ප්‍රතිඵල එන්නටත් කලින් ජනපතිවරණයෙන් දිනුවේ නාගානන්ද කොඩිතුවක්කු
Posted on October 20th, 2019

දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට…උපුටා ගැන්ම  අරුණ පුවත්

ජනාධිපතිවරණයට දැන් ඇත්තේ මාසයකටත් වඩා නොඅඩු කාලයකි. ශ්‍රී ලංකාවේ පුවත්පත්, රූපවාහිනී නාළිකා ගුවන් විදුලි සේවා සියල්ල තුළින් අපට අහන්නට දකින්නට ලැබෙන්නේ අපේ රට සුරපුරයක් කිරීම සඳහා පරහිතකාමී ඡන්ද අපේක්ෂකයන් වෙහෙසෙන අන්දමයි. තම ජීවිතය පරදුවට තබා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔවුන් දරන උතුම් වෙහෙස මහන්සියයි.

අපේක්ෂකයන් 35 දෙනකු ජනාධිපති වීම සඳහා සටනට බැස ඇති නමුත් බොහෝ විද්‍යුත් නාළිකා හා පුවත්පත් මුල් තැන දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනා හා දෙවන පෙළේ අපේක්ෂකයන් තුන් දෙනාට පමණි. මේ රටේ මීළඟ ජනාධිපති වන්නේ මොවුන් පස් දෙනාගෙන් කෙනෙක් බව ඒකාන්තය. නමුත් රටේ වැඩි දෙනා තවමත් විශ්වාස කරන්නේ මැතිවරණය ජය ගන්නේ පොහොට්ටුවේ හෝ හංසයා ලකුණේ නායකයා බවය.

මෙම අපේක්ෂකයන් පස් දෙනා හැරෙන්නට ඉතිරි අපේක්ෂකයන් 30 දෙනා ජෝකර්ලා, ඡන්ද කඩන්නෝ, බහුබූතයෝ වශයෙන් සලකන ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඔවුන්ට කිසිම ප්‍රසිද්ධියක් දෙන්නේ නැත. ඔවුන් ගැන කතා කිරීම හෝ ලිවීම කාලය කා දැමීමක් බව පුවත්පත් හොඳාකාරවම දනී.

නමුත් පුදුමයකට මෙන් ප්‍රධාන අපේක්ෂකයන් පස් දෙනා ගැන මෙන්ම මේ දිනවල පුවත්පත් තවත් පුද්ගලයකු ගැන දිගින් දිගටම කතා කරමින් සිටී.

ඔහු ජනාධිපති අපේක්ෂකයකු නොවේ. ජනාධිපති අපේක්ෂකයකු වන්නට වසර දෙකක් තිස්සේ අමුඩ ගැසූ පුද්ගලයෙකි. අන්තිම මොහොතේ අනිත් පක්ෂ කිහිපයක කුමන්ත්‍රණයක් නිසා තම අපේක්ෂකත්වය අහිමිවූවා යැයි දැන් කෑ මොර ගසන ‘මහත්මයෙකි’. නැතිනම් විරුද්ධවාදීන් කියන අන්දමට තමාගේ ජනාධිපතිවරණය සඳහායි කියමින් වසරක් තිස්සේ ලොව පුරා සිටින දහස් ගණනක ‘‘රට ලාංකිකයන්ගෙන්’’ මිලියන 13ක විශාල මුදලක් එකතු කොට ගෙන අන්තිම මොහොතේ තමන් විසින්ම උපායශීලී ලෙස තමන්ට නාමයෝජනා ඉදිරිපත් කිරීමට බැරි කරගත් මාර මොළකාරයෙකි.

මේ දවස්වල ශ්‍රී ලංකාවේත් රට ලාංකිකයන් අතර වැඩිපුරම කතාවට ලක්වන මේ පුද්ගලයා අන් කිසිවකු නොව ප්‍රසිද්ධ නීතිඥ හා මානව හිමිකම් සටන්කාමියකු වූ නාගානන්ද කොඩිතුවක්කුය.

ඇත්තටම නාගානන්දට මොකද වුණේ. ඔහු රට ගලවා ගැනීමේ පරම චේතනාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇත්තටම අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වූවාද, නැතිනම් ඔහු කළේ ව්‍යාජ රඟපෑමක් ඉදිරිපත් කරමින් මෙරට හා පිට රට ලාංකිකයන්ගෙන් ලක්ෂ 130ක මුදල් එකතු කොට ගෙන පලා යෑමක්ද? ලන්ඩන් නුවර ලාංකිකයන් දහස් ගණනක් දැන් අසන ප්‍රශ්නය එයයි. මෙයට නිවැරදි උත්තරය දිය හැක්කේ නාගානන්දට පමණි.

මෙයට මාස කිහිපයකට පෙර ලන්ඩන් නුවර කීර්තිමත් ලාංකික වෛද්‍යවරයකු මට කතා කරමින් කියා සිටියේ නාගානන්ද ශ්‍රී ලංකාව දේශපාලන දූෂිතයන්ගෙන් බේරා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා ජනබලය හා ආධාර එකතු කිරීමට ඔහු යුරෝපයේ සංචාරක යෙදෙමින් සිටින බවත්ය. නාගා යන යන තැන සෙනඟ පිරෙනවා. ඔහුගේ කතා ඉතා ආකර්ෂණීයයි. ඔහුට නව ව්‍යවස්ථාවක් තියෙනවා. පැහැදිලි දර්ශනයක් තියෙනවා. අල්ලස, දූෂණය පවුල්වාදය නැති කරන්න, ඔහුට නියම වැඩපිළිවෙළක් තියෙනවා. යන යන තැන අපේ අය ඔහුගේ අපේක්ෂකත්වයට ආශිර්වාද කරමින් ඔහුගේ බැංකුවට සල්ලි දමනවා. ඊළඟ රැස්වීම අහවල් දවසේ ඔයත් කොහොම හරි ඒකට එන්න ඕන. නාගාගේ කතාව අහන්න.’’ ඔහු තවදුරටත් කීය.
ලන්ඩන්වල පැවැත්වෙන කිසිම දේශපාලන රැස්වීමකට මම සහභාගි නොවන නිසාත් කොයි රැස්වීමේ කතාත් පසුව ගෙදර සිටම you tube චැනලයෙන් බැලිය හැකි නිසාත් මම නොපැමිණෙන බව ඔහුට කීවෙමි.

එහෙනම් දෙව්සිරි අඩුගානේ නාගානන්දට ඡන්දෙ දෙන්න කියලා අරුණ පත්තරේට ලියුමක් ලියන්න කියා ඔහු කී විට මට හිනා ගියේය.

යාළුවා ගෝඨාභය අපේ Hostel එකේ Savior Dorm එකේ ඉන්න කාලේ බැසිල් හිටියෙ මගේ room එකේ. එනිසා කාටත් වැඩිය මම සපෝට් කරලා ලියන්න ඕන ගෝඨාටනේ. ‘‘වියත් මග’’ ලන්ඩන් ශාඛාවට බැඳෙන්න කියලා මට පිට පිට ආරාධනා එනවා. නමුත් මම ඒක කළෙත් නැහැ. පාට් ටයිම් පත්තරකාරයෙක් වුණත් අපක්ෂපාතීව නොහිටියොත් අපි ලියන දේ කියන දේයි වටිනාකම නැතිවෙනවා’’යි මම වෛද්‍යවරයාට පිළිතුරු දුන්නෙමි.

එහෙනම් අඩුම ගානේ නාගාගේ ඡන්ද අරමුදලට අනිත් අය වගේ කීයක් හරි දෙන්නකෝයි ඔහු ආයාචනය කළේය.

මම ඔහුට මෙසේ කීවෙමි. නාගාගේ ව්‍යවස්ථාව මම අගය කරනවා. ඔහුට දැක්මක් තියෙනවා. දූෂිත දේශපාලනය යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය දොස්තර මාෆියාව නීතිඥයන් දුප්පතා ගසා කෑම ගැන නාගා කියන කතා ඔක්කොම ඇත්ත. ඔහු ජනාධිපතිවරණය දින්නේ නැතත් ඔහු මේ පාර ඡන්දෙට සිටිය යුතුම පුද්ගලයෙක්. ඔහු ගමින් ගමට යමින් මේ ආණ්ඩුවේ දූෂණ රටට හෙළි කරාවි. එනිසා නාගානන්ද ඡන්දෙට නාමයෝජනා දුන්න ගමන් එයාගෙ එකවුන්ට් එකට දමන්න කියලා මම ලංකාවේ ඉන්න මගේ ලක්සිරි මල්ලිට මම හෙට අනිද්දාම රුපියල් ලක්ෂයක් යවනවා.

නමුත් ලන්ඩන් නුවර සිටින බොහෝ දේශප්‍රේමී ලාංකිකයන් එලෙස දුරබලා කටයුතු කළේ නැත. යුරෝපයේ ප්‍රධාන නගරවල ලාංකිකයන් ඉදිරියේ ආකර්ෂණීය කතා පවත්වමින් ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනය තුරන් කරන බවට නාගානන්ද දුන් පොරොන්දු යුරෝපයේ ලාංකිකයෝ ඉහළින් පිළිගත්හ. යුරෝපයේ පමණක් නොව නාගානන්ද සංචාරය කළ ඔස්ට්‍රේලියාව, ජපානය වැනි රටවලදීද ඒ මහතාට ලැබුණු පිළිගැනීම අතිශයින්ම ඉහළ විය. නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔවුන්ට සැකයක් නොවීය. එනිසා සල්ලි දමන්නයැයි ඔහු ඉල්ලා සිටි ඒ මහතාගේ නමින් ආරම්භ කොට තිබූ නුගේගොඩ ලංකා බැංකුවේ ඇති ගිණුමටය.

ලංකාවේ දූෂිත දේශපාලනය මුළුමනින්ම අතුගා දමා දුප්පතාට සුඛිත මුදිත අනාගතයක් ලබා දෙන බව කියමින් ලොව වටා යමින් මුදල් එකතු කළ පාරිශුද්ධ නාගානන්ද තමන්ගේ සංවිධානයේ නමින් හෝ දෙතුන් දෙනකුගේ අත්සන්වලින් පමණක් මුදල් ලබාගත හැකි ගිණුමක් (Joint bank account) ආරම්භ නොකොට තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුමට මුදල් යවන ලෙස කියන්නේ ඇයිදැයි එතුමාගේ අන්ධ භක්තික විදේශ ලාංකිකයන් ප්‍රශ්න කළේ නැත.

නාගානන්දගේ අපේක්ෂකත්වය හා ප්‍රතිපත්ති මාලාව ගැන විශ්වාසය තැබූ විදේශ ලාංකිකයන්ගේ පවුම් ඇමෙරිකානු ඔස්ට්‍රේලියා ඩොලර්, ජපන් යෙන්, ඉතාලි ලීරා, ජර්මන් මාක්වලින් ඔහුගේ පෞද්ගලික මුදල් ගිණුම පිරී ඉතිරී ගියේය. ඒ මහතාට මුදල් ප්‍රදානය කළේ එංගලන්තයේ ලාංකික ව්‍යාපාරිකයන් වෛද්‍යවරුන් දොස්තරවරුන්, මහාචාර්යවරුන් පමණක් නොවේ. දිවා රෑ මහන්සි වී සුළු රෝහල් සේවකයන්, නගර සභා නිලධාරීන්, දුම්රිය රියැදුරන්, විදුලි කාර්මිකයන්, ටැක්සි ඩ්‍රයිවර් වැනි සුළු සුළු රැකියාවලින් මුළු පවුලම නඩත්තු කරන ලාංකික සහෝදරවරුද නාගානන්දට ගොඩනගන්නට යන සුන්දර ලංකාව උදෙසා හැකිතරම් අන්දමට ඔහුට මුදල් පූජා කළම. මැන්චෙස්ටර් නගරයේදී ඒ මහතා කළ උද්වේගවත් කතාව ඇසූ ලාංකික වෛද්‍ය සිසුවියන් හතර දෙනකු තම අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවේ සිට දෙමව්පියන්ට එවන ලද මුදලින් කොටසක් හෙවත් රුපියල් ලක්ෂ දෙකක්ම නාගානන්දගේ අරමුදලට බැර කළ බව ඔවුන් අන්තර්ජාලයේ ඊයේ පෙරේදා සඳහන් කොට තිබුණි.

ශ්‍රී ලංකාවේ සිට පිටරට යන ඕන කෙනකුට තමන්ගේ අලුත් රටේ ඇති උතුම් ප්‍රජාතන්ත්‍රවාදය ස්වාධීන අධිකරණය, කාර්යක්ෂම රජයේ කාර්යාල, කාරුණික වෛද්‍ය නිලධාරීහු පාරිභෝගිකයා සිනාමුසු මුහුණින් පිළිගන්නා කඩ සාප්පු, නඩු වවාගෙන නොකනා නීතිඥවරු දකින විට ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනය අල්ලස් ගන්නා පොලිසිය අද ඒ මහත්තයා නිවාඩු ආයෙත් හෙට එන්නය කියා අනුරාධපුරයේ සිට කොළඹට පැමිණි දුප්පතා ආපහු හරවා යවන නිලධාරීන් ගැන ඇතිවෙන කෝපය හා පිළිකුල අප්‍රමාණය.

එවැනි අවස්ථාවක විදේශ රටවල සැරිසරමින් ශ්‍රී ලංකාවේත් සාධාරණ සමාජයක් දූෂණයෙන් තොර පාලන ක්‍රමයක් ගොඩනගනවා යයි කියමින් නාගානන්ද නගරයෙන් නගරයට යනවිට රට ලාංකිකයෝ ඔහු දොහොත් මුදුන් දී පිළිගැනීම පුදුමයක්ද? නාගානන්දට පිටරටින් ලක්ෂ ගණන් මුදල් ඇදී ආවේ ලාංකික අපි ඔහුගේ පොරොන්දු විශ්වාස කළෙමු.

ඒ මහතාට සපෝට් එකට ‘‘නාගානන්දට ජපානය’’, ‘‘නාගානන්ද ජනාධිපති කරවමු’’, ‘‘ඔස්ට්‍රේලියාවත් නාගාට’’, ‘‘ලන්ඩන් නුවර නාගා පෙරමුණ’’ වැනි නානාප්‍රකාර නම්වලින් නාගානන්ද මහතාට ආධාර කිරීමට විවිධ මුහුණු පොත් පිටු බිහිවන්නේත්, අන්තර්ජාල වෙබ් අඩවි ඇතිවුණේත් ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා වනවාමයි කී නිසාය.

විදේශයේ පැවැති එකම රැස්වීමකදීවත් ඒ මහතා සහෝදරවරුනි, ඔබ පුළුවන් තරම් මගේ බැංකු ගිණුමට සල්ලි දමන්න. නමුත් ජනාධිපතිවරණයට තරග කරන්නේ අපි යාළුවෝ පස්දෙනාගෙන් එක්කෙනෙක්. ඒ කියන්නේ සමහර විට ඒ අපේක්ෂකයා මම නොවෙන්නත් පුළුවන් කියා කීවේ නෑ. මේ දවස්වල ඒ මහතා කොළඹ සම්මුඛ සාකච්ඡාවලදී කියමින් සිටින ‘‘අපි පස්දෙනාගෙන් එක්කෙනෙක්’’ බයිලය මීට මාස හය හතකට පෙර එංගලන්තයේදී කීවා නම් ඒ මහතාට රට ලාංකිකයන්ගෙන් පැන්සයක්, ඩොලර් එකක්වත් ලැබෙන්නේ නැත. මේ රටේ පොල් පිති නැති නිසා ඒ මහතාට ඇපල් පිති පහර කා රැස්වීම්වලින් පලා යන්නට සිදුවනවා නොඅනුමානය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වී රටේ දූෂිත දේශපාලනය, අල්ලස, පවුල්වාදය දුරු කොට පොදු ජනතාව සුරපුරය කරා ගෙනයෑමට මට සල්ලි දෙන්නැයි කියා ලොව වටා ගිය මේ නූතන යුගයේ දියසේන කුමාරයා ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන්නේ නැත. තමා ව්‍යවස්ථා විශාරදයකු, පලපුරුදු නීතිඥවරයකු බවට හඬ නැගූ නාගානන්දට තරග කිරීමට පක්ෂයක් තෝරා බේරාගෙන ඔවුන් හා ගිවිසුම් ගතවිය යුතුව තිබුණේ මෙයට වසරකට දෙකකට පමණ පෙරදී නොවේද? නමුත් එවැන්නක් කිරීමට එතුමා කිසිම උත්සාහයක් නොගත්තේ නොදන්නාකමට යැයි කිසිවකුට කිව හැකිද?

නාමයෝජනා දීම පිළිගත් පක්ෂයක් යටතේ කළ යුතු යැයි මේ ගරු නීති විශාරදයාට අවබෝධ වූයේ නාමයෝජනා දිනට දවස් දෙකකට කලින් යැයි කියන කීම කුඩා ළමයකුවත් විශ්වාස කරයිද?

දැන් සිදුවිය යුතු දේ සිදුවී හමාරය. නාගානන්ද වෙනුවෙන් ගම් පුරා යමින්, පෝස්ටර් අලවමින්, පත්‍රිකා බෙදමින් ඔහුගේ ප්‍රතිපත්ති ගැන ඈත ගම්වල ජනතාව දැනුවත් කරමින් ඒ මහතාට එක සිතින් ආධාර කළ තරුණ තරුණියන් දහස් ගණනක් දැන් අතරමං වී ඇත. නාගානන්දට ඉතා කෙටි කලකදී ලක්ෂ 130 ක් වැනි ඉතා අධික මුදලක් පරිත්‍යාග කළ රට ලාංකිකයෝ ඔහුට විරුද්ධව අවි අමෝරාගෙන ඇත.

‘‘නාගානන්ද අපිට කෙළියා, නාගානන්ද වංචාකාරයෙක්, අපේ සල්ලි කෝ? මහා පාරිශුද්ධිකයා අපේ මිලියන් 13 ඉස්සුව. එංගලන්තයට අඩිය තියන්න එපා’’ වැනි දහස් ගණන් නීති විරෝධී පෝස්ටර්, බැනර්, තර්ජන ගර්ජන මේ දිනවල මුහුණු පොතේ දකින්නට ඇත.

නමුත් ඔවුන්ගේ අවාසනාවට නාගානන්දට තමන් කළේ වැරැද්දක් යැයි සිතෙන්නේ නැත. මේ දිනවල ලංකාවේ රූපවාහිනී නාළිකා ඉදිරියට පැමිණ ‘‘මම දැක්කා පත්රෙන්, Face Book එකෙන්, අර නාළිකාවෙන් මාව සහරාන් කෙනෙක් කරලා තියෙනවා’’ කියමින් හිනැහෙයි.

මහේෂ් සේනානායකට ජාතික ජනතා ව්‍යාපාරයට ‘‘ඔක්කොම වැසියෝ’’ යන සංවිධානවලට දිගට හරහට බැණ වදී. තමාට නාමයෝජනා නොදී විශ්වාසය කඩ කිරීමේ වරදට ඔවුනට විරුද්ධව නඩු පවරන බවට වහසි බස් දොඩයි. තවත් රුපියල් ලක්ෂ ගණනක් වියදම් කොට නඩු පැවරීමට නාගානන්ද මහතාට මුදල් තිබේ. නමුත් ඔහුව ජනාධිපති කරවීම සඳහා තමන් ඉතා මහන්සියෙන් උපයා ගත් තුට්ටු දෙක පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ පුරවැසියන් හා රට ලාංකිකයන්ගේ රු. ලක්ෂ 130 ආපසු දීමට ඔහුට මුදල් නැතිලු.

තමන්ට නාමයෝජනා නොලැබුණ බව ආරංචි වූ විට රට ලාංකිකයන් බොහෝ දෙනකු හැඬුවා යැයි ඔහු ඊයේ පෙරේදා නාළිකාවකට ප්‍රකාශ කරනවා මා අසා සිටියෙමි. එයට පිළිතුරු දෙමින් ඉතාලියේ සිට ලාංකිකයකු ලියා තිබුණේ ‘‘ඔව් අපි ඇඬුවා තමයි. ඒ ඇඬුවේ තමුසෙට ජනාධිපති නාමයෝජනා දෙන්න බැරිවුණ නිසා නෙවි, තමුසේ වගේ කපටියෙකුට අපි අහුවුණ නිසයි’’ කියාය.

මැන්චෙස්ටර් නුවරදී තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගෙදරින් ලැබුණ මුදල් නාගානන්දගේ නව ශ්‍රී ලංකාව වෙනුවෙන් දහසක් සිහින මැද්දේ ඔහුගේ පෞද්ගලික ගිණුමට පරිත්‍යාග අසරණ වෛද්‍ය සිසුන් හතර දෙනා සටහන් කර තිබුණේ නාගානන්ද මහතාට මුදලින් ආධාර කළ රට ලාංකිකයන් දැන් අවි අමෝරාගෙන ඔහුට පරිභව කරමින් සිටින අතර ඔහු වෙනුවෙන් කඩේ ගිය මහාචාර්යවරු, වෛද්‍යවරු වැනි උගතුන් දැන් ලැජ්ජාවේ සැඟවී සිටිති. නාගානන්ද වර්ණනා කරමින් පත්තරේට ලියන්න කියා මට දිගින් දිගටම ඇවිටිලි කළ ලන්ඩන් වෛද්‍යවරයා දැන් ටෙලිෆෝනය උස්සන්නේ නැත. වාසනාවට දුර දක්නා නුවණින් ක්‍රියා කළ නිසා නාගානන්ද තුළ නාමයෝජනා භාරදුන්නාට පසු ඔහුට දෙන්නැයි කියා මා යැවූ රු. ලක්ෂය පමණක් බේරුණි.

නමුත් ධනවතකු හා උගතකු වන නාගානන්ද කොඩිතුවක්කු හිතාමතාම රට ලාංකිකයන්ගෙන් මුදල් ගසා කෑවායි කියන චෝදනා පදනම් විරහිතය. දශක දෙක තුනක් තිස්සේ දූෂිත දේශපාලනයට විරුද්ධව අවංක සටනක් ගෙන ගිය ඒ මහතාට ඇත්තෙන්ම රටේ ජනාධිපති වී රට බේරා ගැනීමට වුවමනාව තිබුණි. නමුත් ඒ මහතා මුලින්ම කළ යුතුව තිබුණේ 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වී මන්ත්‍රීවරයකු වී අල්ලස, දූෂණයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ විශාල සටනක් ගෙන යමින් රටේ ජනතාවගේ ආදර ගෞරවය දිනා ගැනීමයි.

නමුත් තමන් ගැන තිබූ අධි තක්සේරුව නිසා ඒ මහතා මෙයට වසර දෙකකට පෙර තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනබව ප්‍රකාශ කරමින් අරමුදල් එකතු කළේය. නමුත් ගමේ ජනතාව නාගානන්ද කියන්නෙ කවුද යැයි කියාවත් දැන සිටියේ නැත. රට ලාංකිකයන්ට ලංකාවේ ඡන්දය නැත. කොළඹ උගත් පරපුරේ ඡන්දයෙන් පමණක් රටේ ජනාධිපති වීමට බැරිය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වීමට නම් ගම් මට්ටමෙන් විශාල ඡන්ද පදනමක් තිබිය යුතු යැයි නාගානන්දට අවබෝධ වූයේ නාමයෝජනා දෙන්නට සතියකට දෙකකට පමණ පෙරය. (මහේෂ් සේනානායක හා රොහාන් පල්ලේවත්තටත් තව සතියකින්, දෙකකින් මේ පරම සත්‍යය අවබෝධ වනු ඇත.)

තමාට ඡන්දය දිනන්න බැරි යැයි වටහා ගත් නාගානන්ද මහතා නාමයෝජනා නොදී ලිස්සා යාමට මගක් බලමින් සිටින්නට ඇත. ඔහුගේ අරමුණ ඉටු කිරීමට ‘‘ඔක්කොම වැසියෝ’’ සංවිධානයේ සභාපතිතුමන් ඉදිරිපත් වීම අඬන්න සිටි නාගා මහතාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් එතුමා රු. ලක්ෂ 130 ක් එකතු කර දුන් රට ලාංකිකයන්ටත් කොකා පෙන්වමින් සතුටින් ගෙදර ගියේය.

විදේශ හා ස්වදේශ ආධාරකරුවන් දුන් මුදල්වලට මොකද වුණේ කියා අහන විට ඔහු කියන්නේ ඒ මුදල් මැතිවරණයට හැරෙන්න වෙන කිසිම දෙයකට වියදම් කළ නොහැකි බැංකු ගිණුමක තැන්පත් කළ බවයි. මෙය සත්‍ය කතාවක්දැයි නුගේගොඩ ලංකා බැංකු කළමනාකාරතුමාගෙන් ඔබ ඇසිය යුතුය. මටත් ලංකා බැංකුවේ නාගානන්ද මෙන්ම ජංගම බැංකු ගිණුමක් ඇත. පිටරටින් මුදල් යවන විට ඒ මුදල් කොහෙන් එනවාදැයි විනිමය නීති අනුව සඳහන් කළ යුතුය. නමුත් මගේ මුදල් ලංකා බැංකුවෙන් ආපසු ගැනීමට කිසිම රෙගුලාසියක් අවශ්‍ය නොවී මගේ මුදල් මම මොකට වියදම් කරනවාදැයි දැනගැනීමට බැංකු මැනේජර්ට අවශ්‍යතාවක් නොමැත. නාගානන්දගේ පෞද්ගලික ගිණුමේ ඇති රු. ලක්ෂ 130 එතුමාට වුවමනා නම් මැතිවරණ වියදම්වලට පමණක් නොව මෝටර් රථයක් ගැනීමට, නැතිනම් සුවිසල් මන්දිරයක් ගැනීමටද ගත හැකිය. මා මෙසේ කියන්නේ නාගානන්ද වැනි අවංක පුද්ගලයකු එසේ කරාවි යැයි කියා නොව පෞද්ගලික ගිණුමක අයිතිකාරයකුට තමන්ට අවශ්‍ය ඕනම මුදලක් ලබාගත හැකි බව පෙන්වීමටය.

3 Responses to “ප්‍රතිඵල එන්නටත් කලින් ජනපතිවරණයෙන් දිනුවේ නාගානන්ද කොඩිතුවක්කු”

  1. Randeniyage Says:

    What is important is Naganada’s aim to dismantle Federal Constitution. He was the only candidate identified everything ruining the country. His method in ingenious and perfectly legal. He had always maintained his aim was not to be the president but to destroy the evil ruining the country and we all should be grateful for trying to educate the Kevum Eaters. He is an extreme nationalist which he was purposely and tactically hiding.

    If anyone is incapable of understanding that, he is a fool.
    If anyone is happy that such policies are killed he is a pure betrayer of Sri lanka.

    I believe Naganada was sabotaged by the UNP. However, I hope his main aim will be borrowed by one or few other candidates, especially a winning one.

    Good luck to him and Sri Lanka.

  2. Dilrook Says:

    Naga has set the wheels in motion. The younger generation (later than Baby Boomers) will not venerate politicians as their elders. This is the start of the end of feudal politics.

    What matters is not Naga but the initiative that is already in place.

  3. Randeniyage Says:

    Nagananda has unveiled the people’s rights. He is nothing but his constitution which he promotes !

    Other candidates are now copying his slogans ! But only hollow promises with no mechanism to implement presented. These are the same old folks who ruined the country.

    These slogan should go into their manifesto’s and they should explain how they could implement.

    Today I saw a clip a school kid asking a Pohotu politician what kind of “power devolution” they aim to do. he completely side tracked it ! He himself knows whatever they do is for their own pockets !

    This cannot go on. Even if the votes are wasted, I believe lot of people will cast their vote against both big sides this time. It is better to waste that fueling the same destruction hoping one old man would do it. No way !

    Yes. Naga has set the wheels in motion 13 million rupees is well worth it.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress