ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 වෙතින් දකුණට ප්‍රජා සේවා රැසක්
Posted on September 29th, 2019

ජාත්‍යන්තර සිංහ සමාජය  දිස්ත්‍රික් 306 A1 වෙනුවෙන්   

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1  දිවයිනේ දකුණු වෙරළබඩ කලාපයේ ප්‍රජා සේවා රැසක් දියත් කරයි.  මේ යටතේ පසුගියදා සෙල්ලකතරගම සහ බේරුවල ප්‍රදේශවල අති සාර්ථක අන්දමින් ප්‍රජා සේවා කඳවුරු දෙකක් අති සාර්ථක අන්දමින් පැවැත්වීමට  ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 සමත් විය.

සෙල්ලකතරගම මහා විද්‍යාලයේදී සහ බේරුවල මාලේවන ශ්‍රි ඥානේස්සර විහාරයේදී පැවැති මෙම ප්‍රජා සේවා කඳවුරු වලදී 5000 කට අධික පිරිසකට සේවා සැපයීමට හැකියාව ලැබී තිබේ. මෙහිදී  විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැති වෛද්‍ය සායනය මඟින් දියවැඩියා පරීක්ෂාව, සහ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර , ඖෂධ මෙන්ම සෞඛ්‍ය උපදෙස් ද සපයනු ලැබිණ. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි ප්‍රජාව සඳහා සුවිශේෂි සහන රැසක් ද මීට සමගාමීව පිරිනැමිණ.

 තවද මිට සමගාමීව පාසැල් දරුවන් සහ තරුණ තරුණියන් සදහා ද සේවා රැසක් සැලසීමට කටයුතු යෙදා තිබුණි. ඒ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ පෞරුෂ වර්ධන වැඩසටහන්, වෘත්තිය පුහුණු වැඩසටහන් ආදිය ප්‍රමුඛ වෙයි. මෙම වැඩසටහන් වලදී වෘත්තිය පුහුණුව ලත් 100 දෙනෙකු වෙත සහතික පිරිනැමීම ද මෙම සිංහ සමාජ සත්කාරයේදී සිදුකෙරිණ. මීට අමතරව දරුවන් වෙනුවෙන් රොබෝ තාක්ෂණ වැඩමුළුවක් ද පැවැති අතර දරුවන් 50 කට අධික පිරිසක් රොබෝ තාක්ෂණය පිළිබඳව මෙහිදී අත්දැකීම් ලබා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1  සිංහාධිපති  ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රජා  සේවා ක්‍රියාත්මක කෙරිණ.

මෙම ප්‍රජා සේවා වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ සිංහාධිපති  ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ජාත්‍යන්තර සිංහ සමාජය විසින් හඳුනාගෙන ඇති ක්ෂේත්‍ර 7 ක ජාත්‍යන්තර ප්‍රබල ගැටළු වලට පිළියම් යෙදීම සඳහා මෙම ප්‍රජා සේවා මෙහෙයවන බවයි. දියවැඩියාව, දෘෂ්ඨිආබාධ, අහාර,පරිසරය, ළමා පිළිකා, සහ තාරුණ්‍යය මෙන්ම මානුෂිය සේවා සහ ආපදා සහන  ආදී එම  ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1  විසින් සංවිධානය කරන බව සිංහාධිපති ශ්‍රිලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. විශේෂයෙන් ළමා වියේ ඇතිවන පිළිකා නිසා බොහෝ දරුවන්ගෙ ජීවිත අහිමි වන්නේ එ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැති කමින් සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් සම්පත් නොමැති කමින් බව  පෙන්වා දුන් ශ්‍රි ලාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ එම ගැටළුව සමනය කිරීම සඳහා ජාත්‍යන්තර  සිංහ සමාජය මූලිකවී  විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.  මෙරට ඇසේ සුද මතුවීමේ රෝගීන් වසරකට 20000ක් පමණ හඳුනාගන්නා බව ඒ මහතා සදහන් කළේය. ඒ අනුව දෘෂ්ඨිආබාධ අතරින් මෙරට බහුල වශයෙන්ම ව්‍යාප්තව පවතින දෘෂ්ඨි අබාධය ලෙස එම රෝගය හඳුනාගත හැකි බව පෙන්වා දුන් සිංහාධිපතිවරයා කියා සිටියේ  එම රෝගීන් සියල්ලටම කඩිනමින් ප්‍රතිකාර කිරීමට සඳහා අවශ්‍ය සම්පත් රජය සතු නොවන බවයි. මේ නිසා එම රෝගීන්ට දීර්ඝ කාලයක් තිස්සෙ පොරොත්තු ලේඛණ වල රැදී සිටීමට සිදුවන බවත් ඊට පිළියම් වශයෙන් ඇසේ සුද ඉවත් කිරීම ඇතුළු අක්ෂි අබාධ සඳහා ප්‍රතිකාර කිරීමට   පානදුර ප්‍රදේශයේ සිංහ අක්ෂි රෝහල නමින් අක්ෂි රෝහලක්ද ස්ථාපිත කර ඇති බව හෙතෙම පැවසීය.

 සෙල්ලකතරගම සහ බේරුවල පැවැති ප්‍රජා සේවාවන් වලදී තාරුණ්‍යය වෙනුවෙන් පෞරුෂ වර්ධන වැඩසටහන් සහ වෘත්තිය පුහුණු වැඩසටහන් පැවති බව අවධාරණය කළ සිංහාධිපති ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ඒ ඔස්සේ රටේ සංවර්ධනය සඳහා තාරුණ්‍යය සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බවයි.

මෙම ප්‍රජා සේවා සඳහා සහය දැක්වූ අනුග්‍රාහක ආයතන වෙත සිය ස්තුතිය පළ කරන ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සිංහ ප්‍රජා සේවා සදහා අරමුදල් රැස් කිරීම සඳහා සිංහ චාරිකා නමින් රිය පෙරහැරක් ද  මේ මස 28 සහ 29 වන දින පැවැත්වූ බවයි. එම රිය පෙරහැර කතරගම සිට කොළඹ දක්වා ගමන් කල  අතර ඊට රථවාහන සියයකට අධික ප්‍රමාණයක් සහභාගි විය..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress