මෙහෙමයි වුනේ – (හත්වැනි කොටස)
Posted on September 16th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

වයස අවුරුදු පනහක් වෙන්නත් තව වැඩි දවසක් නෑ. අපේ පොඩි කාලේ අපිට උපන් දිනේ ගැන වගේ වගක් තිබුණේ නෑ. එක එක ෆෝර්ම කොළ පුරවද්දි අදාළ තැන්වල අපි අපේ උපන් දිනය ලිව්වා. ඒ ඇරෙන්න ඒක ගැන වදවෙන්න තරම් හේතුවක් අපිට තිබුණේ නෑ. ජීවිතේ මුල් ම සහ අවසාන වතාවට මම මගේ කියලා උපන් දින සාදයකට සම්බන්ධ වෙලා තියෙන්නේ 2002 අවුරුද්දේ. එදා මම හිටියේ නවදිල්ලියේ. ඉන්දියානු සංඛ්‍යාන ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන සංඛ්‍යානය පිළිබඳ පාඨමාලාවකට සම්බන්ධ වෙච්ච ශිෂ්‍යයෙක් විදිහට මම ඒ දවස්වල ඉගෙන ගනිමින් හිටියා. වෙන රටවල්වලින් ඒ පාඨමාලාවට සහභාගී වෙන්න ඇවිල්ලා හිටපු අය තමයි ඒ උපන් දින සාදය සංවිධානය කළේ. මේ වෙද්දි ඒකත් සෑහෙන්න පරණ වෙච්ච මතකයක්.

ගතවෙච්ච අවුරුදු පනහක කාලය දිහා ආපහු හැරිලා බලද්දි දුක්වෙන්න, කම්පාවෙන්න කරුණු කාරණා තියෙනවා ද කියලා මම හිතලා බලලා තියෙනවා. ඇත්තටම ඒ විදිහේ එක කාරණයක් තියෙනවා. ඒක සෑහෙන්න දුක් වෙන්න ඕන කාරණයක්. අපේ පරම්පරාවේ අයට හරි හමන් අධ්‍යාපනයක් නො ලැබිච්ච එක තමයි ඒ කාරණය. ඉවරයක් නැතුව අපි එක එක විභාග පාස් කරලා මහ ලොකු සහතික ලබාගෙන තියෙන බව ඇත්ත. ඒත් ඒ සහතික ගැන ඇත්තට ම සතුටුවෙන්න පුළුවන්කමක් මට නම් නෑ.

මම ඉපැදුනේ 1969 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 23 වැනි දා. එදා ම තමයි නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට අපි සළකන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයා දිවංගත වෙලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ අපි එතුමාගේ පනස්වැනි ගුණ සමරුව පවත්වනවා. ඒ සඳහා රට ම සූදානම් වෙන්න ඕන මේ වෙලාවේ අපි ලබපු අධ්‍යාපනය ගැන මට තියෙන දුක්ගැනවිල්ල මම කියන්නම්.

කන්නන්ගර මහත්තයා කියන්නේ අපි හැම දෙනෙක් ම බොහොම ගෞරවයෙන්, ආදරයෙන් සිහි කරන පුද්ගලයෙක්. එතුමාත් ඒ කාලයේ හිටිය අනෙකුත් දේශප්‍රේමී නායකයිනුත් එකතු වෙලා කරපු වැඩවලට පින්සිද්ද වෙන්න තමයි අපි හැමෝට ම නිදහසේ අධ්‍යාපනය ලැබීමේ වරම ලැබුණේ. ඒ ලැබීම ගැන අපි කවුරුවත් වාද කරන්නේ නෑ. 1956 වෙද්දි කන්නන්ගර මහත්තයා දේශපාලනයෙන් සමු ඇරගෙන තියෙනවා.

1960 අවුරුද්දේ ඔක්‌තෝබර් 27 වැනි දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත්ත පාසල් රජයට පවරා ගැනීමේ පනත නිසා නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් වුනා. මිෂනාරි සමාගම් යටතේ පාලනය කෙරුණු ඉස්කෝල 2750 ක්‌ ඒ පනත සම්මත කරගත්තාට පස්සේ රජයේ පාලනයට අයත් වුනා කියලා කියනවා. ඉතින් නිදහස් අධ්‍යාපන හිමිකම අපිට ලබා දෙන්න අනෙකුත් දේශප්‍රේමීන් එක්ක එකතුවෙලා කන්නන්ගර මහත්තයා කරපු කටයුතු නිසාත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් පාසල් රජයට පවරා ගැනීම නිසාත් ඇතිවෙච්ච අධ්‍යාපන අවස්ථා සෑහෙන්න තියෙන පරිසරයක තමයි මම ඉපැදිලා තියෙන්නේ.

එහෙම නම් කණගාටු වෙන්න, දුක් වෙන්න හේතුවක් කොහෙද තියෙන්නේ?” කියලා කාට හරි අහන්න පුළුවන්. උසස් අධ්‍යාපන අවස්ථාවල සීමාවක් තිබුණට ඒ දක්වා ඉගෙන ගන්න ඕන තරම් ඉඩ තියෙනවා නේ ද?” කියන ප්‍රශ්නයත් ඒ අයට අහන්න පුළුවන්. මම දුක් වෙන්නේ, කණගාටු වෙන්නේ අධ්‍යාපන අවස්ථා ගැන නෙවෙයි. මගේ දුක්ගැනවිල්ල අදාළ වෙන්නේ ඒ විදිහට ලැබිච්ච ඉඩ ඇතුළේ අපි ලබාගෙන තියෙන අධ්‍යාපනයේ ස්වරූපය ගැනයි. ඔය විදිහට ඇති කරගත්ත මහා ඉඩකඩ ඇතුළේ හරි හමන් අධ්‍යාපනයක් ලබාගන්නත් අපිට පුළුවන් වුනා නම් අද මේ රට මෙහෙම තියෙන්න විදිහක් නෑ.

මම ඉපැදෙන කාලේ අපේ රටේ අධ්‍යාපන ඇමැති විදිහට වැඩ කරලා තියෙන්නේ ඊරියගොල්ල මහත්තයා. අධ්‍යාපනයේ ලොකු වෙනසක් කරන්න ඕන කියන අදහස ඒ මහත්තයාට තිබිලා තියෙනවා. ඒ ගැන ඒ මහත්තයා නිතර නිතර කතා කරලාත් තියෙනවා. ඒත් ඒ වෙනුවෙන් යමක් කරන්න ඒ මහත්තයාටත් බැරි වුනා. අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් කරන්න එතුමා දඟලන බව තේරුම් ගත්ත කට්ටියක් එතුමාව දේශපාලනයෙන් ම අයින් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක වෙනම කතාවක්.

මේ කතා ඔක්කොම පැත්තකින් තියලා මම මගේ කතාව කියන්නම්.

අයියාට වඩා මාස දොළහයි දවස් දොළහකින් විතරක් බාල වෙච්ච හින්දා මට අමුතුවෙන් අකුරු කියවන්න වෙලා නෑ. අයියත් එක්කම මමත් අකුරු කියවලා තියෙනවා. හරස්බැද්දේ ගුරු නිවාසයේ ඉන්න කාලේ අපි හුණු කූරු ඇරගෙන ඉස්කෝලේ සිමෙන්ති බිමේ අකුරු ලියනවා. හවස ඉස්කෝලේ ඇරුනාම අම්මා පංති කාමරයක පුටු මේස ඈත් කරලා ඒකට ඉඩ හදලා දෙනවා. අපි දෙන්නා බිම පුරා ම එක සීරුවට, ඒ වගේ ම තරගෙට අකුරු ලියනවා. ඉතින් මගේ අකුරු හැඩවෙලා තියෙන්නේ වැල්ලේ ලියලා නෙවෙයි. සිමෙන්තියේ ලියලා.

අපි දෙන්නා ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලේ ගියේ රූපහ ඉන්න කාලේ බව මට මතකයි. අයියාව ඉස්කෝලෙට භාර දෙද්දි මමත් ඒ එක්කම ඉස්කෝලෙ ගියා. මේ කතාව මම කලින් කියලා තියෙනවා. ඒත් රූපහ ඉස්කෝලේ ගමන ගැන වැඩි විස්තරයක් කියන්න විදිහක් නෑ. ඒ වැඩේට අදාළ කිසිම දෙයක් මට මතක් කරගන්න අමාරුයි. ඒත් හරස්බැද්දේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච සමහර දේවල් නම් මට හොඳට මතකයි. පංතිභාර ගුරුතුමා අනිත් ළමයින්ගෙන් ප්‍රශ්න අහද්දි මම ඒ මැද්දට පැනලා උත්තර දෙනවා කියලා අවුලක් ඇතිවුනා. මම ඒ වැඩේ සෙල්ලමකට ඇරගෙන තිබුණු හින්දා ඒක නවත්ත ගන්න විදිහක් නැතුව ගුරුතුමා තාත්තාට පැමිණිලි කරලා තිබුණා. ඉතින් තාත්තා ඒ ප්‍රශ්නය විසඳුවා.

ඉස්කෝලේ පේන මානේ තිබුණු හරස්බැද්ද පන්සලට අපි යනවා සිංහල” පොත් කියවන්න. නම්පොත, ගණදෙවි හෑල්ල, වදන් කවි පොත, බුද්ධ ගජ්ජය, සකස්කඩ වගේ පොත් තමයි අපි පන්සලේ දී කියෙව්වේ. ඒ පොත් සම්පූර්ණයෙන් ම කියවපු අන්තිම ගිහි පරම්පරාව අපි වෙන්නත් පුළුවන්. ඒ පොත්වල ලොකු බරක් තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒවා කියවනවා කියලා අපිට හොඳින් දැනුනා. ඉතින් ගෙදර ඇවිල්ලත් අපි ඒවා මහ සද්දෙට කියෙව්වා.

සගම, පස්ගම, අරත්තන, මාදන්වල, විල්වල, කඩදොර, මොරපාය, දිඹුල, පුසුල්පිටිය, …” කියලා හොඳින් කට ඇරලා නම්පොත කියාගෙන කියාගෙන යද්දි අපේ කටවල් හැදෙනවා. අප තථාගතයන් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්‍ෂාත්කරණීය සර්වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම …” කියලා සකස්කඩ කියාගෙන කියාගෙන යද්දි කටේ තියෙන වංගු ඔක්කොම දිග ඇරෙනවා. ඊට පස්සේ බය නැතුව ඕන මගුලක් එක හුස්මට කියවීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් හරස්බැද්දේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ලබපු ඒ අධ්‍යාපනය අමතක කරන්න අමාරුයි.

ඒත් ඉස්කෝලේ ඉගැන්නුවේ අන්න සාමා, අමර එනවා” වගේ විකාර. අපි කියවන අකුරුවල බරකුත් නැතිනම්, ඒ අකුරු අස්සේ කතාවකුත් නැතිනම් අපි මොකට ද ඒවා කියවන්නේ? ඒ කියැවීම්වලින් අන්තිමට මොනවා ද ජීවිතේට එකතුවෙන්නේ? පන්සලේ දී අලි ඇත්තු උස්සලා ඉස්කෝලෙට ගියාම අපිට කියනවා පුංචි පුංචි බලු කුක්කෝ උස්සන්න කියලා. ඉතින් අනිත් ළමයින්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දීලා ඒ වැඩේ අල කරන්නේ නැතුව බකන්නිලාගෙන ඉන්නේ කොහොම ද?

ක්‍රිකට් ගහන කට්ටිය කරන අභ්‍යාස අපි දැකලා තියෙනවා. ඒ අයගේ අත පය එහෙට මෙහෙට අදිනවා. දුවනවා. බිම පෙරලෙනවා. ඩිප්ස් ගහනවා. පාපන්දුවලට ගහනවා. ක්‍රිකට් ගැහිල්ලට අදාළ නැති සෙල්ලම් සෑහෙන ප්‍රමාණයක් ඒ අය කරනවා. ඒවා හරි අමාරු ව්‍යායාම. එහෙම අමාරු ව්‍යායාම කළා ම තමයි ක්‍රිකට් ගැහිල්ලට ඕන විදිහට ඒ අයගේ ඇඟ හැදෙන්නේ. භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නෙත් ඒ වගේ දුක් විඳලා කරගන්න ඕන වැඩක්. ඒත් ඉස්කෝලෙ දී අපිට කියලා දුන්නේ ඇ‍ඳේ බුදියගෙන ක්‍රිකට් ගහන ක්‍රමයක්!

බස් එකේ යද්දි පාර දිගේ කඩ සාප්පුවල බෝඩ් ලෑලි කියවන්න කියලා අම්මා අපිට කියනවා. හරස්බැද්දේ ඉඳලා දෙණිකේ ලොකු අම්මලා ගෙදර යද්දි ලොකු ටවුමකට කියලා පහුකරන්නේ පදියපැලැල්ල නගරය. නුවර, හඟරන්කෙත දිහා යනවා නම් රිකිල්ලගස්කඩ පහුකරන්න ඕන. පදියපැලැල්ලෙයි, රිකිල්ලගස්කඩයි ඒ කාලෙත් හොඳට කඩ සාප්පු තිබුණා. ඉතින් ඒවායේ බෝඩ් ලෑලි කියවනවා මට තාමත් මතකයි. වැඩේ තියෙන්නේ අදටත් ඒ ලෙඩේ සනීප වෙලා නැති එක. පස්සේ පස්සේ ඒ බෝඩ් ලෑලිවල දෝෂත් හොයන්න මම පටන් ගත්තා. මේ ළඟ දී බොරැල්ලේ බාවා පෙදෙසේ ගෙදරකට ගියා. පාර හැරෙන තැන එක බෝඩ් එකක තියෙන්නේ බාවා පෙදෙස කියලා. තව බෝඩ් එකක තියෙන්නේ බවා පෙදෙස කියලා!

පහේ පංතියට යන කල් ඕන කරන ඉස්කෝල පොත් තාත්තා ගෙනැල්ලා දුන්නා. ඒ දවස්වල අපේ පංතිවල නිතර නිතර පාවිච්චි කළේ පී. රූබන් පීරිස් මහත්තයා ලියපු පෙළ පොත්. කුමාරතුංග මුනිදාස මහත්තයා ලියපු පොත් අපි කියෙව්වේ අමතර කියැවීම් විදිහට. ලස්සන ලස්සන රුසියන් කතන්දර පොතුත් අපි ගෙදර දී කියෙව්වා. ලස්සන වසිලිස්සා” කියන්නේ ඒ වගේ එක අපූරු පොතක්. වසිලිස්සා, ඉවාන් කුමාරයා විතරක් නෙවෙයි බබායිගා යකින්නත් ඒ දවස්වල අපේ හිත්වල සින්නක්කරේට ම පදිංචි වෙලා හිටියා. අම්මා උයද්දි අපි කුස්සියට වෙලා පොත් කියවනවා. ඇලිස් දුටු විශ්මලන්තය” ඒ වගේ තව පොතක්. හැම්ලින් නගරයේ නළාකාරයාගේ කතාව” තව එකක්. ඇයි අර නොගැලපෙන රෝද” කතාව? මේවා ගැන හිතන්න ගත්තම වැල නොකැඩී එක එක මතකයට එනවා. ඒ හින්දා ඒවා ගැන කතාව මෙතැනින් නවත්තන්නම්.

මෙච්චර පොත් පත්, කතන්දර තියෙන ලෝකයක මොන මගුලකට ද අමරයි, සාමායි ගැන විකාරයක් උගන්නන්නේ? ඉතින් ඉස්කෝලේ අපි ඉගෙන ගත්තේ එලොවටයි මෙලොවටයි දෙකට ම නැති සිංහල පාඩමක්. අපිත් ඈනුම් ඇර ඇර ඔය නීරස කතා අහන්න අපේ ජීවිතේ නාස්ති කරගත්තා. ඊට අමතරව, උඩ බලාගෙන ඉන්න එකත් අපි අභ්‍යාසයක් විදිහට පුරුදු පුහුණු කළා.

හතරේ පහේ පංතිවලට එද්දි ශිෂ්‍යත්ව සෙල්ලම පටන් ගත්තා. අද වගේ ටියුෂන් පංති තිබුණේ නැති වුනාට ශිෂ්‍යත්වය වෙනුවෙන් අමතර පංති තිබ්බා. ඒවා තිබ්බේ ඉස්කෝලෙමයි. මගුලාගම ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරු දවස් බෙදාගෙන හවසට, සෙනසුරාදාට අමතර පංති කළා. සමහර ගුරුවරු සෑහෙන දුර ඉඳලා වැඩට ආවේ. එක ගුරුවරයෙක්ගේ ගෙදර තිබුණේ සඳලංකාව පැත්තේ. එතුමාගේ නම මට දැන් මතක නෑ. සඳලංකාවේ ඉඳලා මගුලාගමට එන්න අඩුම ගණනේ බස් තුනක එන්න ඕන. මුලින් ම පන්නලට ඇවිල්ලා, පන්නලින් කුලියාපිටියට ඇවිල්ලා, එතැනින් මගුලාගමට එන්න ඕන. සත පහක ප්‍රතිලාභයක් ගැන හිතන්නේ නැතුව නිවාඩු දවස්වලටත් ඒ ගුරුවරු ඉස්කෝලේ ආවා.

ඒ කොහොම වුනත් අපිව පුරුදු පුහුණු කළේ විභාගයකට. මම ශිෂ්‍යත්ව විභාගය ලිව්වේ 1979 අවුරුද්දේ. ඒ දවස්වල ශිෂ්‍යත්ව විභාග දෙකක් තිබුණා. ‍පළමුවැනි විභාගයෙන් පාස් වෙන අයට තමයි දෙවැනි විභාගයට ලියන්න පුළුවන්. මුල විභාගයෙන් අපි හත් දෙනෙක් පාස් වුනා. පස්සේ හෙට්ටිපොල තිබුණු දෙවැනි විභාගයට අපි හත් දෙනා ගියා. ඒ විභාගයේ අත්දැකීම් ගැන මම කලින් ලියලා තියෙනවා. ඊට පස්සේ ඇතුළත්වීමේ විභාගයකට ලියලා ඒකෙන් පාස්වුනා ම කුලියාපිටිය මහා විද්‍යාලයට යන්න පටන් ගත්තා.

ඒ අවුරුද්දේ (1980 අවුරුද්දේ) තමයි හා හා පුරා කියලා මුලින් ම පොත් නොමිළේ දෙන්න පටන්ගත්තේ. අධ්‍යාපන සේවා ඇමැති ධූරය හිමිවෙලා තිබුණේ ලයනල් ජයතිලක මහත්තයාට. ඉතින් පොත් නොමිළේ දෙන මුල් ම උත්සවය තිබුණේ නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විද්‍යාලයේ. ඒ උත්සවයට අපිවත් එක් කරගෙන ගියා. ජේ. ආර්. මහත්තයා එන කල් පැය ගානක් අපි බලාගෙන හිටියා. අව්ව සැරට මට කලන්තේ හැදුණා. ගහක් යටට මාව ගෙනියලා පවන් ගහලා, ග්ලූකෝස් කන්න දුන්නා. ඒ කාලේ අපිට ග්ලූකෝස් ටිකක් කන්න ලැබෙනවා කියන්නේ එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි!

හයේ පංතියේ පළමුවැනි වාරය ඉවරවෙන්න කිට්ටු වෙද්දි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ආවා. මගුලාගම ඉස්කෝලෙන් පාස්වෙලා තිබුණේ මම විතරයි. ඉතින් දෙවැනි වාරය වෙද්දි නාරම්මල සෙන්ට්‍රල් එකට යන්න මට පුළුවන් වුනා. මේ ගැනත් මම කලින් කියලා තියෙනවා. ශිෂ්‍යත්වය පාස්වෙච්ච අය දැම්මේ එෆ් පංතියට. ඈත පළාත්වලින් ආපු ළමයි පවා අපේ පංතියේ හිටියා. මමත් ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා ඉඳගෙනනේ ඉස්කෝලේ ගියේ.

අපේ පංතිය භාරදීලා තිබුණේ කඩහපොළ ඉඳලා ආපු චන්ද්‍රලතා ටීචර්ට. ඒ ටීචර් හරිම කරුණාවන්ත කෙනෙක්. සාමාන්‍ය පෙළ ඉවර වෙන කල් අවුරුදු පහක් ම අපේ පංතිය තිබුණේ චන්ද්‍රලතා ටීචර්ගේ භාරයේ. චන්ද්‍රලතා ටීචර් අපිට ඉගැන්නුවේ සමාජ අධ්‍යයනය. ඉතිහාසය, භූගෝලය කියන හැම දෙයක් ම ඒ පාඩමට දාලා තිබුණා. ඒ විෂයය නිර්දේශය කිසිම ගැඹුරක් නැති එකක්. ඒ දවස්වල අපිට සිතියම් වැඩ පොතකුත් දෙනවා. දෙසැම්බර් මාසේ නිවාඩු දෙද්දි තමයි අපිට ඊ ළඟ අවුරුද්දේ පොත් ලැබෙන්නේ. නිවාඩු කාලේ ඉවරවෙන්න කලින් මම සිතියම් පොතේ වැඩ ඉවර කරල‍ා දානවා. ඉතින් ඉස්කෝලේ පටන් ගත්තා ම පන්තියේ කරන්න දෙයක් නෑ. චන්ද්‍රලතා ටීචර් කොච්චර හොඳ වුනත් අපි මහ කම්මැලියෝ බවට, බාල්දි පෙරලන අය බවට පත්වෙන්න පටන් ගත්තා. ඒත් අපි කවදාවත් චන්ද්‍රලතා ටීචර්ගේ පන්තියේ බාල්දි පෙරලුවේ නෑ. ඇත්තට ම අපි ඒ ටීචර්ට අම්මා කෙනෙක්ට වගේ ගරු බුහුමන් කළා. ආදරේ කළා.

අපිට දැනෙන විදිහට යමක් ඉගැන්නුවේ බණ්ඩාර සර්. ඒ විදිහේ ගුරුවරයෙක් නම් මම මගේ ජීවිතේට ම ආයෙත් දැකලා නෑ. බණ්ඩාර සර්ගේ ගණිතය ඉගැන්නිල්ල ඒ කාලේ නාරම්මල පැත්තේ ම හරි ප්‍රසිද්ධයි. ඒ පන්තියේ එක මොහොතක්වත් නිකම් උඩ බලාගෙන ඉන්න අමාරුයි. පාඩමක් කියලා දීලා බණ්ඩාර සර් එක එක ගණන තමයි අපිට හදන්න දෙන්නේ. වැඩේ ඉවර නම් පොත මැදට එවන්න ඕන. පංතිය දෙකට බෙදලා තියෙන මැද ඉඩ දිගේ බණ්ඩාර සර් එහෙට මෙහෙට යනවා. වැඩි වෙලා ගන්න දෙන්නෙත් නෑ. ඉතින් මොහොතකින් පාඩම කියලා දීලා ඒ මොහෙතේ ම අපිව වැඩට දාන ක්‍රමය බණ්ඩාර සර් දැනගෙන හිටියා.

හදලා හරි නම් බණ්ඩාර සර් හරියක් දාන්නේ ඒ අගට සිම්පල් බී අකුරක් එල්ලලා. ඒ තමයි සර්ගේ අත්සන. සමීකරණ විසඳද්දි සමාන ලකුණු ටික එකක් යටින් එකක් තියෙන විදිහට පිළිවෙළට තියෙන්න ඕන. එහෙම නැතිනම් සර් ඒ දිගේ නයි අඳිනවා. හරියට වැඩ කරන්නේ නැති ළමයින්ට බනිනවා. ගහනවා. පොත් විසිකරනවා. බණ්ඩාර සර් හරි සැරයි. ඒත් බණ්ඩාර සර්ට ගරු කරපු නැති ළමයෙක් විතරක් නෙවෙයි, වැඩිහිටි මනුස්සයෙක්වත් නාරම්මල පැත්තේ හිටියේ නෑ. ජාතික ඇඳුමක් ඇඳගෙන බයිසිකලයක් පැදගෙන යන බණ්ඩාර සර් එක්ක පාර දෙපැත්තේ හිටිය හැමෝම හිනාවුනා. සර්ගේ මූණෙත් හැම වෙලාවේ ම හිනාවක් තිබුණා.

සිංහල පාඩම නම් කිසි කමකට නැති එකක්. දහය එකොළහ පන්තිවල දී සාහිත්‍ය පාඩමක් දෙකක් ඉගැන්නුවා. මනුතාපය, නාගසේන වස්තුව, මට්ටකුණ්ඩලී වස්තුව, ගුත්තිලය වගේ පාඩම් අපිට කියලා දුන්නා. ඒ දවස්වල නම් හොඳ සිංහල ගුරුවරයෙකුත් අපිට ලැබිලා හිටියා. ඒත් හරි හමන් විදිහට සිංහල ටිකක් එතුමාගෙන් ඉගෙන ගන්න ලැබිච්ච ඒ වාසනාව බොහොම ටික කාලයක් ඇතුළේ දී අපිට අහිමි වුනා. පාරේ යන ලොරියකට පැනලා ඒ ගුරුතුමා ජීවිතේ නැති කරගත්ත එක තමයි ඒකට හේතුව.

හයේ පන්තියේ ඉඳලා සාමාන්‍ය පෙළ වෙන කල් සිංහල උගන්නපු අනෙක් හැම ගුරුවරයෙක් ම පොත් බලාගෙන තමන්වත් දන්නේ නැති ව්‍යාකරණයක් අපිට කියලා දෙන්න හැදුවා. න, ණ, ල, ළ සහ අක්‍ෂර වින්‍යාසය හරියට ඉගෙන ගන්න ඕන බව ඇත්ත. ඒත් සිංහල කියන්නේ දරදඬු ව්‍යාකරණයක හිර කරන්න පුළුවන් භාෂාවක් නෙවෙයි. ගනු කඩුව – එනු සටනට” කීවත් කඩුව ගනු – සටනට එනු” කීවත් දෙක ම එකයි. සිංහල මිනිස්සු වගේ ම සිංහල භාෂාවත් නිදහස් එකක්. ඒක බැඳලා තියන්න බෑ.

මේ ඇත්ත නො තකා උගන්නන හින්දා අද අපි අතර ඉන්න බහුතරයකට සිංහල බෑ. පොඩි දරුවෝ ඉන්න දෙමව්පියන්ට දාඩිය දාන්න පුළුවන් එක අවස්ථාවක් තමයි ළමයෙක් සිංහල භාෂාව ගැන ප්‍රශ්නයක් අහන එක. ගණිතය පාඩමට අදාළ උදව්වක් ඉල්ලුවොත් බය නැතුව ඒ උදව්ව කරන්න පුළුවන්. අනිත් පාඩම් වුනත් එහෙමයි. ඒත් පොඩි එකෙක් අම්මාගෙන් හරි තාත්තාගෙන් හරි සිංහල භාෂාවට අදාළ ප්‍රශ්නයක් ඇහුවොත්? එහෙම නම් ඉතින් දෙයියන්ගේ පිහිටයි!

මොන විදිහට හරි අපේ සිංහල ඉගෙන ගැනිල්ල සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක අවසන් වුනා. ඊට පස්සේ සිංහල ඉගෙන ගැනීමේ වරම හිමිවුනේ හරියට සාමාන්‍ය පෙළ පාස්වෙන්න බැරිවෙච්ච අයට. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයය හතරට විතරක් මගේ ඉගෙන ගැනීම සීමාවුනා. ඊට වඩා අධ්‍යාපනයක් අපිට දෙන්න ඕන කියලා මේ රටේ අධ්‍යාපනය භාර අය හිතුවේ නෑ. ගෙදර පරිසරයට පින්සිද්ද වෙන්න වෙන වෙන දේවල් අපි ඉගෙන ගත්තා. ඒවා ඔක්කොම අපි තනියෙන් කරගත්ත වැඩ.

විශ්වවිද්‍යාලයට ගිය එක ගෝනි එළුවා බලපු එකට දෙවැනි නෑ. මේ ළඟ දී එක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් එක්ක මම මේ කතාව කිව්වා. ගෝනි එළුවා ගැන කතාව එතුමා අහලා තිබුණේ නෑ. මේ කතාව කියවන අය ඒ කතාව අහලා තියෙනවා ද දන්නේ නෑ. කමක් නෑ. ඒ ගැනත් කියන්නම්.

වෙසක්, පොසොන්වලට කානිවල් ති‍යන පුරුද්දක් බෝවෙලා තියෙනවානේ. නුවර පෙරහැර කාලෙටත් ඔය ගැටඹේ පැත්තේ කානිවල් එකක් තියෙනවා. මේ කානිවල් තියන පිට්ටනිවල එක එක සෙල්ලම් පෙන්නවා. මේ විදිහට පවත්වපු එක කානිවල් එකක ගෝනි එළුවා පෙන්නන තැනක් තිබිලා තියෙනවා. ඒක හොඳින් වට කරපු කුටියක්. ටිකට් ගත්ත කට්ටියව ඇතුළට දානවා. විස්සක් තිහක් ඇතුළට ගත්තාට පස්සේ දොර වහනවා. ඊට පස්සේ ගෝනි ටිකක් ගෙනැල්ලා එළාගෙන එළාගෙන යනවා. මේ විදිහට ගෝනි එළුවා දැකපු කට්ටිය මුක පූට්ටු කරගෙන එළියට එනවා. කවුරුවත් තමන් දැකපු දේ අනිත් අයට කියන්නේ නෑ. ඉතින් අනිත් අයත් ටිකට් ඇරගෙන ඇතුළට යනවා. ඒ අයත් ගෝනි එළුවා බලලා එළියට එනවා.

විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ගෝනි එළුවා බලලා එන අයට නම් රෝල් කරපු ලොකු සහතිකයකුත් දෙනවා. ඒකත් ඇරගෙන ෆොටෝ එකකුත් ගහලා ඒක රාමු කරලා ගෙදර තියා ගන්නවා. ඔය සහතිකය දෙන උත්සවයට මම ගියේ නෑ. ඒ වැඩේට දෙන ගවුම ඇන්දෙත් නෑ. ෆොටෝ ගැහුවෙත් නෑ. ටික දවසක් යන්න ඇරලා කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් එකට ගිය මම සහතිකය ඉල්ලගෙන ආවා. එහෙම කළේ ඒක පෙන්නලා වෙන වැඩ කරගන්න පුළුවන් හින්දා.

මේ දේවල් ගැන හිතද්දි සතුටු වෙන්නේ කොහොම ද?

(මේ කතාවේ ඉතිරි හරිය පස්සේ කියන්නම්)

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress