නිවාස සංවර්ධන අධිකාරිය අදත් පරීක්ෂාවට – ඩලස්, සුසිල්, වීරකුමාර, මැතිවරණ කොමිසමට
Posted on October 19th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මැතිවරණ කොමිෂන් සභාව සහ පොලීසිය අද සිව්වන දිනටත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ විශේෂ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවා.

ඒ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම ආයතනයට අයත් වාහන අවභාවිත කරන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 16 වනදා ද මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ පොලීසිය එක්ව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ පිහිටි මානව සම්පත් සංවර්ධන අංශය විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

ඊට පසුදින යළිත් මැතිවරණ කොමිසමේ නිලධාරින් මානව සම්පත් සංවර්ධන අංශය, පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී නව පත්වීම් 2800 ක් ලබාදීමට සූදානම් කර තිබූ බවට කරුණු අනාවරණ වුණා.

ඊයේ දිනයේත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ WP PH 7598 සහ WP PH 7599 අංක දරණ නවීන ඩබල් කැබ් රථ දෙකක් සහ 253 – 5305 දරණ කැබ් රථය ද මැතිවරණ ව්‍යාපාරයේ යොදවා තිබූ බවට කරුණු අනාවරණ වී ඇති බවත් ඒ අනුව පරීක්ෂා කිරීම් සිදු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකක නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් භාර දුන්නා.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට රාජ්‍ය මාධ්‍ය ආයතන වැඩි සහයක් ලබාදෙන බව පවසමින්.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේමජයන්ත හා වීරකුමාර දිසානායක එක්ව සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress