ආරක්ෂක අමාත්‍යාංශයේ අයිතිය බෙදුම්වාදීන්ගේ අතට ලබා ගැනීම සදහා ජනාධිපතිවරණය ඉක්මන් කළාද?
Posted on October 13th, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

පාර්ලිමේන්තු මැතිවරණය අහෝසිකරගෙන ජනාධිපතිවරණය කැදවා ගැනීමේ රහස ආරක්ෂක අමාත්‍යාංශයේ අයිතියද?…!

2019 ජනවාරි 05වන දින පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් 2018 නොවැම්බර් 09 දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නියම කර තිබූ බවත් එයට අභියෝග කර මූලික අයිතිවාසිකම් නඩු පැවරීමෙන් පසු එම නඩු විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකුගේ විනිශ්චය පීඨයක් මගින් එකී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාල ගැසට් පත්‍රය නීතිමය කාරණා මත අවලංගු කළ බවත් අදවන විට අමතක විය නොහැකිය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ජනවාරි 05 දින නියම කළ අවස්ථාවේ එකී මැතිවරණයට එරෙහිව පුලුල් ප්‍රචාරයක් බලවතුන් අතර දියත් වූ බවත් පෙනෙන්නට විය.

පාර්ලිමේන්තු මැතිවරණය කැදවීමට අදාල තත්ත්වය එසේ වුවත් මැතිවරණ කොමිසම මගින් මේ වනවිට ජනාධිපතිවරණයක් කැදවා ඇති අතර එයට එරෙහිව ක්‍රියා කිරීමට සමාජයේ බලවතුන් විසින් කටයුතු නොකළ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා ඔක්තෝබර් 07වන දින කැදවීමටද ක්‍රියා කර ඇත. එමෙන්ම ජනතාවද මහත් වූ කැමැත්තෙන් ජනාධිපතිවරණ ඡන්දය වැළද ගනීමට පෙළඹී ඇති බවත් පෙනෙන්නට ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට ජනතා විරෝධය ඇති කිරීමත්, ජනාධිපතිවරණයට ජනතා විරෝධය ඇති නොකිරීමේත් පදනමක් ඇති බව පෙන්වා දීමත් මෙම ලිපියේ අරමුණ වන අතර ඒ අන් දෙයක් නොව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇතිකළ විධායක අගමැති ධූරයේ බලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය පැවැත්වීම මගින් හැකිවීම බවත් පෙන්වා දීම මෙම ලිපියෙන් අදහස් කරයි.

2015 ජනවාරි පැවැති ජනාධිපතිවරණයෙන් තේරීපත් වූ ජනාධිපතිවරයා සතු විධායක බලතල හේතුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වූ විධායක ජනාධිපති බලතල කප්පාදුව එනම් විධායක බලතල සීමා කිරීම සම්පූර්ණයෙන්ම ඉටු කරගත නොහැකි වී තිබුණි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේ ධූරයේ සිටින ජනාධිපතිවරයාට පමණක් ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ 3ක් දැරීමටත්, වෙනත් අමාත්‍යාංශයක් සතු ඕනෑම විෂයක් හෝ විෂයන් කිහිපයක් ඔහුගේ අමාත්‍යාංශයට එකතු කර ගැනීමට තිබෙන බලයත් ජනාධිපතිවරයා ට හිමි වී තිබීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට බාධා වූ විධිවිධාන වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක අගමැතිවරයෙක් බිහිකර තිබුණද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් ඔහුගේ ධූරකාලයට පමණක් හිමිවන ලෙස ලබා දී ඇති විධායක ජනාධිපති බලතල කිහිපයක් හේතුවෙන් අගමැතිවරයාට විධායක අගමැති බලතල 100% එනම් සියල්ල ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් සිය ධූරකාලයේ හිමිවී ඇති සුවිශේෂී බලතල කිහිපයක් වන්නේ ආරක්ෂක , මගවැලි සහ පරිසර යන අමාත්‍යාංශ 3 ඇමතිධූරය දැරීමට ඇති අවස්ථාවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සියලුම ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් පත්විය යුතු වුවත් ඉහත අමාත්‍යාංශ 3 පමණක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පනවනු ලැබූ අවස්ථාවේ සිටි  ජනාධිපතිවරයාට සිය ධූරය අවසන්වනතෙක් දැරිය හැකිය.

මේ වන විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණයක් කැදවා ඇති බැවින් එහිදී තේරී පත්වන ජනාධිපතිවරයා දිවුරුම් දෙන මොහොතේ සිටම ආරක්ෂ, මහවැලි සහ පරිසර යන අමාත්‍යාංශ ඇතුලු සියලුම අමාත්‍යාංශවල ඇමතිවරුන් පත්කිරීම කළ යුතු වන්නේ අගමැතිවරයාගේ අදහස අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතරිනි.

2019 නොවැම්බර් 16 දින පවත්වන ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ජනාධිපතිවරයාට කිසිම අමාත්‍යාංශයක ඇමතිධූරයක් දැරිය නොහැකි වනවා මෙන්ම ජාතික රූපවාහිණිය, මුද්‍රණාලය හෝ අමාත්‍යාංශයක කිසිම  විෂයක් තමගේ බාරයට ගැනීමටද නොහැකිය.

( අමාත්‍යාංශයක් දැරිය නොහැකි හෙයින් )

එනම් 2019 ජනාධිපතිවරණ ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමත් සමගම අගමැතිවරයාගේ විධායක බලය 100% සම්පූර්ණ වන අතර අවශ්‍ය නම් ආරක්ෂක අමාත්‍යංශය තමා බාරයේ තබා ගැනීමට හෝ මුස්ලිම් කොන්ග්‍රසයට හෝ දෙමළ සන්ධානයට හෝ කැමැති වෙනත් ඕනෑම මන්ත්‍රීවරයෙක්ට එම අමාත්‍යාංශය ලබා දීමට හැකි වේ.

එනම් වසර 4 1/2 ක් ගෙවීමෙන් පසු (2015 අගෝස්තු/ සැප්තැම්බර් සිට) ජනාධිපති විසින් පාර්ලිමේන්තු විසුරුවා හරින තෙක් අගමැති ලෙස ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය 113 බහුතරය පවත්වාගෙන යාම සදහා යම් මන්ත්‍රීවරයෙකුට ආරක්ෂක අමාත්‍යාංශය ලබා දීමට හෝ එය තමා බාරයේ තබා ගැනීමට අගමැතිවරයා ක්‍රියා කරනු ඇති බව සාමාන්‍ය තත්ත්වයයි.

2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසෙන මහතා ජනපති වූ අවස්ථාවේ එවකට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී සංඛ්‍යාවක් තිබූ අගමැති දි. මු. ජයරත්න මහතා යම් ආකාරයකින් පසුබැස්සා මෙන් මෙවර ජනාධිපතිවරණයෙන් කවර ජනාධිපති අපේක්ෂකයා ජයගත්තද අගමැති පසුබැසිය හෝ පස්සට යන්නේ යැයි අනුමාන කළ නොහැක්කේ විධායක අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සහ නාමික අගමැති ලෙස දි.මු. ජයරත්න මහතා සතු බලයේ පැහැදිලි වෙනසක් තිබීමය.

ඉහත කාරණා සැළකීමේදී ජනාධිපතිවරණයෙන් කවුරු ජයගත්තද අගමැතිවරයාට ආරක්ෂක, මහවැලි සහ පරිසර අමාත්‍යාංශ සම්බන්ධව හිමිවන අධිකාරිය සහ එම අමාත්‍යාංශ දැරිය යුතු මන්ත්‍රීවරයා කවුද යන්න තීරණය කිරීම බලය හිමිවන මැතිවරණයක් බවත් කවුරු නොදැන සිටියත් වත්මන් අගමැතිවරයා සහ 19 ව්‍යවස්ථා කෙටුම්පත්කරුවෝ හොදින් දනිති.

ඉහත කාරණා සැළකීමේදී නොවැම්බර් 16 දින පවත්වන ජනාධිපතිවරණයෙන් කවුරු ජනපති වුණත් සාමාන්‍ය තත්ත්වය යටතේ එනම් මන්ත්‍රීවරු පක්ෂ වෙනස් නොකළ හොත් අණ්ඩුව වෙනස් නොවනවා පමණක් නොව එහි අගමැතිධූරය වෙනස් වන්නේත් නැති බව පැහැදිලිය.

ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංයුතිය වෙනස් කරගැනීමට එනම් මන්ත්රීවරු එකතු කර ගැනීමේ හැකියාව තිබුණද ජනතාව ඒ සම්බන්ධව දක්වන ආකල්පය හෝ ජනතාව එය අනුමත කරණු ඇතිද යන්න මේ දක්වා පැහැදිලි නැත.ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමට පෙරම තම පක්ෂය මාරු කරණු මිස ජනාධිපතිවරණයෙන් පසු පැත්ත මාරු කිරීම බලයට ඇති නොනිමි ආශාව බවට ජනතාව සිතන්නට වැඩි නැඹුරුවක් ඇත.එසේ පක්ෂ මාරුකිරීමෙන් පසු තනා ගන්නා ආණ්ඩුවක් වුවද එයද අස්ථවර ආණ්ඩුවක් වන අතර එකී ආණ්ඩුව පවා 2020 මාර්තු දක්වා එනම් පාර්ලිමේන්තුව විසුරවන තෙක් පවත්වාගෙන යාමට විවිධ වරප්‍රසාද සහ වරදාන ලබා දීමට ජයගන්නා ජනාධිපතිවරයාට සිදුවේ.

මේ නීති සෙල්ලම් සහ යටි උගුල් නොදැන ජයගන්නා ජනාධිපති අපේක්ෂකයා මොනවා කර ගනීද? යන්න මේ වන විට පැහැදිලි නැත.

(සංවාදයට විවෘතය)

(නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress