ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ව්‍යාජ තාක්ෂණයක් මවා පා ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම.
Posted on October 11th, 2019

මාධ්‍ය නිවේදනය! ලසන්ත වික්‍රමසිංහ ලේකම් තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය දා ඔහු විසින් කෘත්‍රිම බුද්ධිය කළමනාකරණ පුවරුව (Artificial Intelligent Management Dashboard)” ලෙසින් හඳුන්වනු ලැබූ පුවරුවක් පෙන්වා මහජනතාව නොමඟ යවන්නට උත්සාහ කරනවා දැක අපි ඉමහත් කණගාටුවටත් මවිතයටත් පත්වීමු. එය හුදෙක් වීඩියෝවක් ප්‍රදර්ශනය කර ජනතාව නොමඟ යැවීමට තැත් කිරීම පමණක් බව අප ප්‍රකාශ කර සිටින්නේ ඉමහත් නොසතුටිනි.

කෘත්‍රිම බුද්ධිය යනු උපාංගයක් යම් අවස්ථාවකට ගැලපෙන පරිදි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයක් තාක්ෂණය ඔස්සේ තීරණය කිරීමයි. උදාහරණ ලෙස රියැදුරෙකු නොමැතිව වාහනයක් ධාවනය කිරීම, වෛද්‍යවරයෙකු සේ රෝග නිධානය හඳුනාගෙන ප්‍රතිකාර නියම කිරීම වැනි දෑ දැක්විය හැකිය. සජිත් ප්‍රේමදාස මහතා වීඩියෝවක් මඟින් ජනතාව නොමඟ යවමින් හෝ පෙන්වන්න උත්සාහ කළ දෙයවත් කෘත්‍රිම බුද්ධිය නොවේ. වෛවර්ණ පුවරුවක හුදු දත්ත පෙන්වීම පමණක් කිසිසේත්ම කෘත්‍රිම බුද්ධිය නොවේ.  එම අවස්ථාවේ, ඔහු ගැටළුවලට පිළිතුරු සොයන්නේ තවත් අයෙකු සමඟ සාකච්ඡා කිරීමෙනි. එහිදී ක්‍රියාත්මක වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ බුද්ධිය සහ අනෙක් පස සිටින නිලධාරියාගේ බුද්ධිය මිස කෘත්‍රිම බුද්ධියක් නොවන බව පැහැදිලිය.

රටේ නායකත්වය ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකු සිය චන්දදායකයන්ව නොමඟ යැවීමට මෙවැනි පහත් ක්‍රියාවක නිරත වීම අපට තවමත් අදහාගත නොහැක. මේ වංචාසහගත ක්‍රියාව මඟින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරීම පිළිබඳව ඔහු විසින් ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බව අපි යෝජනා කරමු.

ලසන්ත වික්‍රමසිංහ
ලේකම්
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress