ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයේ පළමු වාර්ශික මහා සැසිවාරය
Posted on October 13th, 2019

ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමය

ශ්‍රී ලංකාව තුළ විවිධ මාධ්‍යන් ඔස්සේ විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සන්නිවේදකයින්ගේ එකමුතුවක් ලෙස බිහිවුන ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයෙහි පළමු වාර්ශික මහා සැසිවාරය ඔක්තොබර් මස 10 වන දා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ශාලාවේදී පැවැත්විණි. මීට වසරකට පමණ පෙර මූලික අඩිතාලම දමමින් ආරම්භවුනු මෙම සංගමයේ මූලික පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යා ජනමාද්‍ය හා විද්‍යා සන්නිවේදනය වඩාත් ඉහළ තලයකට ගෙන එමින් ශ්‍රී ලංකාව තුළ විද්‍යා දැනුම වඩාත් කාර්යක්ෂමව ප්‍රචලිත කිරීමයි. මේ හරහා ශ්‍රී ලාංකික ජනතාව වඩාත් තාර්කික චින්තනයක් කරා රැගෙන යාම සංගමයේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම සංගමයේ සමාරම්භක සභාපතිවරයා ලෙස ශ්‍රී ලන්කන් සයන්ටිස්ට් සඟරාවේ කතෘ සිසිර කුමාර මහතා සැසිවාරයේ පිළිගැනීමේ දේශනය සිදුකල අතර එහිදී මෙම සංගමය පිහිටවීමේ මූලික අරමුණු සහ අනාගත අපේක්ෂාවන් පිළිබද ඔහු විසින් අදහස් දක්වන ලදී.

අනතුරුව මෙම සැසිවාරයේ ප්‍රධාන ආරාධිත දේශණය ප්‍රවීණ විද්‍යා ලේඛක සහ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා විසින් සිදුකල අතර ඔහුගේ දේශනයේ මාතෘකාව වූයේ අවිද්‍යාවේ අන්ධකාරයට එරෙහිව විද්‍යා සන්නිවේදනය: කාලෝ ෆොන්සේකා ගිය මගෙහි පෙරටම යමු!” යන්නයි. මෙම දේශණයේදී අතීතයේ සිට අද දක්වා ලංකාවේ බිහිවූ සන්නිවෙදකයින් සමාජය වෙලා පැතිරී ඇති මිත්‍යා විශ්වාස පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමක් කරා ජනතාව යොමු කිරීමට ගන්නා ලද උත්සාහන් පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මෙම ක්‍රියාදාමයන් උදෙසා මෑතකදී අප අතරින් වියෝ වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගේ දායකත්වය ප්‍රධාන අවධානයට යොමු කළේය.

එම දේශනයෙන් අනතුරුව සංගමයේ වාර්ශික සැසියේ කටයුතු ආරම්භ වූ අතර එහිදී සංගමයේ නිලධාරී මණ්ඩලයට තවත් වසරක් සඳහා එම තනතුරුවල ක්‍රියා කිරීමට මහා සභාවේ ඒකමතික කැමැත්ත හිමි වූ අතර, ඉදිරි වසර සඳහා සංගමයේ ක්‍රියා කාරී සැලැස්මද සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකන් සයන්ටිස්ට් සඟරාවේ කතෘ සිසිර කුමාර මහතාගේ සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමයේ උපදේශක මණ්ඩලය ලෙස  ප්‍රවීණ විද්‍යා සන්නිවේදකයින් වන නාලක ගුණවර්ධන, ආචාර්ය ජයන්ත වත්තවිදාන, මහාචාර්ය මනූජ් ක්‍රිෂාන්ත, මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි සහ තිළිණ කිරින්ගොඩ ක්‍රියා කරති. ශ්‍රී ලංකාව තුළ විවිධ ආකාරයෙන් විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන ප්‍රවීණ හා ආදුනික සන්නිවේදකයින් රැසක් මෙම සංගමයේ සාමාජිකයින් ලෙස දැනටමත් ක්‍රියා කරන අතර, විද්‍යා සන්නිවේදනයෙහි නියැලෙන සහ විද්‍යා සන්නිවේදනයෙහි ඇල්මක් දක්වන සියළු දෙනා හට මෙම සංගමය හා සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා විද්‍යා සන්නිවේදකයින්ගේ සංගමය ඇරයුම් කර සිටියි.

Sri Lanka Association of Science Communicators
Vidya Mandiraya, Vidya Mawatha
Colombo 7

Email – slasc.info@gmail.com
Telephone – 0716855379

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress