නෙළුම් කුලූනේ ඇත්ත කුමක්ද?
Posted on September 19th, 2019

ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින

fea8 1

නෙළුම් කුලූන විවෘත කිරීමේ උත්සවයේදී පසුගිය සැප්තැම්බර් 16 වැනිදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉමහත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කළේය. ඒ කතාව අසා සිටින කාට වුවත් හැෙඟන්නේ ජනාධිපතිවරයා ඉතා නිර්භීතව අති විශාල මහජන මුදල් මංකොල්ලයක් රටට හෙළි කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා කියන පරිදි අතුරුදන් වූ මුදල් ප‍්‍රමාණය කෝටි 200 කි. මෙය සුළු පටු මුදලක් නොවේ. එනම් ජනාධිපතිවරයා කීවේ නෙළුම් කුලූන ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වූ චීනයේ එක් සමාගමක් වන ALIT සමාගමට රජය අත්තිකාරමක් ලෙස ගෙවූ රුපියල් බිලියන දෙකක (රු. කෝටි 200 ක* මුදලට සිදු වූ දෙයක් හොයා ගන්නවත් නැතැයි කියාය. එය ව්‍යාජ සමාගමක් බව සොයා බැලීමේදී හෙළි වූ බවද නෙළුම් කුලූන විවෘත කරමින් ජනපතිවරයා කියා සිටියේය. රුපියල් බිලියන දෙකක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවන ලද සමාගම ව්‍යාජ එකක් බවත් චීනයේ එහි සඳහන් ලිපිනයේ එවැනි සමාගමක් නැති බව චීනයේ ශ‍්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාට තමන් කළ දැනුම් දීමකින් පසුව අනාවරණය වූ බවත් ජනාධිපතිවරයා කීය. මේ කුලූන ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත වියදම වූ රුපියල් බිලියන 19 ක ප‍්‍රමාණය ණය මුදලක් ලෙස සැපයීමට චීනයේ EXIM බැංකුව එකඟ වී තිබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ අනුව කුලූන ඉදිකිරීම සඳහා 2012.01.03 වැනි දින විදුලි සංදේශ නියාමන කොමිසම චීනයේ CEIEC සහ ALIT යන සමාගම් අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කළ බවත් එසේ ගිවිසුම් ගැසූ ALIT සමාගම ව්‍යාජ එකක් බව පසුව සොයා ගැනීමට හැකි වූ බවත් කීවේය. මේ බරපතල ප‍්‍රකාශයෙන් බැලූ බැල්මට හැෙඟන්නේ මේ ජනපති කියන මුදල් වංචාව සිදුව ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ බවයි. ශ‍්‍රී ලංකා රජයත් සමග ගිවිසුම් අත්සන් කළ චීන සමාගම ව්‍යාජ සමාගමක් බව ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඇතුළු චීන උසස් නිලධාරීන් ඉදිරියේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටීමෙන් ඔවුන්ද බලවත් අපහසුවට පත් වෙයි. මීළඟට මතු වන ප‍්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා මේ සියල්ල දැනගෙන ඒ පිළිබඳව මෙතෙක් කිසිදු විමර්ශනයක් නොකර මේ වටිනා උත්සවයේදීම මෙය කියා සිටීමට මෙතෙක් ප‍්‍රමාද වූයේ මන්ද යන්නයි. මේ පසුබිම තුළ ජනාධිපතිවරයාගේ මේ චෝදනාව ගැන අප තවදුරටත් විමසා බලමු.

ජනාධිපතිවරයාගේ මේ කතාව සමාජයේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් අතර මේ පිළිබඳව ද සමාජ ජාල මාධ්‍යයන්හි බොහෝ දේශපාලන පෝස්ටු ද පළ වෙමින් තිබුණි. ඇතැම් අය මහින්ද රාජපක්ෂ නෙලූම් කුලූනෙනුත් හොරා කාලා යයි කියා සිටිද්දී තවත් අය මේ රජය බලයට පත් වී වසර හතරහමාරක් ගතව තිබියදී ජනපතිවරණ කටේ මෙවැනි චෝදනාවක් කිරීම ගැන උපහාසාත්මක අදහස් පළ කර තිබිණි. ජනාධිපතිවරයා කියන පරිදි මෙලෙස රුපියල් කෝටි 200 ක මුදල් වංචාවක් සිදුව ඇත්නම් ඒ ගැන මුලින්ම කළ යුතුව තිබුණේ ඒ ගැන පැමිණිලි කර නීතිමය විමර්ෂණ ආරම්භ කිරීමයි. එම විමර්ශන ප‍්‍රකාරව ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමයි. එහෙත් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා භාර ජනපතිවරයා මේ කිසිවක් නොකර මේ ආණ්ඩුවේ අන්තිම කාලයේ මැතිවරණ කටේ විශේෂයෙන්ම නෙලූම් කුලූන විවෘත කිරීමේ උත්සවයේදී මෙය කියා සිටියේ ඇයි? මෙය බොහෝ දෙනෙක් ප‍්‍රශ්න කරන්නකි. මෙය සිදු වූ කාලයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ අනුෂ පැල්පිට මහතාය. ඔහු සිය මුහුණු පොතේ ජනපතිගේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් මේ සම්බන්ධයෙන් පෝස්ටු කිහිපයක්ම පළ කර තිබුණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අනුෂ පැල්පිට මහතා කියන්නේ මෙවැනි කතාවකි.

‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නෙලූම් කුලූන ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ආරම්භ කරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස එවකට චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිර්දේශය මත (China National Electronics Import and Export Corporation – (CEIEC) iy Aerospace Long-March International Trade Co. Ltd. (ALIT)  යන සමාගම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තෝරාගනු ලැබිණි. මෙම ව්‍යාපෘතියේ මුල් පිරිවැය ලෙස ටෙන්ඩර් මණ්ඩලය අනුමත කළ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. මෙම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුදල්වලින් ගෙවීමටත් ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 88.5ක් චීනයේ එක්සිම් බැංකුවේ ණය මුදලක් ලෙස ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණි.

fea8 2
fea8 256

ටෙන්ඩර් මණ්ඩල සභාපති වූ එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා චීනයේ ඇලිට්  සමාගමේ ප‍්‍රධාන කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වූ අයුරු.

2012 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ දී මුල් අත්තිකාරම ලෙස (Mobilization Advance)  ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක මුදලක් එනම් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් CEIEC සමාගමට ගෙවන ලද අතර මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද විදුලි සංදේශ නියාමන කොමිසම ට ලැබී තිබුණි. අදාළ මුදල පේ‍්‍රෂණය කර ඇත්තේ චීනයේ එක්සිම් බැංකුවේ CEIEC සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමටය. ALIT සමාගමට කිසිදු ගෙවීමක් කවර හෝ අවස්ථාවක සිදු කර නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල සඳහා අවලංගු කළ නොහැකි බැඳුම්කරයක් (Irrevocable on demand Bank Grantee)  ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු වූ CEIEC සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දී තිබුණි.

ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ නිර්දේශ මත වරින්වර අතුරු ගෙවීම් කිරීමේ දී මුල් අත්තිකාරම් මුදල අයකරගෙන ඇති අතර 2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක් පමණ විය. ව්‍යාපෘතිය දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා එක්සිම් බැංකුව විසින් ණය මුදලේ ඉතිරි ශේෂය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ඒ වන විට මුළු ණය මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 88.5 මුදලින් අය කර ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67 කට ආසන්න මුදලකි. මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් බැංකුව හරහා CEIEC සමාගමටය. 2018 න් පසුව ඉතිරි අතුරු ගෙවීම් සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රතිපාදන 

මගින් වන අතර මුල් අත්තිකාරම් මුදලින් 2018 වර්ෂය වන විට අයකර ගෙන නොතිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.13 ක මුදල ද විදුලි සංදේශ කොමිසම විසින් CEIEC සමාගමට ගෙවන ලද අතුරු ගෙවීම්වලින් අඩුකර ගෙන තිබුණි. ඒ අනුව මේ වන විට ව්‍යාපෘතිය ආරම්භයේ දී ගෙවන ලද අත්තිකාරම් මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදල CEIEC සමාගමෙන් අයකර ගෙන ඇත.

මේ අනුව නෙළුම් කුලූන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ බවට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නෙළුම් කුලූන විවෘත කරන අවස්ථාවේ දී (සැප්තැම්බර් 16 දින* සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිත බවයි. ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ගෙවා නොමැති බව ද පැල්පිට මහතා අවධාරණය කරයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් අනුෂ පැල්පිට මහතා මේ පැහැදිලි කිරීම කරන්නේ කිසියම් දැනුවත් භාවයකින් බව පෙනේ. එය තහවුරු කිරීම හෝ ප‍්‍රතික්ෂේප කිරීමට වත්මන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ බලධාරීන්ට පුළුවනි. එහෙත් ප‍්‍රශ්නය තිබෙන්නේ ඔවුන් එසේ කරනු ඇති ද යන්නයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා රටේ රාජ්‍ය නායකයාය. ඒ නිසා ජනපතිවරයා කියන කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත් ඔහුට එරෙහිව මේ මොහොතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරනු ඇතැයි සිතීමට අපහසුය. මේ නිසා අනුෂ පැල්පිට කුමක් කීවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට මෙවැනි මුදල් මංකොල්ලයක් සිදුව ඇති බව හොඳටම විශ්වාස නම් වහාම ජනාධිපති පරීක්ෂණ කමිටුවක් පත් කර සති දෙක තුනකින් වාර්තාවක් ලබාගෙන සත්‍ය හෙළිදරව් කර ගැනීමට අමතරව ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද පුළුවන. ජනාධිපතිතුමා කියන ඇලිට් නම් සමාගමකට මුදල් ගෙවා ඒ මුදල් අතුරුදන් වී තිබෙනවා නම් මේ පිළිබඳව වහාම සති දෙකක් ඇතුළත පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ලබා ගත හැකි වන පරිදි ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද පෙරේදා (17 * කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

අනුෂ පැල්පිට මහතා මෙන්ම තවත් ඇතැම් අය කියන්නේ ජනාධිපතිවරයාට කවුරු හෝ වැරදි තොරතුරක් ලබා දී ඔහුව නොමග යවා ඇති බවයි. එසේම ජනාධිපතිවරයා ලවා එවැනි ප‍්‍රකාශයක් කර ඔහුව හෑල්ලූවට ලක් කළ බවයි. එය එසේ නම් බරපතල කරුණකි. එසේ නම් ජනපතිවරයා කළ යුත්තේ තමාට ඒ වැරදි තොරතුරු දුන් අයට එරෙහිව පියවර ගැනීමයි. එහෙත් එය එසේ නොවන්නේ නම්, එනම් මේ කියන රුපියල් කෝටි 200 ක් මුදල අතුරුදන් වීම සත්‍ය වශයෙන්ම අතුරුදන් වී ඇති බව ඔහු තවමත් සිතනවා නම් මේ ගැන දැන්වත් වහාම පරීක්ෂණයක් කළ යුතුම වෙයි. මහජන මුදල් කොල්ලයක් ගැන ප‍්‍රකාශයක් පමණක් කර නිකන් සිටීම කිසිසේත්ම අපට අනුමත කළ නොහැකිය. ඒ තුළින් ඔහුගේ ක‍්‍රියාකලාපය ගැනම අපට බරපතල ගැටලූවක් මතු වේ. එනම් ජනාධිපතිවරයා පොලිසිය පවා තමා යටතේ තිබියදී මේ ගැන කිසිදු පියවරක් නොගෙන මෙතෙක් නිකන් සිටියේ ඇයි ද යන්නයි. දැන්වත් වහාම පරීක්ෂණයක් කරනවාට අමතරව මෙතෙක් කිසිදු පියවරක් මේ සඳහා නොගැනීම ගැන ජනාධිපතිවරයා රටවැසියාට වහාම පිළිතුරු දිය යුතු වේ. එවැනි පරීක්ෂණ කටයුත්තක් ආරම්භ කළහොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන්ම අනුෂ පැල්පිට මහතා කියන දේ ඇත්තද යන්නත් පැහැදිලි කර ගත හැකිය. ඊට අමතරව ජනාධිපතිවරයාට අසත්‍ය තොරතුරු ලබා දී එතුමා ලවා මෙවන් ප‍්‍රකාශයක් මෙවන් ඉතා වැදගත් අවස්ථාවක ලෝකයට කියවා ගැනීමේ සැලසුම කුමක්ද යන්න ගැනද එතුමාට පැහැදිලි අවබෝධයක් ලබාගෙන එම කුමන්ත‍්‍රණකරුවන් ද රටට හෙළිදරව් කළ වනු ඇත.

මීළඟ බරපතල කරුණ වන්නේ නෙළුම් කුලූන ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවකු වූ චීනයේ එලිට් නම් සමාගම විදුලි සංදේශ නියාමන කොමිසමෙන් රුපියල් බිලියන දෙකක් ගෙන අතුරුදන් වූ බවට ප‍්‍රකාශ කිරීමයි. චීනයේ සිටින අපේ තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා එම සමාගමේ ලිපිනය සඳහන් ස්ථානයට ගොස් බැලූ විට එවැනි සමාගමක් නොමැති බව අනාවරණය වූ බවද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මෙන්ම චීනයේ ශ‍්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා ඇතුළු තවත් චීන උසස් නිලධාරීන් ද ඉදිරියේ වීම විශේෂත්වයකි. මෙය කිසියම් ආකාරයකට මුළු ලෝකයේම අවධානය ශ‍්‍රී ලංකාව කෙරෙහි යොමුව තිබූ මොහොතකි. ඒ නිසා එවන් අවස්ථාවක රු. කෝටි 200ක් මුදල් ගෙන චීන සමාගමක් අතුරුදන් වූ බව සහ එය ව්‍යාජ සමාගමක් බවට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ප‍්‍රකාශ කළ විට ඊට චීනයේ ප‍්‍රතිචාරය කුමක් වනු ඇතිද? එය තවමත් පැහැදිලි නැත. ඒ නිසා මේ සම්බන්ධයෙන් චීනය පැත්තෙන් ද යම් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. 2012 වසරේ නෙලූම් කුලූන ව්‍යාපෘතිය භාරව තිබූ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවතියේ වත්මන් විපක්ෂ නායකවරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේය. ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඊයේ සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි සඳහන් වන පරිදි අදාළ චීන ණය පහසුකම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා කොන්ත‍්‍රාත්කරුවා චීන ආණ්ඩුව විසින් තෝරා ගත් බව සඳහන් කර තිබුණි. ඒ අනුව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් සහ එලිට් යන සමාගම් දෙක එකතු වී සෑදු හවුල් ව්‍යාපාරයක් නිර්දේශ කර ඇත්තේ චීන ආණ්ඩුව විසින්මය. මේ සමාගම් දෙකම සියයට සියයක් චීන ආණ්ඩුවට අයත් මහාපරිමාණ සමාගම් බව ද මහින්ද රාජපක්ෂ මහතා කියයි. එසේ නම් ජනපති මෛත‍්‍රී කියන පරිදි මෙසේ 2012 වසරේදී රු.කෝටි 200 ක් ගෙන අතුරුදන් වී ඇත්තේ මේ චීන ආණ්ඩුව විසින්ම නිර්දේශ කළ එම හවුල් ව්‍යාපාරයේ පාර්ශ්වකාර චීන ආණ්ඩුවට අයත් සමාගමක් විසිනි. චීන ආණ්ඩුව විසින් නම් කළ සමාගමක් මෙසේ අපේ මහජන මුදල් රු.කෝටි 200ක් ගෙන අතුරුදන් වී ඇති බවට අපේ ජනාධිපති කියන කතාව ගැන චීනය පැත්තෙන්ද පිළිතුරක් අවශ්‍ය වෙයි. මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම අනුෂ පැල්පිට මහතා ද කියන්නේ ජනපති මෛත‍්‍රී කියන එලිට් නම් සමාගමට මේ බිලියන දෙකක මුදල් ලබා දී නැති බවයි. එසේම මුල සිට සියලූ ගෙවීම් කළේ චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපරේෂන් සමාගමට බවයි. මේ සියලූ තොරතුරු අපේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියවිලිවල තිබිය යුතුය. ඒ නිසා මෙය තේරුම් ගැනීමට හෝ සොයා ගැනීමට අපහසු මහ ලොකු උභතෝකෝටිකයක් නොවේ. එසේ නම් මේ ගැන වහාම පරීක්ෂණයක් කර සත්‍ය හෙළිදරව් කර ගැනීම ඉතාම වැදගත්ය. එවිට මහජනයා නොමග යවමින් සිටින්නේ කවුද යන්න ගැනත් මහජනයාට වැටහීමක් ලබා ගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

One Response to “නෙළුම් කුලූනේ ඇත්ත කුමක්ද?”

  1. jay-ran Says:

    SIRISENA HAD MADE THIS BLATANT LIE TO MISLEAD SRI LANKANS THINKING THAT ALL SRI LANKANS ARE BLOODY LOW BREAD FOOLS LIKE HIM. Sirisena IS HIGHLY JEOLOUS OF RAJAPAKSAS AS GOTABHAYA HAS SUBMITTED NOMINATIONS FOR THE UPCOMMING PRESIDANCIAL ELECTIONS.
    FURTHER MORE,IT WAS Mr MAHINDA RAJAPAKSA WITH HIS BROTHER GOTABHAYA R AS DEFENSE SEC ALONG WITH THE GREAT TRY FORCES ELIMINATED THE 30 YEAR LTTE TAMIL TERRORISTS WAR AGAINST INNOCENT SINHALESE SRI LANKANS???
    VERY SOON WE WILL SEE HOW THIS FOUL MOUTHED GRAMA SEVAKAYA WILL BE BY THE “LAW OF NATURE” AND “DHITTA ! DHAMMA !! VEDANEEYA KARMA” WILL PUNISH THIS FOUL MOUTHED ILLETERATE GRAMA SEVAKAYA” ???

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress