සියළු ජාතීන්ට සාමකාමී රටක් නිර්මාණය කරන බව ජනපති අපේක්ෂක ගෝඨාභය කියයි
Posted on November 11th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

සියළු ජාතීන්ට සාමකාමීව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට කැප වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පුත්තලම ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද අනුරාධපුරයේ ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගි වුණා. විපක්ෂ නායකවරයා පළමුවෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමෙන් පසු ජයශ්‍රීමහාබෝධීන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුවයි ඔහු රුවන්වැලි මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ.

අනතුරුව මිරිසවැටි විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් විපක්ෂ නායකවරයා ශ්‍රී සාරානන්ද මහා පිරිවෙන වෙත පැමිණ ශාස්ත්‍රපති පූජ්‍ය අටබාගේ විමලඥාන නාහිමියන් සහ පාලන පරිවේණාධිපති පූජ්‍ය උඩගම්පළ ඥානාලෝක නාහිමියන් බැහැදැක ආගමික වතාවත්වල නිරත වුණා.

එහිදී මහාසංඝ රත්නය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ඣායනා කළා. ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ එහි විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රී පඤ්ඤානන්ද නාහිමියන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress