නීතියේ ආධිපත්‍යය නමැති සෙප්පඩවිජ්ජාව
Posted on September 15th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම

ලංකාවේ අභියාචනා මහාධිකරණය (ඇපැල් උසාවිය) විසින් හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියට අපහාස කලාය යන චෝදනාව මත බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ට අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් (අවුරුදු 6 කින් ගෙවී යන පරිදි) දෙන ලදී. මෙම දඬුවමට විරුද්ධව සුප්‍රීම් උසාවියට අභියාචනයක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේ විසින් කල ඉල්ලීම, සුප්‍රිම් උසාවියේ නඩුකාරවරුවන් තුන් දෙනකු විසින් සළකා බලා, ඉන් දෙදෙනෙකුගේ තීරණය උඩ ඉවත දමන ලදී. මේ නිසා පුරවැසියෙකු වශයෙන් උන්වහන්සේට ඇති එකම වරණය වූයේ රටේ ජනාධිපතිවරයාට ඇති ව්‍යවස්ථාගත බලතල යටතේ මෙයට අවධානය යොමුකර තමාව නිදහස් කරන ලෙස ඉල්ලා සිටීම පමණය. එම නඩු තීන්‌දුව, බැලූ බැල්මටම පෙනෙන නිතිමය වැරදි සහිතය.

මීට පෙර මිනීමරු ඇමති බිරියන්ට, පාතාලකාරයින්ට ජනාධිපතිලා සමාව දුන් අවස්ථාවලදී නිහඬව සිටි ඩොලර් මුදලාලි කෙනෙක් දැන් ඥානසාර හිමියන්ව හිරෙන් එලියට දැමීමට විරුද්ධව උසාවියට ගොස් සිටී. ඒ නඩුව දෙසැම්බර් 5 දාට යෙදී ඇත. සුමන්තිරන්ගේ 19 සංශොධනයට අනුව ජනාධිපතිට ජනයාගේ මූලික අයිතිවාසිකම් කඩකල නොහැකිය. එසේ කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනිය. වෙනත් වචන වලින් කියනවා නම් (එංගලන්තයේ රැජිණට හැර), පවතින නීතියට ඉහලින් යාමට කාටවත් නොහැකිය. එක්නැලිගොඩගේ ගේ (සමහරවිට) වැන්දඹුවද ඈඳාගෙන සරවනමුත්තු පාකියසෝති නම් ඩොලර් මැතිසඳ නියැලී ඉන්නේ ඥානසාර හිමියන් හිරෙන් එලියට දැමීමෙන් ඒ දෙන්නාගේ මූලික අයිතිවාසිකම් කඩ කල එක නිවැරදි කරගන්නටය. හාමුදුරුවන් දිගටම හිර දඬුවම් විඳීමින් සිටීම බලාසිටීම මේ දෙන්නාට ඇති මූලික අයිතිවාසිකමකි.

අව්වේ කරවෙන ගොවියෙකු වැන්නෙකුට මේ කොළඹට වී විස්කි බොමින් චන්ද්‍රිකා සමඟ උපන්‌දින සාදවල ඩාන්ස් කරණ දෙමළ-සිංහල නොදන්නා පාකියසොති උන්නැහේගේ මේ මූලික අයිතිවාසිකම්-නීතියේ ආධිපත්‍ය හුටපටය, අව්වේ කරවෙන ගොවියෙකුගේ පැත්තෙන් බලනවිට පේන්නේ සෙප්පඩවිජ්ජාවක්, ඇස්බැඳුමක්, ප්‍රෝඩාවක් හැටියටය. ඊට හේතුව හාමුදුරුවන් මොන දහංගැටයකින් හෝ හිරේ දාන්නට බැලූ පිරිසක් සිටිබව ඔවුන් දැනසිටි නිසාත්, හාමුදුරුවන් නිදහස් කරන්නට හා නොකරන්නට කී කොටස් දෙකක් සිටි නිසාත්‌ය. පාස්කු ප්‍රහාරය නිසා රටේ ජනාධිපතිට නොව මොන යකාටවත් තවදුටරත් හාමුදුරුවන් හිර ගෙදර තියාගන්නට නොහැකි වටපිටාවක් ක්‍ෂණිකව ගොඩනැඟුන නිසාත්‌ය.

අගමැති රනිල්ගේ නෝනාත් හාමුදුරුවන් නිදහස් කරන්නට එපා යයි ලිව්වේය. ඒබ්‍රහම් සුමන්තිරන්, වැලිමුණේ, ලාල් විජේනායක යන අයද ඇය හා එකඟ විය. එහෙත් හිස්බුල්ලා, අසාද් සාලි, රාවුෂ් හකීම්, මුස්ලිම් සංගම්, හින්දු සංගම් හා ක්‍රිස්තියානීන් හාමුදුරුවන් නිදහස් කරන්නැයි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් ජනාධිපති ක්‍රියාත්මක වුනේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පසුවය.  දේශපාලක කළුසුද්දන්ගේ ද්වේශයට, වෛරයට හා අපහාසයට ලක්‌වූ ඥානසාර හිමියන් ජාතික නායකයෙක් ලෙස යළි ඉපදුනේ මේ දේශපාලක තක්කඩින් ගල උඩ සිටි හොර බළලුන් කරලමින්‌ය. ඒ හිමියන් හිරෙන් එලියට දානවා හැර කල හැකි වෙන විකල්පයක් රටේ ජනාධිපතිටද නොවීය. හිරේට ගිය ඥානසාර හිරෙන් එලියට ආ ඥානසාර නොවේයයි කියන උන්වහන්සේ ගැන දැන් බොහෝදෙනා සිතන්නේ ලංකාවේ සංඝරාජ කෙනෙක් වගේය කියාය.

මෙම පසුබිම යටතේ මේ ලිපිය ලියන්නට හේතුව පාකියසෝතිගේ නීතියේ ආධිපත්‍යය කරත්ත රෝදයට ඔහුම යටවන බව පෙන්වා දීමටය. ඥානසාර හාමුදුරුවන්ව මෙසේ අයුතුලෙස හිරේට දැමීම ගැන මීට පෙර ඉංග්‍රීසියෙන් ලියූ සවිස්තර විග්‍රහයක් ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවිය. පාකියසෝති විසින් නිසැකවම දැන සිටිය යුතුවන, එහෙත් රටේ ජනයා නොදන්නා රහසක් නම් ඔහුගේ මෙම නඩුව අසන්නට යන තුන් දෙනාගෙන් එක් නඩුකාරයෙක්, නීතියේ ආධිපත්‍යයේ නාමයෙන්ම ඒ නඩුව ඇසීමෙන් ඉවත්‌විය යුතු නොවේද යන කාරණාවය. මේ නඩුකාරයාම මීට පෙරද ඥානසාර හිමියන්ට බලවත් අවනීතිමය අසාධාරණයක් සිදු කලේය. හාමුදුරුවන්ට, ඇපැල් උසාවිය විසින් දුන් දඬුවමට විරුද්ධව සුප්‍රිම් උසාවියට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා කල ඉල්ලීම ඇසූ නඩුකාරයින් තුන් දෙනාගෙන්, එය ප්‍රතික්‍ෂේප කල නඩුකාරයින් දෙදෙනාගෙන් එක් නඩුකාරවරයෙක්, අවුරුදු කීපයකට පෙර ඔහු ලංකා නීතිඥ සංගමයේ උප සභාපතිව සිටිද්දී, බොදු බල සංවිධානයට විරැද්ධව දැඩිලෙස ක්‍රියාකල අයෙකු විය. ලෝක සම්මත ස්වභාවික නීතියට (නැචුරල් ජස්ටිස්) අනුව නම් මෙම නඩුකාරවරයා මෙම කරුණ විනිශ්චය කිරීමෙන් සිය කැමැත්තෙන්ම ඉවත් විය යුතුව තිබුණේය. බුද්ධාගමේ හිරි ඔත්තප්ප කියන්නේ එයටය. සුප්‍රීම් උසාවියට යාමට හාමුදුරුවන්ට තිබූ අයිතිය මේ නඩුකාරයා අයුතු හා අසාධාරණ ලෙස අහිමි කලේය.

අවජාතක දරුවෙකු සුජාතක කිරීම

නැඟෙනහිරෙන් ඉර පායනවා, ඉපදුනොත් මැරෙනවා වැනි ස්වභාවධර්‍මයේ රීති හෝ ව්‍යවහාර බවට පත් අතීතයේ සිට එන සිරිත්-විරිත් සාරධර්‍ම හැරුණ විට මිනිස් සමාජයේ ඇත්තේ මිනිසා විසින් කලින් කලට පණවා ගන්නා නීතිරීතිය. මේ වනාහි යම් සමාජයක රටක පාලන බලය අල්ලාගෙන ඉන්නා සුළු පිරිසක් විසින් දරදිය අදිනා සෙසු මහත් හුදී ජනයා පාලනය කිරීමේ හෙන්‌ඩුය. ඕලන්ද කාලයේ කුරුඳු ගහක් කැපීමට දඬුවම මරණය. අරාබියට බුදු පිළිමයක් හෝ ධම්මපදයක් ගෙන ගියොත් දඩගසන්නේ ඇයි. ලංකාවේ තාමත් තිබෙන්නේ සුද්දගෙ නීතිය යයි කියන්නේ ඒ නිති සිංහල බෞද්ධයා මර්‍ධනයට 1818 න් පසු පැණවු ගුල් නිසාය. සුද්දගේ පැත්තෙන් ඒවා යටත් විජිතයේ සාමය හා මනාපාලනය සඳහා පාස් කල නීතිය.
නීති පැනවීම භාරව ඉන්නා පාර්ලිමේන්තුව හොරක්‍රමයට නීති පනවනවා නම් හා සුප්‍රිම් උසාවියට පවා වැලි ගසා නීති හදාගන්නවා නම් ඒ නීති වලට ආධිපත්‍යයක් දිය යුතුද? හොඳ හෝ නරක නීතියක් ක්‍රියාවේ යෙදවීම භාර අය ඒවා නවනවා නම් මේ ආධිපත්‍යය යනු හරියට වළාකුලක් ලණුවකින් බඳින්නට හදනවා වගේ බොරුවක් නොවන්නේද? ඊට අමතරව එය මකුණු දැලක් නොවේද? ලොකු එකා පගාවෙන්, බලයෙන්, ‌ධනයෙන්, නෑකමෙන් දැල කඩාගෙන යන මුත් කුඩා කෘමීන් දැලට අසුවේ. සමාජයේ සිදුවන මේ අවනඩු පසිඳලීම භාර උසාවි වල නඩුකාරයින් නුසුදුසු පත්‌වීම් නම්, ලෝභ-දෝෂ-මෝහයෙන් පිරි මේ පංචස්කන්‌ධ අතර ලැජ්ජාභය නැති අය සිටිය නොහැකිද? නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතීඥ ලයිසම අවුරුදු දෙකකට තහනම් කලේ ඔහුව රවටා බව ඔහු කියයි. කෝප් කමිටුවේදී එලිවූ පරිදි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ රක්‍ෂාවල් දෙන්නේ ඇමතිගේ ලැයිස්තුවට නම් ඊට විරුද්ධව උසාවියට යන්නට නීතියක් තිබේද?

පාර්ලිමේන්තුව කියන්නේ බත් කඩයකට නම්, ඒ බත් කඩය රටට හානිකර අන්දමට පිස්සු නටනවිට ඒ ගැන කල් මරමින් සිටිනවා මිස යම් පියවරක් ගත නොහැකියයි නීතියක් තිබේ නම්, ඒ නීතිය වංචා සහගත ලෙස වියවුල් අන්දමට ජයම්පතිලා- සුමන්තිරන්ලා විසින් අටවා තිබේ නම්, රටේ අධිකරණ බලය තිබෙන්නේ රටේ ජනයාට නම්, පාර්ලිමේන්තුව විසුරුවා චන්දයක් පවත්‌වන එක නීතියේ ආධිපත්‍යයට පටහැනියයි කියන්නට නඩුකාරයින්ට අයිතියක් තිබේද? කබරගොයා, තලගොයා කරන්නේ මොන පදනමකින්ද? වර්‍ෂ 2000 දී අල්ගෝර්-ජෝර්ජ් බුෂ් නඩුවේදී ඇමෙරිකන් සුප්‍රිම් උසාවිය දේශපාලන තීන්‌දුවක් දුන්නේ රටේ ජාතික අර්බුදයක් ඇතිවීම වැලැක්‌වීමටය. එම තීන්‌දුව වැරදි බව පසු කලෙක ඊට මූලිකවූ නඩුකාරයාම පිළිගත්තේය. නීතියේ ආධිපත්‍යය නමැති හෙළුව වසා ඇති කඩතුරාව ගැලවියයුතු අවස්ථාවේදී ගැලවිය යුතුවන බව මින් පෙනේ. ඇමෙරිකන් ඩොලර් බලපෑමට ලංකාවේ අධිකරණ අංශ යටවුනා හෝ නොවුනා හෝ ලංකාවේ සුප්‍රිම් උසාවිය ලංකා ජනයා බලවත් ව්‍යසනයකට දැම්මේ රූල් ඔෆ් ලෝ නම් ප්‍රෝඩාව හරහාය. මුළු රටම, සමාජයම කුණුගොඩක් නම් නඩුකාරයින්වත් වෙන රටවල පොත්‌වල ඇති න්‍යාය වලින් නොසැඟී මේ රට බේරා ගන්නේ කෙසේද කියා සිතිය යුතුය. ඥානාසාර හිමියන් නැවත හිරේට දැමීමේ ප්ලෑන, ඇමෙරිකන් ප්ලෑනක් විය නොහැකිද? උසාවියේ බෞද්ධ නොවන නඩුකාරයින්ට මෙය නොතේරෙන්නට ඉඩ ඇත. මේ අයට රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ගැන දැණුමක් නැත.  මෙය රන්ජන් රාමනායකගේ පන්සල් ලිංගික ප්ලෑනේම පියවරක් වන්නට පුළුවන.

ඥානාසාර හිමියන්ගේ නඩුව දේශපාලන නඩුවකි. බොදු බල සේනාව රටට හානියක් කරනවාදැයි හොයන්නට කොමිෂමක් පත්කරණවා යයි කී දේශපාලකයින් එය නොකලේද ඒ නිසාමය. බොදු බල සේනාවට මුහුණදීමට ආත්ම ශක්තියක් නැති දේශපාලකයින් උසාවි හරහා එය දමනය කරන්නට මාන බලමින් සිටියේය. බල සේනාව ලඟදීම බලු කූඩුවලට දමනවා යයි 2015 දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය ප්‍රසිද්ධියේ ප්‍රකාශකලේය. මෙම මුළු නඩු විභාගයම දෙස බලනවිට ඒත්තු යන කරුණක් නම් හාමුදුරුවන්ව කොටුකර ගැනීම සඳහා චන්ද්‍රිකා මැතිණිය හා එකඟවන අන්දමේ නීතිය හා සාමය භාරව සිටින පිරිසක් මඟ බලමින් සිට ඇති බවය. නොවැම්බර් මස 19 දින හාමුදුරුවන් වෙනුවෙන් ජනපතිතුමාට සංදේශයක් භාරදීමට පැමිණි භික්‍ෂුන් පිරිසකට ඒ සඳහා ඉඩ නොදී පොලිසිය විසින් කඳුළු ගෑස් දමා හිරිහැර කිරීමද මෙම අයුතු ආකල්පයේම තචත් පිළිඹිබුවක් විය. එම ක්‍රියාවට පෙර, එම භික්‍ෂූන් වහන්සේලාගේ පැමිණීම ජනපතිගේ අවධානයට යොමුකිරීමට සුදුසු නොවේදැයි මෙම නිලධාරීන්ට නොසිතුනේය. ඇපැල් උසාවියේ නඩුතීන්‌දුවේ පේලි අතරින් බලනවිට කියවෙන්නේද එම කතාවමය.

ඇපැල් උසාවියේ නිල නඩු වාර්තා ලැයිස්තුවේ හාමුදුරුවන්ගේ නම සඳහන් කර ඇත්තේ නිකම්ම ගලබොඩ අත්තේ ඥානසාර කියාය. මේ රටේ බුද්ධ සාසනයේ, භික්‍ෂුත්වයේ නාමයෙන්, බුදුන්ගේ රස්තියාදුව, නිර්‍වස්ත්‍රම් පරමං සුඛං යන පාරේම නොගොස්, අඩුතරමින් ඥානසාර හිමි කියාවත් නොලියවීමට ඇපැල් උසාවිය වගබලා ගත්තා සේය.  එහෙත් ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් 1958 දී ලියූ විහාර නීති විත්ති නම් පොතේ සඳහන් කර ඇති කරුණක් නම්, නිතරම සෙනඟ පිරුණු උසාවි කොරිඩෝර් වල හාමුදුරුවරුන් රස්තියාදු කරවීම ඉතාමත් අශොභන ක්‍රියාවක් බවත්, ඔවුන්ගේ ගරුත්වය රැකෙන ආකාරයට ඔවුන් සඳහා වෙනම උසාවි පිහිටු විය යුතුය කියාත් මෑත අතීතයේ ලංකාවේ සිටි සුදු නඩුකාරවරුන් විසින් නිතර නිතර යෝජනා කල බවය. සුද්දන්ට තිබූ එම කරුණාව, මානව දයාව, වේදනාව, 1931 න් පසුව බලයට ආ කළු සුද්දන්ට නොතිබුණේය. එහෙත් මේ කළුසුද්දන් 1951 දී ඉස්ලාම් භක්තිකයින්ට වෙනම කාති උසාවි ලබා දුන්නේය.  මේ උසාවි මුස්ලිම් ස්ත්‍රීන් වහල් භාවයේ තබාගන්නා ක්‍රමයක් බව නොබොදා ඊට විරුද්ධව ඉදිරියට ආ මුස්ලිම් ස්ත්‍රීන්ගෙන් අනාවරණය විය. මේ වනවිට ශාරියා බැංකු, අරාබි භාෂා පාසැල්, මද්‍රසා, හලාල් නිතී යනාදියද සපයාදී ඇත.

යම් නඩුවක් පැවරීමේදී සිදුවන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය පවා මෙහිදී උඩුයටිකුරු වී ඇත්තේද, බලයට පත්‌ව සිටින කවර හෝ ආණ්ඩුවකට වෙනස් ජාතික අදහස් දරණ භික්‍ෂූන් දඩයම් කිරීමේ ආකල්පයක් රටේ පැතිරෙමින් පවතින නිසාය. නීතිපති දෙපාර්තමේන්තුවම හවුල්වී පටලැවූ, නිර්‍මාණයකල නඩු නිමිත්තක්, යළිත් වරක් මඩ සෝදා ඔපමට්ටම්කර ඇපැල් උසාවියට දමන්නේද නීතිපතිමය. ඔවුන් ගෙනා චෝදනා හතර සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කල නොහැකි චෝදනා බව ඔවුන්ට නොපෙණුනේ මේ නිසාය. ඔවුන් අදාල ශාක්‍ෂි විශ්ලේෂණය කර නැත. මේ නඩුවට ශාක්‍ෂිදීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් එක් සාමාන්‍ය ගිහියෙක් වත් කැඳවා නැත.

මෙවැනි නඩුවක් උසාවියේ ගොණු කිරීමට පෙර සළකා බලා විග්‍රහකර ගතයුතුව තිබූ මූලික කරුණුවත් නීතිපති වරයා විසින් ඉෂ්ඨකර නැති බවක් පෙනේ. නගරයක, ගමක පොලිසියක් විසින් වුවද කරන මෙය සාමාන්‍ය නිල රාජකාරීමය වගකීමකි. එය ඉටුකලා නම් මට විරුද්ධව චෝදනා පත්‍රයක් පිළියෙල කල නොහැකි බව නීතිපතිට වැටහීයාමට ඉඩකඩ තිබුණි. මෙම නඩුවට අදාල සිද්ධිය (නඩු නිමිත්ත) වන්නේ හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී සිදුවුන මගේ හැසිරීමය. මෙම හැසිරීම පෙන්වන වීඩියෝ පටියක් ලෝක වෙබ් ජාලයේ තිබේ. වත්මන් ලෝකයේ ඇසින් දුටු ශාක්‍ෂි වෙනුවට වඩාත්ම නිවැරදි ශාක්‍ෂි ලෙස යොදාගන්නේ වීඩියෝ ශාක්‍ෂිය.

වීඩියෝ පටයෙන් එළිවන අයුරු, ඥානසාර හිමියන්ට විරුද්ධව දුන් නඩු තීන්දුවේ ඇති ප්‍රබලතම වැරදි දෙක පෙන්වා දීමට පෙර, සඳහන් කලයුතු කරුණක් නම් අපරාධ නීතිය යටතේ යම් චූදිතයෙකුට, හදිසි හා දරුණු ප්‍රකෝප කිරීම (ග්‍රේව් ඇන්ඩ් සඩන් ප්‍රොවොකේෂන්) නිසා ඇතිවන මානසික තත්‌වය යටතේ ලැබෙන සහනයවත් උන්වහන්සේට නොලැබුණ බවය. බලාපොරොත්තුවුණ අන්දමට ඇප නොලැබීම නිසා මාංචු දමා උසාවියෙන් පිටට ගෙනයන එක් රණවිරුවෙකුගේ කඳුළු හාමුදුරුවන්ගේ අත මතට වැටීම නිසා ඇතිවූ බලවත් මානසික කම්පනය නිසා තමාට, තමාවම පාලනය කරගත නොහැකි චිත්ත ව්‍යාධි තත්වයකට වැටුනා නොවේද? මෙම චූදිතයින්ගේ බිරින්දෑවන් හා ලඟ ඥාතීන් නිතර නිතර හාමුදුරුවන්ගේ පන්සලට පැමිණ, දැන් කිසිවෙකුගේ පිහිටක් නැතිව අනාථව අසරණ වී සිටින, රට ගලවා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ක්‍රියාකල මේ රණවිරුවන් වෙනුවෙන් මැදිහත්‌ව, කුමණ හෝ හැකි සහනයක් ලබාදෙන මෙන් හාමුදුරුවන් ඉදිරියේ වැඳ වැටෙමින් ඉල්ලා සිටියේය. ඔවුන්ගේත් හාමුදුරුවන්ගේත් අරමුණ වූයේ චන්ඩි වැඩක් කිරීම හෝ උසාවිය වැටලීම හෝ නොවේ. මෙවර නම් නිසැකවම ඇප ලැබිය හැකි බව ඔවුන්ගේත් හාමුදුරුවන්ගේත් විශ්වාසය විය. එහෙත් හදිසියේ නොසිතූ අන්දමට එය බිඳ වැටුනේය. හාමුදුරුවන් බලවත් මානසික ආතතියකට හසුවිය.

මෙහිදී සඳහන් කල යුතු තවත් කරුණක් නම් මෙම චූදිතයින්, ඇප නොදී දිගටම සිරභාරයේ තබා ඉන්නා අර්ජුන ඇලෝසියස් වැනි අයට වඩා වෙනස් අය වන බවය. රහස් පොලිසියට විසඳාගත නොහැකි ප්‍රශ්න නිසා මෙසේ ඔවුන්ගේ හිතූ මතයට බොල් නීති තර්‍ක වලට මුවා වී මෙම චූදිතයින් හා ඔවුන්ගේ පවුල් දැඩි පීඩනයකට ලක් කල යුතුද? යහපාලනය යයි කියමින් රටේ පාලකයින් හා ඔවුන්ට කත් අදින නිලධාරීන් අතලොස්සක් විසින් කරගෙන ගිය මෙම ව්‍යාපාරය, අළු යට සැඟවුන ගිණිපුපුරක් නොව කාල බෝම්බයක් වැනිවිය. මෙසේ අයුතු උපක්‍රම මඟින් ධර්‍මය අධර්‍මයෙන් (යුක්තිය අයුක්තියෙන්) යට කරගෙන ඇත. මේවා සුද්දගෙ නීති නොවේද?  එපමණක් නොව මෙම නඩුවේ එක්නැලිගොඩ නම් පුද්ගලයා මරා දමාද නැත්නම් රටින් පලාගොස්ද යන සැකයක් දිගටම, මුලසිටම පැවතියේය. නොබෝදා ඩුබායි සංචාරයකින් පසු පැමිණි මධු මාධව මහතා විසින් අනාවරණය කලේ අතුරුදහන් කලා කියන මෙම පුද්ගලයා ඉන්දියන් කාන්තාවක සමඟ ඩුබායි වල රහසේ පවුල් කමින් ජීවත් වනවාය යන තොරතුරය. එක්නැලිගොඩ ලංකාවේ ඔහුගේ බිරිඳට දුරකතන ඇමතුම් දෙන බවත්, මධු මාධව හා මෙම රහස් ඔත්තුව දුන් අනිත් පුද්ගලයාත් එක්නැලිගොඩ රහසේ ජීවත්‌වූ නිවසට ගියවිට ඔහු හා ඉන්දියන් කාන්තාව එම නිවසින් පලාගොස් ඇති බවත් මධු මාධව මුහුණු පොතෙන් වාර්තා කලේය (එක්නැලිගොඩට ලංකාවේ මාතලේද අනියම් බිරිඳක් සිටිබව කලින් අනාවරණය විය). මෙහිදී  ලංකාවේ රහස් පොලිසිය විසින් කල යුත්තේ වහාම මධු මාධව ගෙන් කට උත්තරයක් ලබාගෙන ඉන්ටර්පොල් සහාය හෝ ලබාගෙන මෙම දුරකතන සංවාද හාරා බැලීමේ ඩිජිටල් තාක්‍ෂණය උපයෝගි කරගනිමින් එක්නැලිගොඩ ඉන්නා ස්ථානය සොයා ගැනීම නොවේද?
 
වීඩියෝ පටියෙන් සක් සුදක් සේ අනාවරණයවන කාරණා නම්:

(1) හාමුදුරුවන් විසින් හෝමාගම උසාවියෙන් සමාව ගත්තේ නැත යන ඇපැල් උසාවියේ නිගමනය සාවද්‍ය බවත්;

(2) හාමුදුරුවන්  විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයාට නපුංසකයා කියා ආමන්ත්‍රණය කලාය යන ඇපැල් උසාවියේ තීරණය සාවද්‍ය බවත් ය.

හාමුදුරුවන් විසින් එක වරක් නොව දෙවරක්ම හෝමාගම මහේස්ත්‍රාත් වරයාගෙන් සමාව ඉල්ලා සිටි බව වීඩියෝ පටියේ සටහන්ව ඇත. නපුංසක, නපුංසක ආණ්ඩුවක්, නපුංසක රජයේ ඇතැම් නිලධාරීන් යන කතා ඇපැල් උසාවියේ සභාපති විනිසුරුතුමාට සිංහල භාෂාව හරිහැටි නොදැනීමේ, නොතේරීමේ ප්‍රශ්ණයක් බව පෙනේ. ඉම්පොටන්ට් යන ඉංග්‍රීසි වචනයේ දෙන ජීව විද්‍යාත්මක අර්‍ථය සිංහලෙන් නපුංසක යන වචනයෙන් දෙන්නේ නැත. හාමුදුරුවන් විසින් රජයේ නීතීඥයාට ඔහු නපුංසකයෙක් කියා එතුමා ආවේගශීලිවුන මොහොතේදීවත් පවසා නැත. ඔහුගේ නඩු තීන්දුවේදී ඇපැල් විනිසුරු නපුංසකයා යන්න අර්‍ථ නිරූපණය කරගෙන තිබෙන්නේ ලිංගික ආභාධයක්, සංසර්‍ග නොහැකියාවක් ඇති පිරිමියෙක් යන අන්දමටය.  නමුත් සිංහල භාෂා ව්‍යවහාරයේ නපුංසකයා කියන්නේ බාල වැඩ කරන, පඹයෙක් මෙන් හා අන් අයගේ බළල් අතක් සේ ක්‍රියාකරන, ප්‍රතිපත්තියක් නැති, මෝඩ (අඳබාල), පහත් ගති ඇති, සදාචාර විරෝධී හැසිරීමක් පෙන්වන පිරිමියෙකුටය. යම් පිරිමියෙකුගේ බිරිඳක් වෙන පිරිමියෙකු හා අනියම් සම්බන්ධයක් ප්‍රසිද්ධියේ පවත්‌වා ගෙන ගියත් එම සැමියාට කියන්නේ එයා වෙස්සන්තර කෙනෙක් කියා මිස එයා නපුංසකයෙක් කියා නොවේ. හාමුදුරුවන්ගේ සිංහල භාෂා ව්‍යවහාරය මෙසේ නිසා, මේ නපුංසක ආණ්ඩුව, නපුංසක රජයේ නීතීඥයා යන වාග් ව්‍යවහාරය රජයේ නීතීඥයාට පුද්ගලිකව එල්ලකරන ලද අපහාස කිරීමක් නොවන්නේ එවැනි චේතනාවක් නොතිබුණු නිසාය. ඉංග්‍රීසි භාෂාවේ එන සබ්ජෙක්ටිව් හෝ ඔබ්ජෙක්ටිව් නිර්‍ණායක අනුවවත් එහි පුද්ගලික අපහාසයක් නැත.

නපුංසක යන්න නාම පදයකි. සරදියෙල් අල්ලාගත් විට ලන්ඩන් වලින් එවූ ටෙලිග්‍රාෆ් පණිවුඩය මෙහිදී මතක්වේ. කිල් නොට්. සෙන්ඩ් යන නියෝගය කොළඹින් සටහන් කලේ, කිල්. නොට් සෙන්ඩ් යනුවෙනි. මෙම සුළු වරද (නැවතීමේ ලකුණ වැරදි තැන දැමීම) නිසා සරදියෙල්ව මරා දමන ලදී.  මේ වගේම නපුංසක රජයේ, නීතීඥයා වෙනුවට නපුංසක, රජයේ නීතීඥයා කියා හාමුදුරුවන් කිව්වා යයි ඇපැල් විනිසුරුතුමා නිගමනයකට පැමිණ ඇත. අනාගාරික ධර්‍මපාලතුමා සුදු මිනිසුන්ට පර සුද්දා කියා අපහාස කරන්නේ ඇයිදැයි වරක් සුදු නඩුකාරවරයෙක් එතුමා ගෙන් ප්‍රශ්ණ කලේය. එතුමා කියා සිටියේ පර කියන්නේ විදේශික යන අර්‍ථයෙන් බවය. පර යන්නේ උතුම් කියන අදහසද තිබේ. එහෙත් පර බල්ලෙක් කියන්නේ බල්ලෙකුට නොව ජරා ගති ඇති මිනිසෙකුටය. තෝ පර බල්ලා කියා මිනිසුන් බල්ලන්ට කෑ ගසන්නේ නැත. අනික් කාරණය නම් කේන්තියෙන් කරන උච්චාරණ ශබ්දය මෙහිලා තීරණාත්මක සාධකයක් වීමය.  නපුංසක, රජයේ නීතීඥයා යන්න එසේ වචන තුනෙන් මුල් වචනය කඩා ඇපැල් උසාවිය නිගමනය කල ආකාරයට ආක්‍රෝධයෙන් උච්චාරණය කල නොහැකිය. වචන තුනම නොකඩා එකට ඇදී යායුතුය. ඒ අනුව පෙනීයන්නේ වාග් විද්‍යාව අනුව විග්‍රහ කල විටද ඇපැල් උසාවිය නොමඟ ගොස් ඇති බවය. මෙවැනි සුළු සිද්ධියක් කෙස් පැලෙන තර්‍ක යොදවා ගෙන අවුරුදු 19 ක හිර දඬුවමක් දීමට දඩමීමා කර ගැනීම යුක්ති සහගත නැත.

නීතිපතිවරයා කලින් මෙම කරුණු සළකා බැලුවා නම් ඥානසාර හිමියන්ට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට ඉඩක් නැතිබව ඔහුට අවභොධ වන බව නිසැකය. කෙසේ වෙතත් නඩු තීන්දුව කියවන විට පෙනී යන්නේ හෝමාගම මහෙස්ත්‍රාත්ට හෝ රජයේ නීතීඥයාට හෝ  හාමුදුරුවන් විසින් අපහාස කල බවක් ඔප්පු නොවන බවය. සුද්දගේ නීතිය අපිට එපා කියා මහේස්ත්‍රාත් ඉදිරියේ කියා සිටීම මුළු රටේම සමස්ථ නීති ක්‍රියා පද්ධතියට එරෙහිව කල බරපතල රාජද්‍රෝහී ක්‍රියාවක්, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී නොසිතූ බව විඩීයෝ පටියේ සංවාදයෙන් මනාව තහවුරු වුවත්, එය නොදුටු ඇපැල් විනිසුරු කෙන්ද කන්ද කරගෙන තිබේ.

පිට මැද සාක්කුවක්ද ඇති කළු කබායක් දමා උසාවියේ උස් මේසයේ ඉඳගෙන ඉන්නේ ශාන්තුවරුන් නොව නොයෙක් අඩුලුහුඬුකම් ඇති පංචස්කන්ධය.  ලෝකයේ ඉන්නා නඩුකාර වරුන්ට ඕනෑනම් කබර ගොයා තල ගොයා කරන්නට වුවද පුළුවන් බව ප්‍රසිද්ධ රහසකි. බොහෝ නඩුවලදී සිදුවන දෙයක් නම් නඩුව විභාගයට යන්නට කලින්ම නඩුකාරයා එම නඩුව ගැන යම් නිගමනයකට පැමිණ සිටින බවය. මේ සිද්ධාන්ත සංඛ්‍යාන විද්‍යාවේ නෝමල් කර්ව් එක වැනිය. එක් එක් නඩු තීන්දු කෙසේ තීරණය කෙරෙනවාද යන්න ඒ මඟින් තීරණය කල නොහැකිය. එය එසේ වුවද, මේ නඩු තීන්දුවේ යම් යම් කරුණු වලින්, නඩුකාරතුමාගේ ආකල්පය, චිත්ත ක්‍රියාවලිය පිළිඹඳ යම් සංඥා, හෙවනැලි, හෝඩුවාවන් දැනේ, පෙනේ. මෙම නඩුව බොදු බල සේනා සංවිධානයට විරුද්ධව නීතීඥයින් හය දෙනෙකු විසින් ගත් අනිසි ව්‍යායාමයක්දෝ කියා සිතෙන්නේ ඒනිසාය. මෙම අතිරේක කරුණු එකතුවක් ලෙස ගත් විට උසාවි තීරණයේ චෝදනා නමැති කුළුණු හතර පුපුරවා බිමට නොදැම්මත් ඒවා එම කුළුණු සොලවා ඇලකර දමයි.

1. හාමුදුරුවන්ට විරුද්ධව ශාක්‍ෂි දුන් නීතීඥයින් ඉතා උසස් ගනයේ ශාක්‍ෂිකරුවන් යයි ඇපැල් උසාවිය කියා සිටී. විනිසුරුට අනුව මහෙස්ත්‍රාත්වරයාව තදබල (සිවියර්ලි) ලෙසත්, රජයේ නීතීඥයාව තදබල ලෙස දීර්‍ග කාලයක් පුරාත්, නීතීඥ කුමාරප්පෙරුමව දිගින් දිගටමත් හාමුදුරුවන්ගේ නීතීඥයා විසින් ප්‍රශ්ණ කර ඇත. මේ අනුව මේ නීතීඥයින් තුන් දෙනා මට්ටම් තුනකින් පරීක්‍ෂණයට ලක් කරා යයි ඔහු කියා සිටී. ඉහත කියා ඇති විශේෂණ පදවලින් නඩුකාරතුමා බලාපොරොත්තු වන්නේ කුමක්ද? මේ මඟින් ඔහු වක්‍රව කියන්නට සදන්නේ විත්තිය පැත්තේ ශාක්‍ෂිකරුවන් මුහුණ දුන්නේ මෘදු, ලිහිල් ප්‍රශ්ණ කිරීමකට යන්නද?

 රජයේ නීතීඥ දිලීප පීරිස් හා නීතීඥ කුමාරප්පෙරුම, මහේස්ත්‍රාත් දුන් ශාක්‍ෂිය තහවුරු කරා යයි නඩුකාරතුමා ලියයි. හාමුදුරුවන්ට නඩුවක් පැටලැවීමට එකතුව ක්‍රියාකල මේ තුන් දෙනා එකිනෙකාට පටහැනි ශාක්‍ෂි දේවිද? අනික මොවුන් නීතීඥයින් මිස නීතියේ වෙට්ටු නොදන්නා සාමාන්‍ය ජනයා නොවේ.

2. 1.විත්තිකරු මහේස්ත්‍රාත්ගේ ශාක්‍ෂිය තහවුරු කලා; 
 2.විත්තිකරුගේ නීතීඥයා හා විත්තියේ ශාක්‍ෂිකරුවන් දෙන්නා විත්තිකරු විසින් නපුංසක යන වචනයභාවිතාකලේ නැතැයි කියා සිටියත්, විත්තිකරු තමා එසේ කල බව පිළිගත්තේය;
 3.විත්තිකරුගේ ශාක්‍ෂිකරුවන් දෙන්නා බොරු ශාක්‍ෂි දුන්නේය;
 4.විත්තිකරු බොරු ශාක්‍ෂි දුන්නේය?
නඩුකාරතුමාගේ මෙම නිගමන වලින් පෙනීයන්නේ විත්තිකරු විසින් අවංකවම, සත්‍ය ලෙස ශාක්‍ෂි දුන් බව නොවේද? සාමාන්‍යයෙන් සිදුවන්නේ යම් නඩුවක ශාක්‍ෂිකාරයින්ගෙන් ඔවුන් දෙන ශාක්‍ෂිය කුමක්ද යන්න ඒ ඒ පාර්‍ශවයේ නීතීඥයින් විසින් විමසා බැලීමය. ඒ අවස්ථාවේදී විත්තියට වාසිවන ආකාරයට බොරු ශාක්‍ෂි දීමට නීතීඥයින් උපදෙස් දෙන්නේ නැත. එහෙත් එම ශාක්‍ෂිකරු කියන දෙය විත්තියට අවාසි නම් එවැනි ශාක්‍ෂිකරුවන්ව විත්තිය විසින්ම උසාවිය ඉදිරියට ගෙනියන්නේ නැත. කුමක් නිසා මෙවැනි වරදක් සිදුවූවාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් කුමන හේතුවක් නිසා හෝ විත්තියේ ශාක්‍ෂිකරුවන් විත්තිකරු කී දේට පටහැනි දෙයක් කිව්වා නම් එය විත්තිකරුට විරුද්ධව පාවිච්චිකිරීම සුදුසුද?  විත්තිකරු දුන් බොරු ශාක්‍ෂිය කුමක්දැයි නඩුකාරවරයා පැහැදිලි ලෙස සටහන් කර තිබේද?
 
3. විත්තිකරු මහේස්ත්‍රාත් ඉදිරියේ කලේ ආයාචනයක් නොවේ; එය සාමකාමී සංවාදයක් නොවේ;
 ඔහු මහේස්ත්‍රාත්‌වරයාව ඇමතුවේ ආවේගශීලී උස් හඬකිනි; මේක සුද්දගෙ නීතියයි, අපි මේ නීතිය පිළිගන්නේ නෑ, ඒ නිසා මේ රණවිරුවන්ට ඇප ලබා දෙන්න යනුවෙන් විත්තිකරු කියා සිටියා.
නඩුව අසන අවස්ථාවේ විත්තිකරු නිහඩව සිටියේය.  නඩුවට භාධා කලේ නැත. විත්තිකරු කතාකලේ නඩුව අවසානවී චූදිතයින්ව පිටතට ගත් පසුවයි. වීඩියෝ පටිය බැලූ විට ඇපැල් උසාවියේ ඉහත නිගමන සාධාරණද(රීසනබල්ද) යන සැකය මතු නොවන්නේද? අවුරුදු 19 ක බරපතල වැඩ ඇති සිරදඬුවමක් දීම යුක්තිසහගතද? විත්තිකරු මිනීමැරුම් චෝදනා ලැබූවෙක්ද? බොදු බල සංවිධානයේ ප්‍රධානියා වශයෙන්, යහපාලන නඩය කරගෙන ගිය රණවිරු දඩයම හා භික්‍ෂු දඩයම විත්තිකරු තුල බලවත් ආතතියක් ජනිත කලේය. මේ කාරණය මහේස්ත්‍රාත්වරයාද තේරුම් ගත්තේය. ඔහු පසුව වෙනස්වුනේ ඒ වනවිට උසාවියෙන් පිට මිදුලේ සිටි නීතීඥයින් දෙන්නා නැවත උසාවියට ඇතුළුව කල බලපෑම නිසාය.

4. ජේවීපි හා බුද්ධාගම

උසාවිය විසින් කුමාරප්පෙරුම නම් නීතීඥයාට චරිත සහතිකයක් දීම මෙවැනි නඩුවලදී නඩූකාරවරුන් හුදෙක් නීති පොත් හා නඩු වාර්තා පොත් වලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බටද යන බව පෙන්වා දේ. කුමාරප්පෙරුම එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යාගේ නීතීඥයාය. වීඩියෝ පටියෙන් පෙනෙන අයුරු මහේස්ත්‍රාත්වරයා විසින් සිය අභිමතය මත ගොඩින් බේරා දැමීමට ගිය සිද්ධියක් ගිනි අවුලා ඔහුට බලපෑම් කල එක් අයෙක් කුමාරප්පෙරුමය.  ඔහුගේත් රජයේ නීතිඥයාගේත් මැදිහත්වීම නිසා උසාවිය ඉදිරිපිටම මහේස්ත්‍රාත්වරයා අසරණ අවස්ථාවකට පත්‌විය. ඔහුට ක්‍රියා නොකර සිටීමට නොහැකි පරිසරයක් මැව්වේ මේ නීතීඥයින් දෙන්නා විසින් ය. ඔහුට ඇති බලයට වඩා වැඩි බලයක් ඇති උසාවියක් මඟින් හාමුදුරුවන්ට දඬුවම් කල යුතුය යන තීරණයකට ඔහු ආවේ මේ බලපෑම නිසාය. එහෙත් මේ ගැන ඇපැල් උසාවියේදී නැවත ප්‍රශ්ණ කල විට එය සිදුවූයේ ඒ ආකාරයට නොවේ යයි කියන්නට ඔහුට පුළුවන්ද? ඔහුට නූතන කැප්පෙට්ටිපොළ කෙනෙක් විය හැකිද?

මෙම කාරණය කණපිට හරවා විත්තිකරුට විරුද්ධව පාවිච්චි කර ඇත. මහේස්ත්‍රාත්වරයා එදින උසාවි කටයුතු මෙහෙයවූ අන්දම ගැන විත්තිකරු සතුටු වනවා යයි හරස් ප්‍රශ්ණ වලට විත්තිකරු දුන් පිළිතුර නිසා විත්තිකරුගෙන් ඇසූ තවත් හරස් ප්‍රශ්ණයක් නම්, එසේ නම් ඔහු විත්තිකරුට විරුද්ධව ශාක්‍ෂි දෙන්නේ ඇයිද යන්නය. මෙම උභතෝකෝටික ප්‍රශ්ණයට ක්‍ෂණයකින් පිළිතුරක් දීමට නොහැකිවීම විත්තිකරුට විරුද්ධවම පාවිච්චිකර ඇත. මහේස්ත්‍රාත්වරයා වෙනස් වූයේ අනිත් නීතීඥයින් දෙන්නාගේ බලපෑම නිසා නොවේද යන්න ඒ වේලාවේ හාමුදුරුවන්ගේ කල්පනාවට ආවේ නැත.

කුමාරප්පෙරුම මහතා උසාවියේදී කියා සිටියේ 2015 දී ඔහු ජේවීපී යටතේ පාර්ලිමේන්තු චන්දය ඉල්ලුවත්, තමන් බොදු බල සේනා විරෝධියෙක් නොවන බවය. නොෙසේ නම් තමන් බුද්ධාගමට විරුද්ධ නැති බවය.  නඩුකාරවරයා එය පිළිගෙන තිබේ. එහෙත් ලංකාව හෝ ලෝකය එය පිළිගන්නවාද? කෙසේ වෙතත් මින් එළියට පනින දෙයක් නම් සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරය ගැන විනිසුරුතුමාටද යම් හෝඩුවාවක් තිබී ඇති බවය.

ලංකාවේ නීතිය පසිඳලන අකාරය ගැන වික්ටර් අයිවන්ගේ උසාවිය නිහඬයි යන වාර්තා චිත්‍රපටියේ හා සුගන්ධිකා ප්‍රනාන්දුගේ නඩුකාරයාගේ පතුල්වලට දෙහිගෑම් යූටියුබ් වීඩියෝ පටියෙන් රටටම එලිදරව් විය. එහෙත් උසාවි ක්‍රමය, සංස්ථාව කෙතරම් පහත් අඩියකට වැටී තිබේද යන කාරණය, ඥානසාර හාමුදුරුවන්ට දුන් දරුණු දඬුවමෙන් කදිමට පැහැදිලිවිය. ඇමෙරිකාවේ මීට කියන්නේ කෲර හා අසාමන්‍ය දඬුවම් කියාය. නීතීඥයින් දෙන්නෙක් නිසා අසරණවූ හෝමාගම මහේස්ත්‍රාත්‌වරයා ශාක්‍ෂි දෙමින් කියා සිටියේ මේ වරදට දැඩි දඬුවමක් දීමට අවශ්‍ය නිසා ඔහු එය ඇපැල් උසාවියට වාර්තා කරන්නට තීරණය කල බවය. එහෙත් ඊට පෙර හාමුදුරුවන් සමඟ දේශපාලන සංවාදයක ඔහු නියැලී සිටි ආකාරය වීඩියෝ පටිගතව තිබේ!

[email protected]

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress