2019 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අවධානය සඳහා – ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ බහුවිධ අර්බුදය පිළිබඳ විශ්ලේෂණයක්, ඉදිරි දැක්මක් සහ ප්‍රතිසංස්කරණ යෝජනා
Posted on November 6th, 2019

රත්නසිරි අරංගල – ජ්‍යේෂ්ඨ මහාචාර්ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්‍රමය, එහි පෙර පාසල්, ප්‍රාථමික, ද්විතීයික සහ තෘතීයික මට්ටම දක්වා, පවතින්නේ බහුවිධ අර්බුදවලට මුහුණ දෙමිනි. මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් මෑත කාලයෙහි  ගනු ලැබූ උත්සාහයන්හි  හැඳින්විය හැක්කේ අර්ධ සාර්ථක වීම් හෝ සමස්තයක් ලෙස අසාර්ථක වීම් වශයෙනි. මෙම බහුවිධ අර්බුද දිගින් දිගටම පැවතීම එළඹෙන ජනාධිපතිවරණයේ දී අධ්‍යාපනය පිළිබඳ ජනාධිපතිධුර අපේක්ෂකයන් තුළ ද විශාල උනන්දුවක් ඇති කොට තිබේ. 

ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් තම උපදේශකයන් වෙත අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ වගකීම බාර දී ඇති බව වාර්තා වේ. එලෙස කෙටුම්පත් කරන ප්‍රතිපත්ති ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙන් ම ප්‍රචාරක වේදිකාවල ද සමහර විට දැනටමත් සාකච්ඡා වෙමින් පැවතිය හැකි ය. 

දිගින් දිගටම තියුණු වන අධ්‍යාපන අර්බුදය විසඳීම සඳහා ඇති වී තිබෙන මේ ආකාරයේ උනන්දුව වඩාත් අර්ථවත් වන්නේ නව අදහස් හා ප්‍රතිපත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා යොදාගත හොත් පමණි. 

අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන වෘත්තිකයන් වන අපි ශ්‍රී ලංකාවේ සෑම මට්ටමක ම  අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිමු. මේ සන්දර්භයෙහි ලා  අපේ අරමුණ වනුයේ විසඳීමට තුඩු දෙනවා යැයි අප සිතන ප්‍රවේශ කිහිපයක් යෝජනා කිරීම ය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පෙනී සිටින ජනාධිපතිධුර අපේක්ෂකයන්, ඔවුන්ගේ උපදේශක කමිටු, දේශපාලන පක්ෂ, රටේ පුරවැසියන් මෙන් ම ඡන්දදායකයන්ගේ ද අවධානය සඳහා පහත දැක්වෙන විග්‍රහය, දැක්ම සහ ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරමු. 

වර්තමාන අර්බුදය

විවිධ මානයන් සඳහා අවධානය යොමු කරමින් පර්යේෂකයන් හා ප්‍රතිපත්ති විශේෂඥයන් ශ්‍රී ලංකාවේ වර්තමාන අධ්‍යාපන අර්බුදය ගැන ප්‍රමාණවත් විග්‍රහ දැනටමත් ඉදිරිපත් කර ඇත. අප බලාපොරොත්තු වන්නේ සමස්ත අධ්‍යාපන අර්බුදය විසඳිය නොහැකි වීමට දායක වී ඇති පහත සඳහන් විෂමතා ගැන ද අවධාරණය කිරීමට ය. ඒවා විසඳීම සඳහා දැවැන්ත ප්‍රතිපත්තිමය මැදිහත් වීම් අවශ්‍ය වී ඇත. එම මැදිහත් වීම් කෙටි කාලීන, මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන පදනමක් මත සිදු විය යුත්තකි. 

■ පාසල්, තෘතීයක සහ උසස් අධ්‍යාපනය සඳහා වේගයෙන් වැඩි වන සමාජ ඉල්ලුම තව ම පවතින්නේ ඉටු නොවන තත්ත්වයක ය. එයට හේතු වන්නේ රජය විසින් පවත්වා ගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමයේ ව්‍යාප්තියට, නවීකරණයට, ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ සමාජ අපේක්ෂාවන් සපුරා ලීමට ධාරිතාවක් දැනට පවතින අධ්‍යාපන ක්‍රමයට නොමැති වීම යි.

■ රාජ්‍ය අංශය සැම මට්ටමකින් ම සපයන අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ සහ ප්‍රමිතීන්ගේ ක්‍රමික පරිහාණිය, අධ්‍යාපනය සඳහා ඉහළ යන ඉල්ලුමට දක්වා ඇති අවිධිමත් සහ හදිසි ප්‍රතිචාර නිසා තවත් ඉක්මන් වී ඇත. මේ තත්ත්වය පාසල්, වෘත්තීය පුහුණු ආයතන මෙන් ම විශ්වවිද්‍ය සම්බන්ධයෙන් ද  නිරීක්ෂණය කළ හැකි ය.

■ පූර්ව ළමා විය අධ්‍යාපනය පවතින්නේ අවිධිමත් තත්ත්වයක ය. එය ලබා දෙන සේවා නියාමනය කිරීම වෙනුවෙන් ප්‍රතීතන (Accreditation)  ආයතනයක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍජු ක්‍රියාකාරී මැදිහත් වීමක් නොමැති ව ප්‍රමිතිය, ගුණාත්මකභාවය, අධ්‍යාපනයේ ස්වභාවය, පහසුකම් සහ පවතින සනීපාරක්ෂක මට්ටම යාවත්කාලීන කළ නොහැකි ය. මනා අධ්‍යාපනයක් ලබා  දෙන පූර්ව ළමා විය ආයතන තිබෙන විට ද ඒවායේ  ගාස්තු පවතින්නේ සාමාන්‍ය දෙමාපියන්ට දැරිය නොහැකි තරම් ඉහළ මට්ටම්වල ය.

■ අඩු ආදායම් ලාභී හා පහළ මධ්‍යම පන්තික පවුල්වල ආර්ථික අපහසුතා හේතුවෙන් එම පවුල්වල දරුවන්ගේ ඇති අඩු පෝෂණ තත්ත්වය ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට යොමු විය යුතු ය. මේ පවතින ඌන පෝෂණ තත්ත්වය විශ්වවිද්‍යාල හා තෘතීයක අධ්‍යාපන ආයතනවලට පැමිණෙන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ගෙන් ද පිළිබිඹු වෙයි. 

■ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නොහැකි වී ඇත්තේ පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීම් හැකියාව, පුහුණුව, ඇගයීම, මඟ පෙන්වීම හා වෘත්තිකභාවය යන මේවා කිසිදු පරිවර්තනයකට භාජනය නොවී පවතින නිසා ය. බොහෝ ගුරුවරුන් භාවිතා කරන්නේ එකම සහ වැරදි ඉගැන්වීම් ක්‍රමයකි. එම විධික්‍රමය,

(අ). සටහන් කියවන විට ලිවීම.

(ආ). සිසුන් ලවා ආදර්ශ පිළිතුරු කටපාඩම් කරවීම සහ ප්‍රධාන විභාගවල දී එම පිළිතුරු ලිවීමට බලපෑම් කිරීම.

(ඇ). සිසුන් ඉලක්ක ප්‍රශ්න ලෙස නම් කරන ප්‍රශ්නවලට පමණක් සූදානම් වන ලෙස පෙළඹ වීම, යන පියවරවලට සීමා වී ඇත.

■ නව කුසලතා අත්පත් කර ගැනීමට මෙන්ම නව විෂය දැනුම ලබා ගැනීමට ද අවකාශ නැති බැවින් පාසල් ගුරුවරුන් බොහෝ දෙනාගේ ඵලදායීභාවය පිරිහී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දරුවන්ගේ නිර්මාණශීලීත්වයට කිසිදු උත්තේජනයක් සැපයිය නොහැකි ය.

■ රජය හා සමාන්තර ව පුද්ගලික අංශය ද අධ්‍යාපන සේවා සැපයීම නිසා පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ප්‍රතිඵල විකෘති වී ඇත. නියාමනය නොකරන ලද පුද්ගලික උපකාරක පන්ති විසින් සිසුන්ගේ පවුල්වල අධ්‍යාපන වියදම ඉහළ නංවමින් නිදහස් අධ්‍යාපනයේ පදනම් බිඳ දමා තිබේ. එය විසින් පාසල් අධ්‍යාපනය අරාජිකත්වයට ද පත් කරනු ලැබ ඇත.

■ ලාභ අරමුණු කොට පවත්වාගෙන යන, කිසිදු නියාමනයකට භාජනය නො වන පෞද්ගලික අධ්‍යාපනය බාධා විරහිත ව ව්‍යාප්ත වීම නිසා පෞද්ගලික අංශයෙන් සැපයෙන අධ්‍යාපනයට ඇතුළු වීමත්, එයින් ප්‍රතිලාභ ලබන්නන් සම්බන්ධවත් නව සමාජ අසමානතා මතුවී තිබේ. මේ ආයතන විසින් පවත්වන විභාගවල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සහතික කිරීමට ආණ්ඩුවේ යාන්ත්‍රණයක් නොමැත. එබැවින් ශිෂ්ටාචාරයේ සම්පතක් ලෙස අධ්‍යාපනයේ ඇති සමාජීය මෙහෙවර දුර්වල කිරීමේ ශක්‍යතාව එම ආයතන සතු ව ඇත.

■ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවලටත්, රටේ ආර්ථිකයටත් සියලු ම අධ්‍යාපන මට්ටම්වල තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ නොහැකියාව තවමත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සැලකිල්ල ලැබී නැති කරුණකි. සමාජයේ ඉතා සීමිත ස්තර ප්‍රමාණයකට සේවා සපයන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන හතු පිපෙන්නාක් මෙන් බිහි වන බැවින්  රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල රැකියා ලබා ගැනීම සඳහා ඇති ඉඩ ප්‍රස්තා පිළිබඳ සමාජ අසමානතා ගැටලුව තීව්‍ර වීමට බෙහෙවින් ඉඩ තිබේ.

■ රාජ්‍ය අංශයට සහ වෛද්‍ය හා තාක්ෂණ වෘත්තීන්ට නව නිලධාරීන් බඳවා ගැනීම අපේක්ෂා කරමින් 1940 ගණන්වල මුල් කාලයේ තරම් අතීතයක ආරම්භ කරන ලද ප්‍රථම උපාධි සපයන විශ්වවිද්‍යාල ආයතන ඇතුළු සමස්ත උසස් අධ්‍යාපන අංශය ම පවතින්නේ යාවත්කාලීන නොවූ, කාලයට නොගැළපෙන තත්ත්වයක ය. යටත් විජිත අතීතයේ උරුමයක් වන මේ යල් පැන ගිය ගිය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට හා නවීකරණය කිරීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නැත.

■ ගෝලීය ආර්ථික සහ ශ්‍රම වෙළෙඳපොළේ වරින් වර ඇති වන තෙරපුම්වලට ආණ්ඩුව දක්වා ඇත්තේ අවිධිමත් හා වියදම් සහිත ප්‍රතිචාර ය. පාසල් හා විශ්වවිද්‍යාල ආයතන තුළ ක්‍රියාත්මක කර ඇති එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ සිදු වී තිබෙන්නේ රටේ අධ්‍යාපනය තිරසර ලෙස නිර්මාණය කිරීමට දේශීය වශයෙන් ගොඩනැගුනු දැක්ම හා පර්යාවලෝක දිගින් දිගට ම නොසලකා හැරීම ය. දේශීය විද්වතුන්ගේ නිර්මාණශීලී යෝජනා නොසලකා හැරීමේත්, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අංශයේ වෙනස්කම් ඇති කිරීමට ඔවුන් දක්වන උදාසීනත්වයේත් ප්‍රතිවිපාකය වී ඇත්තේ ඍජු පාර්ශ්වකරුවන් එම ප්‍රතිසංස්කරණවලට සහභාගි නොවීම යි.

■ ශ්‍රී ලංකාවේ තෘතීය හා වෘත්තීය පුහුණු අංශය අධ්‍යාපනයේ ශක්තිමත් ඉදිරිගාමී කොටසක් බවට පත් කිරීමට තව මත් හැකි වී නැත. එය අවුරුදු 16ට වැඩි පාසල් හැර යන තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා සූදානම් කිරීම අරමුණු කරන්නක් වුවත්, ප්‍රමාණවත් ලෙස තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට එම අංශය අසමත් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ,

(අ) නව පරම්පරාවේ තරුණ තරුණියන්ට ලැබෙන පාඨමාලා සහ පුහුණුව ආකර්ෂණීය නොවීම. 

(ආ) ජීවත් වීමට අවශ්‍ය තරම් ශිෂ්‍යත්ව දීමනාවක් නොලැබීම. 

(ඇ) ශිෂ්‍යාවන්ගේ වෘත්තීය අපේක්ෂාවලට ගැලපෙන ආකාරයට පාඨමාලා සකස් නොවීම. 

(ඈ) සමස්ත අධ්‍යාපන දැක්මේ ඇති ගතානුගතිකත්වය නිසා හතර වන කාර්මික විප්ලවයෙන් ඇතිවන අභියෝගයන්ට හා අවස්ථාවන්ට මුහුණ දීමට සූදානම් නොවීම යන සාධක යි. 

■ අයුතු ප්‍රතිලාභ ලබන කණ්ඩායම්වල පටු, දේශපාලනිකරණය වූ ප්‍රතිචාර නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති චින්තනයට බාධා පැමිණ ඇත. විවිධ ආණ්ඩු, දේශපාලන පක්ෂ, ගුරු සංගම් හා ශිෂ්‍ය සංගම් මෙම කණ්ඩායම්වලට අයත්ය. මේ අතර පර්යේෂණ මත පදනම් වූ විකල්ප ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීමට ශාස්ත්‍රීය ප්‍රජාවත්, ඔවුන්ගේ වෘත්තික සංවිධානත් දක්වන නිරන්තර අසමත්කම නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති මහජන සාකච්ඡාව වඩා දුගී තත්ත්වයකට පත් වී ඇත.

■ අධ්‍යාපනයේ සැම මට්ටමකත්, සෑම ක්ෂේත්‍රයකමත් පාහේ පිරිමින්ට වඩා ස්ත්‍රීන්ගේ සහභාගිත්වය ඉහළ යාමත් සමග පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල ශිෂ්‍ය ප්‍රජාවේ ස්ත්‍රී – පුරුෂ සංයුතිය වේගයෙන් වෙනස් වෙමින් පවතී. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීයකරණය වීමේ ප්‍රතිඵලයකි. මෙම ප්‍රජාවිද්‍යාත්මක පරිවර්තනය නිසා ඇති වූ ව්‍යූහාත්මක වෙනසට ප්‍රතිචාර දැක්වීම සඳහා අධ්‍යාපන ආයතනවල පවත්නා තත්ත්වය අර්ථවත් ලෙස හැඩ ගැසී නැත. 

■ එමෙන් ම අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ගහනයෙන් බහුතරය වන ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතා සඳහා සංවේදී වීමට වෘත්තීය පුහුණුව තව මත් සමත් වී නැත. වෘත්තීය පුහුණුව තව මත් පවතින්නේ සාම්ප්‍රදායික ස්ත්‍රී-පුරුෂ විභේදනය නැවත නැවතත් තහවුරු කරන ගතානුගතික නැඹුරුවකින් යුතු ව ය. සාම්ප්‍රදායික වශයෙන්  ශිෂ්‍යයන් සඳහා වෙන්කර ඇති වෘත්තීය ක්ෂේත්‍රවලට සම්බන්ධ වීමට ශිෂ්‍යාවන් වෙනුවෙන් දිරිගැන්වීම් ද නොමැති ය. රැකියා ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන්නේ රැකියාවලට බඳවා ගැනීමේ දී සහ උසස්වීම් දීමේ දී උගත් සහ වෘත්තීමය සුදුසුකම් ලත් ස්ත්‍රීන්ට වෙනස්කම් කොට සැලකීම ය.

■ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති ආයතනික වගකීම ආණ්ඩුවේ මූලික ආයතන අතර විසිර පැවතීම ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඇති ප්‍රධාන බාධාවකි. මෙම කරුණ ද පවතින්නේ ඒ පිළිබඳ කිසිදු පිළිගැනීමක් නැතුව ය. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම අතිවිශාල ආයතන ජාලයක් තුළ විසිර පැතිර තිබේ. ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, කැබිනට් මණ්ඩලය, අධ්‍යාපන අමාතයාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සභා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒවා අතර ප්‍රධානය. මෙම ආයතනවල වගකීම විසිරී පැවතීම ජයගත හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනයටත්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් මඟ පෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමට ආයතනික මධ්‍ය ලක්ෂ්‍යයක්  ඇති විට ය.

දීර්ඝ කාලීන දැක්මක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වර්තමාන අර්බුදයෙන් ගොඩ ගැනීමටත් එහි අනාගත සංවර්ධන මාවත යළි දිශාගත කිරීමටත් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වීමක් සහිත ප්‍රතිපත්ති දැක්මක් අවශ්‍ය බව අපි අවධාරණය කරමු. එවැනි ඉදිරි දැක්මක් සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය එහි සෑම මට්ටමකින් ම නවීකරණය කිරීම මගින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට නායකත්වය දීමට අධිෂ්ඨානයක් ද සහිත ව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව සහ ප්‍රජාවන් අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීමට සමත්වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙයි. එවැනි නූතනකරණ දැක්මකට පහත සඳහන් ප්‍රතිමානීය මූලධර්ම සහ මූලෝපායික සිතා බැලීම් අඩංගු විය යුතු ය.

■ අධ්‍යාපනය සියලු දෙනාගේ මූලික අයිතියකි. රජයේ යුතුකම හා වගකීම වන්නේ සියලු ම පුරවැසියන්ට හුදෙක් අධ්‍යාපනයට අවකාශ සැලසීමට පහසුකම් සැපයීම පමණක් නොව කිසිදු හේතුවක් නිසා වෙනස්කම් කරනු ලැබීමට හෝ නොසලකාහැරීම්වලට හෝ භාජනය නොකරන ගුණාත්මක වශයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දීම ය.

■ අධ්‍යාපනය වනාහි සමාජ පරිවර්තනයේ, සමාජ සමානාත්මතාවේ, සමාජ සංචලතාවේ, ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි භාවයේ, බහුත්වවාදී ජාතිය ගොඩනැගීමේ සහ පුද්ගල මෙන් ම ප්‍රජාකණ්ඩායම්වල අයිතීන් සාක්ෂාත් කර ගැනීමේ ද වැදගත් මාධ්‍යයකි. එපරිදි සාධනීය සමාජ පරිවර්තනය මෙන් ම පුද්ගලික හා සමාජීය වර්ධනය සඳහා ද ගාමක බලවේගයක් ලෙස අධ්‍යාපනය සතු ශක්‍යතාව සහ කාර්යභාරය ආරක්ෂා කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත්, ආණ්ඩුව සහ පුරවැසියන් අතර පවත්නා සමාජ ගිවිසුමේ කේන්ද්‍රීය අංගයක් විය යුතු ය. මෙයින් යෝජනා වන්නේ අධ්‍යාපනයේ සැම මට්ටමකදීම සමානාත්මතාව වැදගත් වන්නේය යන්න සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් අතර පැහැදිලි කැපවීමක් තිබිය යුතු බව ය. 

■ එසේ වුවත් එවැනි ප්‍රතිචාර සැලකිල්ලෙන් යුත්‍ර ව සකස් කළ යුතු අතර, එය කළ යුත්තේ දේශීය තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමිනි. මෙම ප්‍රතිචාර ප්‍රතිපත්ති බවට පත් කරමින් ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ සමාජීය සහ ජනවාර්ගික බැහැර කිරීම්, ප්‍රජා කණ්ඩායම් ආන්තිකකරණයට පාත්‍ර කිරීම්, සමාජ අසමානතා තවත් තියුණු වීම, දේශපාලන කැළඹිලි සහ ජාතික අර්බුදවල නවරැලි මතු වීමට තුඩුදීම යනාදී ප්‍රතිඵල ද වළක්වමිනි. ඒ සඳහා අවශ්‍ය වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ඇති වන සංවාදයක් තුළින් පුළුල් සමාජ සහ අන්තර් – පාර්ශ්වීය සන්ධානයක් ගොඩනැගීමයි.

■ ශ්‍රී ලංකාව බහුවාර්ගික, බහු සංස්කෘතික, බහු භාෂක සමාජයක් ය  යන යථාර්ථය අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි  නිසිලෙස පිළිබිඹු වීම අත්‍යවශ්‍ය වේ. සෑම මට්ටමක ම සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මඟපෙන්විය යුත්තේ බහුත්වවාදී වටිනාකම් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා පුරවැසියන් බිහි කිරීම අරමුණු කරගත් ඉදිරි දැක්මකි.

■ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගෝලීය මට්ටමින් සිදු වන ආර්ථික, කාර්මික සහ තාක්ෂණ විප්ලව, ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිව්‍යූහගත වීම යන මේවා වෙතින් පැන නැගෙන නව ඉල්ලීම්වලට ද ප්‍රතිචාර දැක්විය යුතුව තිබේ. එබැවින් වෘත්තීය සහ වෘත්තික අධ්‍යාපනය සඳහා ඇති නව අවධාරණය පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සමග මනා ලෙස සම්බන්ධීකරණය කළ යුතුව තිබේ. එය කළ යුත්තේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ සහ විදේශීය ආධාර දෙන ප්‍රජාවන් අතර ඇති වන සක්‍රීය සහයෝගිතාවක් මගිනි. 

කෙටි කාලීන හා මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග සඳහා රාමුවක්

ප්‍රතිපත්ති මැදිහත් වීමක් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අපි කැමැත්තෙමු. ඒවා වෙතින් සමාජයේ සිටින ප්‍රතිසංස්කරණ ප්‍රජාවන් ගණනාවකගේ අදහස් ද ප්‍රකාශයට පත් වෙයි. නව ප්‍රතිපත්ති නිර්මාණය කිරීමත්, පවත්නා ආයතන ප්‍රතිනිර්මාණය හා ප්‍රතිසංස්කරණය කරන ගමන් ම නව ආයතන ගොඩනැගීමත් ඒවායින් යෝජනා වෙයි. ආයතන ගොඩනැගීම හා ප්‍රතිසංස්කරණය කළ යුත්තේ එම ආයතනවල අරමුණු ගැන පැහැදිලි අවබෝධයකින් යුතුව, සහ ඒවා නිලධාරීකරණයට ගොදුරු වීම වැළැක් වීමේ පැහැදිලි දැක්මක් ද සහිතව ය. 

මුල් ළමා විය අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

මුල් ළමා විය අධ්‍යාපනය ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති පුළුල් මෙ න් ම තව මත් ව්‍යාප්ත වෙමින් පවත්නා අංගයකි. එම අංශය දැනට පවත්වා ගනිමින් කළමනාකරණය කෙරෙන්නේ සුළු පරිමාණ පෞද්ගලික ආයෝජන හෝ තනි තනි පුද්ගල ප්‍රයත්න හෝ ලෙස ය. රාජ්‍ය ආයෝජනය නොමැති වීම, මුල් ළමා විය අධ්‍යාපනය පිළිබඳ සහ පවත්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි නෛතික රාමුවක් නොමැති වීම, නීති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමටත්, එම නීති ක්‍රියාත්මක වන බව සහතික කිරීමටත් ශක්තිමත් යාන්ත්‍රණයක් නොමැති වීම සහ එම අධ්‍යාපනයේ සෑම අංශයක් සඳහා ගුණාත්මක තත්ත්ව සහතික කිරීමක් නොමැති වීම යන ඒවා විසඳුම් අවශ්‍යවන තීරණාත්මක කාරණයන් ය.

ප්‍රතිපත්ති යෝජනා

■ දැනට අවිධිමත් පදනමක් මත ක්‍රියාත්මක වන මුල් ළමා විය අධ්‍යාපනය විසින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මක තත්ත්ව තහවුරු කිරීම සඳහා පියවර ගතයුතු ය.

■ මුල් ළමා විය අධ්‍යාපන සේවා සපයන්නන් ප්‍රතීතනය (Accreditation) කිරීමට සහ එම ආයතන මෙන්ම ගුරුවරුන් සඳහා ද අවසර පත්‍ර ලබා දීමේ ජාතික ප්‍රමිතීන් සකසා පළාත් සභා මගින් දැනට පවත්වාගෙන අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමක් කළ යුතු ය.

■ එම අංශ මගින් සපයන සේවා මෙන්ම විශේෂයෙන් ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණුවට සහ වෘත්තිකකරණයට වඩාත් අවධානය යොමු කරමින් මුල් ළමාවිය අධ්‍යාපනය සහතික කිරීමට (Certification) අවධානය යොමු කළ යුතු ය.

■ මුල් ළමාවිය අධ්‍යාපනය අධීක්ෂණය කිරීමේ, එයට සහාය වීමේ, දියුණු කිරීමේ සහ තිරසර ලෙස පවත්වා ගැනීමේ ආයතනික රාමුවක් හඳුන්වා දිය යුතු ය. මුල් ළමා විය අධ්‍යාපන අධිකාරියක් පිහිටුවිය යුතු අතර, එයට පළාත් සභා සහ පළාත් පාලන ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීමට බලය පැවරිය යුතු ය.

■ පහත සඳහන් පියවර ගැනීමෙන් එම යෝජනා ක්‍රියාත්මක කළ හැකි ය. 

(අ) ගුරුවරුන් බඳවා ගැනීමේ සුදුසුකම්, ගුරුවරුන් පුහුණු කිරීම, නිර්දේශ පත්‍ර සකස් කිරීම, ඉගැන්වීමේ ක්‍රම, පූර්ව පාසල් ක්‍රමය කළමනාකරණය කිරීම යන මේවා සඳහා මඟ පෙන්වීම් රාමුවක් සකස් කිරීම, සහ

(ආ)  ඒ සමග ම පාසල්වල ඉඩකඩ මෙන් ම පහසුකම් හා උපකරණ ද පිළිබඳ නිර්ණායක ගොඩනැගීම සඳහා අධිකාරියට බලතල පැවරීම.

(ඇ) අධිකාරිය මේ වගකීම්වලින් සමහරක් තම අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට පළාත්සභාවලට සහ පළාත් පාලන ආයතනවලට පැවරීම.

(ඈ). පහළ බාලාංශ පන්තිය රජය විසින් පවත්වා ගෙන යනු ලබන ජාතික ප්‍රාථමික පාසල් පද්ධතියට එක් කිරීම. 

පාසල් අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අර්බුදය බහුමානීය මෙන් ම සෑම අංශයක් පුරා ම පැතිර ගිය එකකි. එකිනෙක සමඟ තරගකාරී අභිලාෂ හා න්‍යාය පත්‍ර ඇති පාර්ශ්ව රාශියක බලපෑමට ද පාසල් අධ්‍යාපන අංශය හසු වී තිබේ. මෙම අංශයේ බෙහෙවින් අවශ්‍ය වී ඇති ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබෙන්නේ විවිධ අභිලාෂ තිබෙන කණ්ඩායම්වලින් එල්ල වන විරෝධතා ද කළමනාකරණය කිරීමේ උපාය මාර්ග සහිත ව ය. ප්‍රතිපත්ති සම්පාදකයන් සහ විසංවාදී මත ඉදිරිපත් කරන ප්‍රජාවන් අතර නිරන්තර සංවාදය එවැනි උපාය මාර්ගයක අනිවාර්යයෙන් තිබිය යුතු ය.

ප්‍රතිපත්ති යෝජනා

පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය ප්‍රතිසංස්කරණය කිරීම

■ පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සමාජ හා ප්‍රතිපත්ති උපයෝගිතාව ගැන යළි සමාලෝචනය කර එහි ඇති අතිශයින් දුෂ්කර, තරගකාරී සහ වාණිජකරණයට ලක් වූ පීඩාකාරී විභාග යාන්ත්‍රණය රහිත නව ක්‍රමයක් ඒ වෙනුවට නිර්මාණය කළ යුතු ය. නව ක්‍රමයේ පහත සඳහන් ලක්ෂණ ඇතුළත් විය  යුතු ය.

(අ) අඩු ආදායම්ලාභී පවුල්වල මූල්‍ය අවශ්‍යතා ඇති දරුවන්ට ලබා දෙන මූල්‍යාධාර වැඩිකිරීම, සහ

(ආ) විශේෂ දක්ෂතා සහ විශේෂ කුශලතා සහිත දරුවන් සඳහා ඔවුන් ජීවත් වන පළාතෙහි ම  වඩා හොඳ පාසල් සැපයීම. 

මෙම ප්‍රතිලාභ ලැබිය යුතු දරුවන් හඳුනාගත යුත්තේ ජාතික මට්ටමින් සහ එක් එක් පළාත තුළ සිදු කරන වඩාත් දියුණු, විනිවිද පෙනෙන සහ අවභාවිත කළ නොහැකි පාසල් පදනම් කරගත් ඇගයීම් ක්‍රමයකිනි.

■ ඉහත (අ) සහ (ආ) යෝජනා ක්‍රියාත්මක කරන විට ශිෂ්‍යත්ව පරීක්ෂණය ආර්ථික ආධාර අවශ්‍ය දරුවන් වෙනුවෙන් සහ ඇතුළු වීමේ පරීක්ෂණ පහසුකම් අඩු ග්‍රාමීය සහ නාගරික පාසල්වල විශේෂ දක්ෂතා ඇති දරුවන් වෙනුවෙන් පමණක් පැවැත්විය යුතු ය. 

අපොස (උසස්පෙළ) විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම

■ 13 වෙනි වසරේ දී විභාග දෙකක් හඳුන්වා දීමෙන් දැනට තිබෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ප්‍රතිව්‍යූහගත කිරීම ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු ය. එක් විභාගයක් මගින් සිසුන්ට රැකියා සඳහා වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය ජාතික මට්ටමේ පාසල් හැර යාමේ සහතික ලබා ගැනීමට අවකාශ ලබා දිය යුතු ය. අනෙක් විභාගයෙන් ලබා දිය යුත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලවල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සුදුසුකම් ය.

පාසැල් හැරයන දරුවන් සඳහා දියුණු හා තිරසර වෘත්තීය අධ්‍යාපනයක්

■ 13 වන වසරට පසු ව පාසල් හැර යන දරුවන් සඳහා මනා ලෙස සැලසුම් කරන ලද හා තිරසර ලෙස පවත්වාගෙන යා හැකි වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රමුඛතා පදනමක් මත පියවර ගැනීම අත්‍යවශ්‍ය ය. රජය සහ පුද්ගලික අංශයේ සහයෝගීතාව මගින් මෙය සැලසුම් කළ හැකි ය.

පශ්චාත් ප්‍රාථමික අධ්‍යාපනයේ නව නැඹුරුවක්

■ ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය, පුරවැසි අධ්‍යාපනය, සෞන්දර්ය අධ්‍යාපනය, චර්යා ධාර්මික අධ්‍යාපනය, ඉංග්‍රීසි සහ දෙවැනි ජාතික භාෂාවන් යන විෂයයන් නිර්මාණාත්මක ලෙස බද්ධ කරන පාසල් නිර්දේශ පත්‍ර ක්‍රමයක් සහිතව පශ්චාත් – ප්‍රාථමික පාසල් අධ්‍යාපනය යළි දිශාගත කිරීම මේ මගින් කළ යුතු ය.

අපොස (උසස්පෙළ) විෂයධාරා ප්‍රතිව්‍යූහගතකිරීම 

■ දැනට පවතින අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ විෂයයන් කලා, වාණිජ, විද්‍යා, තාක්ෂණ යන විෂයධාරා අනුව කෙරෙන බෙදීම වෙනස් කර පහත සඳහන් පරිදි යළි නිර්මාණය කිරීම. 

(අ) දැනට පවතින විෂයධාරා ඉතා අනම්‍ය ලෙස එකිනෙකින් වෙන් කිරීම නැවැත්වීම. 

(ආ) නම්‍යශීලී පාඨමාලා මොඩියුල ක්‍රමයක් මගින් විෂයධාරා අතුරින් පාඨමාලා මොඩියුල තෝරා ගැනීමට අවකාශ සැලසීම. 

ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ප්‍රධාන විෂය හා අමතර විෂයයන් අතර තෝරා ගන්නා තමන්ට කැමැති මොඩියුල සංයුතියක් සඳහා අවකාශ ලබා දෙමින්ල මොඩියුල මත පදනම් වන පාඨමාලා අයවර ක්‍රමයක් (Credit System) මත පදනම් ව උසස් පෙළ විෂය නිර්දේශ රාමුව යළි නිර්මාණය කළ යුතු ය.

ශිෂ්‍ය උපදේශනය හඳුන්වා දීම 

■ ශිෂ්‍ය උපදේශනය පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් කිරීම ප්‍රමාද කළ නොහැකි අවශ්‍යතාවකි. ඉහත දක්වා ඇති ආකාරයට ජ්‍යෙෂ්ඨ ද්වීතියික අධ්‍යාපනය නිර්මාණාත්මක ලෙස යළි සැලසුම් කිරීම සාර්ථක වීමට නම් ශිෂ්‍ය උපදේශනය සැපයීම අත්‍යවශ්‍ය වේ. 

චර්යාධාර්මික අධ්‍යාපනය හඳුන්වා දීම

■ ‘ආගම’ යනුවෙන් ඇති පාසල් විෂයය අන්තර් ආගමික හා ආචාරධාර්මික වටිනාකම් අධ්‍යයනය සඳහා අවධානය යොමු කරමින් යළි සකස් කිරීම වැදගත් අවශ්‍යතාවකි. ආගමික අධ්‍යාපනයෙන් අවධාරණය විය යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ආගම්වල මූලික දාර්ශනික ඉගැන්වීම් සහ චර්යාධාර්මික මූලධර්ම දරුවන්ට හඳුන්වා දීම ය. මේ සඳහා චර්යාධාර්මික අධ්‍යාපනය (Value Education) පාසල් විෂය නිර්දේශයට  ඇතුළු කිරීමේ දී ආගමික ඉගැන්වීම්වල පවත්නා දාර්ශනික හා චර්යාධාර්මික ඥාන සම්භාරයේ කවර කොටස් ඇතුළත් කළ යුතු ද යන්න තීරණය කිරීමට අධ්‍යාපනඥයන්ගෙන් ද සමන්විත වන කමිටුවක් පත් කළ යුතු ය. 

අනාගත වෘත්තීය තෝරා ගැනීමේ අදහස පාසැල් අධ්‍යාපනයට හඳුන්වා දීම

■ 10 වන ශ්‍රේණියේ  සිට අනාගත වෘත්තීය මාර්ග සහ වෘත්තීය තෝරා ගැනීම පිළිබඳ අදහස සිසුන්ට හඳුන්වා දීම  පාසැල් අධ්‍යාපනයට එකතු කළ යුතු කාලය එළඹ තිබේ. තම දරුවන්ගේ අනාගතය ගැන සාධනීය ලෙසත් අවබෝධයෙන් යුතුවත් සිතීමට පටන් ගැනීමටත්, ගුරුවරුන් සමග සහයෝගයෙන් සැලසුම් කිරීමටත් දෙමව්පියන්ට අවස්ථාවක් ලැබෙනු ඇත්තේ එවිට ය.

වෘත්තීය මාර්ගෝපදේශනය ශක්තිමත් කිරීම

■ සුදුසුකම් ලත් වෘත්තීය මාර්ග උපදේශකයන් හා උපදේශිකාවන් ලෙස පාසල්වල සේවය කිරීම සඳහා විශේෂ ගුරු සේවයක් ආරම්භ කර එම ගුරුවරුන් පුහුණු කිරීම මේ සඳහා ගතයුතු පළමු පියවර යි. මේ සඳහා ශිෂ්‍ය උපදේශනය සඳහා පාසල් ගුරුවරුන් පුහුණු කිරීම සහ එම සේවාව ප්‍රතීතනය (Accreditation) කිරීම අරමුණු කරගත් වෙනත් ආයතනයක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවීම අවශ්‍ය වේ.

ගුරුවරුන් යළි පුහුණු කිරීම සහ සවිබල ගැන්වීම   

■ මේ මගින් යොජනා වන්නේ සියලුම පාසල් ගුරුවර ගුරුවරියන් නැවත පුහුණු කිරීමේ හා නැවත සවිබල ගැන්වීමේ කඩිනම් වැඩසටහනක් ආරම්භ කිරීම යි. මෙම වැඩසටහනේ කටයුතු පියවර කිහිපයකින් පළාත් සභාවල ද සහභාගිත්වය ඇති විමධ්‍යගත ප්‍රයත්න මගින් සිදු කළ හැකි ය. එවැනි වැඩසටහනක අරමුණ විය යුත්තේ, 

(අ). ගුරුවරුන්ගේ විෂය දැනුම යාවත්කාලීන කිරීම හා පුළුල් කිරීම, සහ

(ආ). ඉගැන්වීම, ඇගයීම, සහ ආදර්ශෝපදේශනය (Mentoring) පිළිබඳ නව විධික්‍රම හඳුන්වා දීම යන මේවා ය. 

මෙම වැඩසටහනට ගුරුවරුන් ආකර්ෂණය කරගැනීම සඳහා දිරිගැන්වීමක් වශයෙන් පාසල් ගුරුවරුන්ට දීමනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය. 

13 ශ්‍රේණියේ දී දැනට සිදු වන හානියට පිළියම් යෙදීම

■ 13 වන ශ්‍රේණියේ  ශිෂ්‍ය ශිෂයාවන් නිතිපතා පාසල් පැමිණෙන බවත්, ඔවුන් වෙනුවෙන් ගුරුවරුන් නිසි පරිදි සහ ක්‍රමවත් ව පන්ති පවත්වන බවත් සහතික කිරීම සඳහා අවශ්‍ය පරිපාලන පියවර වහා ම ගත යුතු වේ. ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යංශය 13 ශ්‍රේණියේ  සිසුන් පාසැල් නොපැමිණීමේ ගැටලුව ගැන දෑස් පියාගෙන සිටීමේ වත්මන් පිළිවෙත වහාම අවසන් කිරීම මේ මගින් යොජනා වේ. 

පුද්ගලික උපකාරක පන්ති නියාමනය කිරීම

■ පුද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය පාලනය කිරීම සහ ක්‍රමානුකූල කිරීම සඳහාත්, එම අංශයේ අධීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහාත් නීති ගෙන ඒම වහා ම කළ යුතු ප්‍රතිසංස්කරණයකි. එහි අරමුණ විය යුත්තේ,

(අ) පාසල් ක්‍රමයට පරිබාහිර ව දරුවන් ලබන අධ්‍යාපනය වෙනුවෙන් දෙමව්පියන් දරන වියදම අවම කිරීම.

(ආ) පහළ සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වලට ආධාර වනු පිණිස රටේ දැනට අතුරුදහන් ව තිබෙන නිදහස් අධ්‍යාපන මූලධර්ම නැවත ප්‍රතිස්ථාපනය කිරීම.

(ඇ) අධ්‍යාපනය සැපයීම සූරාකෑමේ වාණිජ ව්‍යාපාරයක් නොවන බව සහතික කිරීම, සහ

(ඈ).අනවශ්‍ය පුහුණුව සහ විභාගවලට නිමක් නොමැති ව කටපාඩම් කිරීම යන ආකාර මගින් සිසුන් මත පටවා ඇති අනවශ්‍ය බරෙන් ඔවුන් නිදහස් කිරීම. 

විශ්වවිද්‍යාල අධ්‍යාපනය

ප්‍රතිපත්ති අභියෝගය

විශ්වවිද්‍යාල වනාහි එහි යල් පැන ගිය අරමුණු, ආයතනික ව්‍යූහය, සහ සංවිධානමය සංස්කෘතිය යන මේවා වෙනස් කිරීම අරමුණු කරගත් කිසිදු මූලික ප්‍රතිසංස්කරණයක් සිදුවීම ප්‍රතික්ෂේප කර ඇති ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා එක් අංශයකි. ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යයන පාඨමාලා ද හිමිකම පුළුල් කිරීම ද ඇතුළු ව විශ්වවිද්‍යාල  ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ගනු ලැබූ ප්‍රයත්න ද දේපාලන අසහනයට සහ විරෝධතාවලට තුඩු දී ඇත. 

විශ්වවිද්‍යාල අංශය පවතින්නේ ද රටේ වෙනස් වන අවශ්‍යතාවලට බෙහෙවින් පසුපසිනි. ජාතික හා අන්තර්ජාතික තත්ත්වයන්ගෙන් පැනනැගෙන වෙනස්වීම් හා පරිවර්තනය සඳහා වන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමටත් එයට නොහැකි ය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට රැඩිකල් සහ අතිමූලික ප්‍රතිසංස්කරණ අවශ්‍යව තිබේ. එහෙත් ඒවා හඳුන්වා දිය යුතු වන්නේත් කළමනාකරණය කළ යුතු වන්නේත්, එය විසින් සමාජ දේශපාලන ක්ෂේත්‍රවල ඇති කෙරෙන විනාශකාරී ප්‍රතිවිපාක ද වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමිනි.

ප්‍රතිසංස්කරණ යෝජනා

ප්‍රථම උපාධි පාඨමාලා සහ නිර්දේශ පත්‍ර ප්‍රතිව්‍යූහගතකිරීම

■ කලා, සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රවල ඉහළ නැංවෙන උපාධිධාරීන් සංඛ්‍යාවන්ට රැකියා සැපයීමේ අභියෝගයට ආමන්ත්‍රණය කිරීම ප්‍රධාන ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් ලෙස ප්‍රථම උපාධි පාඨමාලා සහ නිර්දේශ ප්‍රතිව්‍යූහගත කිරීම සිදු වන්නේ නම් එහි අරමුණ විය යුත්තේ උපාධිධාරීන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල විවිධ වෘත්තික රැකියාවලට සෘජුව සුදුසුකම් ලබා දීම ය. එය කළ යුත්තේ උපාධි අපේක්ෂකයන්ට ලබා දෙන විෂය දැනුම සීමා නොකරමිනි. සමාජයෙන් පරාරෝපණය වී සිටින උපාධිධාරීන් තමන් සමාජයට අයත් පුරවැසියන්ය යන අදහස ඇති කිරීම ද එමගින් අරමුණු කර ගත යුතු ය.

විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යූහගත කිරීම

■ ප්‍රථම උපාධි අපේක්ෂකයන්ට විශ්වවිද්‍යාල කොලිජි ක්‍රමයද (University College), ඉහළ උපාධි පුහුණුව සඳහා විශ්වවිද්‍යාල ක්‍රමයක් ද ඇති කරන පරිදි දැනට තිබෙන විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යූහගත කිරීමට සලකා බැලීම එවැනි නව පියවරකි. එහි අරමුණ විය යුත්තේ විශ්වවිද්‍යාල කොලීජිවල ක්ෂණික ව රැකියා ලබා ගැනීමට ආධාර වන පුහුණු පාඨමාලා ලබාදීමත්, ඊට ඉහළ තලයේ තිබෙන විශ්වවිද්‍යාලවල ප්‍රශස්ත මට්ටමේ වෘත්තික සහ ශාස්ත්‍රීය පුහුණුව ලබාදීමත් ය.

වෘත්තීය මාර්ගෝපදේශනය ප්‍රතිසංස්කරණය කිරීම

■ දැනට පවත්නා වෘත්තීය මාර්ගෝපදේශනය මඟින් මෘදු කුසලතා පුහුණු වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පටු ප්‍රවේශය පිළිබඳ ව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විශ්වවිද්‍යාල යළි සිතා බැලීම මේ මඟින් සිදු විය යුතු ය. ශාස්ත්‍රීය අධ්‍යාපනය වෘත්තික මට්ටමේ රැකියා (Professional Jobs) සඳහා ලබා දෙන පුහුණුව සමග සංයෝග කරමින් පවත්නා වැඩසටහන් තවත් ශක්තිමත් කළ යුතු ය. 

සේවානියුක්ති පුරෝකථනය

■ විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල ඇති වාර්ෂික රැකියා අවශ්‍යතා හා අවකාශ පිළිබඳ සමීක්ෂණ මත පදනම් වූ සේවානියුක්ති පුරෝකථන ක්‍රමයක් ආරම්භ කළ යුතු ය. මෙය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල, මිනිස් බල හා රැකී රක්ෂා අමාත්‍යාංශ සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව කළ යුතු ය. මේ මගින් ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්වන යථාර්ථයන්ට හා ගෝලීය සහ ජාතික ආර්ථිකයේ ප්‍රවණතාවන්ට අනුකූලව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සැලසුම් කළ  හැකි වනු ඇත. 

විශ්වවිද්‍යාල පාඨමාලා ප්‍රතිසංස්කරණය

■ සෑම අධ්‍යාපන ක්ෂේත්‍රයකටම අයත්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුළුල් සහ සාකල්‍ය අධ්‍යාපන ක්‍රමයක් ලබා එයින් ප්‍රතිලාභ ලැබීමට හැකි වන පරිදි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්වවිද්‍යාල උනන්දු කළ යුතු ය. එහි අරමුණ විය යුත්තේ දැනට පවත්නා අධ්‍යයන පීඨ සහ විෂයමාලා මත පදනම් වූ පටු ලෙස සංකල්පගත කරන ලද ශාස්ත්‍රීය හා විෂයධාරාමය වෙන් කිරීම අතික්‍රමණය කිරීම ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශ කෝටා ක්‍රමයේ ප්‍රතිසංස්කරණ

■ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධව දැනට ඇති දිස්ත්‍රික් පංගු ක්‍රමය (කෝටා ක්‍රමය) සමාලෝචනය හා සංශෝධනයට භාජනය කිරීම කල්  දැමිය නොහැකි ප්‍රතිසංස්කරණයකි. අලුතින් හඳුන්වා දෙන ක්‍රමය මගින් ග්‍රාමීය දිස්ත්‍රික්කවල දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන පවුල්වල සිසුන්ට විද්‍යා, වෛද්‍ය, ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාපීඨවලට ඇතුළත් වීමේ  අවකාශ සැලසිය  යුතු ය.

ඉගැන්වීමේ ගුණාත්මක මට්ටම ඉහළ නැංවීම

■ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය සහ පශ්චාත් උපාධි මට්ටමින් දැනට සැපයෙන සියලු ම දැනුම හැකිතාක් දුරට උසස් ගෝලීය උපමාන සහ භාවිතයන්ට ළං විය යුතු ය. එමෙන් ම ගෝලීය උපමානයන්ට හා ප්‍රමිතීන්ට අනුව තම සිසුන්ට ඉහළ මට්ටමේ පුහුණුව ලබා දිය හැකි වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ප්‍රමාණවත් සහ මනා ලෙස අධීක්ෂණය කරනු ලබන පුහුණුවක් සැපයිය යුතු ය.

පශ්චාද් උපාධි පාඨමාලා ක්‍රමවත් කිරීම

■ රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ද විසින් පවත්වනු ලබන පශ්චාද්  උපාධි පාඨමාලා ඉගැන්වීම, ඉගෙන ගැනීම, පුහුණුව, පර්යේෂණ හා නව දැනුම මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශ කිරීම යන මේවා අව්‍යාජ ජාත්‍යන්තර උපමානවලට අනුගත කිරීම අනිවාර්ය කළ යුතු ය. මේ සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයක් ද තිබිය යුතු ය.

බාහිර උපාධි පාඨමාලාවල ගුණාත්මක බව ඉහළ නැංවීම

■ බාහිර උපාධි පාඨමාලා හා දූරස්ථ අධ්‍යාපන වැඩසටහන්වල සිසුන්ට සපයන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිති රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල මගින් ඉහළ නැංවීම අනිවාර්ය කළ යුතු ය. මේ සඳහා ද අධීක්ෂණ යාන්ත්‍රණයක් තිබිය යුතු ය.

උපාධිධාරීන්ට වෘත්තික පුහුණුව ලබා දීම (Professional Training)

■ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල විධායක හා කළමනාකරණ ශ්‍රේණිවල වෘත්තීන් ලබා ගැනීමට අවශ්‍ය වෘත්තික සුදුසුකම් (Professional Qualifications) ලබා ගැනීම සඳහා පරිපාලන සහ කළමනාකරණ පුහුණු ආයතනයක් (Institute of Administrative and Management Training) පිහිටුවිය යුතු ය. මේ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, මිනිස් බල හා සේවා නියුක්ති අමාත්‍යාංශය සහ පුද්ගලික අංශය සහයෝගී ව ක්‍රියා කළ යුතු ය. ‍

විශ්වවිද්‍යාල ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පිහිටුවීම

■ ශාස්ත්‍රීය ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයක් නොමැති වීම අප රටේ ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය දැනුම නිර්මාණය කිරීමට බාධාවක් වී තිබේ. මේ ගැටළුව විසඳීම සඳහා අඩුතරමින් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගත් ලාභ නොලබන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පිහිටු වීමේ හැකියාව සොයා බැලිය යුතු ය. එම ප්‍රකාශන ආයතනය සැලසුම් කළ යුත්තේ ලෝකයේ වෙනත් රටවල ඇති සාර්ථක විශ්වවිද්‍යාල ග්‍රන්ථ ප්‍රකාශන මුද්‍රණාල ආදර්ශ කොට ගෙන ය.

පෞද්ගලික උසස් අධ්‍යාපනය ප්‍රමිතිකරණය යටතට ගෙන ඒම

■ සෑම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ම තම ඉගැන්වීමේ සහ පුහුණු වැඩසටහන්වල දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදුසු රෙගුලාසි මගින් නියම කරන උපමාන සහ ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කළ යුතු ය. මෙය කළ යුත්තේ අධීක්ෂණය කිරීම මගින් රෙගුලාසිවලට අනුගත වීම සහතික කිරීමේ යාන්ත්‍රණයක් ද සමග ය. 

තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය (TVET Sector)

ප්‍රතිපත්ති අභියෝගය

තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය ද්විතීයික පාසල් හැර යන සිසුන් විශාල සංඛ්‍යාවකට ආකර්ෂණය වීම සඳහා මෙම අංශය නවීකරණය, ඉහළ ශ්‍රේණිගත කිරීම හා ශක්තිමත් කිරීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ තරම් ම වැදගත් ය. අධ්‍යාපනය සහ සේවා නියුක්තිය අතර ඇති නිරන්තර විෂමතාව විසඳා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට උදව් විය හැකි, තව මත් ප්‍රයෝජනයට ගෙන නැති ධාරිතාව හා ශක්‍යතාව පවතින්නේ මෙම අංශයේ ය. මෙම අංශය නවීකරණය කිරීම සඳහා නව ප්‍රාග්ධන ආයෝජනයත්, වඩ වඩා අන්තර්ජාතික ආධාරත්, තිරසර රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයත්, නව ආයතන නිර්මාණය කිරීමත් අත්‍යවශ්‍ය වේ. 

ප්‍රතිසංස්කරණ යෝජනා

පාඨමාලා විවිධාංගකරණය

■ හතර වන කාර්මික විප්ලවයෙන් මතු කෙරෙන නව කුසලතා අවශ්‍යතාවලට ඉඩ සලසන පරිදි තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයේ පාඨමාලා විවිධාංගකරණය කළ යුතු ය. මෙය කළ යුත්තේ අන්තර්ජාතික කම්කරු සංවිධානය සමග සහයෝගයෙනි.

අවිධිමත් සේවානියුක්ති අංශය නියාමනය කිරීම 

■ රටේ අතිවිශාල අවිධිමත් කාර්මික හා සේවා අංශයේ (Informal Job Market) දැනට පවතින සේවා නියුක්ති අවකාශ ක්‍රමානුකූල ව විධිමත් කිරීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යටතේ නව යෝජනා ක්‍රමයක් හඳුන්වා දිය යුතු ය. ප්‍රවාහන, මෝටර් වාහන අලුත්වැඩියාව හා නඩත්තුව, ගෘහාශ්‍රිත කර්මාන්ත හා කුඩා කර්මාන්ත, ගෘහ සේවා, ඉදිකිරීම් කර්මාන්තය, සිල්ලර වෙළෙඳාම, පිරිසිදු කිරීම් හා සනීපාරක්ෂක සේවා සහ පෞද්ගලික ආරක්ෂක සේවා යනාදිය එයට ඇතුළත් කළ යුතු ය. එවැනි යෝජනා ක්‍රමයකින් සේවකයන්ට වඩා හොඳ වැටුප්, කම්කරු අයිතිවාසිකම් සහ සේවා තත්ත්වයන් ද, සේව්‍ය සේවක දෙපක්ෂයට ම නූතන වැඩ කිරීමේ චර්යාධර්ම (Work Ethics) හඳුන්වා දීම ද සහතික කිරීම ඉලක්ක කර ගත යුතු ය.  ‍

තාක්ෂණික සහ වෘත්තීය පුහුණුලාභීන්ට දිරිගැන්වීම්

■ තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයට පුහුණුලාභීන් බහුතරය පැමිණෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වලිනි. ඔවුන්ට දැනට ලැබෙන්නේ ජීවත්වීමට ප්‍රමාණවත් නොවන ආණ්ඩුවේ මූල්‍ය ආධාරයකි. මෙම අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශවල සහයෝගයෙන් තම ආධුනික කාලය තුළ ප්‍රමාණවත් මාසික දීමනා සැපයිය යුතු ය. මේ දෙස බැලිය යුත්තේ, පාසල් හැර යන තරුණ පිරිස් වෘත්තීය පුහුණුවට හා ඉන්පසු රැකියා ලබා ගැනීම පිණිස තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයට බැඳීම සඳහා සපයන දිරි ගැන්වීමක් ලෙස ය.

විගාමික ශ්‍රමිකයන්ගේ කුසලතා යාවත්කාලීන කිරීම

■ දැනට මැදපෙරදිග සේවයට යන නුපුහුණු විගාමික ශ්‍රමිකයන්ට තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අංශයේ දොර විවර කළ යුතු ය. වේගයෙන් වෙනස් වන වැඩ ලෝකයේ ශ්‍රම අවශ්‍යතාවෙහි  වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඔවුන්ගේ කුසලතා යාවත්කාලීන කළ යුතු ය.

පාසැල් හැර යන ශිෂ්‍යාවන් සාම්ප්‍රදායික නොවන වෘත්තීන්ට යොමු කිරීම

■ පාසල් හැර යන සිසුවියන්ට වැඩි වැඩියෙන් තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශයට බැඳීම සඳහා උනන්දු කිරීම සඳහා නොපමාව පියවර ගත යුතුව තිබේ. ඔවුන්ට සැපයිය යුතු වන්නේ සාම්ප්‍රදායික ව ස්ත්‍රීන්ට වෙන් වූ වෘත්තීන් ඉක්මවා ගිය පුහුණු සහ රැකියා අවකාශයන් ය. ඒ සමග ම ඔවුන්ට තම රැකියා තාක්ෂණය, ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ යනාදි ක්ෂේත්‍රවල ගොඩනැගීමට දිරිගැන්වීම් දීම ප්‍රමුඛතා විය යුතු ය. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔවුන්ට විශේෂ අවකාශ සපයන ප්‍රතිපත්ති රාමුවක් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතු ය.

  • ජයදේව උයන්ගොඩ – සම්මානිත මහාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය
  • සසංක පෙරේරා – මහාචාර්ය, දකුණු ආසියානු විශ්ව විද්‍යාලය, නවදිල්ලිය
  • නවරත්න බණ්ඩාර – හිටපු මහාචාර්ය පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • මයිකල් ප්‍රනාන්දු – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • රත්නසිරි අරංගල – ජ්‍යේෂ්ඨ මහාචාර්ය,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • මොහොමඞ් මහීස් – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්ව විද්‍යාලය
  • විපුල කරුණාතිලක – සංවර්ධන ජනමාධ්‍යවේදී

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress