මෙහෙමයි වුනේ – (හයවැනි කොටස)
Posted on September 7th, 2019

චාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජේ. ආර්. මහත්තයා සිරි ලංකාව බාරගන්න වෙලාව වෙද්දි මට වයස අවුරුදු අටක්වත් වෙලා නෑ. ඒ සිද්දිය ගැන වැඩි අවබෝධයක් අපිට තිබුණෙත් නෑ. 1977 ඡන්දෙට කලින් නිල්දණ‍්ඩාහින්නේ තිබුණු රැස්වීමට ගිය විත්තියයි, ඡන්දේ දවසේ හා හා පුරාවට තුවක්කුවක් දැකපු සිද්දියයි, ඡන්දෙන් පස්සේ හරස්බැද්ද පන්සලට පල්ලෙහා මාන කැලේ හැංගිලා හිටපු සිද්දියයි විතරයි මට මතක. ඒ කාරණා ගැන මීට කලින් කිව්වා. ඒ කාලේ අපේ ගෙදර රේඩියෝවක් තිබ්බ බවක්වත් මට මතක නෑ.

ඡන්දෙන් පස්සේ හරස්බැද්දේ ගුරු නිවාසේ අත ඇරලා අපි දර්පනාහෙළපතනේ පදිංචියට ගියා. තාත්තාව පඬුවස්නුවර මගුලාගමට මාරු කරලා තිබුණා. මාස කීපයකට පස්සේ අපිත් මගුලාගමට ආවා. ලොරියක පිටිපස්සේ දාපු මේට්ටයක වාඩිවෙලා ඒ ආපු ගමන ගැන නම් යන්තමින් මතක් කරගන්න මට පුළුවන්. ඒ ලොරිය මගුලාගම තාත්තා නැවතිලා හිටිය මුදලාලිලාගේ ගෙදර එකක්. බඩු පටවාගෙන යන දවසේ ඒක නැවැත්තුවේ දර්පනාහෙළපතනට පහළ මහ පාරේ. තාත්තායි, බාප්පයි, පියදාස මාමායි, තව දන්න කියන අයයි එකතුවෙලා බඩු මුට්ටු කරෙන් පහළට ගෙනාවා. පොඩි පොඩි දේවල් අපිත් පහළට ගෙනාවා. අයියායි, මමයි, නංගිව වඩාගත්ත අම්මායි වාඩි වුනේ බඩු අහුරලා ඉතිරිවෙච්ච ඉඩේ බිම දාපු මෙට්ටයක් උඩ. පිටත්වෙලා පැයක හමාරක ගමනකින් පස්සේ දෙණිකෙට ඇවිල්ලා ලොකු අම්මලා ගෙදරින් දවල්ට කෑවා. ඊට පස්සේ තමයි මගුලාගමට එන මහා දිග ගමන පටන් ගත්තේ.

ඒ ගමන ගැන නම් කිසිම මතකයක් මට නෑ. අපි මහන්සියට ම නිදාගන්න ඇති. ඒක කොහොමත් පැය ගානක ගමනක්නේ. ඉතින් මහ රෑ වෙද්දි මගුලාගමට ආපු විදිහවත් බඩු මුට්ටු බාගත්ත විදිහවත් කියන්න විදිහක් මට නෑ. මේ ගමන එද්දි අපේ ගෙදර තිබුණු සෝපා වගේ දේවල් විකුණලා ආපු බව නම් මම දන්නවා. මගුලාගම පැත්තේ මිනිස්සු ඒ වගේ බඩු මුට්ටු ගැන තකන්නේ නැති බවක් තමයි තාත්තා කියලා තිබුණේ. කොහොම හරි අපි මගුලාගමට එද්දි අපිට තිබුණේ ඇඳන් දෙක තුනකුයි, අල්මාරියකුයි, තාත්තාගේ පොත් දාපු කැබිනට් එකයි, පිඟන් බඩු දාපු ෂෝ කේෂ් එකයි, පුටු හතරක් තිබුණු කෑම මේසයකුයි විතරයි. තව තව ආම්පන්න මහ ගොඩකුයි, වළං මුට්ටි, කොරස්, කළගෙඩි, වංගෙඩිය, කුරහන් ගල, මෝල් ගස් වගේ ඒවායි නම් කොහොමටත් තිබුණා.

කොහොම කොහොම හරි ඒ විදිහට අපේ ජීවිතවලට අලුත් කාල පරිච්ඡේදයක් උදාවුනා. ඒ සම්බන්ධයෙන් ජේ. ආර්. මහත්තයාටයි, රේණුකා හේරත් නෝනාටයි අපි පින් දෙන්න ඕන. කුරුණෑගල කියලා කියන්නේ කිසි අඩුවක් පාඩුවක් නැති පළාතක්. ඕන ගෙදරකට වාහනයකින් යන්න පුළුවන් තරමට පොළොව හොඳයි. ලංකාවේ වැඩි පුර ම ඉස්කෝල තියෙන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඉතින් වලපනේ වගේ දුෂ්කර පළාතක ඉඳලා කුරුණෑගල වගේ පහසුකම් තියෙන සැප පහසු පළාතකට එන්න ලැබුණේ අපේ පෙර පිනකට කියලා කියන්න පුළුවන්.

මේ වෙද්දි අපිට රේඩියෝ එකක් තිබුණා. ඒක උපාලි සමාගම ලංකාවේ හදපු යුනික් රේඩියෝ එකක්. ඒකට අහුවෙන්නේ කෙටි තරංගයි මධ්‍යම තරංගයි විතරයි. ඒක ඉතින් ඒ කාලේ හැම රේඩියෝවකට අදාළ කතාවක්. මේ එෆ් එම් සෙල්ලම පටන් ගත්තේ 1993 – 94 දී විතරනේ. ඒ රේඩියෝ එක වැඩ කළේ බැටරි කෑලි තුනක බලයෙන්. ඒ බැටරි නිතර නිතර (මගේ කල්පනාවේ හැටියට මාසයකට දෙකකට වතාවක්) මාරු කරන්න සිද්දවුනා. හුඟක් වෙලාවට ඒකට දැම්මේ ලක්‍ෂපාන බැටරි. කලාතුරකින් එවරෙඩි බැටරි දාපු අවස්ථාත් තිබුණා.

ඒ වෙද්දි අපේ ගෙදරට මිහිර” පත්තරේ ගන්නවා. අපි පත්තරේ ගන්න ගියේ ගෙවල් කිට්ටුව තිබුණු බස්තියන් මුදලාලිගේ කඩේට. සඳුදා උදේ ම බස්තියන් මුදලාලිගේ කඩේට යන මම මිහිර” පත්තරේ ඉල්ලනවා. ඒ වෙලාවට පත්තරේ අතට ගන්න මුදලාලි ඒකේ පිටු එකින් එක හෙමින් හෙමින් පෙරලලා තමයි ඒක මට දෙන්නේ. මමත් ගෙදර එන්නේ කඩේ ඉඳලා ම එක දිගට ඒක දිග ඇර ඇර බල බලා. ඉතින් මේ සෙල්ල්ම් ඔක්කොම ඉවර වෙලා ආපහු ගෙදරට ගොඩ වෙද්දි විනාඩි දහයක් විතර වැඩියෙන් ගතවෙලා. ගෙට ගොඩ වෙද්දි මෙච්චර වෙලා මොකද කළේ?” කියලා අම්මා අහනවා. බස් තියන් පයින් යනවානේ” කියලා මම උත්තර දෙනවා. වැඩිහිටියන්ට ගරු නම්බු දීලා කතාකරන්න පුරුදු වෙයන්” කියලා අම්මා බනිනවා.

ඕවා ඉතින් ඔහොම තමයි.

මිහිර” පත්තරෙන් අපි සෑහෙන දැනුමක් ලබාගත්තා. ඒ ඔක්කොටමත් වඩා අපි කැමැත්තෙන් හිටියේ ඇස්. ඒ. දිසානායක මහත්තයාගේ චිත්‍රකතා රස විඳින්න. බූ බබා, පුංචිත්තා, බටකොළ ආච්චි, තුල්සි, යෝධයා සහ පඬිතුමා වගේ චරිත ගැන අපිට අද වුනත් කතා කරන්න පුළුවන්. යෝධයා සහ පඬිතුමා කතාව තරමක් වෙනස් එකක්. ඒක රූප කොටු තුනකට සීමා වෙච්ච පොඩි එකක්. එක සතියකට එක කතාවයි. ඒ කතාවේ මතු සම්බන්ධයක් නෑ. ඒකාංගිකයි. පුංචියි- ලස්සනයි. එක කතාවක පඬිතුමා යෝධයාට කියනවා කඩේ ලෑලි ටික අරින්න කියලා. ඒක පොහොර කඩයක්. පොහොර වෙළෙඳසල” කියලා පැත්තේ බිත්තියේ ලියලා තියෙනවා. යෝධයා ලෑලි ටික තියන්නේ පො” අකුර වැහෙන විදිහට!

මහ පත්තර වුනත් ඒ දවස්වල අද වගේ ඕසෙට තිබුණේ නෑ. ලේක්හවුස් එකෙන් පළ කරපු සිළුමිණ”, දිනමිණ” පත්තරවලට අමතරව ස්වාධීන පුවත්පත් සමාගම පළ කරපු දවස”, රිවිරැස” පත්තර විතරයි තිබුණේ. ඇත්ත” වගේ දේශපාලන පත්තරත් තිබුණා. පස්සේ කාලෙක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් දිනකර” පත්තරේ පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙදරට ගෙනාවේ රිවිරැස” පත්තරේ. ඉරිදාට පළ කරපු ඒ පත්තරේ තිබ්බ ගොඩක් කරුණු කාරණා ගැන මට නම් එච්චර නිනව්වක් නෑ. හැබැයි ගුරු – ගෝල වෙනස හොයන තරගය ගැන නම් මට හොඳට මතකයි.

ස්වාධීන පුවත්පත් සමාගමෙන් ශ්‍රී සඟරාව” කියලා එකක් පළ කළා. ඒක පිටු සෑහෙන ප්‍රමාණයක් තිබුණු දිගැටි හතරැස් එකක්. අම්මා තමයි ඒක ගත්තේ. එක එක මැහුම් මෝස්තර ගැන, කෑම හදන ක්‍රම ගැන ඒ සඟරාවේ තිබුණු බව මට මතකයි.

ඒ කාලේ අද වගේ පත්තර කෙළ කෝටියක් තිබ්බ නැති හින්දා අපි ඔය මොන පත්තරේ වුනත් කියවනවා. ඒවායේ තියෙන හැම අකුරක් ම කියෙව්වා කීවොත් ඒක බොරුවක් නෙවෙයි. ඕවා කියවන්න අපිට ඕන තරම් වෙලාවත් තිබුණා. ටියුෂන් යනවා කියලා සෙල්ලමක් තිබුණෙත් නෑනේ.

පත්තරේ ඇරුණා ම අපිට තොරතුරු දැනගන්න විනෝද වෙන්න තිබුණු මාධ්‍ය තමයි ආණ්ඩුවේ රේඩියෝ එක. අපි පොඩි කාලේ තිබුණේ කොළඹ ඉඳලා විකාශය කළ මහ සේවා දෙක විතරයි. ඒවාට ඒ දවස්වල කිව්වේ පළමුවැනි සේවය” සහ දෙවැනි සේවය” කියලා. පළමුවැනි සේවයේ කවදාවත් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නෑ. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළේ දෙවැනි සේවයේ විතරයි. දැන් ඒ දෙකට කියන්නේ ස්වදේශීය සේවය” සහ වෙළෙඳ සේවය” කියලානේ.

අද වගේ තොරතුරු ඉස්මුරුත්තාවක් නොතිබුණු හින්දා ඒ දවස්වල රේඩියෝ එකෙන් අහපු වැඩසටහන් අදටත් අමතක කරන්න අමාරුයි. ජේ. ආර්. මහත්තයා ලංකාව භාරගත්තාට පස්සේ රේඩියෝ එකේ ප්‍රවෘත්ති යන්න කලින් ප්‍රචාරය කරන වාදනය වෙනස් කරලා තිබුණේ ඇට දෙන්න බැරි හින්දා – පිටි දුන්නා රොටි කන්න” කියන තාලයට. ධාන්‍ය රාත්තල් අටක් සතියකට වතාවක් දෙන්න ජේ. ආර්. මහත්තයා 77 මැතිවරණයේ දී පොරොන්දු වෙලා තිබුණා. මේක ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඇට අටේ පොරොන්දුව” කියලා. ඒත් ඡන්දේ දිනපු ගමන් ඒ මහත්තයා කරලා තිබුණේ ඇට දෙන එක නෙවෙයි. පාන් පිටි දෙන එක. ඉතින් ප්‍රවෘත්ති විකාශයට කලින් වාදනය කරපු තේමාවට මිනිස්සු වචන එකතු කළේ ඒ වැඩේ ප්‍රකාශ වෙන විදිහට.

රේඩියෝ එකේ වැඩසටහන්වලින් ලංකාවේ හිටිය හැමෝම වගේ අහපු නාට්‍යයක් තමයි මුවන්පැලැස්ස. මොන වැඩේ තිබුණත් (ඇත්තෙන් ම අපිට එහෙමකට කියලා වැඩ තිබුණේ නෑ) සඳුදා රෑ අට හමාරට අපි මුවන්පැලැස්ස අහනවා. කදිරා, පිනා, ගුරුන්නාන්සේ මාමා, කෝරළේ මහත්තයා, මැණිකේ කියන නම් විතරක් නෙවෙයි ඒ චරිතවලට පණ දීපු වික්ටර් මිගෙල්, ගැමුණු විජේසූරිය, විජේරත්න වරකාගොඩ, රත්නාවලී කැකැණවෙල කියන නම් පවා අපි කාටත් ගෙදර අයගේ නම් තරමට ම හුරුයි.

මුවන්පැලැස්සට අට හමාරට පටන්ගත්තත් ඊට විනාඩි පහළොවකට කලින් අපි රේඩියෝ එක දානවා. ජා-ඇල බෙහෙත් ශාලාවේ ජිනපාල ද සිල්වා වෙද මහත්තයා කියන දේවල් අහන්න තමයි අපි ඒ වෙලාවට රේඩියෝ එක දාන්නේ. එක එක අසන්නෝ තමන්ගේ ලෙඩ රෝග ගැන කියලා වෙද මහත්තයාට එවන ලියුම්වලින් උපදෙස් ඉල්ලනවා. නිවේදිකාව එක ලියුමක් කියෙව්වාම වෙද මහත්තයා උත්තර දෙනවා. ඔබට වැළැඳී ඇත්තේ වාතයත් පිතත් කෝප වීමෙන් ඉස්මතු වූ රෝගී තත්ත්වයකි. රාත්‍රියට නෑම, පිනිබෑම අගුණයි. උෂ්ණාධික ආහාර ගන්න එපා. මනා රෝග පරීක්‍ෂාවකින් පසුව ප්‍රතිකාර කර මෙම රෝගී තත්ත්වය නිට්ටාවට ම සුවපත් කළ හැකියි”. මෙන්න මේ වගේ උත්තර තමයි වෙද මහත්තයා දෙන්නේ. ඒක අපිට විනෝදය සපයපු වැඩසටහනක් මිසක් සෞඛ්‍ය වැඩසටහනක් නෙවෙයි.

තුසිත මලලසේකර මහත්තයා මෙහෙයවපු සෞඛ්‍ය වැඩසටහනකුත් තිබුණා. ඒක ප්‍රචාරය වුනේ රෑ හත හමාරට විතර. හැබැයි අපේ අම්මා අපිට ඒක අහන්න දෙන්නේ නෑ. ඔය ලෙඩ ගැන බහුභූත ඔළුවේ පුරවා ගන්න එපා” කියලා අම්මා කියනවා. ඉතින් මම අදටවත් පත්තරවල යන කිසිම සෞඛ්‍ය පිටුවක් කියවන්නේ නෑ. සෙනසුරාදා රෑ හත හමාරට ප්‍රචාරය වුනු චන්ද්‍ර මඬුළු යට” වැඩසටහන අපි බොහොම කැමැත්තෙන් අහපු එකක්. ඒක ඉදිරිපත් කළේ සමන් අතාවුදහෙට්ටි. අපිට ඉගෙන ගන්න හුඟාක් දේවල් ඒ වැඩසටහනේ තිබුණා. සමන් අයියාගේ කට හඬත් හරි ම විශේෂ එකක්නේ!

ඉරිදා රෑ අට හමාරට ප්‍රචාරය කරපු මොණරතැන්න” නාට්‍යයත් අපි වරද්දන්නේ නැතුව ඇහුවා. ඒත් ඒ නාට්‍යයේ විස්තර මොකුත් මට මතක නෑ. ඉරිදා රෑ නවය හමාරට වජිරා” කියලා නාට්‍යයකුත් ප්‍රචාරය වුනා. ඒත් මම ඒක අහලා නෑ. අදටත් රෑ නවය හමාර වෙද්දි මම නිදාගන්නේ ඒ කාලේ ඉඳලා කරගෙන ආපු පුරුද්දට. දැන් කාලේ මිනිස්සු මහ රෑ වෙන කල් ඇහැරගෙන මොන මඟුලක් කරනවා ද කියලා මට අදටවත් හිතාගන්න බෑ. මිනිස්සු වුනා ම කලින් නිදාගෙන කලින් අවදි වෙන්න ඕන කියලා තමයි අපිට පුරුදු කරලා තියෙන්නේ.

රෑ හතයි හතළිස් පහට ප්‍රචාරය කරන විනෝද සමය” වැඩසටහනත් අපි හැම කෙනෙක් ම වගේ අහනවා. සැමුවෙල් රුද්‍රිගු, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණසේකර කියන නම් තුන දන්නේ නැති කෙනෙක් ඒ කාලේ මේ සිරි ලංකාවේ හිටියේ නෑ. ඒ තුන් දෙනාට තිබුණු ලොකු ම හපන්කම තමයි කුණුහරුප කියන්නේ නැතුව මිනිස්සු හිනස්සන්න පුළුවන් වීම. දැන් කාලේ ඉන්න හුඟක් අය දන්නේ දෙපැත්ත කැපෙන කුණුහරුප කියලා මිනිස්සු හිනස්සවන්න විතරයි.

බදාදා රෑ අටටයි, ඉරිදා උදේ අටටයි බණ ප්‍රචාරය කරනවා. අවුරුදු දහයේ දොළහේ පොඩි එවුන් වුනාට අපිත් හොඳට ඒ බණ අහනවා. මම වැඩියෙන් ම කැමැති වෙලා හිටියේ කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ දේශනා කරන බණ අහන්න. ඒ දේශනාවල පුදුමාකාර පණක් ඇතුළත් වෙච්ච අපූරු ලාලිත්‍යයක් තිබුණා කියන එක තමයි මගේ අදහස. ඉතින් මහ පිපාසයකින් ඉන්න කෙනෙක් වතුර බොනවා වගේ සම්පූර්ණ අවධානය ම යොමු කරලා උන්වහන්සේගේ බණ අහන පුරුද්දක් මට තිබුණා.

මගේ මතකයේ හැටියට සෙනසුරාදා දවල් දොළහමාරට ප්‍රචාරය වුනේ බයිලා. ඉරිදා දවල් දොළහමාරට ප්‍රචාරය වුනේ පැරැණි රසාංග. සතියේ දවස්වල දවල්ට ඉස්කෝලේ යන හින්දා රේඩියෝ අහන්න පුළුවන්කමක් අපිට තිබුණේ නෑ. නිතර නිතර අසන්නන්ගේ ඉල්ලීම්” කියලා වැඩසටහනකුත් ප්‍රචාරය වුනා. ඒ දවස්වල හැම දා ම වගේ අහන්න ලැබුණේ මගුලාගම මල්ලිකා දිසානායක” ගාමා ගාමිණි සුබසිංහ” වගේ අය ගීත ඉල්ලන බවක් තමයි. මේ මගුලාගම කියන්නේ අපි පදිංචි වෙලා හිටිය පඬුවස්නුවර මගුලාගම නෙවෙයි. ඒ රසිකාවිය හිටියේ පාදෙණිය පැත්තේ තියෙන මගුලාගම.

කොහොම කොහොම හරි මේ හැම දෙයක් ම අපේ ඔළුවල රැඳිලා තියෙන්නේ ගලේ කෙටුවා වගේ තමයි. තොරතුරු ඉස්මුරුත්තාවක් තියෙන මේ කාලේ ඒ වැඩේ කරන්න බෑ. පොඩ්ඩකට කලින් අහපු, කියවපු දේ දැන් මතක නෑ. හැම එකෙන් ම ටික ටික උඩින් පල්ලෙන් කියවන, අහන හින්දා දැන් කාලේ අපි හෝන්දු මාන්දු වෙලා ඉන්නේ. තොරතුරු වැඩි වුනා ම මිනිස්සුන්ගේ තීරණ ගැනීමේ හැකියාවත් මොට්ට වෙනවා. ඉතින් දැන් කාලේ මිනිස්සු ඉවරයක් නැතුව ඔලමොට්ටල වැඩ කරන එකට දොස් කියන එකත් හරි වැඩක් නෙවෙයි. මේක අපි හැම දෙනාට ම වැළඳිලා තියෙන බරපතල රෝගයක්.

හොඳ ශ්‍රී ලංකාකාරයෙක් වෙච්ච තාත්තා නිතර නිතර ගෙනාපු විකල්ප පත්තර ගොන්නට අයිති වුනේ ඇත්ත”, දිනකර” වගේ ඒවා. ජේ. ආර්. මහත්තයා නිතර නිතර පත්තර වාරණය කරන වැඩෙත් කළා. ඉතින් පත්තරවල මහ පදාස විදිහට හිස් තැන් තිබුණා. ඒවා හරහාට නිසි බලධාරයා විසින් කපා හරින ලදී” කියන වචන ටික මුද්‍රණය කරලා තිබුණා. ඇත්ත” පත්තරේ නම් ඒකත් නිර්මාණාත්මක විදිහට ටිකක් සැර පරුෂ විදිහට ප්‍රකාශ කළා.

1982 අවුරුද්දේ දිවයින” පත්තරේ පටන් ගත්තා. ඒක වෙනස් ම ආකාරයක පත්තරයක්. මුදුණය කරලා තිබුණෙත් අමුතු විදිහට. ලිතෝ ක්‍රමයට මුද්‍රණය කරපු හින්දා එහෙම වුන බවක් තමයි කිව්වේ. යංශය වගේ ඒවා අමුතු විදිහට තමයි අකුරුවලට එල්ලලා තිබුණේ. දයාසේන ගුණසිංහ මහත්තයා පරිවර්තනය කරපු චිනුවා අචිබිගේ කතා අපි කියෙව්වේ මහ පෙරේතකමකින්. විජේසෝම මහත්තයා ඇඳපු කාටුන් වුනත් හරි ම අපූරු ඒවා. එතුමා ඇඳපු පුංචිසිඤ්ඤෝ දවසින් දවස දුප්පත් වුනා. මැතිනියව ඇන්දේ මහ යකඩ බෝලයක් දම්වැලකින් කකුලට ගැට ගහලා.

1982 දෙසැම්බර් 22 වැනි දා පවත්වපු ජනමත විචාරණයට ලකුණු විදිහට තෝරගෙන තිබුණේ ලාම්පුව සහ කළගෙඩිය. ඒකට ලාම්පු කළගෙඩි සෙල්ලම” කියන නම පට බැඳුනෙත් ඒ හින්දා. ආණ්ඩු පක්‍ෂයේ අයට ලැබිලා තිබුණේ ලාම්පුව. ඉතින් ඉරිදා දිවයින පත්තරේ මුල් පිටුවට හීන් සැරය” කියලා පුංචි කාටුන් එකක් ඇඳපු විජේසෝම මහත්තයා මේ කාරණේ ගැන පුංචි සරදමක් කරලා තිබ්බ හැටි මට අදටත් මතකයි. ඒ කාටුන් එක ඇතුළේ එතුමා ආණ්ඩුවේ දේශපාලනඥයෙක්ව ඇඳලා තිබුණේ කළගෙඩියක් වගේ. ඔබතුමාලනේ කළ ගෙඩිය තෝරගන්න ඕන” කියන වචන ටික ඒ යටින් ලියලා තිබුණා!

උකුස්සා” කියන නමින් තීරු ලිපියකුත් දිවයින” පත්තරේ පළ වුනා. එක එක ආයතනවල සිද්ද වෙන අක්‍රමිකතා ගැන තමයි ඒ තීරු ලිපියෙන් හෙළි කළේ. දැන් ඉන්න ජනමාධ්‍යවේදියෝ ඒ විදිහට විස්තර හොය හොයා යන්නේ නෑ. වොයිස් කට් ටිකක් ගත්තාම ඔක්කොම හරි!

මේ ඔක්කොම මැද්දේ අපේ ජීවිතවලට හුඟක් බලපෑම් කරපු ගුවන්විදුලි සේවයක් පටන් ඇරගෙන තිබුණා. ඒ තමයි අනුරාධපුරේ ඉඳලා විකාශය කරපු ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය”. ඒකේ වැඩ කරපු ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා කියන්නේ අපේ පළාත්වල මිනිස්සුන්ට ගෙදර කෙනෙක් වගේ තමයි. එතුමා මුල් වෙලා නිෂ්පාදනය කරපු පිලේ පැදුර”, සංහිඳ”, සම්භාෂා” වගේ වැඩසටහන් අපි වරද්දන්නේ නැතුවම ඇහුවා. පල්ලේගම හේමරතන හාමුදුරුවෝ, නෙලුවාකන්දේ ඥානානන්ද හාමුදුරුවෝ, මහින්ද දිසානායක මහත්තයා, මහින්ද චන්ද්‍රසේකර මහත්තයා, රංජිත් රූපසිංහ මහත්තයා, රෝහණ දන්දෙණිය මහත්තයා වගේ සෑහෙන පිරිසක් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයාගේ මූලිකත්වයෙන් අපේ සමාජයට ආවා. 1986 අවුරුද්දේ අන්තිම හරියේ දවසක ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා මිය ගිහිල්ලා කියලා දැන ගත්තා ම අපි හැමෝම කම්පා වුනා. ඒ ගැන හිතද්දි දැනුත් ඇස්වලට කඳුළු පිරෙනවා.

ඔය කාලේ ම ලංකාදීප” පත්තරේ පළකරන්න පටන් ගත්තා. ඒත් ඒක අපේ ගෙදරට ගෙනාවේ නෑ. හැබැයි ඒ කොම්පැණියෙන් ගහපු විජය” පත්තරේ අපේ ගෙදරට ගත්තා. විජය” පත්තරේ හරහාත් අපිට සෑහෙන දැනුමක් ලැබුණා. ඊට අමතරව ඒ පත්තරේට පියල් උදය සමරවීර මහත්තයා ඇඳපු මල් මාමා”, මකාගේ යලක්” වගේ චිත්‍රකතා අපි කියෙව්වා.

සිත්තර”, සත්සිරි” වගේ චිත්‍රකතා පත්තරත් ඒ කලේ පළවුනා. ඒත් ඒවා බලන්න හොඳ නෑ කියන එක තමයි අපේ ගෙවල්වල තිබුණු අදහස. ඉතින් කවදාවත් ඒ වගේ පත්තර අපේ ගෙදරට ගෙනාවේ නෑ. ඒත් මාසෙකට වතාවක් කොණ්ඩේ කපා ගන්න සැලුන් එකට ගියාම අපි ඒවා කියෙව්වා. ටාසන්ලා වගේ වැල්වල යන කැලෑ වීරයන්ගේ කතා ඒ පත්තරවල තිබුණා. ඉතිං ඊට පස්සේ” කියලා සරත් මධු කියලා මහත්තයෙක් ඇඳපු චිත්‍රකතාවකුත් ඒ කාලේ බොහොම ජනප්‍රිය වෙලා තිබුණා. ගිය අවුරුද්දේ (2018 අවුරුද්දේ) ඒ මහත්තයා මිය ගිය බවක් මහරගම නාවින්න පැත්තේ ලයිට් කණුවල අලවලා තිබ්බ මරණ දැන්වීම්වලින් මම දැනගත්තා. ඒත් ඒක ප්‍රවෘත්තියක් වුනේ නෑ. දැන් කාලේ ප්‍රවෘත්ති වටිනාකමක් ලබාගන්න ඕන නම් දේශපාලනඥයෙක්ගේ බල්ලෙක්වත් වෙලාවත් උපදින්න ඕන! අපේ මාධ්‍ය කලාව දැන් ඒ තරමට ම දියුණුයි!

කොණ්ඩේ කපන සැලුන් එකේ දී චිත්‍රකතා පත්තරයක පිටුවක් දෙකක් එහෙන් මෙහෙන් බලන්න ලැබුණත් අපේ ජීවිතවලට ළංවෙන්න ඒවාට බැරිවුනා. ඒත් ප්‍රධාන පත්තරවල පළවෙච්ච චිත්‍රකතා අපි දිගට ම බැලුවා. බන්දුල හරිශ්චන්ද්‍ර මහත්තයාගේ නිර්මාණ ඒ අතරින් විශේෂයි. දිවයින පත්තරේට ඇඳපු ජනක රත්නායක මහත්තයාගේ කතාවල කල් පවතින ගුණයක් තිබුණේ නෑ කියලා මට හිතෙනවා. මේ වෙද්දි ඒවා එකක්වත් මතක් කරගන්න අමාරු ඒ හින්දා කියලයි මට හිතෙන්නේ.

කොළඹටයි, ප්‍රධාන නගරවලටයි 1982 අවුරුද්දේ රූපවාහිනිය ලැබුණාට අපේ ගම්වලට ඒක ආවේ 1983 අවුරුද්දේ අග හරියේ. කසුන්ගම කියලා හදපු උදාගමේ ගෙයක් ලැබිලා පදිංචි වෙලා හිටිය රණතුංග මහත්තයාලාගේ ගෙදරට ටී. වී. එකක් ගෙනැල්ලා කියලා ආරංචි වුනා. මගේ මතකයේ හැටියට රණතුංග මහත්තයා තමයි දඹදෙණිය සමුපකාරයේ සභාපති. නෝනා වැඩ කළේ ග්‍රාමීය බැංකුවේ. ඊට පස්සේ අපි ටී. වී. බලන්න රණතුංග මහත්තයාලාගේ ගෙදර යන්න පටන් ගත්තා. සතියකට දෙකකට දවසක් තමයි අපි එහෙ ගියේ.

හැම මාසෙ ම ඉරිදා රෑට නන්දන වින්දන” කියලා වැඩසටහනක් විකාශය කළා. අපි ඒක බලන්න ගියා. රණතුංග මහත්තයාලාගේ ගෙදර තිබුණේ අඟල් දොළහක විතර කළු සුදු රූපවාහිනියක්. ඒක කැබිනට් එකක් උඩ තියලා තිබුණේ. ඒක බලන්න එන අහළ පහළ මිනිස්සු විස්සක් තිහක් විතර පුටුවලයි, පැදුරුවලයි වාඩි වෙලා හරි ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. පොඩි එවුන් වෙච්ච අපි හැමදාම වගේ වාඩිවුනේ බිම එළලා දීපු පැදුරුවල. සතියකට දෙකකට වතාවක් විතර රෑට පෙන්නන මාතලන්”, කැලෑ හඳ” වගේ චිත්‍රපටි බලන්නත් අපි ගිහිල්ලා තියෙනවා. ඒත් ටික දවසක් යද්දි මේ විදිහට වතුවලින් පැනගෙන ගිහිල්ලා රූපවාහිනී බලන අමාරුව සනීප වුනා. ඊට පස්සේ ඒ වැඩේ අත ඇරිලා ගියා.

මෙහෙම කාලය ගතවෙද්දි විදුසර” පත්තරේ ආවා. ඒකත් අපේ ගෙදරට ගත්තා. ඒ වෙද්දි ඉරිදා දිවයින පත්තරේට අමතරව බදාදා දිවයින පත්තරේත් අපේ ගෙදරට ගන්නවා. දිවයින බදාදා අතිරේකයට ඇබ්බැහි වෙච්ච මම ඒ පත්තර ගෙඩිය පිටින් ම එකතු කරන්නත් පටන්ගත්තා. ටික දවසක් යද්දි කවුරු හරි (මම හිතන විදිහට අපේ අයියා) ඒ පත්තරවල බදාදා අතිරේකය තියෙන පිටු හතර වෙන් කරලා තියලා ඉතුරු ටික ඔක්කොම විකුණලා තිබුණා. තවත් කාලයක් යද්දි ඒ විදිහට ඉතුරු වෙච්ච ටික වේයෝ කෑවා.

ඔය වෙද්දි කල්පනා” සඟරාවත් අපේ ගෙදරට ගන්නවා. තවත් ටික කාලයක් ගත වෙද්දි රාවය” කියලා සඟරාවකුත් අපේ ගෙදරට ගන්න පටන් ගත්තා. තව ටික කාලයක් යද්දි කාලය” සඟරාවත් ගත්තා. ඒත් 1987 – 89 කාලයේ ඇතිවෙච්ච මහ කලබලත් එක්ක අපේ මාධ්‍ය ලෝකයේ එක යුගයක් අවසන් වුනා කියලා කියන්න පුළුවන්. 1990 අවුරුද්දෙන් පස්සේ මේ ඔක්කොම පුදුමාකාර විදිහට වෙනස් වෙන්න පටන් ගත්තා. ටැබ්ලොයිඩ් පත්තර, මඩ පත්තර ඉවරයක් නැතුව එන්න පටන් ගත්තා. 1993, 1994 වෙද්දි එෆ්. එම්. රේඩියෝ ආවා. පුද්ගලික රූපවාහිනී චැනලුත් පටන් ගත්තා. තවත් ටික කාලයක් යද්දි පටන් ගත්තේ අන්තර්ජාල යුගය. ඊට පස්සේ සිද්ද වෙලා තියෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

(මේ කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress