ඒකීය රාජ්‍යය පිළිබඳව එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ස්ථාවරය
Posted on November 6th, 2019

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ව්‍යවස්ථා සංශෝධන පිලිබඳ පරිච්ඡේදයේ, ඒකීය රාජ්‍ය සංකල්පය අතහැර නොබෙදුනු හා වෙන් කල නොහැකි රාජ්‍යයක්” පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා ඇතුළත් කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදා හරින බවටත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ. එජාප ජනාධිපතිවරණ අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු එම යෝජනා, මෙම වසරේ ජනවාරි මාසයේදී අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතේ අන්තර්ගතයට බොහෝ දුරට සමානය.

පළාත් සභාවල බලය විශාල වශයෙන් පුළුල් කිරීමටත්, පළාත් සභා නියෝජිතයන්ගෙන් සෑදුණු දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක් ඇතිකොට එමගින් පාර්ලිමේන්තුවේ බලය සීමා කිරීමටත්, පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීමටත්, දැනට මධ්‍යම ආණ්ඩුවේ පාලනය යටතේ සිටින දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම්වරුන් පළාත් සභා යටතට පත් කිරීමටත්, මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා අතර ඇතිවෙන ආරවුල් විසදීමට ව්‍යවස්ථාමය අධිකරණයක් ඇති කිරීමටත් එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තවදුරටත් යෝජනා කර ඇත. මේ අනුව අගමැතිවරයාගේ ව්‍යවස්ථා කෙටුම්පතේ මෙන්ම එජාප ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද පරමාර්තය වන්නේ අර්ධ ස්වාධීන පළාත්බද පාලන ඒකක වලින් සමන්විත ලිහිල් ෆෙඩරල් රාජ්‍යයක් ඇතිකිරීම බව පෙනේ.

අගමැතිවරයාගේ ව්‍යවස්ථා කෙටුම්පතේ, ශ්‍රී ලංකාව සිංහලෙන් ඒකීය රාජ්‍යයක්” හැටියටත්, දෙමළ බසින් ඔරුමිත්ත නාඩුවක්”  හැටියටත් සඳහන් කිරීමට යෝජනා වී තිබුණු අතර විශේෂිත ව්‍යවස්ථාමය අර්ථයක් සහිත යුනිටරි ස්ටේට්” නැමති ඉංග්‍රීසි වදන එම ලියවිල්ලේ ඉංග්‍රිසි පිටපතේවත් භාවිතා නොකිරීමට ඉතා ප්‍රවේසමෙන් වගබලාගෙන තිබුණි. ඒ අනුව සිංහලෙන් ඒකීය රාජ්‍යයක් හැටියට ලංකාව හැඳින්වුවද දෙමළ බසින් හා ඉංග්‍රීසි බසින් ශ්‍රී ලංකාව සැබවින්ම ඒකීය රාජ්‍යයක් නොවනු ඇත. මේ ආකාරයේම උප්පරවැට්ටියක් එජාප ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් පෙනෙන්නට ඇත. එහි ඒකීය රාජ්‍ය හෝ යුනිටරි ස්ටේට් වැනි වදන් පාවිච්චි නොකිරීමට ඉතා ප්‍රෙව්ශමෙන් වගබලා ගෙන තිබුණද මවුබිමේ ඒකීයත්වය” යන වදන එහි එක තැනක සඳහන් වෙයි. මවුබිමේ ඒකීයත්වය යන වදනින් යුනිටරි ස්ටේට් නැමති ව්‍යවස්තාමය වදනේ අර්ථය කිසිසේත්ම ලැබෙන්නේ නැත.

නමුත් ඒකීයත්වය” යන වචනය එක තැනක හෝ සඳහන් වෙන නිසා මෙයින් ඒකීය රාජ්‍යයක්” අදහස් වන බවට පෙන්වා, සිංහල කියවන ජනතාව නොමඟ හැරීමට අවස්ථාව සැලසී තිබේ. උතුරේ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා මේ ආකාරයේ වංචනික වචන හරඹ තුළින් එක් එක් අයට එක් එක් අර්ථ දැනවෙන ආකාරයට ව්‍යවස්ථාමය වගන්ති සම්පාදනය කිරීම ප්‍රතික්‍ෂේප කර ඇත. මෙහිදී ඉතාමත්ම බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු කාරණයක් වන්නේ අගමැතිවරයා සභාගත කළ ව්‍යවස්ථා කෙටුම්පතේ සිංහල ජනතාව සතුටු කිරීමට ඒකීය රාජ්‍යය” යන වචනය සිංහල බසින් පමණක් පාවිච්චි කර තිබුණද, එජාප ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එවැනි පරමාර්ථයක් සඳහාවත් ඒකීය රාජ්‍ය” යන වචනය පාවිච්චි කර නොතිබීමයි.

මේ අනුව වත්මන් එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ අගමැතිවරයාගේ ව්‍යවස්ථා කෙටුම්පතටත් වඩා දැඩි ෆෙඩරල්වාදී නැඹුරුවක් බව කිව හැක. මේ රටේ දෙමළ ජනතාවගෙන් බහුතරය ජීවත්වන්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර පළාතෙන් පිටය. මේ ආකාරයේ ජනගහන බෙදී යාමක් පවතින රටක, ජාතිකත්වය මත පදනම් වූ ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇති කිරීම අතිශයින්ම බරපතල ආනිසංශ සහිත කාරණයක් වනු ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් පවා කිසිවිටෙකත් ඒකීය රාජ්‍ය සංකල්පය බැහැර කිරීමට උත්සාහ දැරුවේ නැත. යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය සම්බන්ධයෙන් තීරණය කිරීමට පත්කරන ලද ඩොනමොර් කොමිසම මෙන්ම සෝල්බරි කොමිසමද ෆෙඩරල් වාදය ප්‍රකාශිතවම ප්‍රතික්‍ෂේප කර තිබුණි.

මේ ආකාරයට රටට අතිශයින්ම අහිතරකර ව්‍යවස්ථාමය යෝජනා සහිත එජාප  ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහනුවරදී එළි දක්වා විශාල ප්‍රසිද්ධියක් සහිතව අතිපූජනීය මහානාහිමිවරුන්ටත් අනුනාහිමිවරුන්ටත් පිළිගන්වන ලදී. මෙමඟින් ඔවුන් මහා සංඝරත්නය මෙන්ම මහජනතාවද නොමඟ යවා ඇත. රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් ඒකීය රාජ්‍ය අහෝසි කොට ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට යෝජනා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුලත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ නිසා මේ කාරණය ඉතා බරපතල ලෙස සැලකිල්ලට භාජනය කළ යුතුය.

දැනට නිකුත් කර ඇති එජාප ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමක් සඳහන් වූවත් තමා ඒකීය රාජ්‍යය” නැතිනම් යුනිටරි ස්ටේට්” නැමති සංකල්පය සුරකින බවටත්, ෆෙඩරල් වාදයට විරුද්ධ වන බවටත්, අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ සියලු යෝජනා වලට විරුද්ධ වන බවටත් ලිඛිත ප්‍රතිඥාවක් එජාප ජනාධිපති අපෙක්ෂකයාගෙන් ලබාගන්නා මෙන් මම අතිපූජනීය ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ

විපක්‍ෂ නායක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress