මහේෂ් සේනානායක එන්නේ මොකාටද?
Posted on October 1st, 2019

කතු වැකිය උපුටා ගැන්ම  අරුණ පුවත්

රටට නායකයන් නැති නිසාදෝ දැන් ජනාධිපති ධුර අපේක්ෂකයන් වැහි වැහැලාය. අලුත්ම අපේක්ෂකයා වන්නේ හිටපු හමුදාපති මහේෂ් සේනානායකය. ඔහුව මේ තරගයට ගෙනැවිත් ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරය නම් සංවිධානයක් විසිනි. මහේෂ් සේනානායක මහතා සුදුසුම හා එකම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇතත් අපට නම් පෙනෙන්නේ මහේෂ් සේනානායක එම සංවිධානයේ ‘බැරිම තැන’ අපේක්ෂකයා ලෙසය. ඔවුන් මීට පෙර ශිරාණි බණ්ඩාරනායක, දිල්රුක්ෂි ඩයස් වැනි චරිත ජනාධිපතිවරණයට කැඳවීමට සූදානමින් සිටියහ. නාගානන්ද කොඩිතුවක්කු හා ගාමිණී විජේසිංහ වැනි අයගේ නම්ද මීට පෙර සඳහන් වී තිබිණ.

මහේෂ් සේනානායක ඉදිරිපත්කොට ඇත්තේ මේ එක් අයකු හෝ ඉදිරිපත් කිරීමට උත්සාහ කොට නොහැකි වූ නිසා බව පැහැදිලිය. මේ අන්දමින් බලන කල ඔහු ගැන අපට ඇත්තේ අනුකම්පාවකි. ඒ මේ තරගයෙන් ඔහුගේ පරාජය නියත නිසා නොව, මේ රටේ යුද හමුදාපති ධුරය වැනි ඉතා භාරධූර වගකීම් සහගත ධුරයක් දරා ඇත්තේ මේ තරම් කුඩා මිනිහෙක්දැයි සිතෙන විටය.

ජනාධිපතිවරණයකදී සටන ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් අතරය. ඉතිහාසයේ කිසි දිනෙක කුඩා පක්ෂයකින් හෝ පක්ෂයකින් තොරව ඉදිරිපත් වූ අපේක්ෂකයකු ජයග්‍රහණය කරනවා තබා දෙවන හෝ තෙවන ස්ථානයටවත් තේරී නැත. යුද විශේෂඥයකු වූ සුන්සු පවසා ඇත්තේ තමන්ට අවාසිදායක භූමියක සටනට නොයා යුතු බවය. වසර 36 ක හමුදා සේවා අත්දැකීම් ඇති මහේෂ් සේනානායක සුන්සු කියවා නැතිවන්නට විදියක් නැත.

එසේ නම් යුද හමුදාපතිවරයා ලෙස ගෞරවනීය මතකයක් ජනතාව තුළ රඳවන්නට හැකියාව තිබියදී පරාජිත ජනාධිපති අපේක්ෂකයකු වන්නට මහේෂ් සේනානායක තීරණය කරන්නේ ඇයි? මහේෂ් සේනානායක මෙන් නොව ඇත්තෙන්ම සංග්‍රාම භූමියේ සෙන්පතියකු වූද, එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබූ ඔහුගේ පූර්වගාමියකු වූ සරත් ​ෆොන්සේකාටත් වඩා තමන්ට ජන ප්‍රසාදයක් ඇතැයි සිතන්නට තරම් මහේෂ් සේනානායක මෝඩයකු වන්නට නොහැකිය.

එසේ නම් පරාජය සක්සුදක් සේ පැහැදිලිව තිබියදී ඔහු මේ සූදානම් වන්නේ කුමක් සඳහාද? කාගේ අවශ්‍යතාවක් වෙනුවෙන්ද?

2015 දී මෙරට පැවති පාලන තන්ත්‍රය වෙනස් වූයේ බටහිර සැලසුමකට අනුව බව දැන් කවුරුත් දන්නා කරුණකි. ඒ මහින්ද රාජපක්ෂ පාලනයේ තිබූ වැරදි නිසාම නොව ජාත්‍යන්තර භූ දේශපාලනයේ චලනයන්ට අනුව සිදු වූවකි. කෙසේ වෙතත් ඔවුන්ගේ සැලසුමට අනුව බලය ගත් කණ්ඩායම මේ වන විටත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන්ය. යළිත් වරක් මෙරට පාලනය හිමිවන්නට යන්නේ බටහිරට ගැති නොවන කණ්ඩායමකට බවට ඉඟි පළවෙමින් තිබේ. 2015 මෙරට පාලන තන්ත්‍රය වෙනස් කළ බලවේගයන්ට අවශ්‍ය කෙසේ හෝ එය වෙනස් කිරීමටය.

එහෙත් ඒ සඳහා ඔවුන්ගේ අභිලාෂයන්ට ගැළපෙන ප්‍රබල චරිතයක් නැත. දැන් ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ එක් එක් අංශයන් නියෝජනය වන පරිදි අපේක්ෂකයන් කිහිප දෙනකු යොදවා ඡන්ද කැඩීමය.

මේ අනුව මහේෂ් සේනානායක යනු ඒ මහා සැලැස්මේ එක් ඉත්තෙක් පමණකි. ඔහු පිටිපසින් සිටින්නේ කවුරුන්ද යන්න හඳුනාගත් පසු එය තේරුම්ගත හැකිය. එසේම මෙය කලක සිට කරන ලද සැලසුම් සහගත වැඩපිළිවෙළක් බවද වටහාගත හැකිය.

2015 ජනාධිපතිවරණයේදී සිවිල් සංවිධාන නමැති ප්‍රපංචයන්ට විශාල වැඩ කොටසක් පැවරී තිබුණේය. එහෙත් යහපාලනය කූජිත වීමත් සමග මේ සිවිල් සංවිධානවල වලංගුතාවද අහෝසි වී ගියේය. 2015 න් පසු සමාජ සාධාරණත්වය නීතිය, යුක්තිය, වගවීම ගැන කතා කරන නව චරිත සමාජගත කිරීම ක්‍රමානුකූලව සිදුවිය. දැන් මහේෂ් සේනානායක පිටුපස සිටින්නේ මේ නව සිවිල් යැයි කියන සංවිධානය. මෙතෙක් කලක් පසුබිමේ සිට දේශපාලනය කළ කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක්ද පළමුවරට මේ හරහා ක්‍රියාකාරී දේශපාලනයට පිවිස තිබේ. ඔවුන්ගේ අවශ්‍යතාව කොතරම් ප්‍රබලද යන්න වටහා ගැනීමට එම කාරණය වුවද ප්‍රමාණවත්ය.

මහේෂ් සේනානායකද කලක සිටම මේ සැලසුමේ කොටස්කරුවෙක්ව සිටි බව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ඔහුගේ හැසිරීම් නිරීක්ෂණයෙන් තේරුම්ගත හැකිය. ආරක්ෂාව තහවුරු වී ඇති නිසා පාසල් යන්නැයි ළමුන්ට කීවේ මහේෂ් සේනානායකය. මාස තුනකට රට භාර ගන්නැයි ජනතාව තමන්ගෙන් ඉල්ලන බවද කීවේ ඔහුය. රටේ ජනතාවට දේශපාලන නායකත්වය කොතරම් එපා වී තිබුණේද යත් පාස්කු ප්‍රහාරය එල්ල වීම ගැන හමුදාපති මහේෂ් සේනානායක ද වගකිව යුතු බව ජනතාවට අමතක විය. ඔවුහු මහේෂ් සේනානායක ජාතික වීරයෙක් බවට බෞතීස්ම කළෝය. මහේෂ් ඇතුළු නඩයට අවශ්‍ය වූයේද එයමය. ඒ අනුව දැන් මශේෂ් සේනානායක ජනාධිපතිවරණයේදී ස්ථානගත වන්නට සූදානම් වන්නේ දේශප්‍රේමියකු හා යුද වීරයකු ලෙසය.

ඔහු යුද වීරයකු යැයි කියන අය යුද්ධයේදී ඔහු කළ වික්‍රමය කුමක්දැයි විමසන්නේ නැත. අනෙක් අතට යුද්ධය ප්‍රතික්ෂේප කරන ඊනියා සිවිල් සංවිධාන කන්නට ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගනිමින් සොල්දාදුවකු මේ රටේ ජනාධිපති කරන්නට අපට යෝජනා කරන්නේ කෙසේ දැයි කිසිවකු ප්‍රශ්න කරන්නේද නැත.

අප වැනි කුඩා රටවල දේශපාලන න්‍යාය පත්‍රය ලියන්නේ ලොව බලවත් රටවලින් බව අප පිළිගත යුතු සත්‍යයකි. එහෙත් එහිදී අපටද රටක් ලෙස මැදිහත් වීමට ඉඩක් තබා ගත යුතුය. එලෙස ඉඩක් ලබා ගැනීමට නම් පළමුව කළ යුත්තේ මහේෂ් සේනානායක වැනි ඉත්තන් හා ඔවුන් පිටුපස සිටින රූකඩ පරාජය කිරීමය. කවුරුන් මේ රටේ ජනාධිපති වුවත් ඔහු බටහිර රූකඩයක් නොවිය යුත්තා ​සේම ඒ තනතුර දරන්නට සුදුස්සකුද විය යුතු බැවිනි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress