ඇමරිකානු පුරවැසිභාවය ගැන අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝ පටය ව්‍යාජ එකක් – ඇමරිකානු තානාපති කාර්යාලය
Posted on November 15th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පුරවැසිභාවය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යැයි පවසමින් අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝව ව්‍යාජ වීඩියෝවක් බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වෑන්හෝන් මහත්මිය පැවසුවේ එය තම දෙපාර්තමේන්තුවට අදාළ නොවන හඬ කැවූ ව්‍යාජ වීඩියෝවක් බවට තහවුරු කළ හැකි බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවකගේ යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සඳහන් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවනවා.

අප මේ සම්බන්ධයෙන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසීමක් කළා.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වෑන්හෝන් ප්‍රකාශ කළේ එය ව්‍යාජ ලෙස හඬ කැවූ වීඩියෝවක් බවයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝවේ සත්‍ය වීඩියෝව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ජූලි මස 19 වැනිදා අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා.

විනාඩි 27යි තත්ත්පර 18කින් යුක්ත මෙම වීඩියෝවේ කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමහෝ සඳහන් වන්නේ නැහැ.

මේවන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරන වීඩියෝව ජූලි මස 19 වැනිදා මුදාහැරි වීඩියෝවෙන් ව්‍යාජ ලෙස සැකසූවක් බව පෙනී යනවා.

එහි වර්ණ පවා වෙනස්කර ඇති අතර ප්‍රකාශිකාවගේ ඇඳුමේ වර්ණය වෙනස් කරනවිට ඒ අසළ ඇති ඇමරිකා එක්සත් ජනපදයේ කොඩියේද වර්ණය වෙනස්වී තිබෙනවා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව නිකුත් කළ බවට පැවසෙන ලිපියක්ද මේවන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එයද ව්‍යාජ ලෙස සැකසූවක් බව ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress