කතාව දෝලාවෙන් ගමන පයින් විගණකාධිපතිගේ සමුගැන්ම
Posted on October 6th, 2019

ඉදුනිල් උස්ගොඩ ආරච්චි උපුටාගැණීම රාවය APRIL 19, 2019

2015 වසරේ නොවැම්බර් මස රජයේ විගණකාධිපති ධූරයට පත්වූ ගාමිණී විජේසිංහ එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙන්නේ 2019 අප්‍රේල් 23වන දාටය. මෙම සටහන ලියැවෙන්නේ ඔහුගේ සේවා කාලය තුළ ඔහු විසින් සිදුකරන ලද අතිවිශාල මුදල් නාස්ති කිරීම් හා අදූරදර්ශී ක්‍රියා පිළිබඳ නැවත ආවර්ජනය කිරීමට නොව පත්වීමට නියමිත විගණකාධිපතිවරයා ද ජනාධිපතිවරයාගේ හෝ වෙනත් පාලකයන්ගේ අතකොලුවක් බවට පත් නොවිය යුතු යැයි ද විගණන ක්ෂේත්‍රය පිළිබඳ මනා දැක්මක් සහිත පුද්ගලයකු එම ධූරයට පත් විය යුතු යැයි ද යන පැතුමෙනි.

වරක් විගණකාධිපති ගාමිණී විජේසිංහ ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය සේවකයන්ගෙන් භාගෙට භාගයක් සිටිය යුත්තේ හිරේ යැයි කියාය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් විවිධ වංචා සහගත කාර්යයන් සිදු කළත් එය රාජ්‍ය සේවකයන් අඩක් හිරේ සිටිය යුතු යැයි වැනි බරපතල ප්‍රකාශයක් කිරීමට තරම් ඔහුට ඇති දත්ත වාර්තා මොනවාදැයි ඔහු පවසන්නේ නැත. එමෙන්ම ඔහු පසුගිය දිනක පවසා තිබුණේ රාජ්‍ය ආයතන තුළ සිදුවන නාස්තිය නිසා රාජ්‍ය වියදම්වලින් 25%ක ප්‍රතිශතයක් අවභාවිත වන බවකි. එම නාස්තිය අවම කරගනු ලැබුවහොත් එම ආයතන සඳහා වියදම් වශයෙන් ලබා දී තිබෙන මුදල්වලින් 25%ක් ඉතිරි කර ගත හැකි බවත් ඔහු පවසන්නේය. එය ඉතා අනර්ඝ යෝජනාවක් බව නම් තර්කයක් නැතත් අපට ඇති ගැටලුව වන්නේ එසේ ප්‍රකාශ කරන විගණකාධිපතිවරයාම විගණන දෙපාර්තමේන්තුව තුළ ක්‍රියා කර තිබෙන්නේ ඊට පටහැනි අයුරින් වීමය.

සීමා නැති සංචාර

ඊට දිය හැකි නිදර්ශන ගණනාවක් අතුරින් එක් කදිම නිදර්ශනයක් වන්නේ විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1360 දෙනකු මැලේසියාවේ පුහුණු වැඩසටහනකට යැවීමට විගණකාධිපතිවරයා කටයුතු කර තිබීමය. ආයතනයක නිලධාරීන්ට පුහුණුවක් ලබා දීම ඉතා අගනා කාර්යයක් බව විවාදයක් නැත. එහෙත් එය කුමන වැදගත්කමක් සහිත පුහුණුවක්ද, ලබා දිය යුත්තේ කාටද ආදී කරුණු සලකා බලා මිස ආයතනයක මුළු කාර්ය මණ්ඩලයම පාහේ විනෝද චාරිකාවක් සඳහා මෙන් විදේශ පුහුණු වැඩසටහන්වලට යැවීම කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ. එහෙත් එක්දහස් පන්සියයක් පමණ සේවක සංඛ්‍යාවක් සහිත දෙපාර්තමේන්තුවේ අසූව බැගින් කණ්ඩායම් 17ක් ලෙස සේවකයන් 1360 දෙනෙකු දින 14 බැගින් වූ පුහුණු වැඩසටහනකට මැලේසියාවට යැවීමට මෙම විගණකාධිපතිවරයා කටයුතු කරන්නේය. ඒ සඳහා වැයවී තිබූ මුදල රුපියල් කෝටි 41කි. ඒ අනුව දෙපාර්තමේන්තුවේ අතිරේක විගණකාධිපති, නියෝජ්‍ය විගණකාධිපති, සහකාර විගණකාධිපති, විගණන අධිකාරීවරු, විගණන පරීක්ෂකවරු යන සියලු තනතුරුවල අය එකම පුහුණුව සදහා මැලේසියාවට යවා තිබුණි. අප්‍රේල් 16 වන දින ද එලෙස තවත් කණ්ඩායමක් මැලේසියාව බලා පිටත්වී තිබුණි.

මැලේසියාවේ විගණකාධිපතිත් කියනවා ලංකාව පුදුම රටක්, අපේ රටේ නම් තෝරාගත් හොඳම අය කීපදෙනෙකු යවා පුහුණු කරවා ඒ අය ලබා ගත් අත්දැකීම් අනෙක් අයට ලබා දෙනවා කියලා. නමුත් මෙහේ කිසිම අරමුණක් නැතිව එකම පුහුණුවට 1360 දෙනෙකු අවුරුදු තුන ඇතුළත යැවුවා. ඒක ඇත්තටම අපරාධයක්. එක් අයෙකුට ලක්ෂ තුනක් වැනි මුදලක් වැය වෙනවා. 1360 වෙනුවෙන් කෝටි 41ක මුදලක් වැය වුණා.” පුහුණු සංචාරයට සහභාගීවූ විගණන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු අප සමග පැවසුවේය. වර්තමානයේ භාවිතා වන වෝහාරික විගණනය වැනි විද්‍යාත්මක පුහුණුවක් හෝ ලබා දුන්නා නම් එය ප්‍රයෝජනවත් වීමට ඉඩ තිබූ නමුත් මැලේසියාවේ පුහුණු වැඩසටහන වූ කාර්යසාධන විගණන (Performance Audit) ඉතා ප්‍රාථමික මට්ටමේ වූවක් බැවින් එය විශාල මුදල් නාස්තියක් බව ද ඔහු ප්‍රකාශ කළේය. මැලේසියාව වැනි රටවල අපට ලබාගන්න අත්දැකීම් අඩුයි. ලොකු වංචා නැහැ. වංචා වෙනවා නම් තමයි ඒවා සොයාගත් විධිය ගැන අධ්‍යයනය කළ හැකි වන්නේ. එහෙත් එහි තියෙන්නේ කාර්යසාධනයයි. කාර්යසාධනය ලෙස හඳුන්වන්නේ ආයතනයක් තමන්ගේ අමුණු ඉටු කරගත්තේ කොහොමද කියන එක විගණනය කිරීමයි. ඒ පුහුණුව ඉතාම ප්‍රාථමික එකක්. දවස් 14 තුළ කළ එම පුහුණුව වැඩක් වුණේ නැහැ. ෂොපිං ගියා විතරයි, විනෝද වුණා. එච්චරයි. මෙය මහා මුදල් නාස්තියක් ලෙසයි මම දකින්නේ” එම නිලධාරියාගේ අදහස වූයේ එවැන්නකි.
නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට මෙවැනි දේ කිරීම අනුන්ගේ මඟුල් ගෙදර ගොස් තමන් කෑම බෙදීමක් වැනිය. දෙපාර්තමේන්තුවකට පුහුණුවක් අවශ්‍යය නමුත් මෙවැනි දේ කිරීම රටේ මුදල් නාස්ති කිරීමකි. අවශ්‍ය නම් සිදුකළ යුතුව තිබුණේ නිසි ක්‍රමවේදයකට තෝරාගත් කොටසක් පමණක් පුහුණුවට යවා ඔවුන් ලවා අනෙක් අය පුහුණු කිරීමය, ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමට අවස්ථාව සැලසීමය. සියදෙනෙකුගේ කණ්ඩායමක් ඒ සදහා යැවුවත් ඔවුන් යොදවා අනෙක් අයට එම අත්දැකීම බෙදා දිය හැකියි. නමුත් එසේ නොකර සිදු කර තිබෙන්නේ මහජන මුදල් හිතුමනාපයේ වැය කිරීමය. එමෙන්ම පුහුණුවලට යැවිය යුතු වුවත් සියල්ලෝම එකම පුහුණුවකට යැවීම ඵලක් වන්නේ ද නැත. තොරතුරු තාක්ෂණය, කාර්යසාධනය ආදී විවිධ අංශවල අය තෝරා විවිධ පුහුණුවීම්වලට යැවිය යුතු වුවත් සිදුව තිබෙන්නේ නිලධාරීන් තමන්ට හිතවත් කර ගැනීමට අරමුණක් නැති පුහුණුවකට යවා ජනතා බදු මුදල් නාස්ති කිරීමය. මෙවැනි ආකාරයේ ක්‍රියාපිළිවෙතක් විගණකාධිපතිවරයෙකුට කිසිසේත් සුදුසු කටයුත්තක් නොවනවා සේම ඔහු කරන ප්‍රකාශවලට ද පරස්පර විරෝධීය.

පුහුණු මධ්‍යාස්ථාන

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් මීට වසර කීපයකට පෙර කුරුවිට ප්‍රදේශයේ සාදා තිබිණ. විගණකාධිපතිවරයා එය දුර වැඩි බව පවසමින් මීට මාස කීපයකට පෙර සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ලබාදී ඇත. එසේ සිදුකරන ඔහු ආයතනයේ සියලුම සේවකයින් පාහේ මැලේසියාවේ පුහුණු වීමට යවන්නේ කුරුවිටට වඩා මැලේසියාව ළඟ නිසාදැයි අප දන්නේ නැත. කුරුවිට පුහුණු මධ්‍යස්ථානය විකුණා දැමීමෙන් පසු ඔහු නැවතත් හොරණ ප්‍රදේශයෙන් අක්කර 25ක භූමියක් ලබාගෙන බිලියන 10ක් වැය කරමින් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමට ආරම්භ කරයි. මුළු සේවකයින් සංඛ්‍යාව එක්දහස් පන්සියයක් පමණ වන දෙපාර්තමේන්තුවේ සේවකයන් එකවර පුහුණුකිරීමට අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නැතත් මෙවන් විශාල ස්ථාන කුමක් සදහා දැයි අරමුණක් ඔහුට තිබූ බවක් පෙනෙන්නේ නැත. තිබූ පුහුණු මධ්‍යස්ථානය විකුණා ඉන් පසු ඔහු නැවත මුළ සිට පුහුණු මධ්‍යස්ථානයක් අලුතෙන් සෑදීමට ආරම්භ කළේය. මේ වන විට පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බැවින් 45 දෙනෙකු පමණ පුහුණු කිරීමට කුකුළේගඟ හමුදා කදවුරක ස්ථානයක් ලබා ගන්නා බව විගණන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කරයි. හැටකට හැත්තෑවකට පමණ පිරිසකට නේවාසිකව පුහුණුව ලබා ගත හැකි අයුරින් හිටපු විගණකාධිපතිවරු විසින් ඉදිකර තිබූ ස්ථානය විකුණා දමා ඔහු කර තිබෙන්නේ විකාර සහගත දෙයක්” යැයි එම නිලධාරියා පවසයි.

සීමා නැති වාහන

හිටපු විගණකාධිපති භාවිතා කළ මොන්ටෙරෝ ස්පෝට්ස් රථය විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් ඉතා අධික වියදමක් වැය කරමින් අලුත් වැඩියා කරවූවත් එය ද තිබියදී 2016 වසරේ සිට අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් ද ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබුණි. එහි මාසික කුළිය පමණක් රුපියල් පන්ලක්ෂ තිස්පන්දාහක් බව වාර්තා විය. ඒ අනුව එහි අවුරුද්දක කුළිය රුපියල් හැට හතර ලක්ෂයකි. කුළී පදනම මත වාහන ලබා ගන්නවා නම් ලක්ෂ හතරකට නොවැඩි විය යුතු යැයි කොන්දේසියක් තිබුණ ඔහු එම රථය ලබා ගන්නේ ඊට වඩා වැඩි මුදලකටය. රාජ්‍ය ආයතන වලට කුළී පදනම මත ලබා ගැනෙන වාහනවල අවාසිදායක තත්ත්වය පෙන්වාදිය යුත්තේ ද විගණකාධිපති වුවත් ඔහු සිදු කර තිබෙන්නේ ද අධික කුළියකට අධි සුඛෝපභෝගී වාහනයක් ලබා ගැනීමය. කොන්දේසිවලට අනුව එම බෙන්ස් රථයට යම් හානියක් වුවහොත් රක්ෂණ සමාගමෙන් ගෙවන්නේ කොටසක් වුවත් ඉතිරිය ගෙවිය යුතු වන්නේ ද දෙපාර්තමේන්තුවෙනි. මෙම බෙන්ස් රථය ලබා ගන්නා අවස්ථාවේ අදාල නිලධාරීන් ඊට විරෝධය දක්වා තිබුණද ඔහු එම රථය ලබා ගැනීමට කටයුතු කර තිබුණි. ඒ අනුව රජයේ නිලධාරියකුගේ වාහනයකට ලක්ෂ හැටහතරක කුළියක් ගෙවීම රටට ඔරොත්තු දෙනවාද යන්න හෝ මේවා බදු ගෙවන ජනතාවගේ මුදල් බවට මෙම රාජ්‍ය නිලධාරීන්ට කිසිදු හැගීමක් නොමැති බව පැහැදිලිය. එමෙන්ම මීට පෙර විගණන දෙපාර්තමේන්තුවේ වසරක වියදම බිලියන එකක් වුවත් එය මෙම විගණකාධිපතිවරයාගේ කාලයේ දෙගුණයක් බවට පත්වූ බව ද වාර්තාවේ.

ඔහුගේ බෙන්ස් රථයට අමතරව තවත් ඩබල් කැබ් රථ 25ක් කුළී පදනම මත දෙපාර්තමේන්තුවට ලබා ගෙන තිබුණි. ඒ සදහා මසකට තිස්හතර ලක්ෂයක් වැය වන අතර එම රථවල ධාවන සීමාව මාසයකට කිලෝමීටර් තුන්දාහක් වුවත් කිලෝමීටර් දාහක්වත් ඒවා ධාවනය නොවන බව දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සදහන් කරයි. කොළඹ ආශ්‍රිතව ගමනාගමනය සදහා විගණන නිලධාරීන්ට ඩබල් කැබ්වල ගමන් කිරීම අත්‍යාවශ්‍ය නොවන අතර, ඊට අඩු මුදලකට වුවත් පහසුකම් සහිත වෙනත් මාදිලියක වාහන ඒ සදහා යොදා ගත හැකිව තිබුණි. එහෙත් කටයුතු කර තිබෙන්නේ මේ කිසිවක් පිළිබද නොසලකා හරිමිනි.

හිටපු විගණකාධිපති සිටි කාලයේ එක් නිලධාරියෙක් විගණකාධිපතිගේ අත්සන හොරට ගැසීම නිසා සේවයෙන් ඉවත්කර ඇති අතර කෙනෙක් එලෙස සේවයෙන් ඉවත් කළ පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අවසරය නොමැතිව නැවත බදවා ගත නොහැකිය. සේවයෙන් ඉවත් කළ මෙම පුද්ගලයා ඉතා සූක්ෂ්ම අයුරින් නැවත සේවයේ පිහිටුවීමට ද විගණකාධිපතිවරයා කටයුතු කළ බවට ද විගණන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

කොමිෂන් සභාව අනවශ්‍යද?

රජයේ මුදල් අවභාවිතා කරන, මූල්‍ය අක්‍රමිකතා සිදුකරන නිලධාරීන්ට එරෙහිව විගණන කටයුතු කළද අධිභාර පැනවීමට හෝ දඩුවමකට යටත් කිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සතුව නීති ප්‍රතිපාදන නොමැති බැවින්19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන විගණන කොමිෂන් සභාව 2015 වසරේ ස්ථාපිත කෙරුණී. එහි නිල බලයෙන් සභාපති වන්නේ විගණකාධිපතිය. මාස තිස් හයක් ඒ සදහා ද වැටුප් ලැබුවත් 2018 වසරේ අගෝස්තු වන තුරු කොමිෂන් සභාව බලාත්මක නොවූයේ ජාතික විගණන පනත සම්මත කිරීම ප්‍රමාද වූ බැවිනි. 2018 අගෝස්තු සිට ක්‍රියාත්මක වූ පසු ඔහු තම හිතුමනාපයට විගණන කොමිෂන් සභාව හැසිරවීමට කටයුතු කළා. කොමිෂන් සභාවේ අනෙක් සමාජිකයින් ඊට කැමති වුණේ නැහැ. ඔහු පසුව විශාල වැටුප් වර්ධක ලබා දෙන බවට පැවසුවත් ඊට කොමිෂන් සභාව විරුද්ධව වුණා. මොකද වැටුප් වර්ධක ලබා දිය යුතු වන්නේ ජාතික වැටුප් අර්බුදයකට නොයන ලෙසයි.” විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ප්‍රකාශ කළේය. එමෙන්ම රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යාවසාය කාරක සභාවලට විගණකාධිපති සම්බන්ධවී වාර්තා ඉදිරිපත් කළ යුතු වුවත් මේ දෙකම සදහා බොහෝ අවස්ථාවල සහභාවගි වන්නේ අතිරේක විගණකාධිපතිවරයා බව ඔහු සදහන් කරයි. එබැවින් ඇතැම් දිනවල කෝප් කමිටුවේ සභාපතිවරයා ද පවසා තිබුණේ ස්පෙයාර් වීල් එක එවා විගණකාධිපති එන්නේ නැහැ යනුවෙනි.

විගණකාධිපති කොමිෂන් සභාවේ සභාපති වන අතර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරීන් දෙදෙනෙක්, පරිපාලන සේවයේ ලේකම්වරයෙකුට සමාන අයෙක්, අභියාචනාධිකරණයේ හෝ ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් යන අය කොමිසමේ සාමාජිකයින්ය . 2018 නොවැම්බර් 23 කොමිෂන් සභාවට වසර 3ක් සම්පූර්ණ වන විට කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර විශ්‍රාමික නිලධාරීන් දෙදෙනා වෙනුවට තමන්ගේ කාලය තුළ උසස්වීම් ලැබූ දෙදෙනෙක් පත්කිරීමටට විගණකාධිපතිවරයා සූදානම් වුවත් කොමිසමේ සාමාජිකයන්ගේ සේවා කාලය තවත් අවුරුදු තුනකට දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කිරීම නිසා එම උත්සාහය අසාර්ථක වූ බව දැනගන්නට ලැබේ. එම සිදුවීම් සමග කොමිෂන් සභාවේ සාමාජිකයන්ට නිලධාරීන්ගේ ප්‍රසිද්ධ රැස්වීම්වලදී නිර්දය ලෙස බැණවැදීමට විගණකාධිපතිවරයා කටයුතු කර තිබුණි. පසුව ඔහු කොමිෂන් සභාවට සහභාගී නොවෙමින් එහි කටයුතු අක්‍රිය කිරීමට උත්සාහ ගෙන තිබුණි. 2019 පෙබ 27 වන දා දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ මෙම විගණන කොමිෂන් සභාව අහෝසි කරීමට කටයුතු කරන ලෙස විගණකාධිපතිවරයා පවසා ඇත. එහෙත් මෙම කොමිෂන් සභා තිබිය යුතු බවට ජනාධිපතිවරයා සහ කථානායක වරයා එම අවස්ථාවේ පැහැදිලි කර තිබුණි. වසර තුනක් වැටුප් ලබාගනිමින් සිටි කොමිෂන් සභාව අහෝසි කරන ලෙස මේ වන විට එහි සභාපති වන විගණකාධිපතිවරයා ප්‍රකාශ කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ලෙස කටයුතු කළ ගාමිණී විජේසිංහ විගණනකාධිපති ලෙස පත්වූයේය. දෙපාර්තමේන්තුවේම අයෙකු එම තරනතුරට පත් කිරීම බොහෝ අයගේ බලාපොරොත්තුව වී තිබුණ ද අවසානයේ මොහු පත් කළ පසු ඔහුට සහයෝගය ලබා දුන් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කීපදෙනෙක් ප්‍රකාශ කළෝය. එහෙත් දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකෙන පරිදි ඔහු ක්‍රියා නොකළ බව ඔවුන්ගේ අදහසයි. ඔහුගේ සමුගැනීම වෙනුවෙන් ද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙකු සහභාගී නොවීමට තීරණය කර තිබෙන්නේ ඔහු වැනි දේශපාලන පිළිලයක් හේතුවෙන් දෙපාර්තමේන්තුවට සිදුව තිබෙන හානිය පිළිබද කළකිරීමෙන් බව ද ඔවුහු පැවසූහ.

විගණන දෙපාර්තමේන්තුව හා කොමිෂන් සභාව යනු රටේ අනෙකුත් ආයතනවල සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන්ද නිවැරදිව සොයා බලා වාර්තා ඉදිරිපත් කළ යුතු ආයතනයකි. එවැනි ආයතනයක ප්‍රධානියා යනු රටේ සිදුවන කටයුතු සම්බන්ධනේ අති විශාල බලපෑමක් කළ හැකි පුද්ගලයෙකි. එබැවින් එවැනි ධූරයකට පත්විය යුතු වන්නේ එම විෂය සම්බන්ධයෙන් මනා අවබෝධයක් දැක්මක් සහිත අයෙක් වන අතරම අදූරදර්ශී ලෙස හෝ දේශපාලන අතකොලුවක් ලෙස ක්‍රියා කරන්නෙකු නොවේ. හතළිස් වැනි විගණකාධිපතිවරයාගේ නික්ම යෑම සමග එම තනතුර වඩාම සුදුස්සාගෙන් පිරවිය යුතුව තිබෙන්නේ එබැවිනි.

අපේ කටයුතු ඉස්මතු වුණේ පුහුණුව නිසයි
විගණකාධිපති- ගාමිණී විජේසිංහ

රටේ අද විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ පිබිදීමක් ඇති වෙලා තියෙන්න හේතුව තමයි පුහුණු කිරීම. පහුගිය අවුරුදු විස්සට ඒ අය පුහුණු කරලා තිබුණේ නැහැ. මම දෙපාර්තමේන්තුවට එද්දී නිලධාරීන් 1500න් අනූඑක්දෙනෙක් පමණයි විදේශ පුහුණුව ලබා තිබුණේ. විගණනය කියන්නේ ජාත්‍යන්තරව හඳුනාගත යුතු කටයුත්තක්. ඉතාම අඩු වියදමින් ඒක කරන්න තමයි මැලේෂියාව දාලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශයත් ඊට මුදල් වෙන් කළා. මැලේෂියානු රජයේ විගණකාධිපති ආයතනයේ පුහුණු මධ්‍යස්ථානයේයි පුහුණු කළේ. තෝරාගත්තේ නෑ, සියලු නිලධාරීන් යැවුවා. මුදල් අමාත්‍යාංශය වැනි ඒවායේ හැම මාස තුනකට සැරයක් හැම කෙනෙක්ම වගේ යනවා, ඒවා කවුරුවත් කතා කරන්නේ නෑ. නමුත් මේ ආයතනයේ අවුරුදු විස්සකට විදේශ පුහුණුව ලබා තිබුණේ අනූඑක්දෙනයි. පසුගිය අවුරුදු තුනේ විගණකාධිපති දෙපාර්තමේන්තුව උඩට ඇවිත් වාර්තා එළියට ආවේ මේ පුහුණු කිරීම් නිසායි. දෙපාර්තමේන්තුව තිබුණේ කාර්ය සාධන විගණනය සම්පූර්ණයෙන් අතහැරලායි. මේක මිනිස්සුන්ට රැකියාව ආසාවෙන් කිරීමට අවශ්‍ය එක වැඩපිළිවෙලක් විතරයි.

කුරුවිට පුහුණු මධ්‍යස්ථානයේ පහසුකම් තිබුණේ හතළිහකටයි. ඒක සබරගමුව විශ්වවිද්‍යාලයට ලබා දුන්නා. ආණ්ඩුව මැදිහත් වී ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් දැන් හැදීමේ කටයුතු පටන් අරන් තියනවා. ඒක හැදෙන්න තව කාලයක් යාවි. අපට මැලේෂියාවට යන්න වුණේත් ජාත්‍යන්තර පහසුකම් නැති නිසායි. එවිට සම්පත්දායකයන් ගෙන්වාගන්න පුළුවන්. මෙතැන තෝරාගන්නත් ප්‍රධාන හේතුව විනාඩි හතළිහකින් විතර කටුනායක ඉදලා එන්න පුළුවන්. කුරුවිටට යන්න පැය පහක් විතර යනවා.
කලින් තිබූ වාහනය මාස තුනක් පමණ අලුත්වැඩියා කරන්න වුණා. මේක ලබා ගන්න මුදල් අමාත්‍යාංශය තමයි චක්‍රලේඛනය නිකුත් කළේ. මම දන්නවා මේක රටට පාඩුයි කියලා. නමුත් ඒක රජයේ ප්‍රතිපත්තිය නම් මට කරන්න දෙයක් නැහැ. කුලිය සම්බන්ධව ගැටලු තිබේ නම් මට ඒවායේ වගකීම භාර නැහැ. නීතියක් කඩ කර තිබේ නම් ඒවා කළ අය වගකියයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් මම නම් දකින්නේ නැහැ. මේ ක්‍රමය යටයේ වාහන දහස් ගණනක් රාජ්‍ය ආයතනවලට අරගත්තා. එහෙත් මම එහෙම ගන්න ගියේ නැහැ, මම පැහැදිලිවම ඒවා ප්‍රතික්ෂේප කර මුදල් අමාත්‍යාංශයට ලීවා.

අපි කාටවත් කඬේ ගියේ නැහැ. සාධාරණ විධියට රජයේ අවභාවිතයන් එළියට දැම්මා. තව දුරටත් එළියට දානවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress