MCC ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
Posted on November 11th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

එම්.සී.සී. හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරුවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

අදාළ පෙත්සම් ලබන 13 වැනිදා සලකා බැලීමට නියමිතයි.

එම්.සී.සී. හෙවත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සඳහා රජය අත්සන් තැබීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ශ්ව 3 ක් පෙත්සම් ගොනු කර තිබුණා.

ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතීඥ දර්ශන වේරදූවගේ සහ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින්.

පෙත්සම්කරුවන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබුණේ එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙසයි.

ඒ අනුව අගවිනිසුරුවරයා විසින් නම් කරනු ලැබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නම් කර තිබෙනවා.

විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වන්නේ එල්.ටී.බී. දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක්.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ එම්.සී.සී. ගිවිසුම යටතේ ශ්‍රී ලංකා රජය අමෙරිකානු රජය සමඟ හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමකට, අත්පත් කරගැනීම සහ අන්තර් සේවා සැපයීමේ ගිවිසුමකට සහ සහශ්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කිහිපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවට ඉකුත් 30 වැනිදා පළ වූ මාධ්‍ය වාර්තා මගින් දැනගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගේ කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරිමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක් සිදුවිය හැකි බවත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයවන බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එම ගිවිසුම්වලට අත්සන් තැබීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණා.

ලබන 13 වැනිදා මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතයි.

මේ අතර එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් අදත් විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress