උන්ගේ නෑයන්ගේ පක්‍ෂය සහ සජිත්
Posted on September 15th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

දොන් චාල්ස් ගෙමෝරිස් ආටිගල ඉපැදුණේ 1834 අවුරුද්දේ. ඒ දරුවාගේ ගෙවල් තිබුණේ පිළියන්දල මඩපාත. වයස අවුරුදු 12 ක් තරම් පොඩි කොල්ලෙක් කාලේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ වැඩට ගෙමෝරිස් ගියා. අවුරුදු හයක් ම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වැඩ කරපු ගෙමෝරිස් තමන් කරපු රාජකාරිය ගැන හොඳ දැනුමක් ලබාගත්තා. ඉතින් ඒ හපන්කම ගැන සළකපු ඉංග්‍රීසි ආණ්ඩුව මනුස්සයාව නුවරඑළියේ හක්ගල මල් වත්තේ වැඩට යැව්වා. ගෙමෝරිස් එතැනත් අවුරුදු හයක් ම වැඩ කළා. ඊට පස්සේ මනුස්සයා ආණ්ඩුවේ රස්සාවෙන් අස්වුනා.

මේ වෙද්දි ගෙමෝරිස්ගේ වයස අවුරුදු 24 යි. ඊට පස්සේ තවත් දෙන්නෙක් තුන් දෙනෙක් හවුල් කරගත්ත මනුස්සයා කඩුගන්නාව පැත්තෙන් ඉඩමක් ඇරගෙන කෝපි වවන්න පටන් ගත්තා. එක එක විච්චූර්ණ පැල ජාති යුරෝපීය වතුකාරයන්ට විකුණන වැඩෙත් ගෙමෝරිස් කරගෙන ගියා. තව තව බිස්නස් වැඩවලටත් අත ගැහුවා. ඊටත් පස්සේ ජයතිලක කියලා කෙනෙකුයි සිල්වා කියලා කෙනෙකුයි අල්ල ගෙන මිනිරන් පතල් හාරන වැඩේට මුල පිරුවා. දොඩන්ගස්ලන්ද පැත්තේ තියෙන කහටගහින් ඉඩමක් ගන්නත් මනුස්සයාට පුළුවන් වුනා. ඒ වැඩෙන් තමයි ගෙමෝරිස්ට හරි හමන් ඉල්ලමක් පෑදෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ ඉඩමේ හාරපු කහටගහ මහා මිනිරන් පතලේ අයිතිකාරයා බවට පත්වෙන්න ගෙමෝරිස්ට පුළුවන් වුනා. අරක්කු රේන්ද බිස්නස් එකටත් මනුස්සයා අත ගැහුවා.

මේ එක්කම ගෙමෝරිස්ගේ කරල පැහුණා. නවතින්නේ නැති සල්ලි ගංගාවක් මනුස්සයාගේ අතට ගලා ගෙන එන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට ඉස්සරහට ආපු ගෙමෝරිස් අක්කර දහදාහකට වැඩි ඉඩම් හිමි මහා වැවිලිකාරයෙක් බවටත් පත්වුනා. තේ, පොල්, රබර්, කුරුඳු මේ හැම මගුලක් ම මනුස්සයා වැව්වා. ඒ එක්කම මනුස්සයාට පට්ටම්, නම්බුනාමත් ලැබෙන්න පටන් ගත්තා. වයස අවුරුදු පනහක් වෙද්දි (හරියට ම කියනවා නම් 1885 අවුරුද්දේ) ඉංග්‍රීසි ආණ්ඩුව ගෙමෝරිස්ට මුහන්දිරම් පට්ටමක් දුන්නා. තවත් අවුරුදු 15 ක් ගතවෙද්දි මනුස්සයාට මුදලි පට්ටමත් ලැබුණා.

දැන් අපි මේ මනුස්සයාට ගෙමෝරිස් ගෙමෝරිස් කියලා කියන්නේ නැතුව හොඳට ගරු නම්බු ලැබෙන විදිහට ආටිගල මුදලිතුමා කියලා කියමු. ආටිගල මුදලිතුමාගේ වලව්ව (ආටිගල වලව්ව) තිබුණේ මඩපාත කොළමුන්නේ ගමේ. එතුමා බැඳලා හිටියේ පෙට්‍රොනෙල්ලා අබේකෝන් කියන ළමාතැනීව. මේ දෙන්නාට ළමයි හතර දෙනෙක් හිටියා. ඒ, දුවලා තුන් දෙනයි, පුතාලා එක්කෙනයි කියන විදිහට.

වැඩිමහළු දුවගේ නම ඇලිස් එලිසබෙත්. යන්තම් වයස අවුරුදු 22 ක් වෙද්දි මේ දැරිවිය ගමේ හිටිය පොලිස්කාරයෙක් එක්ක ඇයි හොඳැයියක් ඇති කරගත්තා. ඒ පොලිස්කාරයා තමයි ජෝන් කොතලාවල. මේ කියන්නේ 1953 අවුරුද්දේ අගමැති ධූරයට පත්වෙච්ච ජෝන් කොතලාවල ගැන නෙවෙයි. මේ කියන්නේ ඒ ජෝන් කොතලාවලගේ තාත්තා ගැන. අර නෙයිනාගේ සූදුවට පැටලුණේ මේ තාත්තා ජෝන්. කොහොම හරි මේ තාත්තා ජෝන්ට පුළුවන් වුනා දන්න සෙල්ලම් ඔක්කොම දාලා ඇලිස් එලිසබෙත්ව කරකාර බැඳගන්න. ඒ ගැනත් ලස්සන ලස්සන කතන්දර තියෙනවා. ඒවා ඔක්කොම කියන්න ඉඩක් නෑ.

මේ වැඩේට මුල දී විරුද්ධ වුනත් අන්තිමේ දී ආටිගල ජෝඩුව ඒ මගුල කරලා දුන්නා. හැබැයි දෝණියැන්දාව නිකම් දුන්නෙත් නෑ. අක්කර 2058 ක රබර්, පොල් වතුයි, කහටගහ පතලෙන් හතරෙන් එකකුයි ඒ දෑවැද්දට අයිති වුනා.

1901 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 12 වැනි දා ගෙමෝරිස් ආටිගල මුදලිතුමා පරලොව ගියා.

මේ පවුලට හිටිය දෙවැනි දුව තමයි ලීනා ආටිගල. 1905 අවුරුද්දේ ඒ දෝණියැන්දාව බන්දලා දුන්නේ හමුදාවේත් කාලයක් වැඩ කරපු තියඩෝර් ග්‍රොඩ්ෆි විජේසිංහ ජයවර්ධන කියන සිවිල් ඉංජි‍නේරුවාට. තේ, රබර් ඉඩම්වලින් අක්කර 2861 කුයි, මිනිරන් පතලෙන් හතරෙන් පංගුවකුයි මුදලින් රුපියල් ලක්‍ෂ දෙකකුයි දෑවැද්ද විදිහට දුන්නා. තියඩෝර් ජයවර්ධන කියන්නේ කවුද කියලා දන්නවා ද? ඒ තමයි අපේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ මහප්පා. ඒ කියන්නේ ජේ. ආර්. මහත්තයාගේ තාත්තාගේ අයියා.

ආටිගල පවුලේ තුන්වැනි දුව තමයි ඇලන් ආටිගල. ඒ දෝණියැන්දාව බන්දලා දුන්නේ එෆ්. ආර්. සේනානායක මහත්තයාට. එතුමා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ තමයි ඩී. එස්. සේනානායක මහත්තයාගේ අයියා. ඒ කසාදයේ දෑවැද්ද හැටියට තේ, රබර් ඉඩම්වලින් අක්කර 3027 කුයි, මිනිරන් පතලින් හතරෙන් පංගුවකුයි, මුදලින් රුපියල් ලක්‍ෂ දෙකකුයි දුන්නා.

මේ දෝණියැන්දලා දෙන්නාට දුන්න දෑවැදි ලොකු දෝණියැන්දාට දුන්න දෑවැද්දට වඩා සෑහෙන්න වැඩියි. මේ ගැන ජෝන් බෑනා (තාත්තා ජෝන්) හිත නරක් කරගෙනයි හිටියේ. මේ අස්සේ පවුලේ බාලයා – ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල; දේපල පාලනයට මැදිහත් වෙන්න පටන් ගත්තා. මේ වැඩේ නම් ‍ජෝන් බෑනා පොඩ්ඩක්වත් ඉවසුවේ නෑ. මේ කතාවත් නාට්‍යයක් වගේ කියන්න පුළුවන් එකත්. ඒත් ඒ හැම දෙයක් ම කියන්න ඉඩක් නෑ.

1906 අවුරුද්දේ දෙසැම්බර් 5 වැනි දා රෑ ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගල (ඒ කියන්නේ ආටිගල පවුලේ බාල පුතා) පිටකොටුවේ ගෙදරකට ආවා. ඒ ගෙදර අයිති වෙලා තිබුණේ වෙස්ලි විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාට. අවුරුදු 22 ක් වයස ෆ්‍රැන්සිස් ඩික්සන් ආටිගලව පරලොවට දක්කන සැලැස්ම එදා රෑ ක්‍රියාත්මක වුනා. වෙඩි වැදිච්ච ආටිගල කුමාරයා පහුවදා පරලොව ගියා. ඒත් මැරෙන්න ටිකකට කලින් ඔහු තමන්ගේ අන්තිම කැමැත්ත ලිව්වා. ඔහුගේ දේපොළ ඔක්කොම ලියලා දුන්නේ පොඩි අක්කලා දෙන්නාට. ඒ දේපොළින් පිච්චියක්වත් ලොකු අක්කාට ලිව්වේ නෑ.

වැඩේ සැලසුම් කරලා ජපානයට ගිහිල්ලා හිටියත් මේ වැඩේට ජෝන් බෑනා සම්බන්ධ බව එළිවුනා. ඉතින් ජපානයේ ඉඳලා ආපහු එන දවසේ ම මනුස්සයා පොලිස් අත්අඩංගුවට පත්වුනා. බොහොම ඉහළින් මේ නඩුව ඇහුවා. දෙපැත්තම පුළුවන් තරමින් සල්ලි විසි කළා. ඒත් තමන්ට ගැලවීමක් නැති බව ජෝන් බෑනා තේරුම් ඇරගෙන හිටියේ. ඉතින් නඩු තීන්දුව දෙන දවසේ උසාවයට එන්න ලෑස්ති වෙද්දි ජේලර් කෙනෙක් මනුස්සයා අතට පොඩි පැකට් දෙකක් දුන්නා. ඒ සයනයිඩ් පැකට් දෙකක්!

මේ කියන්න හදන කතාවට ඔය සියදිවි නසාගැනීමේ සිද්දිය අදාළ නෑ. මේකට අදාළ දේ තමයි යූ. ඇන්. පී. කියන එකට මිනිස්සු පට බැඳපු නම. යූ අකුරට මිනිස්සු උන්ගේ” කියලා කිව්වා. ඇන් අකුරට මිනිස්සු නෑයන්ගේ” කියලා කිව්වා. පී අකුරෙන් කොහොමත් කියැවෙන්නේ පක්‍ෂය” කියන එකනේ. ඉතින් යූ. ඇන්. පී. කියන එක උන්ගේ නෑයන්ගේ පක්‍ෂය” කියලා මිනිස්සු වෙනස් කළා.

මේ නෑදෑකම් ඇතිවෙච්ච එක විදිහක් දැන් පැහැදිළියි නේ ද? ඒකට මූලිකව ම සම්බන්ධ වුනේ අපේ කතානායකයා – ඒ කියන්නේ ගෙමෝරිස් ආටිගල මුදලිතුමා. සේනානායකලා, කොතලාවලලා, ජයවර්ධනලා ගෙමෝරිස් ආටිගල මුදලිතුමා හරහා ළඟ ම නෑයෝ බවට පත්වුනා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ජේ. ආර්. මහත්තයාගේ බෑනා බව අපි හැමෝම දන්නවානේ.

රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ නෑයන්ගේ පක්‍ෂයට අභියෝග එල්ල කරලා රටේ නායකයා බවට පත්වෙච්ච සාමාන්‍ය පවුලකින් ආපු එකම පුද්ගලයා. තාත්තා කරපු වැඩේ තමනුත් කරනවා කියලා සජිත් මහත්තයා කියනවා. තාත්තා කරපු ලොකු ම හපන්කම තමයි මේ පවුල් බලයට අභියෝග කරලා රටේ රජවුනු එක. සජිත් මහත්තයෝ, පුළුවන් නම් ඒ වැඩේ කරන්න. අපි හැමෝම බලාගෙන ඉන්නවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

One Response to “උන්ගේ නෑයන්ගේ පක්‍ෂය සහ සජිත්”

  1. Randeniyage Says:

    “උන්ගේ නෑයන්ගේ පක්‍ෂය” Yes , now I remember it. My father ( who was a SLFP supporter) used to call them this. But now it should be given to another party.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress