ඒකත් අපේ නෑයන්ගේ පක්‍ෂයක්!
Posted on September 18th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

1952 අවුරුද්ද වෙද්දි අපේ මිනිස්සු එක්සත් ජාතික පක්‍ෂයට උන්ගේ නෑයන්ගේ පක්‍ෂය” කියලා නමක් පට බැන්දා. ඒකට හේතුවුනේ ඒ පක්‍ෂයේ නායකත්වය සේනානායක – කොතලාවල – ජයවර්ධන පවුල්වලට සීමාවීම. මේ කතාව හදන්න මූලික ම හේතුව වුනේ දොන් චාල්ස් ගෙමෝරිස් ආටිගල මුදලිතුමාගේ දෝණියැන්දලා තුන්දෙනා සේනානායක – කොතලාවල – ජයවර්ධන පවුල් තුනට බන්දලා දීමේ කාරණය. කලින් ලිපියකින් මේ ගැන විස්තරයක් මම කිව්වා.

ඒත් ඇත්තට ම එක්සත් ජාතික පක්‍ෂය කියලා කියන්නේ උන්ගේ නෑදෑයන්ගේ” පක්‍ෂයක් ම ද? සතියකට විතර කලින් මගේ යාළුවෙක් එක්ක මම මේ කාරණය ගැන කතා කළා. ඒ යාළුවා පොහොට්ටුවට බැහලා වැඩ කරන කෙනෙක්. හැබැයි ඒ යාළුවාගේ අම්මා යූ. ඇන්. පී! අපේ තාත්තා හොඳ ශ්‍රී ලංකාකාරයෙක් වුනාට මගෙත් සෑහෙන නෑදෑයෝ ප්‍රමාණයක් ඉන්නවා එක්සත් ජාතික පක්‍ෂයට බොහොම ලැදිව වැඩ කරන. මේ මිනිස්සු එක් කෙනෙක්වත් ඔය කියන විදිහේ පරගැති, දීන, රටට ජාතියට කිසිම ආදරයක් නැති පිරිසක් නෙවෙයි. ඇත්තම කියනවා නම් ඒ හැම කෙනෙක් ම පුදුමාකාර විදිහට රටට ආදරෙයි. ආගමට ජාතියට ලැදියි.

මේ ගැන හොඳින් හිතලා බැලුවාම එක්සත් ජාතික පක්‍ෂය කියලා කියන්නෙත් අපේ නෑදෑ හිතවතුන්ගේ පක්‍ෂයක් බව පැහැදිළි වෙනවා. හැබැයි 1988 – 94 කාලයේ දී හැරුනාම මේ පක්‍ෂයේ පාලනය මුළුමනින්ම අල්ලගෙන ඉන්නේ උන්ගේ” නෑදෑයෝ! ප්‍රේමදාස මහත්තයා විතරයි මේ වැඩේ වෙනසක් කළේ. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට හොඳින් කරපු වැඩක් නොවන බව අපි දන්නවා. රට පුරා ඉන්න පහළ මට්ටමේ සාමාජිකයන්ගේ කැමැත්ත කොච්චර තිබුණත් ඒ පක්‍ෂයේ නායකත්වය හොඳින් ලබාගන්න බැරිවීම ඒකට හේතු වෙන්න ඇති. මේ දවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා මූණ දීලා තියෙන්නෙත් ඒ ප්‍රශ්නයට ම නෙවෙයි ද?

ඉහළ ප්‍රභූ පවුලකින් ආවත් බණ්ඩාරනායක මහත්තයා බලය තහවුරු කරගත්තේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයටත් අපේ රටේ දේශපාලනයේ දොරවල් ඇරලා දීලා. මේ රටේ දේශපාලනය එක පැලැන්තියකට, කල්ලියකට අයිති එකක් නෙවෙයි කියන අදහස ඒ වැඩෙන් තහවුරු වුනා. ඉතින් ප්‍රභූ පන්තියට අයිති නැති විශාල පිරිසක් රාජ්‍ය පාලන කටයුතුවලට හවුල්වෙන්න ඉස්සරහට ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුල්වෙලා පිහිටුවපු ආණ්ඩුවලට අපේ ආණ්ඩු” කියන නම පට බැ‍ඳෙන්නත් මේ කාරණය හේතුවක් වුනා.

බණ්ඩාරනායක මහත්තයාගේ මූලිකවීමත්, සිරිමාවෝ මැතිනිය ලබාදීපු ජාතික නායකත්වයත් හින්දා 1951 ඉඳලා 2005 වෙන කල් ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඒ පවුලේ නායකත්වයෙන් මෙහෙයවුනු බව ඇත්ත. ඒත් ඒ මුල් පරම්පරා දෙකෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අලුත් නායකත්වයක් ලැබුණා. අද වෙද්දි යම් යම් හේතු හින්දා ඒ බලවේගය දෙකට බෙදිලා තියෙන බව ඇත්ත. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලිකත්වයෙන් අපේ රටේ නිර්මාණය කෙරුණේ ජාතිකත්වය මත පදනම් වුනු, සමාජ – ප්‍රජාතන්ත්‍රවාදය ආත්ම කරගත්ත, ප්‍රගතිශීලි, අදීන මතවාදයක් තියෙන දේශපාලන බලවේගයක් කියන අදහස ජනතාව තුළ හොඳින් තහවුරු වෙලා තියෙනවා.

1977 අවුරුද්දෙන් පස්සේ (1988 – 94 කාලයේ දී ඇරෙන්න) එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය ලිබරල් අදහස් තදින් ම වැළඳගත්ත අය අතට පත්වුනා. හොඳ දේශපාලන පරිචයක් ලබාගෙන තිබුණු හින්දා තමන් පිළිගත්ත ලිබරල් අදහස් ඒ විදිහට ම ක්‍රියාත්මක කරන්න ජේ. ආර්. මහත්තයා පෙළැඹුණේ නෑ. එතුමා එක්තරා ආකාරයක ඩබල් ගේම්” එකක නිරත වුනා කියන්නත් පුළුවන්. ඒත් ඒ මහත්තයා කරපු වැඩ හින්දා අපේ රටේ සමාජ ස්ථාවරත්වයට සෑහෙන්න හානි සිද්දවුනා. දෙමළ කොටි කැරැල්ල, ජවිපෙ භීෂණය ඇතිවෙන්න එතුමා කරපු කියපු දේවල් සෑහෙන්න හේතු වුනා. සමස්ත සමාජයත්, රටේ ආර්ථිකයත් මහා අවුලක් බවට පත්වුනා.

1987 – 89 කාලය තුළ ඇතිවෙච්ච භීෂණය නිසාත්, කොටි සංවිධානයේ බිහිසුණු ක්‍රියා නිසාත් වැඩිම අලාභයක් සිද්ද වුනේ එක්සත් ජාතික පක්‍ෂයට කියලා මට හිතෙනවා. ජේ. ආර්. මහත්තයාගේ කාලේ එක්සත් ජාතික පක්‍ෂයට මහ විශාල දෙවැනි පෙළ නායකත්වයක් තිබුණා. ඕන කරන හැම ජාතියේ ම කොළ ජේ. ආර්. මහත්තයාගේ කාඩ් පැක් එකේ තිබුණා. ඒක ඇතුළේ ප්‍රේමදාසලා, ගාමිණි දිසානායකලා, ලලිත් ඇතුලත්මුදලිලා, ගාමිණි ජයසූරියලා, නිශ්ශංක විජේරත්නලා, රොනී ද මෙල්ලාට අමතරව සිරිල් මැතිව්ලත්, දේවනායගම්ලත්, හමීඩ්ලත් හිටියා. මහ යෝධයෝ ගොඩක් ඉන්න බල ඇණියක් පිරිවරා ගෙන කටයුතු කරන රජෙක් වගේ තමයි ජේ. ආර්. මහත්තයා වැඩ කළේ.

ඒත් 1994 අවුරුද්ද වෙද්දි මේ හැම දෙයක් ම වෙනස් වුනා. එක්සත් ජාතික පක්‍ෂය රනිල් මහත්තයාගේ තනි බූදලයක් බවට පත්වුනා. ඒ මදිවාට රනිල් මහත්තයා ලිබරල් අන්තවාදියෙක් විදිහටත් වැඩ කරන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ අයගෙන් සියයට එකක්වත් ලිබරල් අදහස්වලට කැමැතියි කියලා මම හිතන්නේ නෑ. ඒ පක්‍ෂයට සම්බන්ධ අති මහත් බහුතරයක් අපි වගේ ම හිතන, පතන මිනිස්සු. කලින් කියපු විදිහට ඒ අය අපේ නෑදෑයෝ. යාළු මිත්‍රයෝ. ඉතින් එක්සත් ජාතික පක්‍ෂයේ ඔළුව ලිබරල් අන්තවාදයකට තල්ලු වෙද්දි ඒ පක්‍ෂයේ කඳ ඉතාමත් අමාරුවෙන් ඒක ඉවසගෙන හිටියා. වරින් වර පොඩි ගැටුම්, හැල හැප්පලි ඉස්මතු වුනා. ඒත් පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වය මුළුමනින් ම වගේ විනාශ වෙලා තිබුණු හින්දා රනිල් මහත්තයාට අභියෝගයක් කරන්න පක්‍ෂයේ කඳට බැරි වුනා.

මේ කලබැලෑනිවලින් කලකිරිච්ච සමහර එක්සත් ජාතික පක්‍ෂිකයෝ අක්‍රිය වුනා. නිශ්ශබ්ද වුනා. තවත් සමහරු පක්‍ෂය අත ඇරලා මහින්ද මහත්තයා එක්ක එකතු වුනා. ඔළුව ජපන් – කඳ ජර්මන්” වගේ පක්‍ෂයකට දේශපාලන බලයක් ගොඩ නගාගන්න අමාරුයි. ඉතින් ගතවෙච්ච අවුරුදු 25 ක කාලය තුළ පවත්වපු එක ජනාධිපතිවරණයකින්වත් එක්සත් ජාතික පක්‍ෂයට දිනන්න බැරිවුනේ මේ කාරණය හින්දා කියලා තමයි මට හිතෙන්නේ.

දැන් ආයෙත් එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ ගිනි කෙළි පටන් ඇරගෙන. පක්‍ෂයේ බලය අල්ලගන්න සජිත් මහත්තයා සෑහෙන්න වෑයම් කරනවා. ඒ මහත්තයා මොන අදහස් නියෝජනය කරන කෙනෙක් ද කියන එකත් පැහැදිළි නෑ. ඉතින් මොනවා වෙයි ද කියන එක දැන් ම අපිට කියන්න බෑ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress