සාමණේර හිමිවරුන්ට තැලූ හොරොව්පතානේ පාපතරයා
Posted on September 14th, 2019

දඹුල්ල- කේ. කේ. ආරියදාස උපුටා ගැන්ම මව්බිම දැන්

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි විශාඛා මහා උපාසිකාව හා අනේපිඬු මහා සිටාණන් විහාරස්ථානයට පැමිණෙන විට විහාරස්ථානයේ වැඩසිටින කුඩා සාමණේර හිමිවරුන්ට රසකැවිලි, පලතුරු ආදිය රැගෙන පැමිණි බව ඉතිහාස බණ පොත්වල සඳහන්ව තිබේ. එම නිසාම විශාඛා උපාසිකාව පැමිණෙන විට කුඩා සාමණේර හිමිවරුන් සිය අම්මා පැමිණි හා සමානව ඉදිරියට ගොස් ඉතා සමීපව සිටින බවද එහි කියැවේ. ඇතැම් විට ඒ දරු සෙනෙහස උතුරා යන නිසාවෙන් සාමණේර හිමිවරුන්ගේ සිත් පුබුදු කරවීමේ අදහසින් ඇය එසේ කරන්නට වූවා විය හැකිය.

එහෙත් කුඩා සාමණේර හිමි දෙනමක් යම්කිසි කුඩා ආහාරයක් නොකියා ලබා ගත්තේ යැයි චෝදනා නඟමින් පුද්ගලයකු සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන කුඩා බුද්ධ පුත්‍රයාණන් වහන්සේ දෙනමකට ඉතා අමානුෂික ලෙස පහරදී දඬුවම් කිරීම මොන තරම් වූ පාප ක්‍රියාවක්දැයි ජනතාව වටහාගෙන හමාරය.

මෙම කතාව මතක් වූයේ රටම කම්පා වූ හොරොව්පතාන ප්‍රදේශයේ දී කුඩා සාමණේර දෙනමකට පුද්ගලයකු ඉතා අමානුෂික අන්දමට පහරදීමේ සිද්ධියත් සමඟය.

මෙවැනි වාර්තා නොවන සිද්ධි  කොපමණ ඇද්ද යන්න අපි නොදනිති. මවුපියන් දරුවකු සසුනට භාර කරන්නේ නිවන් දකින්නටය. ඇතැම් මවුපියන් පන්සලට භාර දෙන්නේ ජීවත් කරවීමටය. ඉගැන්වීමටය. කුමන අරමුණකින් ලබාදුන්නද පුංචි හාමුදුරුවෝ බුද්ධ පුත්‍රයෝය. 

පසුගිය සතියේ මේ පාපතර කතාව ජනගත විය. ඒ අනුව හොරොව්පතාන පොලිසිය සිදුකළ විමර්ශනයකින් පසුව පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පතාන  ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක්දරු පියකු වන චමින්ද ගලගොඩ නොහොත් උටියා නමින් හඳුන්වන පුද්ගලයකුය.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ තවමත් පිරිවෙන් අධ්‍යාපනය ලබන අවුරුදු 11 සහ 14 වයස් සීමාවන්වල පසුවන සාමණේර හිමිවරුන් දෙනමකි. 

ඉකුත් 07 වැනිදා දහවල් පන්සල අසල වෙළෙඳසලකට පැමිණි මෙම හිමිවරුන් දෙනම එහි අලෙවි කිරීමට තිබූ චොකලට් එකක් සහ පැණි බීම අඩංගු අසුරනයක් සොරකම් කළ බව පවසා එම පහරදීම සිදුකර ඇත. 

කෙසේ වෙතත් සැකකරු අදාළ හිමිවරුන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වෙනත් අයකු විසින් වීඩියෝගත කරනු ලැබ සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් රට පුරා විශාල විරෝධතාවක්ද මතුව තිබේ. 

හොරොව්පතාන ප්‍රදේශයේ සාමණේර හිමිවරුන් දෙනමකට අමානුෂික අන්දමින් පහරදෙන උටියා” කවුද? ඔහු කුමක් කරන්නේද?  උටියාගෙ පැටිකිරිය කුමක්ද? මෙවැනි පාපතර ක්‍රියාවලියක් කරන්නට තරම් පහත් මානසික මට්ටමක් ඇතිවූයේ ඇයිද යන්න අපි මෙහිදී සොයා බැලුවෙමු.

හොරොව්පතාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටින චමින්ද ගලගොඩ නමැති මෙම පුද්ගලයා ප්‍රදේශවාසීහු උටියා” නමින් හඳුන්වනු ලබති. 

එතරම් අධ්‍යාපනය නොලැබූ ඔහු කුඩා කාලයේ සිටම මතට, සුරාවට සූදුවට ඇබ්බැහි වී සිටි අයකු බව ප්‍රදේශවාසීහු පවසති. විවාහ වී එක් දරුවකු සිටින මොහුගේ බිරිය මේ වන විට බරපතළ පිළිකා රෝගයකින් පෙළෙන්නීය.

නිතර නිතර අඬදබර සහ ගුටිකෙළි ඇතිවීම, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, ජාවාරම් කිරීම ආදී කරුණු රැසක් පිළිබඳව මොහුට විරුද්ධව හොරොව්පතාන පොලිසියේ පැමිණිලිද පවතී. 

එමෙන්ම ජීවත් වීමට මඟක් නොමැතිව ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත් වෙද්දී හොරොව්පතාන සමෘද්ධි අධිකාරියෙන් ලබා ගත් සහන ණය මුදලක් යටතේ කුඩා වෙළෙඳසැලක් මෙම පුද්ගලයා විසින්  පවත්වාගෙන යනු ලබයි. ඇතැම් දිනවලදී හොරොව්පතාන ස්වර්ණ තිලකාරාමය පිරිවෙනේ ගස්වල වැටෙන පොල් ගෙඩි සොරාගෙන අලෙවි කර බඩ වියත රැක ගැනීම සහ සුරාවට සූදුවට යොදා ගැනීමද ඔහු අතින් සිදුවේ. 

රුපියල් 100ක මුදලක් අතැතිව කුඩා සාමණේර හිමිවරුන් දෙදෙනා විහාරය ආසන්නයේ ඇති මෙම වෙළෙඳසලට ගොස් පැකට් කළ බීම ඉල්ලා තිබේ.  එම අවස්ථාවේ වෙළෙඳසලේ සිටි මෙම පුද්ගලයා කුඩා සාමණේර හිමිවරුන්ගෙන් මීට පෙර දිනක තම වෙළෙඳසලෙන් අයිස් පැකට් හොරකම් කළේද යන්න විමසා තිබේ. එහෙත් සාමණේර හිමියන් ඒ පිළිබඳව නිර්දෝෂීභාවය ඔප්පු කරද්දී ඔහුගේ වෙළෙඳසල පිටුපස ඇති නිවෙසට රැගෙන ගොස් මෙසේ ප්‍රශ්න කරමින් පහර දෙන්නට වී ඇත.

ඒ වන විටත් හොරොව්පතාන ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල විශාල පිරිසක් නැවතී සිටියේ ආන්දෝලනයකට තුඩු දී තිබුණු ශාන්තිකර්ම සිදුකර ගැනීම සඳහා පැමිණි ජනතාවගෙනි. මෙම ජනතාව බලා සිටියදී නිවෙස ඉදිරිපිටට රැගෙන ගිය කුඩා සාමණේර හිමි දෙනමට පහර දෙන්නට විය.

මෙම අමානුෂික ක්‍රියාවලිය අතේ තිබුණු ජංගම දුරකථනයකින් පුද්ගලයකු වීඩියෝ කරගෙන එහි පිටපතක් හොරොව්පතාන පොලිසියටත් අදාළ විහාරස්ථානයටත් භාරදී මෙය මහා අපරාධයක් බව පෙන්වා දෙමින් ඊට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තිබුණු බව ආරංචි මාර්ගවලින් පැවසේ. 

ඒත් සමඟම හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපති පී.ඩී.එස්.ආර්. සංජීව මහතා වහාම මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. 

වයස අවුරුදු දහයක් සහ දාහතරක් වූ සාමණේර හිමිවරුන් දෙදෙනාට පහරදුන් පුද්ගලයා වන චමින්ද ගලගොඩ හෙවත් උටියා නමැති අය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කර තිබිණි.

මෙම සිද්ධිය ගැන තවදුරටත් විමර්ශන මෙහෙයවා එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. 

පහරකෑමට ලක්ව සිටින සාමණේර වහන්සේ දෙනම අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කොට ඊට අදාළ අධිකරණ වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂක කීර්ති ජයන්ත මහතා වෙත පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 

හොරොව්පතාන පොලිසියේ ප්‍රකාශකයකු කියා සිටියේ, රුපියල් දහයක් පමණ වටිනා චොකලට් දෙකක් මුදල් ගෙවීමකින් තොරව මෙම සාමණේර හිමිවරුන් දෙනම ලබා ගත්තේ යැයි පවසමින් මෙම පුද්ගලයා පහර දී තිබෙන බවයි. පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ සාමණේර දෙනම මුදල් නොගෙවා සැකකරුට අයත් වෙළෙඳසලෙන් හොරෙන් චොකලට් ලබාගෙන නැති බවය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පතාන ශ්‍රී  ස්වර්ණතිලකාරාම මහා පිරිවෙනේ සහ විහාරස්ථානයේ විහාරාධිපති ගලිගමුව පොතානේ පියරතන නාහිමියන්ගෙන් විමසීමේදී මෙසේ සඳහන් කර සිටියහ.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ බොහෝ දෙනකුගේ පිළිකුලට ලක් වෙච්ච කෙනෙක්. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. අපි හිතුවේ නැහැ පොඩි හාමුදුරුවන්ට මේ වාගේ පහර  දීමක් සිද්ධ කරයි කියලා. එයා කරගත්තේ විශාල අකුසලකර්මයක්. කතාවක් තියෙනවා සර්පයත් එක්කයි ගින්දරත් එක්කයි රජුන් එක්කයි පුංචි සාමණේර හිමිවරු එක්කයි කවටකම් සෙල්ලම් කරන්න එපා කියලා. ඒක මේ අය දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා තමයි අද දිට්ඨධම්මවේදය හැටියට පඩිසන් දීලා තියෙන්නෙ.”

මේ මනුස්සයට ගමේ අය බ්‍රහ්මදණ්ඩනය පනවන්න තීරණය කරලා කියලා ආරංචියි. මම හිතන්නේ පුංචි හාමුදුරුවන්ට මේ සිදුකළ අපරාධයට මේ වන විටත් මෙම පුද්ගලයා මානසික වශයෙන් දඬුවම් විඳිනවා කියලා”

අපේ පුංචි හාමුදුරුවරුන්ටත් මම අවවාද කරලා ඒ අය ඉදිරියට කොහොමද ජීවත් වෙන්නේ කියලා දැනුම්වත් කළා. පහරදීම් යම්කිසි කෙනකු වීඩියෝ කරලා මටත් පෙන්නුවා. පොලිසියටත් පෙන්නලා තිබුණා. ඒ අනුව තමයි වහාම නීතිය ක්‍රියාත්මක වුණේ”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද  ස්වාමීන් වහන්සේගෙන් අප කරුණු විමසීමේදී මෙසේ පැවැසූහ. 

සාමණේර හිමිවරුන් දසසිල් සමාදන් වී ඉන්න එක ඇත්ත. එහෙත් මේ උතුම් අරහත් ධජය පොරවාගෙන සිටියත් එම අය තවමත් පුංචි දරුවෝ. හැබැයි මෙම කළා යැයි කියන හොරකම් සිදු කරන්නේ එම සාමණේර හිමිවරුන් නෙවෙයි. ඒ අයගේ පුංචි සිතුවිලියි. මෙවැනි දෙයක් වුණහම ගිහියන් වන ඔබ එවැනි සිද්ධියක් දුටුවහොත්  සිදු කළ යුත්තේ වහාම එම සාමණේර භික්ෂුන් වහන්සේලා භාරව සිටින නායක ස්වාමීන් වහන්සේ හමුවී මේ බව දැනුම් දීමයි. පසුව ඔහුට සිදුවූ අලාභයක් ඇත්නම් එය ලබා ගැනීමයි. එමෙන්ම එම කුඩා සාමණේර හිමිවරුන් ඉදිරියේදී දැනුම්වත් කිරීමයි. එහි ආනිශංස පිළිබඳව නායක ස්වාමීන් වහන්සේ හරහා අවවාද අනුශාසනා කරවීමයි. එසේ නොකොට භික්ෂුන් වහන්සේලාට මේ ආකාරයෙන් පහරදීම ඉතා අකුසල කර්මයක්. මෙම පුද්ගලයා කරගෙන තියෙන මේ අකුසලය පඩිසන් දීම පවා සිදුවෙනවා. මේ වන විටත් ඔය පහර දුන් පුද්ගලයා මානසිකව ශාරීරිකව වධ විඳිනවා වෙන්න පුළුවන්.”

කුඩා සාමණේර හිමිවරුන් පමණක් නොව ඕනෑම දරුවකුට වුවද තවත් අයකුට මේ ආකාරයෙන් දඬුවම් කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් පවතිනවා රටක නීතියක්ද පවතිනවා. මානුෂීය පදනමක්ද පවතිනවා. අපට බෞද්ධයන් හැටියට ආගමික ඉගැන්වීමක්ද පවතිනවා. ඒ නිසා බුද්ධිමත් ජනතාව මෙවැනි පාප වැඩවලට ගොදුරු නොවිය යුතුයි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress