොනවටත‍් ගහනවා…
Posted on August 24th, 2019

 කටුනායක – ටී.කේ.ජී.කපිල 

* ගිහිල්ලා දුක්‌ විඳින්න එපා සම්බෝලයි බතුයි කාල හරි ළමයි එක්‌ක ජීවත් වෙන්න – මාතලේ ධම්මිකා 
 * ස්‌වයං රැකියාවක්‌ කරල හරි ලංකාවේ ජීවත් වෙන්න  – කුරුණෑගල නිරෝෂා 


 කුවේට්‌ රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස්‌ සිටියදී, එම නිවෙස්‌වලින් විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්‌ වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 60 දෙනෙකු, එරට සිට ඊයේ 22 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
 
 මෙම පිරිස 22 දින උදෑසන 6.40 ට කුවේට්‌ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත එවා තිබුණි.

වැටුප් සහ ආහාර නොලැබීම, උදෑසන සිට රාත්‍රී වනතුරු වැඩ ගැනීම, පහර දීම්වලට ලක්‌ වීම සහ විවිධ වධ හිංසාවලට ලක්‌වූවන් පිරිසක්‌ මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබුණි.
 
 ඔවුන් තම අසීරුතා තවදුරටත් දරා ගත නොහැකිව, තමන් සේවය කරමින් සිටි නිවෙස්‌ වලින් පැන ගොස්‌ , කුවේට්‌ රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ “සුරක්‌ෂා” 
 
 රැඳවුම් මධ්‍යස්‌ථානයේ රඳවා තබා සිටි කාන්තාවන් පිරිසකි.
 
 මෙම පිරිස අතර සිටි ගාල්ල ප්‍රදේශයේ පදිංචි නන්දාවතී මහත්මිය මෙසේ අදහස්‌ දැක්‌වූවාය . 
 
 මම කුවේට්‌ ගිහිල්ලා අවුරුදු එක හමාරක්‌ වෙනවා. මම එහෙ ගෙවල් 06 ක වැඩ කළා.
 
 මම එක ගෙදරකින් ගහන කොට බනින කොට ඒජන්සියට දන්වනවා.
 
 එතකොට මාව වෙනත් ගෙදරකට දානවා. ඒ ගෙදර උදවිය මට දීපු පඩි සල්ලි උදුරා ගන්නවා. පස්‌සෙ මට ගහන්න බනින්න පටන් ගන්නවා. ඉතිං මම ඒජන්සියට කියපුවහම තවත් ගෙදරක වැඩට දානවා. 
 
 ඒ අයත් මගේ පඩි සල්ලි උදුරාගෙන මට ගගහ වැඩ ගන්නවා.
 
 පස්‌සෙ මාව සෞදි අරාබියේ ගෙදරකත් වැඩට දැම්මා. ඒ අයත් මට දීල තිබුණ පඩි සල්ලි උදුරාගෙන ගැහුවා.
 
 පස්‌සෙ මාව ආයෙත් කුවේට්‌වල වැඩට දැම්ම.
 
 ඒ හැම ගේකම කනවට බොනවට බනිනවා ගහනවා.
 
 දැන් මට අඳින්න ඇඳුමක්‌ වත් නැහැ .
 
 මීළඟ කතා කළේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි චම්පිකා පණ්‌ඩිත මහත්මියයි.
 
 මට ළමයි තුන් දෙනෙක්‌ ඉන්නවා.
 
 මම කුවේට්‌ ගියේ 2017.09.09 දිනයි. මාව කුවේට්‌වල ළමයි බලන්න කියලයි අරං ගියේ. නමුත් මට එහෙදි බලන්න වුණේ සත්තු.
 
 ඒ ගෙදර කුකුල්ලු , බැටලුවෝ ඇති කරනවා.
 
 මට හැමදාම කන්න දුන්නෙ තක්‌කාලි හොදියි, බතුයි.
 
 මම බැරිම තැන, දවසක්‌ ඒ ගෙදරින් පාන්දර 3.00 ට විතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැනල ගියා.
 
 මම ලංකාවේ කාන්තාවන්ට කියන්නෙ , කුවේට්‌ ගිහිං දුක්‌ විදින්න යන්න එපා. තමන්ගේ ළමයි එක්‌ක තියෙන විදියට සම්බෝලයි, බතුයි කාල හරි ජීවත් වෙන්න. කියලයි.
 
 කුවේට්‌ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් 160 ක්‌ පමණ ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් 
 
 රැඳිලා ඉන්නවා. යෑයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
 නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඩී.එම්. සන්ධ්‍යා කුමාරි මහත්මිය ඊළඟට අදහස්‌ දැක්‌වූවාය.
 
 මට ළමයි 02 ක්‌ ඉන්නවා .
 
 මාව කුවේට්‌වලට යෑව්වෙ කුරුණෑගල තියෙන ග්‍රීන් වේ ඒජන්සි කියන සුප්‍රසිද්ධ ආයතනයෙන්. මට ඒ ගෙදරින් ගැහුවා. මේ මූණෙ තියෙන ගෙඩිය එක්‌ක තියෙන තුවාලෙ ඒක.
 
 මම මාස 05 ක්‌ ඒ ගෙදර ගුටි කකා වැඩ කළා. ඒජන්සියට කතා කළා . ඒජන්සියෙන් කිව්වා අපි ඔයාව කුවේට්‌වලට යෑව්වෙ නෑ කියල. 
 
 පස්‌සෙ මම කුවේට්‌වල තියෙන ඒජන්සියට කතා කළා. ඒ අයත් ගණන් ගත්තෙ නැහැ . මග ඇරියා. බැරිම තැන මම කුවේට්‌වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැනලා ගියා. එතැනින් අද මාව යළිත් ලංකාවට එව්වා. 
 
 මම කුරුණෑගල නිරෝෂා සුදර්ශනී . මගේ වයස අවුරුදු 23 යි. මම කුවේට්‌වලට ගියේ 2018.10.23 වැනිදා .
 
 මාව අඳුනන කෙනෙක්‌ තමයි මාව කුවේට්‌වලට යෑව්වෙ. මාව කුවේට්‌වල සැළුන් එකක වැඩට කියලයි යෑව්වෙ .
 
 ඒත් ඒක බොරුවක්‌ . එහෙ මාව දැම්මෙ ගෙදරක වැඩට. ඒක තට්‌ටු තුනේ ගෙයක්‌. මට ලංකාවෙදී කිව්වෙ මාසෙකට කුවේට්‌ ඩිනාර් 110 ක්‌ දෙනවා කියලා. ඒත් ඇත්තටම මට දුන්නෙ කුවේට්‌ ඩිනාර් 90 යි .
 
 මම උදේ 6.00 ට නැගිටින්න ඕන. නිදා ගන්න වෙලාවක්‌ නැහැ . පාන්දර 3.00 හෝ 4.00 වෙනකං වැඩ කරන්න ඕනෑ.
 
 ළමයින්ගෙ වැඩ. ගෙදර අයට ආහාර හදන්න ඕනෑ. කෙළවරක්‌ නැති වැඩ. මට කෑම කන්නවත් වෙලාවක්‌ නැහැ .
 
 මම බැරිම තැන ඒ ගෙදරින් පැනල තානාපති කාර්යාලයට ගියා. මම කියන්නෙ , මේ රටේ කවුරුත් කාන්තාවන් කුවේට්‌ නම් යන්න එපා.
 
 ලංකාවේ ජීවත් වෙන්න බැරිම නම් ස්‌වයං රැකියාවක්‌ හෝ කරල ජීවත් වෙන්න කියලයි. ඇය පැවසුවාය.
 
 මෙම කාන්තාවන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මගින් ලබා දෙන බස්‌ වියදම් ලබාගෙන, තම ගම් බිම් බලා පිටත්ව ගියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress