හබරණ වන අලි මියයාම ගැන ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකුට චෝදනා
Posted on October 2nd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ආන්දෝලනයට තුඩුදුන් හබරණ – හිරිවඩුන්න – තුම්බිකුලම රක්ෂිතයේ දී ඇතින්නියන් හයදෙනෙකු සහ වන අලියෙකු අස්වාභාවික ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද තවත් අනාවරණයක් සිදු කෙරුණා.

ඒ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින්. දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කලාවැව ජාතික උද්‍යානයේ වන අලි පන්නා දැමීම සහ වනජීවී නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකරගත් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ඇතුලූ කණ්ඩායමක් පිළිබඳව සැකයක් පවතින බවයි.

>එසේම තුම්බිකුලම රක්ෂිතයේදී ඇතින්නියන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හබරණ ප්‍රදේශවාසීන් පිරිසක් අද හිරු ප්‍රවෘත්ති අංශයට ලිපියක් යොමුකර තිබුණා.

එම ලිපියෙන් ගම්වාසීන් ප්‍රකාශ කර තිබුණේ හිරිවඩුන්න ගොවි සංවිධානයේ ලේකම්වරයා, ඔහුගේ පවුලේ කිහිපදෙනෙකු සහ තවත් පිරිසක් එක්ව තුම්බිකුලම රක්ෂිතය විනාශ කරමින් සිටින බවයි.

එමෙන්ම ගොවි සංවිධානයේ ලේකම්වරයාගේ පුත්‍රයා පිටුපස පසුගියදා වන අලියෙකු ලූහුබැඳ ඇති අතර, ඒ  හේතුවෙන් ඔවුන් වන අලි සමඟ දැඩි කෝපයකින් සිටි බවටද හබරණ ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට දන්වා තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත සමාජයේම අවධානය යොමුව ඇති නිසා පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරිය යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress