58 වැනි සේනාංකය වරදකරුයි…. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හොර තීන්දුව හෙළිවෙයි… රහස් පොලිස් රහස් වාර්තා ජිනීවා කවුන්සිලයට දුන්නේ කවුද?
Posted on October 6th, 2019

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීමට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීමට විරෝධය දක්වමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර කළ පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරි රසාබි මර්සායි වෙත ඉතාලියේ රණවිරු සේවා මුක්ත සංගමයේ සභාපති සුනිල් ශාන්ත විසින් බාරදීම, ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ පෝලන්ත නියෝජිත සේනක රාජපක්‍ෂද ඊට සහභාගි විය.
 

aras

⋆ සංහිඳියාව එපා වගවීම පමණක් ඕනෑ කොටි ඩයස්පෝරාව ඉල්ලයි
⋆ සාම සාධක බළකායේ සියයට 25 ක් අඩුකළේ යස්මින් සුකාගේ බොරු වාර්තා මත
⋆ හමුදාවට එරෙහිවූ සිංහලයන් හෙලිවෙයි
 
‘‘ඇමරිකානු හමුදා ප‍්‍රධානීන් වූ විලියම් ෂර්මන් සහ පුලිසිස් ග‍්‍රාන්ට් යුද අපරාධකරුවන් බව හෙළිවී ඇත- ඇමරිකානු ඉතිහාසය ලිපි
 
පසුගිය සැප්තැම්බර් 27 දා දකුණු අපි‍්‍රකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට යස්මින් සුකා නැමැත්තිය නිවේදනයක් ප‍්‍රකාශයට පත්කරමින් මෙලෙස කියා සිටියාය.
 
 ‘‘තම හමුදාව යුද අපරාධ සිදුකිරීම ගැන වගවිය යුතු යයි සිංහලයන් රැසක් පවසනවා. අප කළ විමර්ශනයට ඔවුන් සහය වුණා. නමුත් ආරක්‍ෂක හේතූන් මත එම සිංහලයන්ගේ නම් හෙළිකළ නොහැකියි. එහෙත් අපි ඔවුන් ලබාදුන් තොරතුරු ඇගයීමකට ලක්කරනවා…
 
 ඇය මේ ප‍්‍රකාශය කළේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකා කටයුතු වලින් ශ‍්‍රී ලංකාව අත්හිටුවා ඇති බවට දියත්වූ ප‍්‍රචාරය සම්බන්ධයෙනි.
 
 එහෙත් එක්සත් ජාතීන්ගේ බලධාරීන් පැවසුවේ ශ‍්‍රී ලංකා සාමසාධක බලකායෙන් සියයට 25 ක් පමණ සේවා කටයුතු අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට එවන බවයි.
 
 මේ පසුබිම මැද ඇමරිකාවේ සිටින කොටි කොන්ත‍්‍රාත්කරුවකු වන මාටින් රසල් ලී නැමැත්තා එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශකයන්වූ ස්ටෙන්සේ ඩුජාරික් – පර්හාස් හක් සහ මෙලිසා ජලේටින් වෙත ප‍්‍රශ්නයක් යොමුකරමින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර නොදක්වන්නේ මන්දැයි විමසනු ලැබීය.
 
 ඊට පෙර මැතිව් රසල් ලි ශවේන්ද්‍ර සිල්වා සාම සාධක බලකායේ උපදේශකයකු ලෙස පත් කිරීම ගැන මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් ගෙන් කළ ප‍්‍රශ්න කිරීමෙන් පසු ඉනර් සිටි ප්‍රෙස් වෙබ් අඩවිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළට පැමිණීම තහනම් විය. මේ නිසා ඔහු ගුටාරෙස් දූෂිත පුද්ගලයකු යයි චෝදනා කළේය. මේ වනවිට මැතිව් රසල් ලීට පනවා ඇති තහනම දින 450 ඉක්මවා ඇත. ඒ නිසා ඔහු දැඩි කෝපයෙන් පසුවේ.
 
 ඇමරිකානු කොටි ඩයස්පෝරාවේ පදයට නටන මැතිව් රසල් ලීට පසුගිය 27 දා 44 වැනි එක්සත් ජාතීන්ගේ සමුළුවට පැමිණි විදේශ ලේකම් රවිනාත් ආරිසිංහ” ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිනි ෂෙනුකා සෙනෙවිරත්න” තානාපති කාර්යාලයේ හමුදා උපදේශක බි‍්‍රගේඩියර් විජේන්ද්‍රලාල් ගුණතිලක යන පිරිස එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ මහලේකම් ජින් පියරේ ලැන්රොසික් එක්සත් ජාතීන්ගේ හමුදා උපදේශක ලූතිනන් ජෙනරාල් කාලයේ ගම්ස්ර්ටෝ මහලේකම්ගේ නියෝජිත පීටර් ඩුටේ බෙල්ගේ‍්‍රඞ් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ප‍්‍රධානි මාර්කෝ බියන්එනි ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡුා කිරීමේ සිද්ධිය වාර්තා විය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කොඩි ඩයස් පෝරාවට දැඩි ප‍්‍රහාර එල්ල කළ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ නීතිඥ ජයරාජ් පලිහවඩන බ‍්‍රයන් බස්නායක සහ එරික් මාකවිටගේ මේ අවස්ථාවට මහාචාර්ය මෙහෙමුඞ් හෙල්මුට්ද සහභාගි විය

මෙහිදී සාම සාධක බලකායේ මහලේකම් ලැක්ක්‍රොයිස් පැවසුවේ ලෙබනනයේ සිටින ශ‍්‍රී ලංකා සාම සාධක බලකායේ සියයට 25 ක පිරිස සේවා කාලය නිමවීමෙන් පසු ආපසු යන බවත් නැවත වරක් ශ‍්‍රී ලංකා සාම සාධක භටපිරිස් අඩුකරන්නේ නැති බවයි.
 
 එසේම ශ‍්‍රී ලංකා දූත පිරිස එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකා ප‍්‍රධානීන් හමුවේ තර්ක කළේ ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කළේ ජනපතිවරයා බවත් ඔහුට එරෙහි චෝදනා තහවුරු වී නැති බවත්ය.
 
 ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව එල්ල වී ඇති චෝදනා වල විශ්වසනීයත්වය ගැන රජය ප‍්‍රශ්න කරන බවද දූත පිරිස තවදුරටත් පවසනු ලැබීය.
 
 2011 වසරේදී දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන්ගේ ලියවිල්ලක් ලෙස පිළිගනු ලැබුවේ නැත. 2015 සැප්තැම්බර් මස මානව හිමිකම් කවුන්සිල වාර්තාවෙන් දරුස්මාන් වාර්තාව මානව හිමිකම් ගැනවූ විමර්ශනයක් මිස අපරාධ විමර්ශනයක් ලෙසට පිළිගත්තේ නැත.
 
 2019 ජනවාරි මස සත්‍ය සහ යුක්තිය කොමිසමේ (යස්මින් සුකාගේ සංවිධානය) වාර්තාවේ දැක්වෙන තොරතුරු විශ්වාස කළ නොහැකිය. උගත් පාඩම් කොමිසම සිදුකළ විමර්ශනයේදී වත්මන් හමුදාපතිට එරෙහිව කිසිදු සාක්‍ෂියක් සොයාගත්තේ නැත යයි ශ‍්‍රී ලංකා දූත පිරිස තවදුරටත් සඳහන් කර ඇත.
 
 මෙහිදී හෙළිවූයේ සාමසාධක බලකාය අඩුකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකපාක්ෂිකව තීරණයක් ගෙන ඇති බවයි.
 
 මේ අතර තමන්ගේ හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් ඒ සඳහා වගවිය යුතු යයි කියන සිංහලයන් කවුදැයි අනාවරණය වීය. මේ එම පිරිසගෙන් කීපදෙනෙකි.
 
 
 ⋆ හිටපු මේජර් ජෙනරාල් වරයෙක්. මොහු හිටපු ශ‍්‍රීලනිප 
 
 ඇමැතිවරයකුගේ (දකුණු පළාතේ) සමීපතම ඥාතියෙකි. යහපාලන රජය මේ ද්‍රෝහියාට තානාපතිධුරයක්ද පිරිනමා තිබුණි.
 
 ⋆ ජර්මනියේ සිටින කොටින්ගේ දේදුන්න පුවත්පත සංස්කරණය කළ කොටි හිතවාදියා – ජේ ඞී එස් සංවිධානය
 
 ⋆ රජයේ පුවත්පතක සේවය කර ස්විට්සර්ලන්තයට පැනගිය මාධ්‍ය පාර්ශවය මොහු හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ මැතිවරණ කාර්ය මණ්ඩලයේ සේවය කළේය.
 
 ⋆ ස්විට්සර්ලන්තයේ සිටින සිංහලයන් සිව්දෙනා
 
 ⋆ හිටපු කර්නල්වරයෙක්.
 
මෙවන් පසුබිමක් මැද වන්නි මෙහෙයුම නතර කරලීමට කොළඹ එන්.ජී. ඕ කල්ලිය කි‍්‍රයාකළ ආකාරයටම අද එන්.ජී. ඕ. ප‍්‍රධානි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිධුර අපේක්‍ෂකද ලෙස තරග කිරීම ව්‍යාර්ථ කිරීමේ මෙහෙයුම දියත් කර ඇත.
 
 මේ දීන මෙහෙයුමේ කොටස්කරුවන් මෙසේයි.
 
 හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජන යස්මින් සුකා – 1971 කැරැල්ලට සම්බන්ධ හිටපු කැරලිකරුවන් කීපදෙනෙක්” අල්ජසීරා සහ බී බී සී සිංහල වෙබ් අඩවිය” කොටි පරාජය වීම වැලැක්වීමට දැඩි උත්සාහයක් ගත් පාර්ශව සහ කොටින්ට අවි ආයුධ සහ මුදල් දීමට 
 
 මුල්වූවන්ගේ සමීපතම ඥාතීන් මෙම පිරිස ගෝඨාභය ජය ලැබුවොත් භීම සමයක් ඇතිවන බවට ප‍්‍රචාරය කර ඇත. ඊට හොඳම නිදසුන උතුරේ අතුරුදන් වූවන්ගේ සංවිධානයේ සභාපතිනි ඊෂ්වරී නැමැත්තිය ජීපීඞීපී නායක ඩග්ලස් දේවානන්දා සහ හිටපු උතුරු මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් හිටපු ආරක්‍ෂක ලේකම් සමඟ එක්වී ද්‍රවිඩයන් මර්දනය කිරීමට කි‍්‍රයාකරන බව පැවැසීමයි.
 
 මේ අතර ගතවූ කාලය තුළ රහස් පොලිසියට බරපතල ලෙස චෝදනා එල්ල විය. ඉන් රහස් පොලිසිය විසª සියලූ අපරාධ නඩුවලට කැළලක් ඇතිවිය. ඊට මූලික හේතුව රහස් පොලිසිය මුළුමනින්ම දේශපාලනීයකරණය වීමයි.
 
 එහි ප‍්‍රතිඵලයක් වූයේ යහපාලනය රජය සමයේ රහස් පොලිසියේ රහසිගත වාර්තා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැකගැනීමට හැකිවීමය.
 
 මේ බව හිටපු මානව හිමිකම් කොමාසාරිස් සෙයිද් රාද් හුසේන් අනාවරණය කර ඇත.
 
 අද හතු පිපෙන්නාක් මෙන් විවිධාකාර දේශපේ‍්‍රමීන් බිහිවී ඇතත් මේ පාර්ශව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ සිදුවන අභ්‍යන්තර කටයුතු ගැන කිසිවක් නොදනී.
 
 එහෙත් හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාවේ 55 වැනි පිටුවේ මෙලෙස සඳහන් කර ඇත.
 
 ‘‘රහසිගත රහස් පොලිස් වාර්ථා මානව හිමිකම් කවුන්සිලය දුටුවෙමු. Confidential CID Reports Seen by OCHCR)
 
මෙය රාජ්‍ය රහස් පනත මුළුමනින්ම උල්ලංඝණය කිරීමකි. එහෙත් අගමැති ජනපති සහ පොලිස්පති මේ ගැන කි‍්‍රයාකර නැත. මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය නම් ජිනීවා මානව හිමිකම් නිලධාරීන් මේ වාර්තා දුටුවේ කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළද එසේත් නැත්නම් එම වාර්තාවල පිටපත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලැබීමෙන් පසුවද?
 
 එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වරක් රහස් පොලිසිය වෙත පැමිණි බවද අනාවරණය විය.
 
 මෙය පුදුමයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට සාක්‍ෂි උතුරේ සිට වීඩියෝ ක‍්‍රමවේදය මගින් යස්මින් සුකාට ලබාදීම සඳහා හිටපු උතුරු පළාත් සභා මන්ත‍්‍රිනී ආනන්දි සසිතරන් පළාත් සභා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ පහසුකම් භාවිත කළාය. එහෙත් රජය නිහඬ විය. ඇය යාපනයේ සිට උතුරේ ද්‍රවිඩ කාන්තාවන් ලවා සුකා වෙත සාක්‍ෂි ඉදිරිපත් කිරීමට කි‍්‍රයා කළාය.
 
 මෙවන් රාජද්‍රෝහි කි‍්‍රයා ලොව වෙන රටවල සිදුවේද? පසුගිය සතියේ ඇය ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් 1983 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ද්‍රවිඩයන් මර්දනය කළ බව කීවාය.
 
 හිටපු කොටි කාන්තාවක් වූ ආනන්දි පුනරුත්ථාපනය සඳහා අසු නොවී යාපනයේ සැඟවී සිටියේය.
 
 ඇයව ජිනීවා ගෙන්වන්නේ ප‍්‍රංශ කොටියා වූ මරියදාස් බොස්කෝයි. ජිනීවා නුවරට පැමිණෙන ආනන්දි සසිතරන් නතර වී සිටියේ කොටි හිතවාදී තැනැත්තියකගේ නිවසේ බව අප කළ විමර්ශනයේදී හෙළිවිය.
 
 මෙවන් පසුබිමක් මැද රහස් පොලිසිය කරන වැරදි ගැන කි‍්‍රයාකිරීමට පියවර නොගැනීමද බරපතල සිද්ධියකි.
 
 මේ අතර ශ‍්‍රී ලංකාවේ සාමසාධක බලකායේ කටයුතු නතර කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇත්තේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා බව හෙළිවිය.
 
 ඇය 2014 මාර්තු 01 දා සිට ශ‍්‍රී ලංකාවට එරෙහි කොටි කොන්ත‍්‍රාත්තුව බාරගෙන තිබුණි. එය යුරෝ මිලියන ගණනක කොන්ත‍්‍රාත්තුවකි. 2014 සිට සුකා ශ‍්‍රී ලංකාවට එරෙහිව සාද්‍ය වාර්තා 53 ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණි.
 
 2019 වසරේ පමණක් ඇය මානව හිමිකම් කවුන්සිලයට වාර්තා 16 ක් යොමු කරනු ලැබීය.
 
 2014 සිට 2019 දක්වා ඇය කොටි යුද අපරාධ ගැන කිසිදු වාර්තාවක් කෙටුම්පත් කර නොතිබුණි.
 
 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ පවත්වන සමාන්තර රැස්වීම් වලදී කොටි සංවිධානය පොලිස් භටයන් 600 ක් ඝාතනය කිරීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකිරීම හා රජීව් ගාන්ධි ඝාතනය කිරීම ගැන විමසූවිට ඇය නිහඬව සිටියාය.
 
 එසේම යස්මින් සුකාට සහය දක්වන සිංහල ද්‍රෝහියෙක්ද ජිනීවා නුවර සිටී. ඒ මහින්ද රාජපක්‍ෂ රජය තමාව මරන්න යනවා යයි කියමින් ස්විට්සර්ලන්තයට ගොස් දේශපාලන රැකවරණ ලබාගත් සුනන්ද දේශපි‍්‍රය නොහොත් රංජිත් නැමැති හිටපු කැරලිකරුවායි.
 
 මේ හිටපු කැරලිකරුවන් අතරින් සමහරෙක් දැන් වෙස්මුහුණක් දමාගෙන මෙරටට පැමිණ සිටී. ඉන් එක් අයෙක් වන්නේ 1971 කැරැල්ලේ කැරලිකරුවකුවූ ලයනල් බෝපගේ නැමැත්තායි. ගෝලීය ද්‍රවිඩ සංසදය ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නුවර පැවැත්වූ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව සමුළුවට බෝපගේ කැරලිකරුවා සහභාගි විය.
 
 1971 කැරැල්ල සිදුවී වසර 48 ක් ගතවන අතර වත්මන් තරුණ පරපුර සහ වත්මන් මාධ්‍ය මේ අතීතය නොදනී.
 
 මෙම පසුබිම මැද වසර 32 කට පෙර බොරු උපවාසයකින් මියගිය කොටි දේශපාලන නායක තිලිපන් නැමැති මිනීමරුවා සැමරීමේ උත්සවයක් නවදිල්ලියේ පැවැති අතර ඊට සික් කි‍්‍රයාකාරීන්ද සහභාගිවී ඇත.
 
 කොටි හිතවාදී නාම් තමිලර් පක්‍ෂය මෙම සමරුව සංවිධානය කර තිබුණි. ඉන්දීය රජය කොටි සංවිධානය තහනම් කර තිබියදී තිලීපන් සමරුව පැවැත්වීමට ඉඩ ලැබුනේ කෙසේද?
 
 එසේම මෙරට විදේශ තානාපතිවරු ජනාධිපතිවරයාගේ තීරණ වලට පවා අභියෝග කරන තත්ත්වයක් අද මතුවී ඇත.
 
 හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කළ අවස්ථාවේ කොළඹ ඇමරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිස්ට් ඊට අභියෝග කළාය.
 
 මානව හිමිකම් කොමාසාරිස් මිචෙලි බැචලට් පවා එම පත්වීමට එරෙහිවිය.
 
 මේ අන්දමට ඇෆ්ගනිස්ථානයේ සිටන ඇමරිකානු හමුදා ප‍්‍රධානින්ට එරෙහිව ඔවුන් අභියෝග කරන්නේද?
 
 වියනා සම්මුතිය මත රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම තහනම්ය. එහෙත් බි‍්‍රතාන්‍යය ස්විස් ප‍්‍රංශ ජර්මානු කැනඩා සහ ඇමරිකානු තානාපතිවරු ප‍්‍රසිද්ධියේ මෙරට කටයුතු වලට සෘජුව මැදිහත් වේ.
 
 ඇමරිකාව මෑතකදී රුසියාවෙන් හමුදා උපකරණ ලබාගැනීමෙන් වළකින ලෙස ජනපතිට කියා සිටියේය.
 
 එහෙත් ඉන්දීය රජය ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවී අපි අවි ආයුධ ගන්නේ කුමන රටෙන්ද කියා තීරණය කිරීමට නුඹලාට අයිතියක් නැතැයි කියා සිටියේය.
 
 ඉන්දියානු බලධාරීන් කළ ප‍්‍රකාශයට සමාන ප‍්‍රකාශයක් කිරීමට මෙරට බලධාරීන්ට හැකිද?
 
 මේ අතර 2018 වසරේ පමණක් ශ‍්‍රී ලංකා සාමසාධක බලකාය ඉපයූ මුදල ඩොලර් මිලියන 739 ක් යයි හෙළිවිය.
 
 සාමසාධක බලකා භටයන් 19000 ක් එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ සේවය කර ඇත. 2018 වසරේදී මාලි රාජ්‍යයේ සේවය කරමින් සිටි ශ‍්‍රී ලංකා සාම සාධක බලකා භටයන්වූ මේජර් වසන්ත දිනේෂ් සහ කෝප‍්‍රල් සමන්ත විජේවික‍්‍රම බෝම්බ පිපිරීමකින් මරුමුවට පත්වූහ.
 
 අද බොහෝ රටවල් තම හමුදාභටයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායට ලබාදෙන්නේ නැත. ඇතැම් රටවල පවතින භයානක තත්ත්වය මත මෙම පියවර ගෙන ඇත.
 
 එහෙත් යස්මින් සුකා ප‍්‍රමුඛ කොටි ඩයස්පෝරාවේ සාද්‍ය ප‍්‍රචාර හමුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකා දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාවට එරෙහි ඒකපාක්‍ෂික තීරණයක් ගෙන ඇත. මේ අතර සාද්‍ය සුදු කොඩි සිද්ධිය යළි මතුවිය. ජනාධිපතිවරණයට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත් වීමත් හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්වීමත් සමඟම හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ එක්සත් ජාතීන්ගේ අධ්‍යක්‍ෂකවරයකු වූ ලූවිස් චාර් බොනියු ශ‍්‍රී ලංකා හමුදාපති පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ස්ථාවරයක සිටින බව කියා සිටියේය. ඔහු මෙලෙස හෙළිකර ඇත.
 
 2015 වසරේ එක්සත් ජාතීන්ගේ විමර්ශනය නොතකා පසුගිය අගෝස්තු මස රජය ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කරනු ලැබීය. 2015 දී එක්සත් ජාතීන් සිදුකළ පරීක්‍ෂණයේදී ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවූ හමුදා සේනාංකය සිරකරුවන් මරාදමමින් සිවිල් වැසියන්ට ප‍්‍රහාර එල්ල කළ බව සොයාගෙන ඇත. එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන රජය විමර්ශනයක් සිදුකර නඩු පැවරීමට කි‍්‍රයාකර නැත.
 
 මේ පසුබිම මැද මහලේකම් ගුටාරෙස් ගෙන ඇති තීරණය යුද අපරාධ සිදුකර ඇති ආණ්ඩු වලට එල්ලවූ දැඩි සංඥාවක් ලෙස හැඳින්විය හැකිය.
 
 මෙලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ එක්සත් ජාතීන්ගේ අධක්‍ෂවරයා 2015 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය 58 වැනි සේනාංකය ගැන පරීක්‍ෂණයක් පවත්වා ඇති බව හෙළිකළේ සිව්වසරකට පසුවය. එහෙත් එවන් පරීක්‍ෂණයක් පවත්වා ඇත්තේ හොර රහසේ බව දැන් තහවුරු වී තිබේ.
 
 මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කි‍්‍රයාකර ඇත්තේ පැමිණිලිකරු සාක්‍ෂිකරු සහ විනිසුරු ලෙසිනි. මේ පරීක්‍ෂණය ගැන ශ‍්‍රී ලංකා රජයට හෝ එල්ල වී ඇති චෝදනා ගැන හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගෙන් කරුණු විමසීමටද කි‍්‍රයාකර නැත. එහෙත් සිරකරුවන් ඝාතනය කළ බවට තීන්දු කර ඇත. මේ සිරකරුවෝ කවුරුන්ද? ලූවිස් චාර් බොනියුගේ හෙළිදරව්වෙන් සනාථ වන්නේ පුලිතේවන් නඬේසන් ඇතුළු කොටි මිනීමරුවන් මියයෑමේ සිද්ධියයි.
 
 මොවුන් සිරකරුවන් නොව බිහිසුණු මිනීමරුවන්ය. මේ අයුරින් 2015 ශ‍්‍රී ලංකාවට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා රජය දැන නොසිටි බව පැහැදිලිය. මේ අතර ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වූ සමාන්තර රැස්වීමකදී කොටි ඩයස්පෝරාව දැන් ඉල්ලන්නේ සංහිඳියාව නොව වගවීම පමණක් බවට චෝදනා එල්ල කරනු ලැබීය. මෙයට ප‍්‍රතිචාර දැක්වීමට කොටි හිතවාදීන් ඉදිරිපත් වූයේ නැත.

One Response to “58 වැනි සේනාංකය වරදකරුයි…. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හොර තීන්දුව හෙළිවෙයි… රහස් පොලිස් රහස් වාර්තා ජිනීවා කවුන්සිලයට දුන්නේ කවුද?”

  1. Gunasinghe Says:

    Sunanda Desapriya is the brother of current election commisioner Now he is Sri lanka working to reinstate YAHAPALANAYA with his brother

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress