ජනතාවගෙන් වසන් කළ ජාතික භෞතික සැලසුම
Posted on November 10th, 2019

මතුගම සෙනෙවිරුවන්

              නගර සහ ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව නමින් 1946 වසරේ පනතකින් අනුමත වූ ආයතනයක කාර්ය භාරය වූයේ ලංකාවේ නගර සහ දියුණු වන ගම් සඳහා සැලසුම් සකස් කිරීමයි. මෙම පනත වසර 2000 දී සංශෝධනය වී යටකී ආයතනය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වශයෙන් පුළුල්  වුණි. ඉන්පසු ඔවුන් ගේ කාර්ය භාරය අනුව රටටම අවශ්‍ය භෞතික සැලැස්ම ගැන තීරණ ගැනීමට බලය ලබා ගෙන ඇතිබව පැහැදිලි වෙයි.. එහි ප්‍රතිඵලයක් ලෙස 2007 දී එළි දැක්වූ ජාතික භෞතික සැලැස්ම දක්වන්නට පිළිවන. මේ සැලැසුමට සංකල්පීය අර්ථ සපයන්නේ 2002 නිකුත් කළ රීගේනින් ශ්‍රී ලංකා ලියවිල්ලයි. මේ ලියවිල්ල මගින් බලාපොරොත්තු වූයේ රටේ භෞතික යටිතල පහසුකම් දියුණු කරලීමට විදෙස් ආධාර ලබා ගැනීමයි.මෙම සැලසුම් සකස් කරන කල්හි.ලංකාවේ රාජ්‍ය ආයතන වල වැඩ කරන විද්වතුන් මෙන්ම විදෙස් විද්වතුන්ද දායකත්වය සපයා තිබෙන ආකාරය දැක්වීමට හැකිය. ඕස්ට්‍රේලියානු ජාතික ඩේල් සැම්සන් ක්‍රෙග් ගිල්බට් සහ සෑම් කැලගන් වැනි නගර නිර්මාණ ශිල්පීන් මේ වාර්තාව සෑදීමට දායකත්වය දී තිබේ. මෙම සැලසුම වර්ෂ 2030 දක්වා වලංගු බව එම ලියවිල්ලේ සඳහන්ය..මේ සැලසුම් මගින් අධි නගර නැත්නම් ‍‍මෙගා පොලීස් පහක් යෝජනා කරල තිබුණි. බස්නාහිර නැගෙනහිර දකුණ යාපනය සහ ත්‍රිමලය වශයෙන් එහි දක්වා ඇත. මේ අධිනගර සම්බන්ධ කරන අධිවේගී මාර්ග ජාලයක් සහ දියුණු දුම්රිය මාර්ග පද්ධතියක් යෝජනා කර තිබුණි.සැබවින්ම වේගයෙන් දියුණු වන තාක්ෂණික සංවර්ධන ක්‍රියාදාමයට අනුව නම් මේ සැලසුම තාර්කික වෙයි.ආයෝජන කලාප තුළින් රක්ෂා සැපයීම ද ඉලක්ක කර තිබුණ බැවින් ආර්ථික දියුණුව සෘජුවම ඉලක්ක කර තිබුණි. එහෙත් ලංකාව වැනි ඉතිහාසයක් තිබෙන රටක සාම්ප්‍රදායික සංවර්ධනයේ විකාශනය හෝ සොබා දහමේ හැසිරීම මේ සැලසුමේ සාකච්ඡාවට බඳුන් වී නැත.අපේ රටේ තීබූ වැව් 30000 ගැන සාකච්ඡා වී නැති බව පැහැදිලිය. ඒ වෙනුවට වැව් ජල උල්පත් වනාන්තර කපාගෙන හදන අධිනගර දියුණු කරන හැටි දක්වා ඇත. ඉංග්‍රීසීන් ලංකාවට පැමිණ මුඩු බිම් පනත් දෙකකින් මෙරට ජනතාව සහ විහාර සතු ඉඩම් අත්පත් කරගෙන වැව් කපා වනාන්තර පෙරලා මහ විනාශකාරී සංවර්ධනයක් ගෙනගිය ආකාරය  ඉතිහාසය තුළ ලියැවී තිබේ..මේඑහි දෙවන පියවරයි.

       මෙම සැලසුමට දායකත්වය සැපයූ විද්වතුන් මේ රටේ ගොවිබිම් සහ හදබිම් ගැන තේරුමක් ඇති උදවිය නොවන බව නම් පැහැදිලිය.මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කරන නගර නිර්මාණ ශිල්පියෙක් සහ ඉංජිනේරු වරයෙකු වන ජගත් මුනසිංහ මහතා වර්තමාන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්ව සිටී.ඔහු මූලික කරගත් මේ කණ්ඩායම
2007 සැලැස්ම පාදක කොට 2017 දී නව සැලැස්මක් එළි දැක්වීමට ක්‍රියා කෙට ඇත..එහිදී අධිනගර පහ නවය බවට පත් වී තිබේ.එසේම මේ නගර යා කරන ආර්ථික කොරිඩෝ හතරක් නිර්මාණය කරන්න යෝජනා කර ඇත. උතුර නැගෙනහිර( ඔලුවිල් )බස්නාහිර නැගෙනහිර සහ දකුණ වශයෙන් එය දක්ව තිබේ. මේ සැලසුම 2017 දී සාදා ජාතික භෞතික සැලසුම් සභාවට ඉදිරිපත් කළ යුතුව තිබුණු නමුත් එය සිදු නොවුණු බව පැහැදිලිය.මේ සභාවේ මූලාසනය හොබවනුයේ ජනාධිපතිරයාය.. ඒ වගේම තාක්ෂණික අගැයීම් කමිටුවට දමා අනුමත කරගැනීමටත් තිබුණි. මහජනයා ගේ අදහස් ගැනීමටත් නියමිතව තිබුණි.එහෙත් මේ කිසිවක් නොකර රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තිබෙන ආර්ථික සාභාවට දමා මේ ලියවිලිල් අනුමත කොට තිබේ..  ඒ අවස්ථාවේදී මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කියන ආයතනය මැදිහත් වී මේ සැලසුම තමන්ගේ අභිප්‍රායයන් සාධනයට යොදා ගත් බව පැහැදිලි වෙයි. ඇමරිකාවේ ආර්ථික හා දේශපාලනික උපාය මාර්ග ක්‍රියාත්මක කරන මේ M C C ආයතනය අරලිය ගහ මන්දිරයේ ස්ථාපිත වී රනිල් අගමැති හරහා ඔවුන් ගේ උපාය මාර්ග ඉලක්ක සපුරමින් සිටි කාලවකවානුවක මේ රටේ ජාතික භෞතික සැලසුම ඉදිරිපත්කිරීමත් එය ආර්ථික සභාවෙන් අනුමත කිරීමත් හොඳින් සමපාත වන ආකාරය දැක්විය හැකිය.මේ නිසා ඇමරිකන් උගුලකට රට අසු කිරීමට මේ සැලසුම යොදා ගත් ආකාරය දක්වන්නටත් පිළිවන.ජාතික භෞතික සැලසුම් සභාවට ඉදිරිපත් කොට මෙම සැලසුම් අනුමත කරලීමට උත්සාහ ගත්තේ නම් ජනාධිපතිවරයා මැදිහත්ව මේ යෝජනාවන් අත්හිටවන බව තේරුම් ගෙන මෙම බලධාරීන් කොටි මං මගින් නීත්‍යානුකූලභාවය ලබා ගත් බව ස්ථීරය.

      ..මේ භෞතික සැලසුම් යෝජනාව තුළීන් ලංකාවේ භූමියට දේශපාලනයට මැදිහත් වෙන්න පිළිවන් කම තිබෙන බැවින්  එය ගිවිසුමකින් තහවුරු කර ගැනීමට ඇමරිකාවට වුවමනා වී තිබේ.ඒ නිසාවෙන්  වත්මන් ඇමරිකන් තානාපතිනිය ලංකාවට පැමිණීම සිදු වී ඇත.ඇය ලංකාවේ දේශපාලනයට සෘජුව මැදිහත් වෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ඉලක්ක වෙත පිය මනින බව අප තේරුම් ගත යුතුයි. මෙම භෞතික සැලසුම මගේ ඇසට ගැටුණේ 2018 වසරේ මුල් භාගයේ දී 2007 නිකුත් වූ භෞතික සැලැස්මේ පිටපතක් සොයා ගැනීමට කළ උත්සාහයෙනි. ඒ අනුව වත්මන් සැලසුම මා අතට පත් වුණි. දුටු පමණින්ම වත්මන් සැලසුමේ දැක්වෙන  අයෝග්‍ය බව නිසා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් මුණසිංහ මහතා හමු වී සාකච්ඡා කළ අතර. මෙයට මගේ අදහස් ද එකතු කළ හැකි ආකාරය දැන්වූ බවද කිව යුතුයි.නමුත් පොරොන්දු වුණ පරිදි එම අවස්ථාව මට ලැබුණේ නැත.  අද වන විට චම්පික ඇමතිවරයා මේ සැලැස්ම වෙනුවෙන් සහ ගිවිසුම වෙනුවෙන් සෘජුව පෙනී සිටී. ඒ ඔහු මෑතකදී ඇමරිකාවෙ ගොස් ඩිප්ලෝමාවක් හදාරා පැමිණි නිසාදැයි මම නොදනිමි. එහෙත් 2018ඔක්තෝබර් ආණ්ඩු පෙරළියත් සමග අරලියගහ මන්දිරයත් රනිල් වික්‍රමසිංහ මහතාත් සුරකින්නට ඔහු දුන් දායකත්වය ඇමරිකාවට ගැති එකක් බව පැහැදිලියි.කෙසේ වෙතත් 2007 සැලැසුම මෙන්ම 2017 සැලැස්මත් මේ රටේ පරිසරයට මෙන්ම සාම්ප්‍රදායික සංවර්ධන ප්‍ර වේශයට ගැලපෙන්නේ නැති බව මෙහිදී කිව යුතුයි.

          භෞතික සංවර්ධනය අප ළඟා කරගත යුත්තේ සමස්ත සංවර්ධන සැලැස්මකට අනුකූලවයි.එසේම  අපගේ ඉතිහාසය විසින් අපට ලබා දෙන සංවර්ධන ප්‍ර වේශයන් සමගද සමපාත විය යුතුයි.ලංකාවේ මධ්‍යම කඳුකරය මේ රටේ හදවත බව බොහෝ දෙනෙකු අවබෝධ කර ගෙන නැත.සියළු ප්‍රධාන ගංගා ආරම්භ වන්නේ මධ්‍යම කදුකරයේ දිය උලපත් අශ්‍රයෙනි.එහෙයින් සමස්ත සංවර්ධනයෙදී මූලිකවම මේ රටේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛ තැනක් දිය යුතුය.මධ්‍යම කඳුකරයේ දියඋල්පත අශ්‍රයෙන් දිය නහර පණ ගැන්වී පොළව අභ්‍යන්තරයේ ගලා බසිමින් රජරට නිම්න භූමි වලදී මතු වන ආකාරයද අපට නිරීක්ෂණය කළ හැකියි. මේවා එක් පැත්තකින් සිසිල් දිය උල්පත් වශයෙන් ද අනෙක් පැත්තෙන් උණු දිය උල්පත් වශයෙන් ද දක්නට තිබේ.මේ උල්පත් ඇතැම් විට අපගේ ඇසට නොපෙනෙන ආකාරයෙන් මතු වී කුඩා වැව් පෝෂණය කරන බවද දැක ගත හැකිය. රජරට පවතින වැව් 30000 ක තරමේ සම්පත් ප්‍රභවයක් මේ ආසියාකරයේ තවත් දක්නට නැතිය. එම නිසා පැරණි රජ වරු කුඩා වැව් පණ ගන්වමින් වාරි පද්ධති නිර්මාණය කළහ. මේ වාරි පද්ධති සඳහා අතිරේක ජලය නිදහස් කරලීමට මහා වැව්ද මහා වැව් වලට ජලය ගෙන යෑම පිණිස යෝධ ඇළවල්ද නිර්මාණය කළහ.මහවැලි ගග ප්‍රධාන කොට ගත් ජල මූලාශ්‍ර වලින් හරවා ගත් ජලය උතුරේ ඉරණමඩු වැව දක්වාද ගෙන ගිය ආකාරය අතීත අත්දැකීම් වලින් පසක් වෙන බව කිව යුතුය.එසේම උතුරේ යාපන අර්ධ ද්වීපය සහ මන්නාරම් කලාපයේ ජලය ළඟා වීමත් ශුෂ්ක දේශගුණයත් නිසා යෝධ වැව පණ ගන්වමින් කළ වාරි විශ්මය අදටත් එසේමය.මේ තත්ත්වය මත ශක්තිමත් වූ රජරට ශිෂ්ඨාචාරය නිසා මාන්තොට  වරාය මහා වරායක්ව වැජඹුණි.. රට තුළ නිපදවන සියලු දේ මෙන්ම රටට ගෙනෙන බොහෝ දේ මෙම තැනින් හුවමාරු වූයේ මෙහි තිබූ ශක්තිමත් ආර්ථික ජාලය  පිටිවල් කර ගෙනය.ඇතැම් වේලාවට මේ තොටමුණු වලින් ගොඩ බහින විදේශිකයන් ගම්වැදී රට වැසියන්ට කරදර පමූණවන කල්හි. ඔවුන් අල්ලා රටින් පිට කළ යුතු බවට ආඥාවල්ද පෙර සෙල් ලිපි වල ලියැවී තිබුණී.

            මේ ආකාරයට මේ රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ ස්වයංපෝෂිත ආර්ථිකය පීළීබඳ යම් චිත්‍රයක් සකස් කරගත හැකිය. යටත් විජිත සමයෙන් පසු මේ ආහාර සුරක්ෂිතතාවය විනාශ කරමින් වැවිලි ආර්ථිකයත් කාර්මික  ව්‍යාපෘතිත් ආරම්භ කරලීමෙන් රටේ පරිසර පද්ධතිය උඩු යටිකුරු විය.ඇතැම් වාරි කර්මාන්ත දෙබෑ කරමින් මහා මාර්ග ඉදි වීමත් ශාසනික දේපළ විනාශ කරමින් එම බෙදීම තවත් දියුණු වීමත් නිසා මේ රටේ සංවර්ධන ක්‍රියාදාමයේ විදේශ බලපෑම ක්‍රමයෙන් තීව්‍ර විය. 1977 න් පසුව ඇති වූ විවෘත ආර්ථිකයත් ඉන්පසු වෙලෙඳ පළ ආර්ථිකයට සමාපාත වන ලෙසින් විදෙස් ආධාර මත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරලීමත් නිසා අද වන විට මහත් අර්බුදයක් පැණ නැගී ඇති බව පෙන්වා දිය යුතුය. ජාතික භෞතික සැලසුම මගින් මග පෙන්වන්නේ මේ විනාශකාරී සංවර්ධන ප්‍ර වේශයන් තවත් ඉදිරියට ගෙන යෑමට දිරි යුතු බවයි.


      එලෙස ඉදිරියට ගෙන යෑමට බල කරන විනාශකාරී ක්‍රියාදාමය මේ රටේ  උගත් බුද්ධිමතුන් තුළින් එල්ල වීම බරපල ප්‍රශ්ණයකි. කන්නන්ගර නිදහස් අධ්‍යාපනය මගින් පෝෂණය ලබා රට වෙනුවෙන් සේවය කරනු වෙනුවට විදෙස් හාම්පුතුන් වෙනුවෙන් සේවය කරන්නන් අද බිහිව තිබේ. චම්පික රණවක මහතා ද එවැන්නෙකි.ඔහුගේ මූලිකත්වයෙන් සාදන ලද 2017 ජාතික භෞතික සැලැස්ම මගින් අපට ඉඟි කරන්නේ මේ රටේ විද්වතුන් ගේ විදෙස් ගැතියාවයි.මේ රටේ පරිසරයට අතීත සම්ප්‍රදායට පටහැනි සංවර්ධන සැලසුම් මගින් විශාල ගැටළුවක් රටේ ඇති කරන්නට ඔහු කටයුතු කරමින් සිටින ආකාරයයි.එම නිසා ඉදිරි දශකය මේ විනාශකාරී භෞතික සංවර්ධනයෙන් වියුක්ත කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. එය මාස කීපයකින් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා බරපතල සංවාදයක් විද්වතුන් අතර ඇති විය යුතුය.ශ්‍රී ලංකාවේ සිතියම තුළ තිබෙන පරිසර සම්පත් ජල සම්පත් වන සම්පත් පසුබිම හරිත වර්ණයෙන් දිස් වීමට ඉඩ හැර මං මාවත් ගොඩනැගිලි කර්මාන්ත ඇති කරන්නේ කෙසේ දැයි සාකච්ඡා කල යුතුය.එවිට විදෙස් මුදල් වලින් තොරව රට සංවර්ධනය කරලීමට මගක් පාදා ගැනීමට හැකියාව ලැබෙනු නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress